පලාත් පාලන මැතිවරණය සම්බන්ධ සාකච්චාව දවසින් දවස උණුසුම් වෙන එකක්.තවමත් ඡන්දය තියයිද,නැද්ද කියන නොවිසදුණ ප්රශ්නය ජනතාව ඉස්සරහා තියනවා.කොහොම උනත් දැන් ඒ ප්රශ්නය බේරගන්න වෙන්නේ අධිකරණය ඉස්සරහදී. රටේ රාල නං තවමත් විශ්වාස කරන්නේ ඡන්දය කල්දාන්න අවශ්‍ය සාධාරණ නීතිමය තර්කයක් හොයාගන්න බැරි තැනක ආණ්ඩුව ඉන්නවා කියලයි.ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන සමාජීය කාරණා නීතියත් එක්ක කොයිතරම් දුරට සමපාත වෙයිද කියන ප්රශ්නය රටේ රාළට තියනවා.ඒක නිසා පලාත් පාලන මැතිවරණ කල්දානවා කියන ඒක දැන් දේශපාලන වශයෙන් ලේසි වැඩක් නෙවෙයි. මැතිවරණය කල්දාන්න කියලා රීට් ආඥාවක් ඉල්ලන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලත් තියනවා.ඒ ගැන සාධාරණ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තෙන් අපට බලාපොරොත්තු වෙන් පුළුවන්.
දැන් මේ මොහොත වෙනකොට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තමන්ගේ අපේක්ෂක ලයිස්තු හදනමින් ඉන්නේ.පිටට නොපෙනුනාට පක්ෂ ඇතුලේ, සන්ධාන ඇතුලේ ඒ වගේම ස්වාධීන කණ්ඩායම් ඇතුලේ තියෙන්නේ මාර යුද්ධයක්.ඒ අර්බුදය වහගෙන ගොඩක් පක්ෂ සහ කණ්ඩායම් රටට පෙන්නන්න හදන්නේ තමන් මාර වාසිදායක තැනක ඉන්නවා කියලයි.රටේ රාළ නං කියන්නේ මේ කිසිම කණ්ඩායමකට අනෙකා පරයා යන්න තරම් තීරණාත්මකව බලයක් මහ පොලොවේ හැදිලා නෑ කියලයි.හැබැයි මෙතනදී සජබය සහ ජාතික ජන බලවේගයේ ප්රචාරක යාන්ත්‍රණය යම් ශක්තිමත් තැනක තියෙන බව පිලිගන්න ඕනි. එයාලගේ ඡන්ද පදනම්වල විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්.ඒත් තමන්ට මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය එයාලගේ පාක්ෂික බලවේග ඇතුලේ යම් ප්‍රමාණයකට හරි හදන්න එයාලා සමත්වෙලා තියනවා.පලාත් පාලන මැතිවරණ ඉතිහාසයේ දරුණුම කඩා වැටීමකට ලක්වෙන්න නියමිත පොහොට්ටුවත් විවිධ උපක්‍රම පාවිච්චි කරමින් තමන්ට නැති ජන පදනමක් පෙන්නන්න හදන බව පේනවා.
