Saturday, October 29, 2022

මෛත්‍රීගේ තවත් ගේමක්

 මෛත්‍රිපාලගේ නිල නිවසේ තිබූ ජනාධිපති මාධ්‍ය ඒකකයට අරන් ගිය කෝටි තුනහමාරක ලැප්ටොප්-අයිපෑඩ්-මැක් බුක්-ජංගම දුරකතන අතුරුදන්! කිසිම විමර්ශනයක් කරලා නෑ!


ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ අස්ථාන ගතව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.


ජනාධිපති මන්දිරයේ ගබඩා බාරකරුගෙන් ලද තොරතුරු අනුව විගණනයේ සඳහන් කර ඇති පරිදි ජනාධිපති මන්දිරයේ පැවති ඉන්වෙන්ට්‍රි අයිතම 12ට අයත් භාණ්ඩ 24ක් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට රැගෙන ගොස් ඇතත් ඒවා සම්බන්ධයෙන් අදාළ පොත් පත්වලට කිසිදු සටහනක් ඇතුළත්ව නැත.


ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 2019 නොවැම්බර් 18 වැනිදා කරන ලද දැනම් දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයා බැලීමකදී එහි නව ගොඩනැගිල්ලේ තිබු ඉන්වෙන්ට්‍රිගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් සොයගත නොහැකි වි ඇති අතර ඒ සම්බන්ධයෙන් 2022 මාර්තු දක්වා කිසිදු විමර්ශනයක්ද සිදුකර නැත.


මෙම විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒකක 2019 දක්වා පවත්වාගෙන ගොස් තිබෙන්නේ ඒකක හතරක් යටතේය. එහෙත් 2019 නොවැම්බර් මාසයේ මාධ්‍ය අංශය ආරම්භ කර තිබෙන්නේ නව මාධ්‍ය අංශය යන නාමය යටතේ වන අතර එයට භාරගත් භාණ්ඩ පිළිබඳවද නිසි ලේඛනයක් පවත්වාගෙන ගොස් නැත.


මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉංජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමුකරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබු රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමින් (3,41,89,688) යුත් භාණ්ඩ රැසක් අස්ථානගතව ඇතැයිද එම විගණන වාර්තාවේ සඳහන් වේ.


එම වාර්තාවට අනුව අස්ථාන ගත වු භාණ්ඩ වලට 2015 සිට 2020 ජනවාරි දක්වා කාලය තුළ මාධ්‍ය අංශය වෙත ලැබුණ 1,77,86,325 විටනා ලැප්ටොප් හා මැක් බුක් එයාර් වර්ගයේ පරිඝනක 78ක්ද 1,03,80,423ක් වටිනා ඩෙක්ස්ටොප් පරිඝනක 52ක් අතරින් 48ක්ද මාධ්‍ය අංශයේ නිලධාරීන්ට නිකුත් කරන ලද රුපියල් 34,70,742ක් වටිනා ජංගම දුරකථන හා අයිපෑඩ් 45ක් අතරින් 28ක්ද ඇතුළත් වේ.


මාධ්‍ය අංශයේ නිලධාරින් වෙත ලබාදුන් ජංගම දුකරථන හා අයිපෑඩ් 45න් ආපසු ලබාදී තිබු ජංගම දුරකථන 14 කින් නවයක්ද අය්පෑඩ් තුනෙක් දෙකක්ද අක්‍රීය බවද එම වාර්තාවේ සඳහන් වේ.


මීට අමතරව කතරතම ජනාධිපති මන්දිරයේ අයිතම 12කට අයත් භාණ්ඩද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ රූපවාහිනි යන්ත්‍ර දෙකක්ද අස්ථාන ගතව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.


මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් 2022 මාර්තු 25 වන විටත් කිසිදු විමර්ශනයක් සිදුකර ඇති බවද විගණනයට වාර්තා නොවුන බවද එම වාර්තාවේ සඳහන් වේ.



Thursday, October 27, 2022

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට අද සිට විශේෂ ණය පහසුකමක්

 



රටේ නිෂ්පාදනය වැඩි කරන්න සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට 12% අවම පොලියට අද සිට විශේෂ ණය පහසුකමක් රජය විසින් ලබාදී තිබෙනවා.

ඒ අනුව මාස 06 ක සහන කාලයක් සහිතව වසර 03 න් ගෙවා අවසන් වන පරිදි රුපියල් මිලියන 10 ක් දක්වා ණය ලබා ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 08 කින් පහසුකම් ලබාදී තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB)  ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක් මෙම බැංකු 08 වෙත බෙදාහැර තිබෙනවා.


Wednesday, October 26, 2022

පළාත් පාලන ආයතනයක් විසින් සිදුකරන විශාලතම ව්‍යපෘතිය අර්බුදයක ද?

 



 ජනතාව වෙනුවෙන් පවතින රාජ්‍ය ආයතන මගින් ව්‍යාපෘති සිදුකිරීමේදී ජනතාවගේ කටයුතු පහසු කිරීම සඳහා ව්‍යාපෘති සිදුකළ යුතුවේ. එසේ උවද රටතුළ සිදුකර ඇති බොහොමයක් ව්‍යාපෘති දෙස බැලු කළ එය එසේ නොවන බව පැහැදිලි කිරීමට වැඩි වෙහෙසක් ගතයුතු නොවේ. බොහොමයක් ව්‍යාපෘති අසාර්ථක ව්‍යාපෘති බවට පත්ව ඇත්තේ මහජන මුදල් ද විශාල වශයෙන් පුලුස්සා දමමින්ය. එබැවින් මහා පරිමාණ ව්‍යාපෘති සිදුකිරීමේ දී ජනතාවගේ ආයතන ලෙස කටයුතු කරන රාජ්‍ය ආයතන දැඩිලෙස සැලකිලිමත් විය යුතුය.
මෙය මධ්‍යම රජයේ ආයතනයක් වේවා පළාත් සභා හෝ පළාත් පාලන ආයතන වේවා මේ සියල්ලටම පොදු කාරණයක් ය. මේ අතර මෙරට පළාත් පාලන ආයතනයක් විසින් සිදුකරන විශාලතම ව්‍යපෘතිය ලෙස දැනට හදුනාගෙන ඇති බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම කුලියාපිටිය නගර සභාව මගින් සිදුකරමින් පවතින අතර සැලසුම් කළ පරිදි එය මෙතෙක් අවසන් කරගැනීමට නොහැකි වීමේ අර්බුදයකට එම නගර සභාව පත්ව සිටියි.


  කුලියාපිටිය සිටි සෙන්ටර් (KULIYAPITIYA CITY CENTER)


 සුවපත් ජීවිතයක් - අලංකාර නගරයක් තේමාව  මුල්කරගනිමින් කුලියාපිටිය නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන විශාලතම ව්‍යාපෘතිය ලෙස රුපියල් මිලියන 1089 ක වියදමින් මෙම  පොදු වෙළඳපල හා බහුකාර්ය ගොඩනැගිල්ල ව්‍යාපෘතිය ඉදිකිරීම් 2020 වර්ෂයේ ආරම්භ කර ඇත.

