Saturday, November 5, 2022

මහින්දගේ වශී බෝලයේ බල බිඳිලාද?




අළු මතින් නැගිටින්න කරමතින් ආපු මහින්ද වැඩේ අතෑරලා කියලා ආරංචියි.ඇත්තටම නාමල් වටේට ඉන්න දේශපාලන බබාලට ඒක නොතේරුණාට මහින්දට ඒක හොඳ තේරෙනවා ඇති.ඕකෙන් වෙන්නේ මහින්ද තව තවත් අබලන් වෙන එක විතරයි කියලා මහින්දට හිතෙනවා ඇති. ඉස්සර මහින්දට තිබුණ ජනතා ආකර්ෂණය දැන් නෑ.ඒ ජනතා ආකර්ෂණය හදන්න මහින්ද අතේ තියන වශී බෝලෙත් දැන් බල බිඳිලා වගෙයි.ඒක අතින් පිරි මැදමැද ඉන්න කියලාලුනේ තිබුනේ.දැන් ඉතින් මහින්දට වයස නිසා හරියට පිරිමැදෙන්නේ නැද්ද දන්නේ නෑ.නැත්තං කවුරු හරි වශී බෝලයේ බල බිඳෙන්න හූනියම් කරලද දන්නෙත් නෑ. 


රාජපක්ෂලා මේ සම්ම කපේදී නං ආය මේ රටේ දී නැගිට්ටවන්න බෑ. උත්සාහ කරලා වැඩකුත් නෑ.ඊට වඩා ලේසියෙන් සීවාසිලන්තයේදී හරි උගන්ඩාවේදී හරි නැගිට්ටවගන්න ලේසි වෙයි.පහුගිය දවස්වල රාජපක්ෂලාගේ ගෝලයෝ කියපු ජනප්‍රිය කතාවත් තමයි මේ අයවැයෙන් පස්සේ මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදනවා කියලා.ඒක සාර්ථක කරගන්නයි, නාමල් පොහොට්ටුවේ නායකයා විදිහට තහවුරු කරගන්නයි තමයි මහින්ද කරමතින් ගෙනිහින් අළු මතින් නැගිටින Program එක හැදුවේ.ඔන්න වැඩේ ලත් තැනම ලොප්.ඔයාලට මතක ඇති රටේ රාළ කිව්වා මහින්ද වැරදි වෙලාවේ පාට බැස්සේ කියලා.ඒක හරියටම හරි. ඒකෙන් රාජපක්ෂලාට ආයෙත් සමාජයේ විරෝධය වගේම පොහොට්ටුව ඇතුළේ කැකෑරෙමින් තිබුණ විරෝධයතුත් උඩට ආවා. දැන් රාජපක්ෂලාගේ උද්දච්ච කතා නිකං හීන් කෙදිරිලි බවට පත්වෙලා. නාමල් නං තවම මෝඩ කතා කියනවා.ඒ ඉතින් නොමේරූකමට වෙන්න ඕනි.දැන් ඔන්න පොහොට්ටුවෙන් තවත් යෝජනාවක් ඇවිත්. යෝජනාවකටත් වඩා ඒක Plant කරපු News එකක්.මහින්ද දේශපාලනයෙන් සමු ගන්නවාලු. 


ඒක නිසා මහින්දට ගෞරවාන්විත සමුගැනීමකට ඉඩදෙන්න ඕනිලු. ඒකට ටික දවසකට මහින්දට අගමැතිකම දෙන්න ඕනිලු. එතකොට මහින්දට හිත හොඳින් සමුගන්න පුළුවන්ලු.දැන් ඒ ගැන සාකච්ඡාවක් පොහොට්ටුව ඇතුලේ යනවාලු.පොහොට්ටුව ඇතුලේ කිව්වට රාජපක්ෂලාට තවදුරටත් දේශපාලන බැලමෙහෙවර කරන දේශපාලන භිගන්නෝ ටික අතර වෙන්න ඕනි.රටේ රාළ නං කියන්නේ මහින්දට හිත සතුටින් සමුගන්න ඕනි නං හවසට හවසට හාමුදුරුනමක් වැඩමවලා පිරිත් ටිකක් කියවන්න කියලයි.එහෙමත් නැත්තං රුවන් වැලි සෑයට හරි, දළදා මාලිගාවට හරි,ජයසිරි මහ බෝධියට හරි මල් ටිකක් පූජ කරවන්න.ඒක තමයි මහින්දට සමුදෙන්න තියන හොඳම විදිහ.හරි දැන් මහින්දව සතුටින් තියන්න කාටද ඕනි?මේ රටේ ජනතාවට මහින්ද සතුටින් තියන්න ඕනිද?තමන්ගේ අනාගතය අඳුරු කරපු මහින්දව සතුටින් තියන්න ජනතාවට ඕනිද?තමන්ගේ දරුවන්ගේ අනාගතය විනාශ කරපු මහින්දව සතුටින් තියන්න ජනතාවට ඕනිද?මේ රට බංකොලොත් කරපු මහින්ද සතුටින් තියන්න ජනතාවට ඕනිද? 