හැබැයි රාජපක්ෂලා සහ බාලගෝලයෝ පෙන්නන්න හදන වාසිය එයාලට මහ පොලොවේ නෑ. පලාත් පාලන මැතිවරණයේදී බලවේගවල හැසිරීම ගැන හෙට ලිපියෙන් කතා කරමු.ඊට ඉස්සෙල්ලා කතා කරන්න ඕනි විශේෂ මාතෘකාවක් අද තියනවා.ඒ ශ්‍රිලනිපයේ ප්‍රධානත්වයෙන් හදපු නිදහස් ජනතා සන්ධානය ගැන. ඇත්තටම ඒක ශ්රිලනිපයෙයි,නිදහස ජනතා සභාවෙයි,උත්තර ලංකා සභාගයෙයි එකතුවක්.ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරිට අනුව නම් ඒක ලංකාවේ බිහිවුන පළල්ම සන්ධානය.සන්ධානයේ පළල්කම කෙසේ වෙතත් දයාසිරිගේ දේශපාලනය කොච්චර පටුද කියලා ඒ කතාවෙන් තේරෙනවා.ඇත්තටම මොන පැත්තෙන් හිතුවත් මේක ශ්‍රිලනිපය පාවාදීමක්.එහෙමත් නැත්තං සියතින් ගෙල සිඳගැනීමක්. දේශපාලන වශයෙන් කරගත්ත සියදිවි නසා ගැනීමක්.අද මේ මොහොතේ ඒක නොතේරුනත් ශ්‍රිලනිප සාමාජිකයාට ඉදිරි පැය 72 ක් යන්න කලින් ඒක තේරෙන්න ඕනි.හරි නම් ඒකට විරුද්ධ එයාලා එලියට බහින්න ඕනි.ශ්‍රිලනිපය මෙහෙම අන්ත අසරණ තැනකට ඇඳ දැමීමේ වගකීම ශ්‍රිලනිප නායක මෛත්‍රි,මහ ලේකම් දයාසිරි ජයසේකර සහ ශ්‍රිලනිපය මාධ්‍ය කාරක සභාවත් බාරගන්න ඕනි.
සන්ධානය හදලා පැය හැත්තෑ දෙකක් යන්න ඉස්සෙල්ලා ශ්‍රිලනිප මධ්‍යම කාරක සභික රෙජිනෝල්ඩ් කුරේ නිදහස් ජනතා සන්ධානයේ අනිත් පාර්ශවයේ කණ්ඩායමක් එක්ක පලාත් පාලන අපේක්ෂකයන් ගැන කරපු සාකච්චාවකදී දැඩි සිත්තැවුලකින් මරණයට පත්වෙලා තියනවා.ඒ මරණයට හේතුව මේ වැරදි දේශපාලන තීරණය විසින් හදපු සිත්තැවුල වෙන්න ගොඩක් දුරට ඉඩ තියනවා.මොකද රෙජිනෝල්ඩ් කුරේ කියන්නේ දේශපාලනය කියවා ගන්න බැරි කෙනෙක් නෙවෙයි.නිදහස් ජනතා සන්ධානය වැඩ පටන් ගන්න වෙලා තියෙන්නේ අසුභ නිමිති ගොඩක් එක්ක.නිදහස් ජනතා සන්ධානය ප්‍රකාශයට පත් කරලා,ඒකේ උණුසුම යන්නත් ඉස්සෙල්ලා පාස්කු ප්‍රහාරය දැන දැනම වලක්වා නොගැනීමේ චොදනාවට ශ්‍රිලනිප සභාපති මෛත්‍රි වැරදිකාරයෙක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණ මෛත්‍රිට නියෝග කළා.ඒ තීරණය දීලා තියෙන්නේ සත් පුද්ගල විනිසුරු මඩුල්ලකින්.ඒ කියන්නේ Full Banch එකකින්.ඒ නියෝගය අභියෝගයට ලක් කරන්න මෛත්‍රිට බෑ. මැතිවරණයක් කට උඩ තියාගෙන, සන්ධානයක් හදපු අලුතම එහෙම තීන්දුවක් එන ඒකේ හානිය අමුතුවෙන් රටේ රාළ ඔයාලට කියන්න ඕනි නෑ.
කොහොම උනත් මෙතන තවත් ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියනවා. පාස්කු ප්‍රහාරය දැන දැනම වළක්වා නොගත්ත අයට එරෙහිව තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා තියන බව ඇත්ත.හැබැයි තවමත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නිදැල්ලේ ඉන්නවා.එයාලත් හදුනාගෙන නීතිය මගින් දඩුවම කළාට පස්සේ තමයි පාස්කු වින්දිතයන්ට ඇත්ත සාධාරණය ඉෂ්ඨ වෙන්නේ.දැන් ඔයාලා හිතයි ඇයි රටේ රාළ මෛත්‍රිට එරෙහිව දිලා තියන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙතෙන්ට පටලවා ගන්නේ කියලා. ඇත්තටම රටේ රාළට මෙතනදී බරපතල සැකයක් තියනවා.මෛත්‍රි ශ්‍රිලනිපය සම්බන්ධව මේ වගේ වැරදි දේශපාලන තීරණයක් ගන්න ඒ නඩු තීන්දුවත් බලපෑවද කියලා. ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ මෛත්‍රි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කලින් දැනගෙන හිටියා කියලා. හැබැයි මේ වගේ අවාසිදායක තීන්දුවක් එයි කියන අදහස මෛත්‍රිට තිබුණා වෙන්න පුළුවන්. ඒක නිසා මොකක් හරි බෆර් එකක් දාගෙන ඒක ඇතුළට රිංගලා තමන්ට එල්ල වෙන සමාජ පීඩනයට මුහුණ දෙන්න හිතුවා වෙන්නත් පුළුවන්.නැත්තම් මෙච්චර අවාසිදායක කොන්දේසි මත සන්ධානයකට එකඟ වෙන්නේ මොන නායකයාද?
