Saturday, September 10, 2022

ගෝලීය දේශපාලනයේ කක්ෂය වෙනස් කළ සැප්තැම්බර් 11 - සහන් තෙන්නකෝන්



ඒ 2001 සැප්තැම්බර් 11, අඟහරුවාදා දිනයයි. සුපුරුදු ලෙසම ඇමෙරිකානු ජනතාව උදෑසන තම රාජකාරි සඳහා පිටත්වීමට ලක ලැහැස්ති වෙමින් සිටියහ. දරුවෝ පාසල්වලට යමින් සිටියහ. එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ද බාලාංශ පාසලක දරුවන් සමඟ කාලය ගතකරමින් සිටියේය. මේ ගතකරන්නේ මුළු මහත් ඇමෙරිකාවේම අඳුරුතම දිනය බව ඔවුන් කිසිවෙකුත් නොදැන සිටියහ.


එකල ලොව පැවති එතරම් ජනප්‍රිය නොවුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල්-කයිඩා සංවිධානය විසින් ඇමෙරිකාවට අයත් බෝයිං 757 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ සහ බෝයිං 767 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදාගෙන මුළු මහත් ඇමෙරිකාව වෙතම ඔවුන් එතෙක් අත්දුටු බිහුසුණුම අත්දැකීම ලබා දීමට කටයුතු කරමින් සිටියහ. සියළු සැලසුම් යථාර්තයක්‌ බවට පත්කරමින් ඇමෙරිකාවේ ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඔවුන් ප්‍රහාර දියත් කරන්නට විය.


පළමු ප්‍රහාරය එල්ලවූයේ උදෑසන 8.46 ටය. ඒ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නිවුන් ගොඩනැගිලි අතරින් උතුරු කුළුණ වෙතයි. ඉන් හරියටම මිනිත්තු 17 පසුව දකුණු ගොඩනැගිල්ල ඉලක්ක කර පෙරවරු 9.03ට ප්‍රහාරය එල්ල විය. තෙවන ප්‍රහාරය එල්ල වූයේ "පෙන්ටගනය" ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටහිර කොටසටයි. ඒ පෙරවරු 9.37 පමණය.වාසනාවකට මෙන් සිව්වන ප්‍රහාරය අසාර්ථක වූ අතර එහි ඉල්ලකය වූයේ කැපිටෝල් හිල් ගොඩනැගිල්ල හෝ ධවල මන්දිරය බවට අනුමාන කෙරිණි.


එසේ ඇමෙරිකාව මුහුණ දුන්නේ ඔවුන් මුහුණ දුන් විශාලතම ඛේදවාචකයටයි. ප්‍රහාරය හේතුවෙන් මරණ 2996 වාර්තා වුණු අතර 6000 වැඩි පිරිසක් තුවාල ලැබූහ. ගණනය කළ නොහැකි පාඩුවක් ඇමෙරිකානු ආර්ථිකයට සිදුවිය.ඊටත් වඩා එයින් ගෝලීය දේශපාලන සන්දර්භය තුළ ඇමෙරිකානු ප්‍රතිරූපයට එල්ල වූ විශාල පැල්ලමක් විය.


ප්‍රහාරයෙන් පසුව සුළු වෙලාවකින් ජනාධිපති බුෂ් විසින් ජාතිය අමතන ලදී. ඒ වනවිටත් බුෂ් පරිපාලනයේ දැවැන්තයන් වූ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, ජාතික ආරක්ෂක උපදේශිකා කොන්ඩලීසා රයිස් වැනි අයගේ සැනසීම සහමුලින්ම අවසන් වී තිබුණි. ප්‍රහාරය වෙනුවෙන් පිඹුරුපත් සැකසූ තැනැත්තන් දඩයම් කිරීමට වෙනුවෙන් ඔවුන් සැලසුම් සකස් කළෝය. පසුව එම සැලසුම් ලොවට හෙළිකරමින් ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුධ මෙහෙයුමක් ප්‍රකාශ කිරීමට බුෂ් ජනාධිපතිවරයා ක්‍රියා කළේය. එහි පළමු පියවර ලෙස ත්‍රස්තවාදීන් සොයා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට බුෂ් පරිපාලනය පියවර ගත්තේය.