රටේ මහජන දේපල මංකොල්ල කාපු,හොරකම,තක්කඩිකම ඉහවහා ගිය මහින්දව සතුටින් තියන්න ජනතාවට ඕනිද?සුනාමි අරමුණ මංකොල්ල කාපු මහින්දව සතුටින් තියන්න මේ රටේ ජනතාවට ඕනිද?සමහරවිට ජනතාව අතර ඉන්න පිස්සෝ කීපදෙනෙකුට එහෙම උවමනවක් ඇති.හැබැයි මේ රටේ සාතිෂය බහුතර ජනතාවට එහෙම ලෙඩක් නෑ.එහෙම උවමනාවක් ශිරන්තිට ඇති.එහෙම උවමනාවක් නාමල්ට ඇති.යෝෂිතට,රෝහිතට ඇති. බැසිල්ට,ගෝඨාභය,චමල්ට ඇති.ඊට අමතරව රාජපක්ෂලාගේ දේශපාලන වහල්ලුන්ට ඇති. එයාලට එහෙම උවමනාවක් ඇතිවීම හරිම ස්වභාවිකයි වගේම හරිම සාධාරණයි.මොකද රටේ මහජන දේපල කොල්ල කකා මහින්ද ගොඩගැවිවේ පවුලේ අයටනේ.වහල්ලුන්ටත් ඒකෙන් කටුවක් දෙකක් වීසිකලානේ. ඇත්තටම මේ රටේ ජනතාවට නං ඕනි මහින්ද සතුටින් තියන්න නෙවෙයි කොහොම හරි මහින්ද ජීවතුන් අතර තියාගන්නයි ඕනි.ඒ මේ කරපු අපරාධවලට, හොරකම්වලට මහින්ද ඇතුළු සියලු දෙනා ඉක්මනින් නීතිය හමුවට ගෙනත් රටට සහ ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරගන්න.එතකන් මහින්ද සතුටින් හිටියත් එකයි නැතත් එකයි. කොහොම හරි ඉන්න තමයි ඕනි. 


මේ රටේ ජනතාවට මහින්ද සතුටින් තියන්නවත්,මහින්දගේ සතුට වෙනුවෙන් මහින්ද අගමැති කරන්නවත් ඕනි නෑ.හැබැයි මෙතනදී රාජපක්ෂලාට එකක් කියන්න ඕනි.ආයෙත් මහින්ද අගමැති උනොත් ඒ මොහොතේම මේ රටේ තවත් ජනතා නැගිටීමක් ඇති වෙනවා.ජූලි 09 වෙනිදාට වඩා එහා ගිය ජනතා නැගිටීමක් ඇති වෙනවා.තවමත් මහින්දව ගෙනත් කොතනක හරි හිටවලා තිබ්බම ජනතා ආකර්ෂණය ගන්න පුළුවන් කියන සිතුවිල්ලත් දැන් පිස්සුවක්. නාමල්ට තාත්තා පෙන්නලා ගොඩයන්න තිබුණ කාලේ දැන් ඉවරයි.ඊට වැඩිය හොඳයි මැදමුලන ඉස්සරහා ලේන්සුවක් බිම එලාගෙන ඉදගෙන හිටියා නම්.මේ සියල්ලෙන්ම අපට තේරුම් ගන්න තියෙන්නේ එකම එක දෙයයි.ඒ තමයි පොහොට්ටුවේ ගමන අවසානයි කියලයි.රාජපක්ෂලාගේ උද්දච්ච,වැඩවසම් දේශපාලනය ඉවරයි.පහුගිය දවසක පොහොට්ටුවේ 06 වෙනි සංවත්සරය යෙදිලා තිබුණා.ඒකත් ඒක්ක පොහොට්ටුවේ මළගමත් සටහන් උනා.අපිටත් කියන්න තියෙන්නේ නිවන් සැප ලැබේවා කියලා තමයි.මතු උපදින ආත්මයකදීවත් මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා කියලා රටේ රාළත් ප්‍රාර්ථනා කරනවා. 