මෛත්‍රිට ඕනි සමාජ ආරක්ෂණය දෙන්න හැකියාව ඔය සන්ධානයේ ඉන්න කාටවත් බෑ.පුළුවන් උනත් එයාලා එහෙම කරන්නේ නෑ.රටේ රාළ මෙතනදී මතුවෙන අනිත් සැකය වෙන්නේ මෛත්‍රිව මේ උගුලට තල්ලු කලාද කියලයි.රටේ තියන තත්වයත් එක්ක හිතද්දී පළල් ජනතා සන්ධානයක ලොකු උවමනාවක් තියනවා.එතනදී ශ්‍රිලනිපයටත් ලොකු වගකීමක් තියනවා.ඒ ආණ්ඩුවට එරෙහිව ජාතික එකඟතා සහිත සන්ධානයක් හදන්න.ඇත්තටම ඒ හැකියාව සහ අද්දැකීම තියෙන්නේ ශ්‍රිලනිපයට.ඒ වෙනුවෙන් බලවේගය කලමණාකරණය කරන්න මෛත්‍රි දක්ෂ වෙන්න ඕනි. මෙතෙන්දී වැදගත් වෙන්නේ විපක්ෂය එක්ක පොදු සන්ධානයක් ගොඩනැගීමයි.ඒ අර්ථයෙන් හිතුවොත් ශ්‍රිලනිපයට සජබය, ජාජබය,දෙමල සන්ධානය,43 වගේ කණ්ඩායම් එකතු කරගන්න වෙනවා.ඒත් එයාලාගේ තියන පටු දේශපාලන උවමනාවන් එක්ක ඒක කරන්න බැරි බව ඕනි පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. එහෙම තත්වයක් ඇතුළේ ශ්‍රිලනිපයට Plan B එකක් තියෙන්න ඕනි.විපක්ෂය එක්ක සන්ධානගත වෙන්න බැරි උනත් එයාලා ජාතික වශයෙන් එකඟ කරගත්ත ජාතික එකඟතා වැඩපිලිවෙලක් ඇතුළට ගන්න ශ්‍රිලනිපය දක්ෂ වෙන්න ඕනි. ඒත් එහෙම කරන්න එයාලට බැරිවුනා.