එක් සංවිධානයක ක්‍රියාවක් එලෙස සමස්ථ ගෝලීය භූ දේශපාලනය වෙනස් කිරීමේ පියවර තැබීය. අවසානයේ ජෝර්ජ් ඩබ්. බුෂ් ගෙදර යන තුරුත් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමට නොහැකි විය. ඇෆ්ගන් යුද්ධයද වසර 20 ඇදී ගියේය.කොහෙවත් සිටි සදාම් හුසේන් පෝරකේට ගියේය.රම්ස්ෆෙල්ඩ්ට පිළිකාවක් වැළඳිය. කොන්ඩලීසා සුපුරුදු පරිදි විශ්ව විද්‍යාලයේ සේවයට එක්වූවාය.බුෂ් වෙනුවට බරක් ඔබාමාත් රයිස් වෙනුවට හිලරි ක්ලින්ටනුත් පුටුවල වාඩිවූහ.කාලය විසින් මේ බොහෝ දේ වෙනස් කළත් ඇමෙරිකාවේ පරම ඉලක්කය නොවෙනස්ව පැවතුනි.


බින් ලාඩන්ගේ ඉරණම විසඳෙන්නට පටන් ගන්නේ එතැන් සිටය.ඔබාමා පරිපාලනය විසින් "Operation Neptune Spear " යනුවෙන් මෙහෙයුමක් අරඹන්නේ මේ වෙනුවෙන්මය. දශකයක් පුරාවට ලොව අසහාය බලවතා විසින් හඹා යමින් සිටි අසාර්ථක දඩයම සාර්ථක වන්නේ 2011 මැයි 02 දායි. ඒ ඇමෙරිකානු හමුදා විසින් පාකිස්තානයේ නිවසක් තුළ ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙනි.එදිනම රාත්‍රියේ ජනාධිපති ඔබාමා විසින් ජාතිය අමතා "යුක්තිය" ඉටුකළ බව ලොවට දැනුම් දුන්නේය.


නමුත් වඩාත්ම සිත්ගන්නා සුළු නිගමනය නම් බින් ලාඩන් විසින් අදින් වසර 21 පෙර සැප්තැම්බර් 11 ප්‍රහාරය නොකරන්නට ඔහු තාමත්, ඇතැම් විට ඇමෙරිකාවේ ආධාර උපකාර සහිතවම ජීවත් වන බවයි. කෙසේ වෙතත් බින් ලාඩන්ගේ සහ ඇමෙරිකාවේ මෙම වියරුව විසින් දශක දෙකක් තිස්සේ මනුෂ්‍ය ජීවිත විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් මරණයේ දොරටු විවෘත කළ අතර එදා සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිට, වසර 20 ක්‌ ඇදී ගිය ඇෆ්ගන් යුද්ධය, ඉරාක ආක්‍රමණය, සිරියානු යුද්ධය හරහා අරාබි වසන්තයක් දක්වා වූ සිද්ධි දාමයන් තුළ අහිමි වූ දහස් සංඛ්‍යාත ජීවිතවලට යුක්තිය කිසිම දින ඉටුකළ නොහැක.


අවසානයේ අපිට ප්‍රාර්ථනා කළ හැක්කේ බලය වෙනුවෙන් පවතින තණ්හාව සහ සදාකාලික තරඟයේ ගොදුරු බවට පත්වූ සියල්ලන්ටම විමුක්තිය උදා වේවා යන්න පමණකි.