ඊළගට අවුරුද්දේ දානය එන බවත් මතක තියාගත්තට කමක් නෑ.දැන් පොහොටුවක් නෑ.තියෙන්නේ.ඒ කෑලි හයක්.ඒ හයටත් නායකයෝ හයක් ඉන්නවා.ඊළගට පොහොට්ටුවේ ඉන්න බැසිල්වාදීන් කීපදෙනා ආයෙත් බැසිල්ව ගේන්න ට්‍රයි කරනවා කියලා ආරංචියි.බැසිල් ගේන්නේ ජනතාව අතරට යන්න නෙවෙයිනේ.මහින්දට ජනතාව අතරට යන්න බැරි නම් බැසිල්ට කොහොමවත් යන්න බෑනේ.කට්ටිය බැසිල් ගේන්න හදන්නේ වෙන මොකකටවත් නෙවෙයි.තවත් තිරය පිටිපස්සේ කුමන්ත්‍රණයකට. බැසිල්ට ඒවා නං පුළුවන් කියලා රටේ රාළත් පිලිගන්නවා.ඒත් දැන් රටේ ඡනතාව දන්නවා ගොනා හැරෙන්නේ පැලේ කන්න කියලා. පහුගිය දවසක ඔයාලත් දකින්න ඇති පෙරළලා දාපු ඩී.ඒ රාජපක්ෂලා පිළිරුව ආයෙත් කෙලින් කලා කියලා ලොකු ප්‍රචාරයක් දුන්නා. කමක් නෑ.තමන්ගේ දෙමව්පියන් අනුස්මරණය කරලා පින්කම් කරන්න,සොහොන් කොත් හදන්න,ප්‍රතිමා හදන්න දරුවන්ට අයිතියක් තියෙනවා.ඒකට රටේ රාළ කවදාවත් අභියෝග කරන්නේ නෑ. හැබැයි ඒවා කරන්න ඕනි තමන්ගේ පෞද්ගලික සල්ලිවලින්.ගෝඨාභය මව්පිය සොහොන් කොත් හැදුවේ කොහොම කියලා රටම දන්නවා. 


ගෝඨාභය ඒකට වියදම් කළේ මහජන මුදල්.ගෝඨාභය ඒක අධිකරණයේදී පිලිගත්තා.මේ පාර වැටිලා තිබුණ එකත් කෙලින් කරන්න වියදම් කළේ ජනතාවගෙන් හොරාකාපු සල්ලිද කියලා අහන්න මේ රටේ ජනතාවට අයිතියක් තියනවා.දැන් නං මොන ප්‍රතිමා කෙලින් කරගෙන ආවත් බෑ.ප්‍රතිමා නෙවෙයි මහින්ද බුදු හාමුදුරුවන්ගෙත් නෑයෙක් කියලනේ ඒ කාලේ කිව්වේ. ගෝඨාභය බුදු වෙන්ඩ පෙරුම්පුරන බෝධිසත්වයෙක් කියලා සමහර උන්නාන්සෙලත් කිව්වනේ.ඒක නිසා රටේ රාළ මහින්දට කියන්නේ දෙයියන්ගේ නාමයෙන් ගෙදර යන්න.ගිහින් යන තැනකට පිනක් දහමක් කරගන්න.තවත් මේ රටට වධ දෙන්න එපා.නිකං හිතන්නකෝ මහින්දට ගෞරවාන්විත සමුදීමක් දෙන්න මහින්ද ආයෙත් අගමැති කලා කියලා.ඒකෙන් මේ රටට වෙන යහපත මොකද්ද?මහින්ද ආයෙත් පරණ සෙල්ලම පටන් ගන්නේ නැද්ද?යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා කතාවක් තියෙනවානේ.මේ යකා නැති කරපු රට මැරියානා අගාධය වගේ ලෝකේ ලොකුම අගාධයට ඇදලා දාලා තමයි යන්නේ. 