එහෙම වැඩපිලිවෙලක් තියාගෙන වෙනවෙනම තරඟ කළත් මීට වඩා යහපත් දේශපාලන සංස්කෘතිකයක් හදා ගන්න ඉඩ තිබුණා.මේ දෙකෙන් එකක්වත් කරගන්න බැරිවුන ශ්‍රිලනිපය අන්තිමට තේරුවේ රට වෙනුවෙන් සන්ධානයක් හදනවා වෙනුවට තමන් වෙනුවෙන් සන්ධානයක් හදාගන්න.දැන් බැලුවම ඒක මෛත්‍රි වෙනුවෙන් හදපු සන්ධානයකුත් නෙවෙයි.ඒක ශ්‍රිලනිපය වෙනුවෙන් හදපු සන්ධානයකුත් නෙවෙයි. ඇත්තටම ඒක විමල්ලා,ඩලස්ලා සහ දයාසිරි වෙනුවෙන් හදපු සන්ධානයක්.දේශපාලන වශයෙන් හිතුවොත් ඩලස්ලා,විමල්, ගම්මන්පිල,වාසුලා කියන්නේ රාජපක්ෂලාගේ දේශපාලන කුළී හේවායෝ හැර වෙන කවුද?එයාලා කළේ රාජපක්ෂලා එක්ක එකතු වෙලා ශ්‍රිලනිපය දෙකඩ කරන්න හදපු එකයි,එදා දයාසිරිත් හිටියේ එයාලගේ කදවුරේ.මෛත්‍රි ජනාධිපති උනාට පස්සේ මේ පැත්තට බල්ටියක් ගහපු කෙනෙක් දයාසිරි.එදා ඩලස්ලා,විමල්ලා, ගම්මන්පිලලා ශ්‍රිලනිපය දෙකඩ කරන්න හදද්දී ඒකට එරෙහිව මෛත්‍රි එක්ක සටන් කරපු කිසි කෙනෙක් අද මෛත්‍රි එක්ක නෑ. විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරතුංග අද මෛත්‍රි එක්ක නෑ.එදා මෛත්රිගේ හයිට හිටපු දුමින්ද දිසානායකලා අද නෑ.
ඇත්තටම මෛත්‍රි කොච්චර දුරට වල්මත් වෙලාද කියලා ඔයාලට තේරෙනවා ඇති.ශ්‍රිලනිපයේ හිටපු ගොඩක් දෙනෙක් පහුගිය කාලේ එලෙව්වා.එයාලට විනය ක්‍රියාමාර්ග ගන්න ශ්‍රිලනිප ව්‍යවස්ථාව පවා වෙනස් කළා.රටේ රාල ඒ ගිය කිසි කෙනෙක් හොඳයි කියලා කියන්නේ නෑ.ඒත් ඒ මිනිස්සු පක්ෂයෙන් එලියට ඇදලා දාලා දැන් එකතු කරගෙන තියෙන්නේ කවුද?එදා මහින්දත් එක්ක එකතුවෙලා ශ්‍රිලනිපය දෙකඩ කරපු අය නෙවෙයිද?පක්ෂ තීරණයට පිටුපාලා ගිහින් රනිල්ගෙන් ඇමතිකම් ගත්ත අය අයින් කරන්න ගත්ත තීරණය හරි කියමුකෝ.ඒත් ශ්‍රිලනිපය දෙකඩ කරපු අය එක්ක කරට අත දාගැනීම සාධාරණ වෙන්නේ කොහොමද?මේවා කිසිම තේරුමක් නැතිව ඕනෑවට එපාවට ගත්ත තීරණය.නැත්තං මේවා දයාසිරිගේ දාර ලණු.ඇත්තටම විමල්ලා ලග දනින් වැටෙන එක නවත්තලා ශ්‍රිලනිපයට තිබුණේ චන්ද්‍රිකා හම්බ වෙලා ආයෙත් ශ්‍රිලනිපය සමගි කරගන්න.ඒක දයාසිරිට කරන්න බැරි උනාට මෛත්‍රිට කරන්න ඕනි තරම් ඉඩ තිබ්බා.ශ්‍රිලනිපය සන්ධානයක් ගැන හිතන්න ඉස්සෙල්ලා ශ්‍රිලනිපය සමගි කර ගැනීම අනිවාර්ය කාරණයක්. ඇත්තටම එහෙම චෝදනාවක් මෛත්‍රිට කරන්න රටේ රාළට අයිතියක් තියනවා.
