Monday, January 16, 2023

අඳුරු ජනවාරියට වසර දහයයි

 අඳුරු ජනවාරියට වසර දහයයි.


2013 වර්ෂය ශ්‍රී ලාංකීය දේශපාලන සහ අධිකරණ ඉතිහාසයේ නොමැකෙන සිද්ධීන් රැසක් සිදුවූ වසරක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට හා එහි පැවැත්මට ඉතා තීරණාත්මක බලපෑමක් කළ කාල වකවානුවක්‌ ලෙස එයා හැඳින්විය හැකි අතර අතර එම සිද්ධීන් කෙමෙන් මිනිසුන් වෙතින් අමතකව යන බැවින් ඒවා මෙලෙස ස්මරණය කිරීම වටී.


ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා අග්‍රවිනිශ්චයකාරවරිය වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව එවකට රාජපක්ෂ ආණ්ඩුව විසින් දෝෂාභියෝගයක් ගෙන ඒම, එහි ව්‍යවස්ථානුකූලභාවය හා මතභේදකාරී ආකාරයෙන් ඇයව ධූරයෙන් නෙරපා හැරීමත් නිසා සමස්ථ අධිකරණ ක්ෂේත්‍රයේම එකල උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය. 


 ආචාර්ය බණ්ඩාරනායක සතුව ඇත්තේ ඉතා ආකර්ෂණිය වෘත්තිමය ජීවිතයකි.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නීති ශාස්ත්‍රාලය වන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨධිපතිනියක වීමත්, එම විශ්වවිද්‍යාලයේම වැඩ බලන උපකුලපතිනියක වීමත්,1996 දී ශ්‍රී ලංකාවේ ලාබාලතම හා පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය වීමත්,2011 වසර වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩිම කාලයක් ගතකර තිබූ විනිශ්චකාරවරයා වීමත්, අවස්ථා 11 කදී වැඩබලන  ලෙස පත්වීමත් ආදී උවමනාවටත් වඩා සුදුසුකම් සපුරා ගරු අග්‍රවිනිශ්චයකාර ධූරයට ඇය පත්වෙන්නේ 2011 වර්ෂයේදීය.


ඇය තුළ වන නීතිගරුකභාවයත්, සෘජු තීන්දු ලබාදීමේ ගුණයත්, වෘත්තීය ගරුත්වයත් එවකට පාලන තන්ත්‍රයට ඇය කෙරෙහි ඇති කළේ යහපත් ආකල්පයක් නොවේ.

එවැනි පුද්ගලයෙක් මෙවැනි වගකිවයුතු ධූරයක සිටීම පාලකයන්ට හිසරදයක් වී තිබුණි. මුල් කාලයේදී ආචාර්ය බණ්ඩාරනායක ආණ්ඩුවත් සමඟ නීතියට අනුකූල පරිද්දෙන් සහයෝගයෙන් කටයුතු කළාය.


නමුත් 2012 වර්ෂයේ දිවි නැගුම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් අග්‍රවිනිශ්චයකාර බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනීමත්, එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව පැවති ගැටළුකාරී තත්ත්වය නිසාවෙන් එය ජනමත විමසුමක් මඟින් සම්මත කිරීම යෝග්‍ය බව නිර්දේශ කිරීමත්, ජනාධිපතිවරයාගේ සොහොයුරා යටතේ එම විෂය පථයන් පැවතීමත් ආදී හේතූන් මත අගවිනිසුරුවරිය කෙරෙහි නොමනා ද්වේශයක් එවකට ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය කෙරෙහි ඇතිකරගෙන සිටියේය.මේ සියලු කරුණු පාදක කොටගෙන චෝදනා 14 කින් යුත් දෝෂාභියෝගය යෝජනාවක් බණ්ඩාරනායක අගවිනිසුරුතුමියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


අපක්ෂපාතීත්වය පිලිබඳ ගැටළුකාරී වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියේ, තමාට එරෙහි චෝදනාවන්ට පිළිතුරු දීමට ප්‍රමාණවත් කාලයක් පවා අහිමිව පසුව අවම අධ්‍යාපන සුදුසුකම්වත් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවලාද, අපහාස විඳීමට ශ්‍රී ලංකාවේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු අගවිනිසුරුවරියට සිදුවීම කෙතරම් ලැජ්ජාසහගත ද යන්න සිතිය යුතුය. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන් එන්.ජී. අමරතුංග, කේ. ශ්‍රීපවන්, ප්‍රියසාත් ඩෙප් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අගවිනිසුරුවරියට එරෙහිව පියවර ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට බලයක් නොමැති බවට තීන්දු කළ අතර අගවිනිසුරුතුමියගේ ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය ද තේරීම් කාරක සභාවට එලෙස සිදුකිරීමට සුජාතභාවයක්‌ නොමැති බව ප්‍රකාශ කළේය.


