Thursday, January 5, 2023

කසකරුවන් එළි බැසීම - සහන් තෙන්නකෝන්

කසකරුවන් එලිබැසීම.

දකුණු ආසියානු රටවල දේශපාලනය සහ ආගම අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවයකි. විශේෂයෙන්ම එම රටවල දේශපාලනඥයන් ද බලයට පැමිණීමට, සහ බලයේ රැඳී සිටීමට මහෝපකාරී වන උපකරණයක් ලෙස ආගම භාවිතා කරයි. 

මේ දිනවල ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් යැයි කියාගන්නා පුද්ගලයෙක් දළදාවට "ලබ්බ" යැයි පැවසීම සමස්ථ සමාජයේම ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ.හන්දියේ කඩ පිළෙහි සිට පාර්ලිමේන්තුව දක්වාම මේ සම්බන්ධව විවිධාකාර වූ මතවාද ගොඩනැගෙමින් පවතී. ඇතැම් විටෙක එම පුද්ගලයාගේ ප්‍රකාශය ඔහුගේ අතිශය පෞද්ගලික අදහසක් ලෙස ගත හැකි නමුත් එවැනි ප්‍රකාශයකින් යම් මහජන කැළඹීමක් ඇතිකිරීමට සෘජුව හෝ වක්‍රාකාරව අනුබල දෙන්නේ නම් එතැන ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියෙන් ඔබ්බට ගොස් ඔහුට ඇති සමාජ වගකීම පැහැර හැරීමක් ලෙස දැකිය යුතුය.

 ඕනෑම පුද්ගලයෙකුට තමන් දරණ අදහසක් ප්‍රකාශ කිරීමට ව්‍යවස්ථාපිත අයිතියක් ඇත.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (අ ) ඡේදයේ පැහැදිලිව ඇතුළත්ව ඇති නමුත් එම අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ව්‍යවස්ථාවේ සඳහන් "මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා" යන තේමාව යටතේ, එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාවට අනුව පමණකි.

"...14 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (අ ) ඡේදයේ ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හෝ ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසයට හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට නියමවය."

එබැවින් මූලික අයිතිවාසිකම් මුවාවෙන් තමන්ට සිතෙන හෝ කටට එන ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාවක්‌ නොමැති අතර යමෙක් තම අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ තවත් පාර්ශවයක අයිතිවාසිකම් අවහිර නොවන ආකාරයට පමණක් බවත් තේරුම්ගත යුතුය.එසේම කිසිම ආගමකට හෝ ලබ්දියකට අපහාස කිරීමට කිසිම තැනැත්තෙක් වෙත අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී නොමැත.

ඔහු සිදුකොට ඇති ප්‍රකාශයෙන් දේශපාලන පාර්ශවයන් කිහිපයක් උද්දාමයට පත්ව තිබේ.මෙම ප්‍රකාශය විසින් රාජපක්ෂවරුන්ට ක්‍රීඩාවෙහි යෙදිය හැකි පහසුම තණතීරුව නිර්මාණය වෙමින් පවතින බව පෙනෙන්නට ඇත. තාවකාලිකව පසමිතුරු කඳවුරුවලට බෙදී සිටින රාජපක්ෂවාදයේ න්‍යායාචාරවරුන් කිහිපදෙනෙක්ම තලුමරමින් රසවිඳිනවා දැකගත හැකි විය. විශේෂයෙන්ම මෙම තත්ත්වය 2019 ජනාධිපතිවරණයට පෙර පැවති වටපිටාව නිර්මාණය කිරීමට අඩිතාලම දමන බවට සැක නැත.මෙම ප්‍රකාශය සිදුකර තිබෙන තැනැත්තා ද 2019 ට පෙර එම කඳවුරේ ආධාරකරුවෙකි.මේ සමඟ සැමදා මෙන් ජාතිවාදී භික්ෂු කල්ලි කිහිපයක් මෙම ප්‍රකාශය ඉතා හොඳ ආයුධයක් කරගෙන ඇත. කිහිපදවසකට තුඹස ඇතුලට රිංගාගෙන සිටි විසකුරු සර්පයන් නැවත කලඑළි බැසීම ආරම්භ කර ඇත.