මොකද එදා විමල්ලා රාජපක්ෂලා එක්ක එකතු වෙලා ශ්‍රිලනිපය දෙකට කඩන්න හදනකොට රටේ රාළ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්.එදා රාජපක්ෂ පවුලට පක්ෂයක් හදලා දෙන්න ශ්‍රිලනිපය දෙකඩ කරන තීරණයට ජානීපේ ඇතුලේ ඉදන් විමල්ට අභියෝග කළේ රටේ රාළ.ඒ ගැන ජානිපෙ දේශපාලන මණ්ඩලය වගේම ශ්‍රිලනිපය වෙනුවෙන් මෛත්‍රිත් සාක්ෂි දරනවා ඇති. අන්තිමට බැසිල් - විමල් සැලැස්මට අනුව ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ තිරණයට එරෙහිව ජානීපය ඇතුලේ ලොකු දේශපාලන අරගලයක් නිර්මාණය වුනා.ඒකේ පලවෙනි වෙඩිල්ල තිබ්බෙත් රටේ රාළ.එදා විමල් චන්ඩි ගෙනත් තියාගෙන රටේ රාළ බය කරන්න හැදුවා. හැබැයි ඒ කිසි දේකට බය නොවී විමල්ගේ පාදඩ දේශපාලනට අභියෝග කරලා රටේ රාළ ජානීපයෙන් එලියට බැස්සා.ඒ 2017/11/21 වෙනිදා.ඒ තමයි රටේ රාළගේ දේශපාලන ජීවිතයේ අවසන් දවස.රටේ රාල ඇතුළු කණ්ඩායම එදා ජානිපෙ ඇතුලේ සටන් කළේ ශ්‍රිලනිප පාක්ෂිකයා වෙනුවෙන්.ඒ සටනින් පස්සේ රටේ රාළ සමස්ථ දේශපාලනයෙන්ම සමුගත්තා.ඊට පස්සේ ශ්‍රිලනිපයේ වගකීමක් බාර ගන්න කියලා මෛත්‍රි රටේ රාළට ආරාධනා කළා. පළවෙනි ආරධනාව ආවේ ශ්‍රිලනිප මධ්‍ය කාරක සභාවට එන්න කියලා.
රටේ රාළ ඒ ආරාධනාව ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළා.තවත් විවිධ ආරාධන ආවත් ඒ සියල්ල රටේ රාළ ප්‍රතික්ෂේප කරලා ඇති. මෛත්‍රි සහ රටේ රාළ කියන්නේ දේශපාලනය නිසා හම්බවුන මිත්‍රයෝ දෙන්නෙක් විතරයි.ඒ යාලුකම දේශපාලනිකයි.ඒත් කවදාවත් මෛත්‍රිගෙන් ශත පහක උදව්වක් රටේ රාළ ඉල්ලලා නෑ. එහෙම තියනවා නම් දැන් කියන්න. මොකද අද මෛත්‍රි ලගට කිට්ටුවෙලා ශ්‍රිලනිපයේ ඉතිරි කොටසත් විනාශ කරන්න හදන දේශපාලන තක්කඩින්ට මෛත්‍රි ඇත්ත කියන්න ඕනි.එහෙම පෞද්ගලික ලාබ ප්රයෝජනයක්වත් අඩුම ගානේ ඉල්ලලා තියනවා නම් දැන් විමල්ට කියන්න.මොකද විමල් ඒ දවස්වල දිගටම කිව්වේ රටේ රාළ ජීවත් වෙන්නේ මෛත්‍රිගෙන් කියලයි.රටේ රාළ ලිපිය ලියන්නේ ශ්‍රිලනිප මූලස්ථානයේ කෙනෙක් කියලයි.ඒක නිසා රටේ රටේ රාළ මොනවා හරි නිය පොත්තක් තරමේ උදව්වක් ඉල්ලලා තියනවා නම් අර දේශපාලන තක්කඩියට ඒකත් කියන්න කියලා රටේ රාළ මෛත්‍රීගෙන් ඉල්ලනවා.නිදහස් ජනතා සන්ධානය හදලා පළවෙනි විධායක සභා රැස්වීමේදී විමල් කියලා තිබුණේ ශ්‍රිලනිප ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකත්වය ජයන්ත විජේසේකරට දෙන්න එපා කියලා.ඒ එදා රටේ රාළ ජානිපෙ දේශපාලන මණ්ඩලය ඇතුලේ කරපු සටනට ඡයන්ත සභය දුන්න හින්දයි.