#sahantwrites 

11.09.2022


#September11 #GeorgeWBush #OsamaBinLaden #BarakObama #condoleesarice


ගෝත්‍රිකත්වයෙන් මිදෙමු- සහන් තෙන්නකෝන්




එලිසබෙත් රැජින කලුරිය කළායින් පසුව ඒ වෙනුවෙන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකිකයෝද ඇතුළුව ලොව පුරා විසීරී සිටින ජනතාවගෙන් බොහොමයක් අමතක කළේ නැහැ. එසේ ශෝකය ප්‍රකාශ කරන අතරම දසහිස් රාවණා උතුමන්ගේ අසිරිමත් සිරිලක හෙළ දරු කැල ද වර්ෂ ගණනාවක් තිස්සේ තම යටි හිතේ බුර බුරා නැගෙමින් තිබූ දේශවාත්සල්‍යය ද මේ හා මුසු කිරීමට අමතක නොකළහ.


ඇතැමෙක් යක්ඛයන්ගේ දේශය සූරා කෑම නිසා ඇයට බැණ වැදුණි. තවත් එකෙක් ජාතික කොඩිය අඩුකුඹු කොට පාර්ලිමේන්තුවේ නිශ්ශබ්දතාවයක් පැවැත්වීම වෙනුවෙන් බැණ වැදුණි. තව එකෙක් කිව්වේ මේ ගෑනි අපිව බෙදා වෙන් කළා යනුවෙන් ය.මේ සියළු ආකාරයේ හිච්චි රාවණා ආකෘතියේ මුග්ධ රැඩිකල් ක්‍රියාවන් දෙස බලාසිටීම එක් අතකින් හරිම විනෝදජනකය.


සුද්දාට රට දෙන්නේ මේ රටේ සිංහල බෞද්ධයන්ය. " අඥී අපිට දෙමළ රජෙක් යටතේ ඉන්ඩ බෑ, ඌ බේබද්දෙක් " කියා උඩ පන්සල් දෙකත් එක්ක උඩ පැනගෙන ගොස් බන්දේසියේ තබා සුද්දට රට දුන්නේ අපේ එවුන්මය.ඒ 1815 දීය.


එලිසබෙත් කුමරිය රජ වන්නේ 1952 වසරේ එනම් ශ්‍රී ලංකාව ඩොමීනියන් නිදහස ලබා වසර හතරක ඇවෑමෙන්ය. ඉන් වසර 20 කට පසුව 1972 දී ඒ මැතිණියගෙන් අපේ මැතිණිය කුට්ටියම ඉල්ලා ගත්තාය. අපේ වැඩ අපිටම කරගැනීම වෙනුවෙන් බලය ලබා දී අවුරුදු 50 ක්‌ ගත වී ඇත. කොටින්ම කිව්වොත් මේ රටේ අවුරුදු 50ක්‌ හෙළ යක්ඛ ආණ්ඩු පවතී. සිරිමාගේ පටන් මේ සිටින්නේ නවවෙනි ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයාය.


සුද්දා හදලා දීලා ගියපු රේල් පාරවල් අඟලක්වත් ඉස්සරහට ගිහින් නැත. අධ්‍යාපන ක්‍රමයද එසේමය. පම්පෝරි කෙළියට ඇතැම් දඬුවම් පාවා තවමත් සුද්දගේ දඬුවම්ය. සුද්දා තේ වගාව හඳුන්වා නොදුන්නා නම් අපනයන ආර්ථිකයක් නොවන අතරම ස්වයංපෝෂිතභාවය වැනි මරිමෝඩ රජ කාලේ ආතල් බැලීම හැර වෙනකක් ඉතුරුවන්නේද නැත. එසේනම් සිදුවන්නේ මැටි මුට්ටියකට වතුර බහා වෙලක් මැද තියාගෙන වැස්ස යදින්නය.සුද්දා අපිව බෙදුවා කියලා යට ගිරියෙන් කෑගහන යක්ඛයන් නොදන්නා කරුණ නම් සුද්දා එන්නට පෙර සිටම අපි හල් හත්තට බෙදී සිටි බවයි. සුද්දා අපිව බෙදුවේ භූමියේ පරිපාලන පහසුවට වුවත් අපි මුලින්ම බෙදී සිටියේ මිනිසුන් ලෙසය.