කුලියාපිටිය නගර මධ්‍යයේ ඉදිකෙරෙමින් පවතින මෙම ගොඩනැගිල්ල මේ වසරේ (2022) අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීමට නියමිතව තිබුණ ද මේ වනතෙක් එහි ඉදිකිරීම් අවසන් කර ගැනීමට ඉදිකිරීම් කරන සමාගමට නොහැකි වී තිබේ. මේවනවිට සිදුකර ඇත්තේ එම ව්‍යෘපෘතියෙන් 75% ක පමණ ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනයක් විසින් තම අරමුදල් යොදවා සිදුකරන විශාලතම ව්‍යාපෘතිය ලෙස මෙම ව්‍යාපෘතිය සුවිශේෂී වේ. මේ සඳහා මධ්‍යම රජයේ අරමුදල් ලබාදී නොමැති අතර කුලියාපිටිය නගර සභාවේ අරමුදල් සහ දේශීය ණය සංවර්ධන අරමුදල මගින් ලබාගෙන ඇති ණය පහසුකමක් මත ව්‍යාපෘතිය ආරම්භකර ඇත.

ඉදිකෙරෙමින් පවතින කුලියාපිටිය සිටි සෙන්ටර් ගොඩනැගිල්ල  භුගත මහල ද සහිතව මහල් හතකින් සමන්විත ගොඩනැගිල්ලකි.  භුගත වාහන අංගනයක් සහ බිම් මහල තුළ කඩ කාමර 51  ක්  ද පළමු මහලෙහි කඩ කාමර 17 ක් ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.  දෙවන මහලෙහි සිනමා ශාලා 02 ක්  කායවර්ධන මධ්‍යස්ථානයක්  රූපලාවණ්‍යාගාරයක්  ක්‍රීඩා කලාපයක් ආහාරපාන අලෙවිසැල් 08 ක් ළමා ක්‍රීඩාංගනයක් ඉදිකෙරේ.  තුන්වැනි මහලේ උත්සව ශාලා 02 ක් හා ආපහන ශාලාවක් සහිත විවෘත ඉහළ මහලකින් සමත්විත වන ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම   සුපිරි වෙළඳපල පරිශ්‍රයක ලෙස ඉදිකිරීම්ට  නවීන සෝපාන සහ විදුලි පාපුවරු ආදිය යොදා ගැනීමටද හරිත සංකල්පයට අනුගමනය කරමන් මෙහි අපජල පිරිපහදු ඒකකයක් මෙන්ම ලීටර 10 000 ක ධාරිතාවයකින් යුතු වැසි ජල රඳවනයක් ඉදිකිරිමටද සැලසුම්කර තිබේ. එමෙන්ම විදුලිය ලබාගැනීම සඳහා සුර්ය පැනල සහ LED විදුලි පහන් භාවිතා කිරීමටද සැලසුම් කර තිබේ.


 

අර්බුදකාරී තත්වය

 නගර සභාවේ අරමුදල් සහ ලබාගත් ණය පහසුකම් මත මෙම ගොඩනැගිල්ල  ඉදිකිරීමට නගර සභාව යොමුව ඇති අතර නියමිත කාලයට එය අවසන් කර ගැනීමට නොහැකිවීම තුළ නගර සභාවේ කටයුතු සඳහා අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතාවයකට මේවනවිට නගර සභාව මුහුණ දී ඇත. නියමිත කාලය අවසන් කිරීමෙන් පසුව එම ගොඩනැගිල්ලෙන් ලැබෙන ආදායම යොදාවා ගනිමින් නගර සභාවේ කටයුතු සිදුකිරමට සැලසුම් කර තිබුණද  සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය අවසන් කරගැනීමට නොහැකිවීම තුළ යම් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පිළිගන්නා බව නගර සභාවේ ලේකම් එච් එම් පී කේ හේරත් මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම ඉදිකිරීම ආරම්භ කළ අවස්ථාවේ කොවිඩ් වසංගතයට මුහුණ දීම හේතුවෙන් රට වසාතැබීමේදී දුෂ්කරතාවයන්ට ලක්වීම නිසාද රටේ පැවති අර්බුද තත්වයන් නිසා මෙන්ම ඉදිකිරීම් ද්‍රව්‍ය අසීමිතව මිල ඉහළ යාම හේතුවෙන් කටයුතු කරගෙන යාම දුෂ්කර වු බව ඉදිකිරීම් කරන සමාගම  වරින්වර දැන්වු බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් මේ හේතුවෙන් නගර සභාව රුස්වී ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අවසන් කිරීමේ කාලය අවස්ථා දෙකකදී දීර්ඝ කිරීමට කටයුතු කර ඇති අතර එම දීර්ඝ කිරීමේ කාලයද මෙම ඔක්තෝම්බර් මාසයෙන් අවසන් වී ඇත.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වලින් මේවනවිට 75% ක ප්‍රමාණයක් අවසන් කර ඇති අතර එසේ උවද ව්‍යාපෘතිය සම්පුර්ණයෙන් අවසන්කර ලබාදෙන දිනයක් ඉදිකිරීම් සමාගම මෙතෙක් සභාවට දැනුම්දී නොමැත. ඒ අතරම දේශීය ණය සහ සංවර්ධන අරමුදලින් සභාව ලබාගෙන ඇති ණය මුදල ද මෙවනවිට අවසන් වී ඇති අතර සභාවේ ස්ථීර තැන්පත් මුදල් ද මේ සඳහා යොදවා තිබේ. මේ හේතුවෙන් සභාව මේවනවිට මුල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත.

                      



විගණන විමසුමක්

 කුලියාපිටිය නව පොදු වෙළඳපල හා බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් විගණන විමසුමක්ද සිදුව ඇති අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නගර සභාව විසින් ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොමැති අතර ව්‍යාපෘති වාර්තාව පමණක් පිළියෙල කර ඇති බව එහිදී හදුනාගෙන තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ ඉංජිනේරු ඇස්තමේන්තු මිල රුපියල් මිලියන 996 ක් ලෙස සඳහන් ව තිබුණද කොන්ත්‍රාත් අත්සන් කිරීමේ ගිවිසුමේ එහි මිල රුපියල් මිලියන 1089 ලෙස සඳහන් වීමද විගණනයේදී අවධානට ලක්ව තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මිල විචලනයන මෙන්ම ගෙවීම් සිදුකිරීමේ කාර්ය පටිපාටිය අනුගමනය කර නොතිබු අවස්ථා කිහිපයක්ම විගණනය මඟින් හදුනාගෙන ඇත.



                                             බහුකාර්ය ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වු  දැන්වීමක්

  

බහු කාර්ය ගොඩනැගිල්ල වෙනුවෙන්ම විශේෂ මහා සභාවක්

  මහා පරිමාණ ව්‍යාපෘතියක් හේතුවෙන් සභාව මේවනවිට අර්බුදයකට ලක්ව සිටින බැවින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනම් තීරණ ගැනීමට කුලියාපිටිය නගර සභාව මෙමස 07 දා විශේෂ මහා සභාවක් ලෙස රැස්විය. කොවිඩ් වසංගතය  හේතුවෙන් ඉදිකිරීමේ ගිවිසුම් කාලය දීර්ඝ කිරීම මත මේවනවිට විශාල මුදල් ප්‍රමාණයක් ණයට ගැනීමට සිදුව ඇති බවත් එය නගර සභාවට අවාසි සහගත තත්වයක් බවත් නගර සභාව මෙහිදී හදුනාගත්තේය.