දේශපාලන උට්ඨානයක් පතා අතීතය අමතක කරමින් සිටින විමල් විරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, පවිත්‍රා වන්නිආරච්චි වැනි දේශපාලනඥයන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී අධිකරණය ව්‍යවස්ථාදායකයට යටකරමින්, එහි ස්වාධීනත්වය කෙළෙසමින් කටයුතු ආකාරය පිළිකුල් සහගතය. එසේම බොහෝ දෙනෙක් පොලිසියේ සිටි හොඳ මිනිසෙක් යැයි හඳුන්වන හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, අගවිනිසුරු නිලනිවස ඉදිරියේ ආණ්ඩුවේ බත්බැලයන් අරක්කු කාලට බජව් දමන විට, යාබද පොලිස්පති නිල නිවසේ සිට රෙදි පොරවන් නිදා ගත්තේ කෙසේදැයි යන්නත් ප්‍රශ්න කළ යුතුය.


මේ සියල්ල සිදුවන විට ජනාධිපතිවරයා තෘප්තිමත් කිරීමට ඇය ඉදිරියේ ඉතා පහසු මාර්ගයන් තිබූ විටදීත් බණ්ඩාරනායක මහත්මිය තම ආත්මගරුත්වයත්, වෘත්තීය ගරුත්වයත් වෙනුවෙන් අසීරු මාර්ගයේ ගමන තෝරාගත්තේ ඇයට අනාගතයේදී මුහුණ දීමට සිදුවන සියලු ප්‍රතිවිපාක පිලිබඳ අවබෝධයෙනි. අල්ලසට, වරප්‍රසාදවලට ලෝභකමෙන් හෝ බලයට, මරණයට බියෙන් ඇය තම හෘද සාක්ෂිය අහිමිකරනොගත් අතර තම වෘත්තීය පවා නොදුන්නාය.


ඇයව ඉතාමත් පහත් ආකාරයෙන්, ජනරජයේ අගවිනිසුරුවරිය තබා අන් කිසිදු කාන්තාවක් අත් නොවිඳිය යුතු තත්ත්වයකට පත්කර ධූරයෙන් නෙරපා දැමීමට එවකට ආණ්ඩුව කටයුතු කළේ පොදුරාජ්‍ය මණ්ඩල නීති විශාරදයන් පවා මෙම පිළිවෙත කෙරෙහි එල්ල කළ විවේචනයන්, ශ්‍රී ලාංකික අධිකරණ ක්ෂේත්‍රයේ, නීතිඥ සංගමයේ දැඩි විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකර බව මතක් කළ යුතුය.එදා අවුරුදු එකොළහක් තරම් වූ මට මේ පිළිබඳව ඇති එකම මතකය ශිරාණි බණ්ඩාරනායක, කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි අගවිනිසුරු නිල නිවසින් පිටත්වන අවස්ථාව පමණකි.කෙසේ වෙතත් මේ ක්‍රියාදාමයේ වූ ව්‍යවස්ථා විරෝධී බව නිසාම 2015 ජනවාරි මාසයේ අගදී ශිරාණි බණ්ඩාරනායක මැතිණිය නැවතත් මෙරට අගවිනිසුරු ධූරයට පත්විය.එය ලාංකීය අධිකරණ ක්ෂේත්‍රයේත් ස්වාධීනත්වයේත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේත් ප්‍රතිෂ්ඨාපනයක් ලෙස සැලකිය හැකිය.


මෑතකදී  නීතියේ දෙවඟනගේ සළුපට අහසට ගොස් ඇතැයි කෑ මොරදුන් මහත්වරුන් එදා පාර්ලිමේන්තුවේ උන්මත්තකයන් ලෙස හැසිරෙන විටදීත්, අසීමිත බලයකින් සම්ප්‍රයුක්ත ජනාධිපතිවරයෙක් නීතියේ දෙවඟන අතවරයට ලක්‌කරන විටදීත් , අගවිනිසුරු නිල නිවස ඉදිරිපිට බත් පැකට් එකට බජව් දමන විටත් ඒ කිසිවක් මඟහැර පහසු මගක් වෙනුවෙන් ඇය තම ආත්ම ගරුත්වය පවා නොදුන්නාය.


ඒ අන් කිසිවක් නිසා නොව සැබෑ අධ්‍යාපනයේ වෙනස නිසාවෙනි. මෙවැනි පෞරුෂ කියවීම තුළින් ධනය, බලය, වරප්‍රසාද හමුවේ තම ප්‍රතිපත්ති බිලි නොදිය යුතුබව අප උගත යුතුය. ජරාජීර්ණ දේශපාලනයට තම උදාර අරමුණු උකස් නොකළ යුතු බවත් අන් සැමට වඩා තම ආත්ම ගරුත්වයත්, හෘද සාක්ෂියත් උසස් බවත් මතක තබා ගත යුතුය.


අවසාන වශයෙන් කිවයුතු යමක් ඇත. එනම්,


සෑම වෘත්තීයකම ශිරාණිලා හිඳී. ඔවුන් බලගැන්වීම සහ ඔවුන් හා පෙලට සිට ගැනීම කාලීන අවශ්‍යතාවයක්ව බවට පත්ව තිබේ.එසේ ප්‍රතිපත්ති හා දර්ශනයන් ගරු කරන මිනිසුන් පිරි සමාජයක් බිහිකිරීම අප ඉදිරියේ ඇති පරම වගකීම බවයි.


#sahantwrites

16.01.2023