යටත්විජිතකරණය කිසිසේත්ම අනුමත කළ නොහැකි කරුණකි. තවත් රාජ්‍යයක ස්වෛරීභාවය කෙළසීමට කිසිම රටකට අයිතියක් නැත. නමුත් යටත්විජිතකරණයේ ධනාත්මක ප්‍රතිඵල බැහැර කිරීමට නොහැකිය.1972 සිට 2022 දක්වා ගෙවාගත නොහැකි තරම් ණය ගත්තේ එලිසබෙත් නොවේ. රට බංකොලොත් කලේද ඇය නෙවෙයි.ට්‍රිලියන ගණනක ණය බර අපි මේ උදම් අනන පශ්චාත් යටත් විජිත යුගයේ උරුමයයි.


අනික් කරුණ නම් අපි ජනරජයක් වුවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටකි. පොදුරාජ්‍ය මණ්ඩලයයේ නායිකාව වූයේ දෙවන එලිසබෙත් මහ රැජිනයි. එබැවින් ඇයගේ මරණය හා සබැඳි රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට අපි බැඳී සිටියි. මහින්දගේ කාලයේ පොදුරද මඬුළු සමුළුව මෙරට පවත්වද්දී  ආසියාවේ ආශ්චර්ය ලෙස හඳුන්වමින් මොර දුන් අපේ උදවිය අද ඒ වෙනුවෙන් කොඩියක් අඩුකුඹු වෙද්දී භූමිතෙල් වැදුණු ගැරඬි මෙන් කුපිත වී දඟලයි.


තවද බ්‍රිතාන්‍ය රජපවුල යනු ලොව පුරා මහත් රසිකයන් පිරිසක් සිටින පවුලකි. ඔබ කඩාෂියන්-ජෙනර් පවුලට ආදරය කරනවා සේම බ්‍රිතාන්‍ය රජපවුලට ආදරය කරන පිරිසක් ද සිටී.එහෙයින් රැජිනගෙ මරණය වෙනුවෙන් ශෝක වෙනවද නැද්ද යන්න යමෙකුගේ පෞද්ගලික කාරණයක්. මෙසේ සිදුවීම පුදුමයට කරුණක් නොවන්නේද බොහෝ කාලයක් ශ්‍රී ලංකික ජනතාව මෝඩ වාමාංශික සංකල්පවලට හුරු වී තිබෙන පසුබිමක්‌ ඇති නිසයි.


පෙබරවාරි 04 නිදහස් දවසට වීසා නැතුව එංගලන්තේ යන්න තිබුණු අවස්ථාව නැතිවෙලා අවුරුදු අච්චරයි මෙච්චරයි කියලා වැළලෙන උදවියගේ ද වෙස් පෙරළි ඇත. අරගල කරල වැඩක් නෑ ඉක්මනට පාස්පෝට් එකක් හදන් පාර අතුගාන්න හරි කමක් නෑ රට යමු කිව්ව අයත් දැන් පෙනෙන්න නැත. හැමදාම අපිට වැරදෙන්නේ මේ on the spot චූන් නිසාය. එය හෙට කියා වෙනසක් නැත.


තවත් ඉතාම වැදගත් කරුණක් මෙහි ලියන්නට අවශ්‍යය. එනම් ඉතිහාසය සියයට සියයක් සත්‍යය නොපවසයි. එයද රචනාවකි. වෙනස ඇත්තේ එය රචනා කරන්නේ එකිනෙකට වෙනස් මිනිසුන් දහස් ගණනකි. ඒ එකිනෙකට වෙනස් යුගවලදීයි.වෙනත් රටවල් ඉතිහාසයෙන් පාඩම් උගෙන ගනියි. මෙහෙ එසේ සිදු නොවෙයි.එබැවින් ඉතිහාසය මත යැපීමම අපේ මිනිසුන්ගේ අවස්ථාවාදයේ තවත් කොටසකි.


#sahantwrites 

10.09.2022


වැටෙන් එහා 04


https://m.facebook.com/story.php?story_fbid=456864796259998&id=100058094447735