තවදුරටත් අවාසි සිදු නොවීමට නම් මෙම ගොඩනැගිල්ලේ මහල් කිහිපයක් කඩිනමින් විවෘත කර එමගින් ලැබෙන ආදායම් යොදවා ඉතිරි වැඩකටයුතු සිදුකළ යුතු බවටද සභාව මගින් යෝජනා සම්මත විය. ඒ අනුව පොදු වෙළඳපල හා බහුකාර්ය ගොඩනැගිල්ලේ බාහිර සියලු වැඩ උද්‍යාණ අලංකරණ කටයුතු මේ වසරේ දෙසැම්බර් 31 ට පෙර අවසන් කිරීමටත් ගොඩනැගිල්ලේ ඉතිරි සියලු කටයුතු 2023 වර්ෂයේ මාර්තු මාසය වන විට අවසන් කිරීමටත් යෝජනාවක් සභාපතිවරයා ගෙන ආ අතර ඒසඳහා සභාවේ අනුමැතිය හිමිවිය.

 

නව සංශෝධිත ඇස්තමේන්තුවක්

 ද්‍රව්‍ය මිල ඉහළ යාම සහ සේවා ලබාගැනීමේ දුෂ්කරතා ආදිය සලකා ගොඩනැගිල්ලේ ඉදිකිරීම පිළිබඳ නව සංශෝධිත ඇස්තමේන්තුවක් සකස් කිරීමට කටයුතු කර ඇති අතර එමගින් 120% ක පමණ මිල වැඩිවීමක් සිදුවී ඇත. කෙසේ උවද එම ඇස්තමේන්තුව සභාවට ඉදිපත් නොවීමද ගැටලු සහගතය. මිල ගණන් වැඩි වු ද්‍රව්‍ය සහ මිල වැඩිකිරීම් කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳ සභාව දැනුවත් වී නොතිබීමද මේ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුකර ඇත.

එමෙන්ම මෙම ගොඩනැගිල්ල නියමිත කාලසීමාවේදී විවෘත කළේ නම් සැලකිය යුතු ආදායමක් නගර සභාවට ලබාගැනීමට අවස්ථාව තිබු අතර මේවනවිට එම ආදායම් අහිමී වී ඇත. ඉදිරි කටයුතු සැලසුම් කිරීමේදී නගර සභාව මෙවැනි තත්වයන් පිළිබඳ අවධානය යොමුකළ යුතුව ඇත . මන්දයත් මේ සියලු මුදල් මහජනතාවගේ බදු මුදලින් ගෙවීමට සිදුවන බැවිනි.

 

සභාපතිගේ යෝජනාව

 කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුලියාපිටිය නගර සභාවේ සභාපතිවරයා පැවසුයේ මෙම ව්‍යෘපෘතිය කඩිනමින් සාර්ථක කරගැනීමට හැකි උවහොත් නගර සභාව වෙනුවෙන් ජනතාවගෙන් අයකරන වරිපනම් බදු විශාල ප්‍රමාණයකින් අඩුකිරීමට තමා කටයුතු කරන බවයි. සභාපති ලක්ෂ්මන් අදිකාරී මහතා ඒ සම්බන්ධයෙන් පැවසුයේ මෙසේය,

“ සාප්පු සංකීරණය විවෘත කිරීම දින නියමයක් නොමැතිව ඉදිරියට ඇදෙමින් තියෙනවා. නමුත් අපි ලබන වසරේ ජනවාරි වෙද්දි පළමු මහල් දෙක විවෘත කරන්න සැලසුම් කරගෙන තිබෙනවා.  නගර සභාවේ ආදායම වැඩිකරගැනීමට අවශ්‍යව තිබෙනවා . ඒ නිසා අපි එය අනිවාර්යෙන් එය සිදුකරන්න කටයුතු කරනවා. ඒවගේම නගර සභා සාප්පු සංකීරණයේ සියලු කටයුතු විගණනයට යටත් කරන්න අපි සැලසුම් කර තිබෙනවා. කොහොමඋනත් මේ ප්‍රමාදය අපේ ප්‍රමාදයක් නෙවෙයි. කොන්ත්‍රාත් සමාගමේ ප්‍රමාදයක්. ඒ නිසා අපි ඉදිරියේදී මේ ප්‍රමාද ගාස්තු අයකිරගැනීමටත් අදහස් කරගෙන ඉන්නවා. මේ සාප්සු සංකීරණය සාර්ථක වෙන්න තිබුණු ව්‍යාපෘතියක්. එය ක්‍රියාත්මක කිරීම තරමක් පසුවෙලා තිබෙනවා මිස අසාර්ථක වෙලා නැහැ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා සමඟම මගේ තවත් අදහසක් තිබෙනවා. එය ලංකාවේ මෙතෙක් කොහෙවත්ම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ තමයි මේ ව්‍යාපෘතියේ ආදායම ලබාගන්නා විට ජනතාවගේ වරිපනම් බද්ධ විශාල ලෙස අඩු කරන්න මම සැලසුම්කරගෙන ඉන්නවා. ජනතාවට සහනයක් දෙන්න අපි සැලසුම්කරගෙන යනවා යැයි හෙතෙම පැවසීය.

කුලියාපිටිය නගර සභාව මේවනවිට ගෘහස්ත ඒකක වලින් 5% ක වරිපනම්  බදු අයකිරීමක් සිදුකරන අතර ව්‍යාපාරික ඒකක වලින් 7% ක බදු අයකිරීමක් සිදුකරයි. ඒ අනුව වාර්ෂික බදු ආදායම ලෙස රුපියල් 28,742,226 ක මුදලක් නගර සභාව ලබාගන්නා අතර මුල් අදියරේ බදු අඩුකිරීමේදී ගෘහස්ත 3% ක් ව්‍යාපාරික 5% දක්වා බදු අඩුකිරීමට සභාපතිවරයා සැලසුම්කර තිබේ. ජනතාවගේ මානයේ සිට බලනවිට බදු බර අඩුකිරීමට සැලසුම් කිරීම ඉතා විශිෂ්ට ක්‍රියාවකි. මන්ද යත් මේවනවිට  රටේ සම්ස්ත බදු බර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර  එය ජනතාවට දරාගැනීමට නොහැකි මට්ටමට පැමිණ ඇති බැවිනි. එසේ උවද නව ව්‍යාපෘතිය මගින් ලබාගැනීමට අපේක්ෂිත ආදායම සම්බන්ධයෙන් මෙතෙක් නිසිලෙස සැලසුම්කර හෝ ගණනන් බලා නොමැති බවද ඒ සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා කීවේය.

කෙසේවෙතත් මහජන බදු මුදලින් ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යෘපෘති මගින් උපරිම මහජන සුබ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කිරීමට යොමුවීම යුගයේ අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත.