ඒ වෛරය විමල්ට තවමත් තියනවා.ශ්‍රිලනිපය දෙකඩ කරනවාට විරුද්ධව ජයන්ත ජානිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළේ ලොකු සටනක් කළා. ශ්‍රිලනිප ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකයා වෙන්න ජයන්තට තියන නුසුදුසුකම මොකද්ද?එදා ත්‍රිකුණාමල නගරයේදී කොටි ඉස්සරහා ඊළාම් කොඩිය බිමදාලා ජාතික කොඩිය උස්සපු එකද?නැත්තං ගෙදරට වෙඩිතියන්න ආපු කොටි සාමාජිකයා අල්ලලා පොලිසියට බාරදුන්නට පස්සේ පොලීසිය එයාට හිරිහැර කරන්න හදනකොට ඒකට විරුද්ධ වෙච්චි එකද?එහෙමත් නැත්තං ජයන්ත විමල් වගේ හොරෙක් නොවෙන හින්දද?ජයන්ත විමල් වගේ ජාතිවාදියෙක් නොවෙන හින්දද?මේ මැතිවරණයේදීත් ශ්‍රිලනිපය උතුරු හා නැගෙනහිර පලාත්වලට තරඟ කරන්නේ අත ලකුණ යටතේ. එහෙම තත්වයක් යටතේ ශ්‍රිලනිප ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකත්වය ජයන්තට දෙන්න එපා කියන්න විමල් කවුද?මෙතනදී ශ්‍රිලනිපය දැන ගන්න ඕනි බලවේග නියෝජනය කරන අයත් එක්කයි සන්ධාන හදන්න ඕනි කියලා.ඇත්තටම ඔතන බලවේගයක් තියෙන්නේ ශ්‍රිලනිපයට විතරයි.අනිත් සියලු දෙනාම රාජපක්ෂලාට දේශපාලන සැට්ටිබිකම් කරලා පොහොට්ටුවෙන් මනාපයක් පිට් පොකට් ගහපු අය.ගිය පාර පලාත් පාලන මැතිවරණයට ශ්‍රිලනිපය තනියෙන් තරග කළා.
සමස්ථ ඡන්ද ප්‍රතිඵල බැලුවොත් ශ්‍රිලනිපයට ඡන්ද ලක්ෂ දහයකට වැඩිය තිබුණා.ඒ වගේම ශ්‍රිලනිපය සමස්ථ රටටම වගේ තරඟ කලා. ඒක නිසා ශ්‍රිලනිපයට හැම කොට්ඨාශයකටම අපේෂකයෙක් ඉන්නවා.පලාත් පාලන මන්ත්‍රීලා දාහකට වැඩිය ඉන්නවා.හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ.මේ සන්ධානය හැදෙන්නේ මේ ඡන්දය වෙනුවෙන් හා ඊළගට එන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන්.ශ්‍රිලනිපය ඡන්ද පදනම පාව්ච්ව් කරගෙන අර කට්ටියට පාර්ලිමේන්තු යන්න.ඒකට නියම ගැටයක් ගහලා තියනවා.දයාසිරි ලවා ශ්‍රිලනිප ජේෂ්ඨයෝ ටික එලවා ගැනීම තමයි පලවෙනි පියවර.ඒකේ ප්‍රතිපලයක් විදිහට අද ශ්‍රිලනිපයට ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා හතරයි.දැන් මේ සන්ධානයේ දිස්ත්‍රික් නායකත්වය හම්බ වෙන්නේ ඒ දිස්ත්‍රික්කයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීට.දිස්ත්‍රික්ක හතරකට හැර අනෙක් හැම දිස්ත්‍රික්කයකම නායකත්වය හම්බ වෙන්නේ ශ්‍රිලනිප නොවන අයට. ඇත්තටම ඉතාමත් සූක්ෂම විදිහට ශ්‍රිලනිප බලවේග එයාලා යටතට අරගෙන තියනවා.ගිය පාර වේදිකා උඩදී රාජපක්ෂලා එක්ක ශ්‍රිලනිපයට හූ කියන්න ප්ලෑන් කරපු,එහෙම හූ කියනකොට ඒකෙන් සතුටු වුන අය යටතට ශ්‍රිලනිපය ගෙනත්.