රට ඉතා අසීරු ආර්ථික අර්බුදයකින් ගොඩඑමින් පවතින අවස්ථාවක නැවත වතාවක් ඉතිහාසය පුරා සිදුකරමින් සිටින වැරදි නැවත සිදුවීමට ඉඩ හැරීම නොකළ යුත්තකි.පවතින ආර්ථික අර්බුදය පිළිබඳව පුළුල් විශ්ලේෂණයක්‌ නොමැති,තමන්ගේ නොහැකියාව පිළිබඳව අවබෝධයක් නැති  අධිමානසික පක්ෂ විපක්ෂ කණ්ඩායම් තම ආත්මාර්ථයන් සපුරා ගැනීම වෙනුවෙන් දියත් කරන ඇතැම් අඥාන ක්‍රියාවන්හි ඇති හිඩැස් බොහෝ විට අනෙක්‌ පාර්ශ්වයට වාසිගෙන දෙන බව හොඳින් දැනගෙන කටයුතු කිරීම වටී.තවද එම ප්‍රකාශය සිදුකළ තැනැත්තා පෙනී සිටින සහ පෙනීසිටි මතවාදයන් දෙස බලන විට මෙම ප්‍රකාශය ඕනෑවට වඩා උත්කර්ෂයට නැංවීම නොකළ යුතුබව මගේ පෞද්ගලික මතයයි.මන්ද අනෙක් පාර්ශවය මෙම ක්‍රීඩාවේ ඔස්තාර්ලා නිසාය.

#sahantwrites
06.01.2023

ඡන්දය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසම මත හතරක




මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී  ඊයේ (05) සන්ධ්‍යාවේ හමුවූහ. 

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්  මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ කටයුතු පිළිබඳ මත  හතරක් දැරීම පිළිබඳ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පළමුව ඔබ සිව්දෙනා බහුතර ඒකමතික කැමැත්තක් සහිතව කටයුතු කරන ලෙසයි. කොමිසමේ නිදහස කොමිසමට බාර දී  ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.  

එය ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද  ලිඛිතව විමසීම් සිදු කරන ලෙස ද වික්‍රමසිංහ මහතා පිරිස දැනුවත් කර තිබේ. ඒ සඳහා නීතිමය සහයෝගය ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

නීතිපතිවරයා එහිදී  දන්වා ඇත්තේ  නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා පැවැතිය යුතු පසුබිම පිළිබඳ වන තත්ත්වයන්   නීතිපතිවරයා වෙත දැනුවත් කරන ලෙසත්  මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබඳ යම් නීතිමය ගැටලුවක් ඇතොත් එය  විමසීමට අවශ්‍ය වන්නේ නම් සෘජුවම තමා වෙත දන්වා එවන ලෙස ද ප්‍රකාශ කර ඇත.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත 4ක් දැරීම හේතුවෙන්  සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

“ජාතික යොවුන් වේදිකාව” සඳහා අයදුම්පත් සහ යෝජනා කැඳවීම ඇරඹේ

 

 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.  2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිවයුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අමුණයි.

වත්මන් තරුණ පරපුර 2048 වසර වන විට වැඩිහිටි වියට පත් වී රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන භූමිකා ඉටු කරනු ඇත. ඒ අනුව අනාගත දේශපාලන ක්‍රමය සහ දේශපාලනඥයන් පිළිබඳ මැසිවිලි නොනගා දියුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ වගකීම ඔවුන් වෙත පැවරේ.