 

 

සටහන  - චාමර සම්පත්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tuesday, October 25, 2022

සුද්දන්ගේ ලොක්කා වූ ඉන්දියානුවා - සහන් තෙන්නකෝන්




මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා සැලකෙන්නේ එරට දේශපාලන විධායකය ලෙසයි.ව්‍යවස්ථානුකූල කිරීටය එරට රාජ්‍ය නායකත්වය, නැතිනම් නාමික විධායකය ලෙස කටයුතු කරයි. මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරය එදා පටන්ම ගෝලීය දේශපාලනය තුළ කීර්තිමත් තනතුරක් ලෙස පිළිගැනීමට ලක්වන අතර බොහෝ බැරෑරුම් අවස්ථාවන්හිදී ලෝකයට නායකත්වය සැපයීමට එම ධූරය දැරූ ඇතැමුන්ට සිදුවිය. එහෙව් තනතුරකට පත්වූ පළමු ආසියාතික සම්භවයක් ඇති පුද්ගලයා බවට පත්වීමට මීට සුළු වේලාවකට පෙර ඉන්දියානු සම්භවයක් සහිත රිෂී සුනාක්ට හැකිවිය.


කොන්සවේටිව් පක්ෂය විසින් 21 සියවසයට දායාද කරනු ලැබූ පස්වන අගමැතිවරයා ලෙසයි ඔහු සැලකෙන්නේ. ඉකුත් පක්ෂ නායකත්ව සටනේ තම ප්‍රතිවාදියා වූ හිටපු අගමැති ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අගමැති ධූරයට ඔහු පත්වන්නේ මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභා නායිකාව වූ පෙනී මෝර්ඩන්ට් පරාජයට පත්කරමිනි.


හිටපු අගමැති ලිස් ට්‍රස් විසින් ඉදිරිපත් කරන ලද අන්තර්වාර අයවැය සහ ඇයගේ ඇතැම් අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති විසින් තීව්‍ර කරන ලද උග්‍ර ආර්ථික අර්බුදය සමනය කිරීමත්, දැඩි ලෙස මහජන අප්‍රසාදයට ලක්ව සිටින තම පක්ෂය එළඹෙන මහා මැතිවරණයකදී ජයග්‍රහණය කරා මෙහෙයවීමත් රිෂී හමුවේ ඇති ප්‍රමුඛ අභියෝගයන්ය. රුසියානු-යුක්‍රේන යුද්ධය විසින් වේගවත් කරන ලද බ්‍රිතාන්‍යයේ ආර්ථික කඩාවැටීම, ට්‍රස් පරිපාලනයේ බදු ප්‍රතිපත්තිය සහ අන්තර්වාර අයවැය සමඟින් අවපාතයකට යමින් තිබෙන පවුම ස්ථාවර කරගැනීම ආදිය කාරණා හමුවේ රිෂී වෙත පැවරෙන්නේ මහා බ්‍රිතාන්‍ය සියවසයේ මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදය සහිත දේශයයි. හිටපු චාන්සලර්වරයෙකු ( Chancellor of the Exchequer යනු මහා බ්‍රිතාන්‍යයේ මුදල් ඇමති ධුරයයි ) ලෙස පසුගිය කෝවිඩ් වසංගත සමයේ රට අගුළු දමා තිබූ අසීරු මොහොතක ආර්ථිකය මෙහෙය වීමෙන් ලද අත්දැකීම් ඔහුව යම් පමණකට මෙම අර්බුදයට පිළියම ලෙස දැකීමට බ්‍රිතාන්‍ය වැසියන් පොළඹවා ඇත. කෙසේ වෙතත් සුනාක්ට එම විශ්වාසය උරඟා බැලීමට හැකිවන්නේ ඉදිරි මැතිවරණයකදීය.


තාමත් 42 හැවිරිදි වියේ පසුවන රිෂීගේ පියා යෂ්විර් සුනාක් වෛද්‍යවරයෙක් වන අතර මව ඌෂා ඖෂධවේදිනියකි. බ්‍රිතාන්‍යයේ සුප්‍රක්‍රට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ සමාජීය විද්‍යාවන් සඳහා ලොව ඇති කීර්තිමත්ම විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති සුනාක් විවාහ වන්නේ ඉන්දීය තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස සැලකෙන බිලියනපති නාරායන් මූර්තිගේ දියණිය අක්ෂතා මූර්ති සමඟයි. වරක් මාධ්‍ය වාර්තා කලේ අක්ෂතා මූර්තිගේ මුළු වත්කම දෙවන එලිසබෙත් රැජිනගේ වත්කම් අභිබවා යන බවයි.එමෙන්ම රිෂී සුනාක් අග්‍රාමාත්‍ය පදවියට පත්වීම ලොව පුරා විසීරී සිටින ඉන්දියානු ඩයස්පෝරාව ඉමහත් අමන්දානන්දයට පත්කර ඇත. ලොව බලවත්ම රාජ්‍යයයේ උප ජනාධිපතිනිය, සුද්දන්ගේ රටේ අගමැති හරහා ඉන්දියානුවන් විසින් ගෝලීය දේශපාලනයට ඉමහත් බලපෑමක් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.


කෙසේ වෙතත් රිෂී සුනාක්ට ගමන් කිරීමට ඇත්තේ සුවපහසු මාවතක් නොවේ. ඇතැම් විට එය ඔහු සිතනවාටත් වඩා බියකරු එකකි.2023 අග භාගය වන විට බ්‍රිතාන්‍යය මුහුණ දෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව එරට මුහුණ දෙන දැවැන්තම හදිසි තත්ත්වයට බව ආර්ථික විශේෂඥයන් ඉඟි පළකරයි. ලිස් ට්‍රස්ට මෙන්ම සුනාක්ට ද කාලයේ රුදුරු අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවන බවට දැනටමත් පෙනී යයි. එසේම 90 දශකයේ අග භාගයෙන් පසුව කම්කරු පක්ෂය විසින් දැවැන්ත උද්යෝගයක් පෙන්නුම් කරන අතර විපක්ෂ නායක සර් කෙයර් ස්ටාමර් සමඟ ඔවුන් නැවත පුනර්ජීවය ලාභ තිබෙන බව දැකිය හැකිය. කෙසේ වෙතත් මැතිවරණයක්‌ නොකැඳවා බොහෝ දුර යාමට නව අගමැතිවරයාට හැකියාවක් පවතින්නේ නැත. ඉදිරි මැතිවරණයකදී කොන්සවේටිව් පක්ෂයේ ජයග්‍රහණය තරමක් අවිනිශ්චිත බවක් ගන්නා බවද පෙනීයයි.


නව ලිබරල්වාදියෙක් ලෙස තමාව හඳුන්වාගන්නා රිෂී සුනාක් පසුගිය නායකත්ව තරගය අතරතුර පැවසුවේ තමා තැචර්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මකට කොන්සවේටිව් පක්ෂයේ සිටින එකම සුදුස්සා බවයි. කෙසේ වෙතත් සුනාක් හමුවේ ද ඇත්තේ එදා මාග්‍රට් තැචර් හමුවේ තිබූ අභියෝගයයි. ඒ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි. එකී අභියෝගය ජයගනිමින් තැචරියානු පන්නයේ නායකයෙක් වනවාද නැතිනම් ඇන්තනි ඊඩ්න්, නෙවිල් චැම්බර්ලේන් වැන්නවුන් සමඟින් එකට අසුන් ගන්නවාද යනවාද තීරණය වන්නේ සුනාක්ගේ ඉදිරි කාලය තුළ ඔහු විසින් ගන්නා තීරණ අනුවය.