මෙතන ලස්සනම වැඩේ ඒක නෙවෙයි.අපේක්ෂක කෝටාව වෙන් කිරීමේදී ගහලා තියන ගේමයි. ගොඩක් තැන්වලදී ශ්‍රිලනිපයට හම්බ වෙන්නේ 30% - 40% අතර අපේක්ෂක ප්‍රමානයක්.එතනදී දැනට ඉන්න ශ්‍රිලනිප කොට්ඨාශ නියෝජිතයෝ 60% - 70% අතර ප්‍රමාණයක් අයින් වෙනවා. ඇත්තටම අනිත් කණ්ඩායම් දෙකටම දාන්න අපේක්ෂකයෝ නෑ. එයාලා කරන්නේ දැනට ඉන්න ශ්‍රිලනිප කොට්ඨාශ නියෝජිතයාට එයලගේ පක්ෂයේ අපේක්ෂකත්වය දීමයි.එතකොට වෙන්නේ ශ්‍රිලනිපයෙන් අයින් කරපු කෙනාට නිදහස ජනාතා සභාවෙන් හරි උත්තර ලංකා එකෙන් හරි අපේක්ෂකත්වය දෙනවා.එතකොට එයාලා බැදෙන්නේ අපේක්ෂක දුන්න කෙනා එක්ක.ඇත්තටම ඉතාමත් සියුම් විදිහට මේක ඇතුලේ ශ්‍රිලනිප බලවේගය කොල්ල කනවා. අවසානයේදී ශ්‍රිලනිප බලවේගයේ කරපිටින් එයාලා පාර්ලිමේන්තුව යනවා.ඕක තමයි මේ යන ගමන. මෙතනදී නිදහස ජනතා සභාවටවත්,උත්තර ලංකා සභාගයටවත් මොකුත් කියන්න බෑ. දේශපාලනය කියන්නේ උපක්‍රම තේරීමක්.ඇත්තටම ඉතින් එයාලා සතුටු වෙනවා ඇති අතපය විතරක් අරගෙන මේ සන්ධානයට ඇවිත් දැන් අනුන්ගේ බලවේගයක් මතින් පාර්ලිමේන්තු යන්න පාර කැපෙන එක ගැන.
ඊළගට හැදෙන මොකක් හරි ආණ්ඩුවක පුටුවක් වෙන්කර ගන්න අවස්ථාව ආයෙත් හම්බ වෙච්චි එක ගැන.ඇත්තටම දේශපාලනයේදී එහෙම හිස දන් දෙන මෝඩයෝ දැනට ඉතිරිවෙලා ඉන්නේ ශ්‍රිලනිපයේ විතරයි.ඊළගට මේ සන්ධානය හරහා ශ්‍රිලනිපය වටේට තියන දෙමළ සහ මුස්ලිම් ඡන්ද පදනම සම්පුණයෙන්ම බිඳ වැටෙනවා.වඳ කොත්තු,වඳ පෙති, වඳ සැත්කම් ගැන පට්ටපල් බොරු කියමින් රාජපක්ෂගේ දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය වපුරවපු විමල්ලා,රතනලා,ගම්මන්පිලලා, චන්න ජයසුමනලා ආයෙත් මේ සන්ධානය ඇතුළේ ක්‍රියාත්මකයි. ශ්‍රිලනිපයට ඉතිරිවෙලා තියන දෙමළ හා මුස්ලිම් ඡන්ද පදනම බිඳදාන්න ඒක චරිත ටික ඕනිවටත් වැඩියි.හැබැයි මේ විනාශයට ශ්‍රිලනිපයට ඇරගෙන යන වගකීම දයාසිරිට පටවලා සමහරු අත හෝදගන්න බලයි.ඇත්තටම දයාසිරි මෙතනදී කරන්නේ පැහැදිලිවම දේශපාලන කොන්ත්‍රාත්තුවක්.තමන් වෙනුවෙන්ම කරන දේශපාලන කොන්ත්‍රාත්තුවක්.රටේ රාළ කියන්නේ මේ වගකීම බාර ගන්න ඕනි ශ්‍රිලනිප නායක මෛත්‍රි සහ ශ්‍රිලනිප මධ්‍ය කාරක සභාව. කොහොම හරි රටේ රාළගේ අවසන් නිගමනය ශ්‍රිලනිපය දේශපාලන වශයෙන් දැන් සියදිවි නසාගෙන ඉවරයි කියලයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.