මහින්ද දන්නවා එයාලා අතින් පොහොට්ටුවේ බලය ගිලිහුණේ කොතැනින්ද කියලා.ඒ තමයි අගමැතිකම පොහොට්ටුවේ කෙනෙකුටම නොදී දිනේෂ්ට දුන්න එක.දිනේෂ් මොකටද අනේ පොහොට්ටුව ශක්තිමත් කරන්නේ. අනික දිනේෂ්ට එහෙම හැකියාවකුත් නෑ.හැකියාවක් තිබුණත් දිනේෂ් ඒක කරන්නෙත් නෑ.එහෙනම් දිනේෂ් තමන්ගේ පක්ෂය මහජන එක්සත් පෙරමුණ ශක්තිමත් කරන්න එපායෑ.මිනිහා මහජන එක්සත් පෙරමුණ ශක්තිමත් කරන්නෙත් නෑ.දිනේෂ් ශක්තිමත් කරන්නේ යදාමිනීව.ඒ කියන්නේ පුතාව.දැන් මහජන එක්සත් පෙරමුණ යදාමිනි මත යැපෙන පක්ෂයක් කරලා ඉවරයි. රාජපක්ෂලා ශ්‍රිලනිපය කඩලා පවුලට පක්ෂයක් හැදුවා වගේ දිනේෂුත් මහජන එක්සත් පෙරමුණ එයාලට සින්න කර ගත්තා.නැත්තං තාත්තා ඡන්දෙන් ඇවිත් පුතා ජාතික ලයිස්තුවෙන් දායිද ලැජ්ජාවක් තියනවා නම්.ඇත්තටම පුදුම ලැජ්ජා නැති දේශපාලුවෝ තමයි මේ රටේ ඉන්නේ.ඒක වෙනම කතාවක්.ඒත් රාජපක්ෂලා දිනේෂ් අගමැති කිරීමෙන් වැඩේ වරද්ද ගත්තා.හැබැයි ඒ වෙලාවේ රාජපක්ෂලාට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.රටෙන් ආපු විරෝධය ඉස්සරහා රාජපක්ෂ කෙනෙක් අගමැති කරන්න බෑ. 


පොහොට්ටුවේ වෙන කෙනෙක් අගමැති කලොත් මිනිහා පොහොට්ටුවේ නායකයා වෙන එක නවත්තන්න බෑ.ඩලස් ලෑස්ති වුනේ ඒ වැඩේට.හැබැයි ටක් ගාලා රාජපක්ෂලා ඩලස්ගේ දේශපාලනය පොහොට්ටුව ඇතුළේ අවසන් කළා. ඩලස් නැතිව වෙනකෙකුට දුන්නත් ඔයදේ වෙනවා.බලය අතාරින්න කිසිකෙනෙක් අකමැති බව රාජපක්ෂලාට ඉතින් උදාහරණ කියන්න ඕනිද?ඒකට එයාලා තරම් හොඳ උදාහරණ තියනවද?වෙන කාටහරි ඒ අවස්ථාව දීලා නාමල්ගේ අනාගත විනාශ කරගන්න ඕනි නෑ කියලා රාජපක්ෂලා ඒ වෙලාවේ හිතුවා.ඒකත් එක්ක උනේ පොහොට්ටුවේ ආණ්ඩුවක් ඇතුලේ ජනාධිපති රනිල් වෙද්දී දිනේෂ් අගමැති වීමයි.දෙන්නම පොහොට්ටුවේ නෙවෙයි.දිනේෂ් කෙසේ වෙතත් දැන් රනිල් බලය අතහරින්න කැමති නෑ.ඒ වගේම රනිල් රාජපක්ෂලා අතට බලය Hand Over කරන්න කැමතිත් නෑ. රනිල් රාජපක්ෂලා බලාහිටිද්දී පොහොට්ටුවේ බලය ඇල්ලුවා. පොහොට්ටුවේ සහ රාජපක්ෂලාගේ දේශපාලන අවසන් කරන්න ගහන්න ඕනි කොතෙන්ටද කියලා රනිල්ට හරියටම තක්සේරුව කළා. ඒකට ගහන්න ඕනි මහින්දට නෙවෙයි.මහින්දට ගහන එක පාඩුයි. 


ගෝඨාභයට ජනතාව ගහලා එලවලා නිසා ඒ ප්‍රශ්නයත් ඉවරයි. ඇත්තටම රාජපක්ෂලාගේ දේශපාලන වට්ටන්න ගහන්න ඕනි බැසිල්ට.බැසිල් තමයි තක්කඩි රාජපක්ෂවාදයේ මහ මොළකාරයා. බැසිල්ට සාපේක්ෂව නාමල් සූපින් කෑල්ලක් විතරයි.රනිල් හරියටම තෝරලා මහ මොළකරුටම ගැහුවා. වැටෙන්නම ගැහුවා.ඒකත් එක්ක සියලු රාජපක්ෂලා දැන් වැටිලා ඉවරයි.ඔක්කොම අවලංගු කාසිවගේ.පොඩි හරි වටිනාකමක් තිබුන මහින්දත් දැන් කල් ඉකුත් වෙලා.දැන් මහින්දගේ තියෙන්නේ ඇන්ටික් Value එකක් විතරයි. මහින්දගේ බලය දැන් ඉවරයි.ඒ කියන්නේ මහින්දට තිබුණ ජනතා ආකර්ෂණය දැන් නෑ.මහින්දට ජනතා ආකර්ෂණය හැදුවා කියන වශී බෝලයෙත් දැන්  බල බිඳිලා. මහින්ද සහ වශී බෝලය ජනතා සාපය නැමති කිල්ලට අහුවෙලා. 


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා. 


මීට

රටේ රාළට.