#sahantwrites 

24.10.2022

Sunday, October 23, 2022

පක්ෂය වැනසුවා ඇති දැන් යන්න

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් විනාශ නොකර පක්ෂයෙන් ඉවත්වන ලෙස පක්ෂයේ විදායක සභිකයෙකු මෙන් ම පැරණි පාක්ෂිකයෙකුද් වන මොන්ටෙගු සරච්චන්ද්‍ර පක් සභ්ාපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ. 

පිටු හතරක ලිපියක් මගින් ඔහු පක්ෂය විනාශ කළ අන්දම විස්තර කරමින් සරච්චන්ද්‍ර මහතා අවසානයේ " පක්ෂය වැනසුවා ඇති දැන් යන්න ය" යනව්න් ෙතදබල ලෙස සභාපතිවරයාගෙන් ඉලා සිටී.  ඒ මහතා මේ වන විට සිරිසේන සභාපතිවරයාට එරෙහිව නඩුවක්ද් ගොනු කර තිබේ. 

එම සම්පූර්ණ ලිපිය මෙසේ ය. 


මොන්ටෙගු සරච්චන්ද්‍ර

774/ඩී, සිල්වා මාවත,
තලංගම උතුර,
මාලබේ
2022.10.12

ශ්‍රීලනිප සභාපති, 
විශ්‍රාමික ජනාධිපති,
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,
ශ්‍රිලනිප මූලස්ථානය,
301, ටී.බී. ජයා මාවත, 
කොළඹ 10.

මහත්මයාණෙනි,

පක්‍ෂය වැනසුවා හොඳටම ඇති, දැන් යන්න.

