Sunday, August 14, 2022

සංග්‍රාම කුමරිය

                                               සහන් තෙන්නකෝන් විසිනි.



ලෝකයේ බොහෝ රටවල්වලට තමන්ටම ආවේණික වූ විදේශ ප්‍රතිපත්තියක් ඇත. ඕනෑම රටක එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේදී එරට විදේශ ඇමතිවරයාට සුවිශේෂී ස්ථානයක්‌ හිමිවේ. ලෝක බලවතා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ නම් එරට රාජ්‍ය ලේකම්වරයා එම වගකීම් දරයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධූරය ලෝකයට විශාල බලපෑමක් කළ හැකි තනතුරක්‌ ලෙස සැලකිය හැකිය.


සාමාන්‍යයෙන් වර්ණභේදය වැනි අදහස් ඇමෙරිකානු සමාජය තුළි දැකිය නොහැකි යැයි පැවසුවද සැලකිය යුතු තරමක් එම අදහස් සමාජයට බලපෑමක් කරමින් තිබූ අවදියක, එක් තරුණ කළු ජාතික කාන්තාවක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කිරීමම පුදුමයට කරුණකි. 

හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්ගේ පාලන අවදියේ එම තරුණිය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සෝවියට් හා නැගෙනහිර ආසියාවේ දේශපාලන උපදේශක ලෙස,සෝවියට් දේශයේ බිඳවැටීමටත් ජර්මනියේ එක්වීමටත් අමෙරිකාවේ බලපෑම පසුපස සිටි ශක්තිය වූවා ය .


තම පියාට ලබාදුන් සහයෝගය තමාටද ඇයගෙන් ලැබේයැයි යන විශ්වාසය මත ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් ඇයව ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පත් කළ අතර එම ධූරය ඇමෙරිකා එක්සත් ජනපදයේ ධුරාවලියේ අභ්‍යන්තර වශයෙන් වැදගත් තීරණ ගන්නා බලවත් තනතුරක්‌ ලෙස සැලකේ. ජාතික ආරක්ෂාව පිළිබඳව ගන්නා සියලු තීරණවලදී ඇමෙරිකා ජනාධිපතිවරයාට උපදේශනය සපයන්නේ ඔහු /ඇය විසිනි.එබැවින් ලෝකයේ බලවත්ම පුද්ගලයාට පවා උපදෙස් දියහැකි තනතුරක බලය හා වරප්‍රසාද අවබෝධ කරගැනීම පුළුවනි .


මේ අතරවාරයේ ලෝකයත්, අමෙරිකාවත් සසලකළ සිදුවීමක් වූ 2001 සැප්තැම්බර් 11 අල් -කයිඩා සංවිධානය විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ගුවන් යානා ප්‍රහාරය ලෝකයේම ඉරණම කරපිට හරවන්නට විය. එවකට ජාතික ආරක්ෂාව භාර ප්‍රධාන පුද්ගලයා වූයෙන් ඇයටද මේ සිදුවීමේ කළු පැල්ලම් තවරාගැනීමට සිදුවිය. කෙසේ හෝ ඇය කිසිඳු විටෙක තම රටටත් ලෝකයටත් එරෙහිවූ ත්‍රස්තවාදයටත්, ඒවාට උදව් දෙන රාජ්‍යන්ටත්, ඒවායෙහි දුර්දාන්ත පාලකයන්ටත් සමාව ලබාදීමට කටයුතු නොකළාය. ඇගේ පිඹුරුපත් මත ඇමෙරිකානු හමුදා ඉරාකයත්, ඇෆ්ගනිස්ථානයත් ආක්‍රමණය කළහ. එහි ප්‍රතිපල ලෙස බුෂ්ගේත් ඇගේත් නාමයන් යුධ අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීය.


ඇගේ වෘත්තීය දිවියේ කූඨප්‍රාප්තිය සිදුවන්නේ ඇය 2005 දී අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධූරයට පත්වීමෙනි.සියලු විරෝධතා පසෙකින් තබා ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා විසින් ඇයව එම ධූරයට පත්කරන්නේ ඇගේ හැකියාව පිළිබඳව ඔහු තැබූ අචල විශ්වාසයේ ප්‍රතිපලයක් ලෙසටය. ඇගේ සිව් අවුරුදු කාලය තුළ ඒකාධිපති, දුර්දාන්ත පාලකයන් විසින් ඩැහැගෙන සිටි බොහෝ රාජ්‍යයන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ හිරු රැස් වැටෙන්නට පටන් ගත්තේය. අන් කවර කාලයටත් වඩා අමෙරිකාවනු හමුදාවන් ශක්තිමත් විය.තවද ලෝක මාධ්‍ය විසින් ඇයව " Warrior Princess " ලෙස හඳුන්වා දුන්හ.ඇය එම වසරේදීම ලෝකයේ බලවත්ම කාන්තාව ලෙස සුප්‍රකට Forbes සඟරාව විසින් නම් කරනු ලැබීය.


ඇය තරම් විදේශ රාජ්‍යතාන්ත්‍රික සංචාරයන්හි නිරත වූ රාජ්‍ය ලේකම්වරයෙක් නැති තරම්ය. ඒ සෑම අවස්ථාවකම ඇමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමටත්, භූ දේශපාලනික ලෝකය තුළ අමෙරිකානු සන්නාමය ඔසවා තබන්නටත් හැකි සියල්ලම ඈ ඉටුකළාය.2009 වසරේ ධූරයෙන් නික්ම යන ඈ තම ආණ්ඩුවට පසුව පැමිණි ඔබාමා පරිපාලනය විවේචනය කරන්නවත් තමන් පිළිබඳව පාරම් බෑමටවත් ගියේ නැත. ඇය රාජ්‍ය ලේකම් ධූරයෙන් විශ්‍රාම ගොස්, තමාගේ අත්දැකීම් ඉදිරි පරම්පරාව සමඟින් බෙදා ගැනීමට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් ලෙස සේවයට එක් වූයේ අමෙරිකානු දේශපාලනයේ මහත්මා ගතිය පෙන්නුම් කරමිනි.


සුද්දන්ගේ දේශයක ඉපිද, හැදී වැඩී ලෝකයේ බලවත්ම කාන්තාව තෙක් ඇය පැමිණි ගමනේ ඇයට ආශීර්වාදයක්‌ වූයේ නම් ඒ ඇගේ අධ්‍යාපනයත්, අධිෂ්ඨානයත්ය. ලෝකයට යුධ අපරාධකාරියෙක් වී උපන් රටට වීරවරියක් වූ ඇයගේ ජීවිතය සැබවින්ම ආකර්ෂණීය, ආදර්ශවත් එකකි. ලෝකයේ සර්ව සම්පුර්ණ පිරිසිදු චරිත සොයන්නට නොමැති වගත් අපි බොහොමයක් අළු චරිත ඇත්තන් වගත් මතක තබා ගත යුතුය. අවසානය ඇයගේ වචනවලින් ම ඔබ‍ට යමක් කියමි.


" අමෙරිකාවෙදී වැදගත් වෙන්නේ ඔබ එන්නේ කොහෙන්ද කියන එක නෙමෙයි. ඔබ අවසානයේ යන්නේ කොතනටද කියන එක. "


ඇයගේ එම වචන අමෙරිකාවට පමණක් නොව ලෝකයේ ඕනෑම තැනකට වලංගු බවත් කිවයුතුය.


ඇය කොන්ඩලීසා රයිස්.


#sahantwrites 

15.08.2021