රට තුළ සමාජ, ආර්ථික සහ දේශපාලන වෙනසක් ඇති කිරීමට නම් තරුණ ප්‍රජාව පෙරට පැමිණ නායකත්වය ගත යුතු බවත්, ජාතික යොවුන් වේදිකාව ඒ සඳහා ඔවුන්ට මහඟු අවස්ථාවක් බවත් ජනාධිපතිවරයාගේ අදහසයි.

නීතිය සහ ආර්ථිකය/ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, අනාගතය සඳහා කුසලතා/ තිරසාර සංවර්ධනය සහ දේශගුණික ක්‍රියාමාර්ග/ සෞඛ්‍ය, ආරක්ෂිත ආහාර සහ ජල ප්‍රමිතීන්/ ජාතික ආරක්ෂාව/ රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා/ කෘෂිකර්මය, ධීවර සහ සත්ව පාලනය/ ක්‍රීඩා/ සෞන්දර්යය – චිත්‍ර, සංගීතය, නාට්‍ය, චිත්‍රපට, ගෘහ නිර්මාණ ශිල්පය ආදිය/ කර්මාන්ත, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව/ තිරසාර නගර සහ ප්‍රජාවන්/ ජලය, වාතය, ගොඩබිම සහ සත්ව ආරක්ෂාව/ පාලනය, පාලනය සඳහා තාක්ෂණය, විනිවිදභාවය සහ දූෂණ පිටුදැකීම/ ජාතික සංවර්ධනය සඳහා කෘතිම බුද්ධිය සහ යාන්ත්‍රික විද්‍යාව ඉගෙනීම/ සාධාරණ සමාජයක් යන ක්ෂේත්‍ර කෙරෙහි ‍ජාතික යොවුන් වේදිකාවේ අවධානය යොමු කෙරේ.

සාමාජික, තරුණ සංවිධාන සහ උපදේශක වශයෙන් කාණ්ඩ තුනක් යටතේ ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම සිදු කෙරේ.

සාමාජිකයෙකු ලෙස අයදුම් කිරීමේ වයස් සීමාව 16 – 35 අතර විය යුතු අතර තරුණ සංවිධානය සඳහා අයදුම් කිරීමට වයස අවුරුදු 40ට අඩු විය යුතුය. උපදේශක තනතුර සඳහා වයස් සීමාවක් නොමැත.

ජාතික යොවුන් වේදිකාවේ සාමාජිකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් ඔවුන් වසර ගණනාවක් තිස්සේ කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳ විස්තර සහිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

ජාතික යොවුන් වේදිකාවේ අවධානය යොමු කරන ලද ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයක් සහිත පුද්ගලයින්ට උපදේශකවරයෙකු ලෙස අයදුම් කිරීමට හෝ එවැන්නන් වැඩසටහනේ උපදේශකයෙකු ලෙස නිර්දේශ කිරීමට හැකි අතර ඔවුන්ව තෝරා ගැනීම් සිදු කරන්නේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් පසුවය.

සියලුම අයදුම්කරුවන් තමන් කටයුතු කිරීමට අපේක්ෂා කරන එක් ක්ෂේත්‍රයක් පමණක් තෝරාගත යුතු අතර තමා විසින් සකස් කළ අයදුම්පතක් 2023 ජනවාරි 31 හෝ ඊට පෙර dir.ysd@presidentsoffice.lk ඊමේල් ලිපිනය මගින් හෝ “අධ්‍යක්ෂ, තරුණ හා තිරසාර සංවර්ධන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01″ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

පරිපාලනය, අන්තර්ගතය නිර්මාණය කිරීම, තොරතුරු තාක්ෂණය, අලෙවිකරණය, සැපයුම් සහ මූල්‍ය යන ක්ෂේත්‍රවල සිය සේවාව ස්වේච්ඡාවෙන් ලබාදීමට කැමති ඕනෑම අයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ තරුණ හා තිරසාර සංවර්ධන අධ්‍යක්ෂවරයා සමඟ ඍජුව සම්බන්ධ වීමට ද අවස්ථාව පවතී.