(01) 2019 ජනාධිපතිවරණය ආසන්නයේ සිටම පක්‍ෂයට සහ පාක්‍ෂිකයාට වැදගත් විවිධ කරුණු පිළිබඳව ඔබටත්, පක්‍ෂයේ ලේකම්වරයාටත් ලිපි මඟින් දැනුම් දුන්නද, අඩුම තරමින් එකී ලිපි “ලද බව දැන්වීමට” හෝ ඔබවත්, පක්‍ෂයේ ලේකම්වරයාවත් කටයුතු නොකිරීම පිළිබඳව මගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය ඔබ වෙත පළ කරමි. එහෙයින්ම විවෘත සංදේශයක් ලෙස මෙහි පිටපත් පක්‍ෂයේ ක්‍රියාධරයන් වෙත යවන බව ද කරුණිකව දන්වමි.
(02) ඉතා දිගු කලක් ඔබ පිළිබඳවත්, අපේ ආදරණීය පක්‍ෂය පිළිබඳවත් බොහෝ අත්දැකීම් ඇති අයෙකු ලෙස අමුතුවෙන් අටුවා ටීකා ලිවීමට මම කාලය නොගනිමි. කෙසේ වෙතත්, 2015 දී ඔබ රටේ ජනාධිපතිවරයාත්, පක්‍ෂයේ සභාපතිවරයාත් ලෙස පත්වීමෙන් රටටත්, පක්‍ෂයටත් යහපත් කාලයක් උදාවනු ඇති බව මම විශ්වාස කළෙමි.
(03) ලෝක ඉතිහාසයේ පළමු වතාවට කිසියම් රටක් පාලනය කරන ලද ප්‍රධාන පක්‍ෂ දෙකම එකතු වී 2015 දී පිහිටුවන ලද ශක්තිමත් ආණ්ඩුවක නායකයා මෙන්ම, එදා මෙදා තුර වැඩිම කාලයක් අපේ රට පාලනය කළ අපේ ආදරණීය පක්‍ෂයේද, නායකයා වූ ඔබ අප පාක්‍ෂිකයින් පමණක් නොව රටේ සමස්ත ජනතාවම බලාපොරොත්තු වූ පරිදි ජනතාවට වැදගත් ක්‍ෂේත්‍ර පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සම්මත කරවමින් ශ්‍රී ලංකා කාරයෙකු ලෙස අපේ පක්‍ෂයේත්, රටේත් අභිමානය ලොව පුරා පතුරවනු ඇති බව මම විශ්වාස කළෙමි.
(04) රාජ්‍ය නායකයා ලෙසත්, අප පක්‍ෂයේ නායකයා ලෙසත් ඔබ විසින් ගනු ලැබූ ප්‍රදර්ශනාත්මක මෝඩ තීරණ පිළිබදව පක්‍ෂයේත්, රටේත් බොහෝ දෙනා අප්‍රසාදය පළ කරන විට, යම් අඩුපාඩු තිබුණද ඔබ අපේ රටට නොබෙල් සාම ත්‍යාගයද ගෙනෙන්නට හැකි අයෙකු බව පෙන්වමින් ඔවුන් සමග තර්ක කළෙමි. ඊට එරෙහිව පෙනී සිටියෙමි.
(05) 2015 ජනවාරි 09 දින ජනාධිපති පදවියේ දිවුරුම් දී ජාතිය ඇමතූ පළමු අවස්ථාවේම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවටත්, එතෙක් එහි බලතල කප්පාදු කර දමා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවටත්, පදවියෙන් විශ්‍රාම ගිය පසු නිල නිවාස හා අනෙකුත් වරප්‍රසාද සියල්ල අතහැර දමා පොළොන්නරුවට ගොස් විවේකීව ජීවත්වන බවටත්, ඔබ කළ ප්‍රකාශය ගැන මම ආඩම්බර වුයෙමි. ඒ එම ප්‍රකාශය සැබෑ ශ්‍රී ලංකා කාරයෙකුගේ ප්‍රකාශයක් බව සිහිපත් කරමිනි.
(06) එහෙත් මේ සියල්ල හීන බවට පමණක් පත් කරමින් ඔබ එම තනතුරුවල කටයුතු කළ ආකාරය නින්දනීයය. උභතෝකෝටිකය. ජුගුප්සාජනකය. පක්‍ෂයත්, රටත් ගොඩනගනු වෙනුවට ඒවා වැනසීමට ඔබ සැදී පැහැදී සිටියේය. රටේ නායකත්වය හෝ පක්‍ෂයේ නායකත්වය ඔබට බොහෝ බර වැඩි බව ගතවූ වසර කිහිපය තුළ ඔබ ප්‍රායෝගිකව පෙන්වා හමාරය. කවුරුන් කෙසේ කීවද ඔබ ලස්සන සුරංගනා කතන්දර කරුවෙකු පමණක් බව රටටත්, ජනතාවටත් ඔප්පු කර අවසානය.
(07) 2015 ජනවාරි වන විට හොරෙකු, දුෂකයෙකු, වංචාකාරයෙකු ලෙස හංවඩු ගසමින් ජනාධිපතිවරණයේදී පරාජය කළ මහින්ද රාජපක්‍ෂ මහතාට ඉන් මාස 06 ක් ගතවන්නටත් පෙර පැවති මහා මැතිවරණය සඳහා හොර රහසේම පක්‍ෂයේ නාම යෝජනා ලබාදුන්නේ ඔබය. රටේ නායකත්වයේත්, පක්‍ෂ නායකත්වයේත් සිටියත්, මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ ඔබේ දෙපා පණ නැති වන බව ඔබ මු`ඵ රටටම පෙන්වූයේය.
(08) ඉන් නොනැවතුණු ඔබ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද මහතා ඇතු`ඵ මන්ත්‍රීවරුන් 50කට වැඩි ප්‍රමාණයකට අපේම රජයට එරෙහිව විපක්‍ෂ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දුන්නේය. පක්‍ෂයේ ගම් මට්ටම නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුනට අද වන විට විවිධ බොරු චෝදනා දමමින් විනය පියවර ගන්නා ඔබ එදා පක්‍ෂයට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ මහින්ද මහතා ඇතු`ඵ කණ්ඩායමෙන් අඩුම තරමින් නිදහසට කරුණු විමසීමක්වත් කරන්නට ඔබට කොන්දක් නොතිබුණි.
(09) පක්‍ෂ ව්‍යවස්ථාවට සහ චන්ද්‍රිකා මැතිනියට පින් සිදුවන්නට 2015 දී නිල බලයෙන් පක්‍ෂයේ සභාපති ලෙස පත්වූ ඔබට එයද දරාගත නොහැකි වගකීමක් බව පෙනුණි. එහෙයින්ම ඉන් වසර තුනක් ගතවීමටත් පෙර පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් ඔබ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට උඩින් ඔබ විසින්ම පත්කර ගන්නා දේශපාලන මණ්ඩලයක් පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය කරමින් වක්‍රව සභාපති බලතල වැඩිකර ගත්තේය.
(10) පක්‍ෂයේ මධ්‍යම කාරක සභා තීන්දු ගැන, පක්‍ෂ විනය හා ප්‍රතිපත්ති ගැන රටට පුරසාරම් කියන ඔබ, මධ්‍යම කාරක සභාව තබා ලේකම්වරයාවත් නොදැන හොර රහසේම මහින්ද මහතා අගමැති පදවියට පත් කරමින් පක්‍ෂ විනය හා ප්‍රතිපත්ති අමු අමුවේ කඩා දැමුවේය. ඉන් නොනැවතී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ පසු ජනාධිපතිවරයෙකුට තබා ග්‍රාමසේවකවරයෙකුටවත් තම තනතුරේ රැදී සිටීමට නීත්‍යානුකූල හෝ සදාචාරත්මක අයිතියක් නැත. එහෙත් ඔබ තවදුරටත් නිර්ලජ්ජිතව තනතුරෙහි රැඳී සිටියේය.
(11) නිදහසින් පසු මෙරට රාජ්‍ය නායකයෙකු යටතේ සිදුවූ දරුණුතම සහ සැලසුම් සහගතම ඛේදවාචකය වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධිකරණමය කටයුතු සිදුවන නිසා මම ඒ ගැන කිසිවක් නොකියමි. එහෙත් ඒ ගැන සෙවීමට ඔබ විසින්ම පත්කළ ජනාධිපති කොමිසමකින් ඊට අදාළව ඔබට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශ කර ඇති බවක්ද දැනගන්නට තිබේ.
(12) 2015 ජනාධිපතිවරණයේදීත්, 2020 මහ මැතිවරණයේදීත් පක්‍ෂයේ සියලු ව්‍යවස්ථාපිත සංවිධානවල තීරණ නොසළකා, ලේකම්වරයා සමඟ එක්ව ඔබ අපේ පක්‍ෂය පොහොට්ටුවට පාවා දුන්නේය. ඔබේ ඒ මෝඩ තකතීරු තීරණවලට අද වන විට වන්දි ගෙවන්නේ අපේ පාක්‍ෂිකයන් පමණක් නොව සමස්ත රට වැසියන්මය.
(13) 2015 දී ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ගේ උත්තරීතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද මහතා ඇතු`ඵ මන්ත්‍රීවරුන් පනස් ගණනක් 2018 පිහිටවූ පොහොට්ටු පක්‍ෂයේ සාමාජිකත්වය ගත් බව ඔවුන් විසින්ම පුන පුනා ප්‍රකාශ කරද්දි පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඔවුන් සියලු දෙනාගේ මන්ත්‍රී පදවි අහිමි කර පක්‍ෂයේ වෙනත් පිරිසක් මන්ත්‍රී පදවිවලට පත්කර ගැනීමට හැකියාවක් තිබුණි. එහෙත් ගරු කතානායකතුමාගේ විමසීමකට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවටත් නොදන්වා ඔබ, මහින්ද මහතා ඇතු`ඵ මන්ත්‍රීවරුන් තවදුරටත් ශ්‍රීලනිපයේ බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වනසා පොහොට්ටු පක්‍ෂය රැක දුන්නේය. අද වන විට පක්‍ෂයේ මන්ත්‍රී ධූරයක් දරන්නේ යාපනයේ රාමනාදන් මන්ත්‍රීවරයා පමණි.
(14) පසුගිය සැප්තැම්බර් 02 දින නීත්‍යානුකූළ නොවන ලෙස නැවත පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් ඔබ පක්ෂයේ මෙතෙක් යම් පමණකට හෝ පැවති ප්‍රජාතන්ත්‍රවාදය ද මරා දැමුවේය. ඒ අනුව පක්ෂයේ විධායක සභාව විසින් පත්කරන ඕනෑම නිලයක සිටින්නෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවක කිසිදු කරුණු විමසීමකින් තොරව එම නිලයෙන් ඉවත් කිරීමට ඔබ බලය ලබාගත්තේය.  මෙලෙස පාක්ෂිකයන්ගේ පරමාධිපත්‍ය බලය, මූලික අයිතිවාසිකම් අහිමි කර ඇති ඔබ ජනතාවගේ මේ අයිතීන් ගැන කතා කිරීමත් රටම රවටන ලොකුම විහි`ඵවක් බව නොකියාම බැරිය.   
(15) ඔබට එන පාක්ෂික විරෝධය මගහරවා ගැනීම සඳහා මේ වනවිට ඔබ බණ්ඩාරනායකවරුන් විකිණීමේ අලුත් සෙල්ලමක්ද පටන්ගෙන ඇති බව පෙනෙයි. 2021 සැප්. 26 දින පැවති බණ්ඩාරනායක ගුණ සැමරුම දෙකට කඩමින් නිල ගුණ සැමරුමෙන් පසුව පක්ෂය වෙනුවෙන් සමාධියට වෙනම පුෂ්පෝපහාරයක් පැවැත්වූ ඔබ 2022 ජනවාරි 08 වන දා ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අබියස පූෂ්පෝපහාරයටද එයම කළේය. මෙවර සැප්තැම්බර් 26 පැවති බණ්ඩාරනායක ගුණ සමරුවට පාක්ෂිකයින් සහභාගිවීම වැළැක්වීමට ඉතිහාසයේ පළමු වරට ඔබ පක්ෂය මගින් කොළඹ ඊඵෂක්‍්‍ය හිදී පුෂ්පෝපහාරයක් පැවැත්වීය. මෙලෙස පක්ෂයේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුවට පාක්ෂිකයන් සහභාගිවීම බෙදීමට කටයුතු කළ ඔබත්, ලේකම්වරයාත් මේ ආත්මයේදීම අතපය කැඩී ඒ පාපයට වන්දි ගෙවනු ඇති බව පාක්ෂිකයන්ගේ මතයයි.
(16) කිවයුතු තවත් බොහෝ දේ තිබුණ ද ලිපිය මීට වඩා දිගු කිරීමට අදහස් නොකරමි. ඔබ හා ලේකම්වරයා එක්ව අපේ ආදරණීය පක්ෂයට සිදුකර ඇති විනාශය හොඳටම ප්‍රමාණවත්ය. මෙලෙස වුවහොත් පාක්ෂිකයින් දහස් ගණනක්  පක්ෂ මූලස්ථානය වටලා ඔබත්, ලේකම්වරයාත් නිරුවත් කර මූලස්ථානයෙන් එළියට ඇද දමන දිනය වැඩි ඈතක නැති බව සිතමි. එහෙයින් පක්ෂයට ආදරය කරන සමස්ත පාක්ෂිකයින් වෙනුවෙන් අවසාන වශයෙන් මම ඔබෙන් මෙලෙස ඉල්ලමි.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනසුවා හොඳටම ඇති, දැන් යන්න”  

සිරිසේනගේ තවත් ගැහිල්ලක් මාට්ටු



https://srilankaequity.forumotion.com/t54786-world-bank-confirms-bribery-involving-maithri-australian-co-that-gave-it-blacklisted



 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවරක් උල්ලංඝනය කිරීම, පාස්කු ප්‍රහාරය, මරණ දණ්ඩනයට නියම වූවෙකු නිදහස් කර කෝටි ගණනක අල්ලසක් ලබා ගැනීම ආදී බරපතල වැරදි කිහිපයකට චූදිතයෙකු ව සිටින මෛත්‍රීපාල සිරිසේනගේ මහා වංචාවක් මේ වන විට නැවත කරළියට පැමිණ තිබේ.

මෛත්‍රීපාල සිරිසේන වාරිමාර්ග ඇමති ධුරය දරන සමයේ ඔස්ටේ්‍රලියානු ීඵෑක්‍ සමාගමෙන් අල්ලස් ගත් බවට වන චෝදනාවයි. මෙම චෝදනාව 2016 වසරේදී ලෝක බැංකුව ද පිළිගෙන තිබේ. ඒ පිළිබඳ ඔස්ටේ්‍රලියානු මාධ්‍ය විසින් 2017 දී හෙළි කළ අවස්ථාවේ එවකට ජනපතිව සිටි සිරිසේනගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ “ මම දන්නේ නැහැ. මම මේ ගැන විමර්ශනයක් කරනවා” යනුවෙනි. එහෙත් 2019 ඔහු විශ්‍රාම යන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු වුණේ නැත. ඔහුගේ නම ලෝක බැංකුව ීඵෑක්‍ ආයතනය අසාදු ලේඛනගත කළේ ය.
කතාව සැකවින් මෙසේ ය. 2009 දී ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ 
වාරි ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 1.82 මූල්‍ය ආධාරයක් නිකුත් කළේය. එම ව්‍යාපෘතිය පැවරුණේ ීඵෑක්‍ සමාගමට ය. ඒ මොහොතේ විෂය භාර ඇමතිව සිටි මෛත්‍රීපාල සිරිසේන එම සමාගමෙන් අල්ලස් මුදලක් ලබාගෙන ඇත.
ඔස්ටේ්‍රලියාව ලංකාව වගේ නොවේ, ඔස්ටේ්‍රලියානු නීතියට අනුව එම රටේ සමාගමක් වෙනත් රටක කෙනෙකුට අල්ලසක් ලබා දෙන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව එරට දූෂණ විරෝධී සංවිධාන හා ජනමාධ්‍ය ීඵෑක්‍ සමාගමට එරෙහිව ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කළ අතර, ලෝක බැංකුව ද ඊට සමගාමීව තවත් පරීක්‍ෂණයක් ආරම්භ කළේ ය. මේ දෙකෙන්ම සිරිසේනට අදාළ සමාගම අල්ලසක් ලබා දුන් බව සනාථ වූ අතර එම සමාගම ඔස්ටේ්‍රලියානු නීතිය අනුව අසාදු ලේඛනගත කෙරිණි.
අද වන විට සිරිසේන මෙරට ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ ලැයිස්තුවේ තුන් වෙනියා වන්නේත් ඔහුයි.ඔහුට ඉිදිරියෙන් සිටින්නේ අර්ජුන රණතුංග සහ මහින්ද රාජපක්ෂ පමණි. එම ලැයිස්තුවට අනුව සිරිසේනගේ වත්කම ඇ.ඩො. මිලියන 14කි. කොළනියක උපන් ගොවි පුත් මෛත්‍රී ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යන විට මෙවැනි වත්කමක් හිමි කර ගත්තේ කෙසේ ද යන්න සොයා බැලීම වටී.

සමන් ලියනගේ

Friday, October 21, 2022

ඒඑස්පී සහ එස්එස්පී චූදිතයන් කර සිතාසි නිකුත් කරයි

 



ගාලුමුවදොර සිට අලුත්කඩේ නීතිඥ සංකීර්ණය දෙසට ගිය විරෝධතා පාගමනක් නතර කරමින් අයුතු අවහිරයක් සිදු කළායැයි චූදිතයින් ලෙස නම් කළ සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් සහ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් හට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කිරීමට කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
මහේස්ත්රාත්වරයා එම නියෝගය කළේ තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීය.
මෙම පැමිණිල්ලෙන් චූදිතයන් ලෙස නම් කර ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්රහ⁣යේ 330 සහ ජාතික මංමාවත් පනතේ 59.1 යටතේ ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට සෑහීමකට පත්විය හැකි කරුණු ඇති හෙයින් පිස්කල් හා ලියාපදිංචි තැපෑල මාර්ගයෙන් ⁣සිතාසි බාර දෙන ලෙස මහේස්ත්රාත් නියෝග කළේය.
පැමිණිලිකරු වන තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ ජයන්ත දෙහියත්තගේ මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වීය.
ඔක්තෝබර් මස 9 වැනිදා පොලිසියේ ක්රියාකලාපයට එරෙහිව වෘත්තිකයන් සහ ප්රජාතන්ත්රවාදය අගය කරන පිරිස් විරෝධතාවයක් සූදානම් කර තිබූ බවත්, විරෝධතා පාගමන සහ එම විරෝධතා ගාලුමුවදොරින් 10 වැනි දා සවස 3 ට ආරම්භ වන බවට පැමිණිලිකරු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙර දින රාත්රියේ දී ඊමේල් මගින් සහ වට්ස් ඇප් මගින් දැනුම් දී ඇති බවත්, එම ඊමේල් පණිවිඩය එම අවස්ථාවේදීම පොලිස්පතිවරයාට ද පිටපත් කර ඇති බවත් අධිකරණයේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්රකාශ කළේය.
පැමිණිලිකරු ඇතුළු 50ක 100ක පමණ පිරිසක් සාමකාමීව පැවැත්වූ මෙම පාගමන පොලිසිය මාර්ගය වසා අවහිර කළ බවත්, පාගමන පදික වේදිකාව ඔස්සේ සාමකාමීව ඉදිරියට යද්දි පොලිසිය පදික වේදිකාව සහ මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බවත් කී සාලිය පීරිස් මහතා ඊට අදාල වීඩියෝ දර්ශන ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.
පළමු සහ දෙවැනි චුදිතයන් වන පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම අවහිර කිරීමට එම ස්ථානයේ සිටිමින් සක්රීයව දායක වූ බවත්, මෙම පාගමන සම්බන්ධයෙන් පැය 06කට පෙර දැනුම් දී නැතැයි කියමින් එම අවහිරය කළද පැය 06කට පෙර දැනුම් දුන් බවට පැමිණිලි කරු ප්රකාශ කරද්දී එය ගණන් නොගෙන නිලධාරීන් හැසිරුණු බවත්, ඔවුන් අයුතු අවහිරයක් කළේ සද්භවයෙන් නොවන බව එම ස්ථානයේ ඔවුන්ගේ හැසිරීම බැලූවිට තහවුරු වන බවත් ජනාධිපති නීතිඥවරයා කීවේය.
⁣එදින විරෝධතාවය ගැන පොලිසිය දැනුම්වත් කර තිබියදී සහ විරෝධතාවය නතර කිරීමට පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්රතික්ෂේප කර තිබියදීම මෙම නිලධාරීන් දෙදෙනා මෙම වැරදි ⁣මෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් ද කඩ කර ඇති බවත් සාලිය පීරිස් මහතා සඳහන් කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්රාත්වරයා චූදිතයන් ලෙස නම් කළ නිලධාරීන් දෙදෙනාට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.


Thursday, October 20, 2022

ආයෝජන ගෙන්වා ගැනීම නිතී රැසක් වෙනස් කරයි

 



 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැව්ලොක් සිටි මිරෙකා ටවර් සාප්පු සහ කාර්යාල සංකීරණය ((Mireka Tower) විවෘත කිරීමට ඊයේ(20 දා ) සහභාගී වුණා.

කඩාවැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගවත් වර්ධනයක් කරා යොමු කර  , ආයෝජනයට හිතකර පරිසරයක් රටේ ඇතිකිරීම සම්බන්ධයෙන් රජයේ සැලැස්ම ඔහු එහිදී අනාවරණය කළා . ඒ අනුව,

 

·      ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් නගා සිටුවිමට නම් විදේශ ණය වෙනුවට විදේශීය ආයෝජන පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා පවතින නීති වෙනස් කර  කාර්යක්ෂම නීති පද්ධතියක් හදුන්වා දිය යුතුයි.     

 ·      මහ කොළඹ ආර්ථික කොමිසම වැනි මොඩලයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. 1977 මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටවූ නිසා වසර දහයක් තුළ ආයෝජන කලාප 04 ක් රටතුළ පිහිටවීම හැකියාව ලැබුණා. එයින් පසුව ආයෝජන කලාප රටේ බිහිවුනේ නැහැ.

 ·      ආයෝජනය සම්බන්ධයෙන් සංකීරණ රාජ්‍ය ආයතන ගණනාවක් තිබීම ආයෝජනයේ දී  ගැටලුවක් නිසා ආයෝජන මණ්ඩලය , අපනයන සංවර්ධන මණ්ඩලය , ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව එකට සම්බන්ධ කර එක් ආයතනයක් ලෙස සේවය කිරීමට සලස්වනවා. ආයෝජනයක් ලැබුණු පසු ඒ පිළිබඳ සලකා තීන්දු තීරණ ගැනීමට මෙම ආයතනයට සති දෙකක් හිමිවෙනවා.  මේ නිසා  ආයෝජනකරුවන්ට වසර හතළිහක බදු නිදහස් ලබාදීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

 ·      බිංගිරියේ අක්කර 1000 ක නව ආයෝජන කලාපයක් ඇති කරනවා. ත්‍රිකුණාමලය ට සහ හම්බන්තොට ට එය ව්‍යාප්ත කිරීමට බලාපොරෝතු වෙනවා.

 ·      අධ්‍යාපනය නවීකරණය වගේම ආර්ථිකය , කර්මාන්ත හා කෘෂිකර්මාන්තය නවීකරණය පිළිබඳවත් රජයේ අවධානය යොමුව තිබෙනවා ඒ අනුව 2023 ජනවාරි වන විට මෙම නීති සම්පාදනය කර ක්‍රියාත්මක කරනවා.

 ·      රට ආර්ථික වශයෙන් විශාල ලෙස පහත වැටී තිබෙන නිසා වේගවත් ආර්ථික වර්ධනයක් අවශ්‍යයි. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ සිදුකර රටේ සහ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ දමාගත යුතුයි.



Monday, October 17, 2022

කාන්තා හිංසනය නැති කිරීමට නම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍රවාදී යාන්ත්‍රණයක් අවශ්‍යයි - CBK

 


 


 

 

කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට නම් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ මානව නිදහස මනා ලෙස ක්‍රියාත්මක වීම අතිශ්‍ය වැදගත් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති “නිදහස උදෙසා කාන්තාවෝ” සංවිධානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේබව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ,

“අපේ කාන්තාවන්ගෙන් 25% ක් පමණ ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක්වෙනවා. ඒහා සමානවම දරුවනුත් ඒ විදිහටම ලිංගික අපයෝජනයට ලක්වෙනවා.  රාජ්‍ය යාන්ත්‍රණය මේ සම්බන්ධයෙන් බොහෝ ප්‍රදේශවල නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා ඉන්නවා.  මෙවැනි සිද්ධියක් සිදුවුනාම ක්‍රියාතමක වීම බොහොම වැදගත්. නමුත් එවැනි සිදුවීම් සිදුවෙන එක වළක්වාගන්නයි අපි කටයුතු කළ යුතු වෙන්නේ.  ඒ වගේම මෙහි තිබෙන මූලික හේතුව අපි හදුනාගන්න අවශ්‍යයි. ඒක අපේ සමාජයේ පතුලටම කිදා බැස තිබෙන ප්‍රශ්නයක්. අධ්‍යාපනය උසස් අධ්‍යාපනයේදී ඒ සම්බන්ධයෙන් කෙරෙන ඉගැන්වීම් මේ ප්‍රශ්නය විසඳන්න ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම සමාජීය සහ දේශපාලන ප්‍රචන්ඩත්වය පිළිබඳව අවධානය යොමුකරලා මේ ප්‍රශ්නයට විසඳුම් සොයාන්න වෙනවා.

මේකට තිබෙන සරලම උත්තරය තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ මානව නිදහස. ඒ වගේම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍රවාදී යාන්ත්‍රණයක් ඒ සඳහා අවශයයි. ඒකට තවත් අරගල කිහිපයක් කරන්න අවශ්‍ය වෙනවා. මෙහෙම කිව්වාම මාව අත්අඩංගුවට ගන්නේ නැතිවෙයි කියලා මම හිතනවා.” යැයි පැවසුවාය.

“නිදහස උදෙසා කාන්තාවෝ” (Women For Freedom)   සංවිධානය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් වන අතර  කාන්තාවන්ට සිදුවන ප්‍රචන්ඩත්වය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන, නීතිය සහ සමාජීය කාරණා සම්බන්ධයෙන් කාන්තාවන් සවිබල ගැන්වීමද එම සංවිධානය මගින් සිදුකරයි. දැනට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරන සිවිල් සංවිධාන සමඟ එකතුව ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකිරීම බලාපොරොත්තු වන බව  “නිදහස උදෙසා කාන්තාවෝ” (Women For Freedom)   සංවිධානය මෙහිදී සඳහන් කළේය.