Thursday, January 12, 2023

ගෝටාගේ ඔටුන්න වෙනුවෙන් අහක බලා සිටීමේ අපරාධය වන්දි ගෙවීම පමණක්

 ගෝඨාභයගේ ජනාධිපති "ඔටුන්න" වෙනුවෙන් අහක බලාගෙන සිටි......!

=================================

ඒ සහාසික අපරාධයේ "දඩුවම" වන්දි ගෙවීමෙන් පමණක් අවසන් ද ...........?

=================================

පාස්කු ඉරුදින සිදුවූ මිලේච්ඡ ප්‍රහාරයෙන් දෙසීය හැත්තෑ නව දෙනකු මරුමුවට පත්විය.  තවත් පන්සිය දෙනකු පමණ සදාකාලික ආබාධිතයන් බවට පත්විය. ඒ මහා අපරාධය සිදුවන බව කල්තියා දැන දැනත් "නොවැළැක්වූ" වගකිව යුත්තෝ ඊයේ  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කළේ ය. එකී වරද


වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට මිලියන ගණනින් වන්දි ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. එකී සහාසික අපරාධයට දඩුවම වන්දි ගෙවීමෙන් පමණක් අවසන් ද ?


2019 අප්‍රේල් 21 සිදුවූ මිලේච්ඡ ප්‍රහාරය සිදුවන බවට අප්‍රේල් 04 දින සිට 21 දින උදේ 06.30 දක්වා වතාවන් ගණනාවකින් පුර්ණ දැනුවත් භාවයට පත්කර තිබිය දී එය එලෙසම සිදු වන්නට ඉඩ හැරියේ ඇයි ද යන්න රටට රහසක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දුන් නඩු තීන්දුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ එකක් බැවින් , "වින්දිතයන්ට" වන්දි ගෙවීම පමණක් නියම කිරීම එම නඩුකරය සමග ගත්විට ගැටලුවක් නොවේ. 


සහාසික අපරාධයක් කිරීමට ආධාර අනුබල ලබා දුන් අපරාධ කරුවන්ට සිර දඬුවම් නැද්ද.............?

===================================

මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් විනාශවන තුරු , එය කිසිදු බාධාවකින් තොරව සිදු වන්නට ඉඩදීම එකී අපරාධයට ආධාර අනුබල සැපයීමකි. එහෙයින් අපරාධයට ගොදුරු වූවන්ගේ වින්දිතයන්ට වන්දි ගෙවීමෙන් පමණක් , බේරී සිටීමට මේ අපරාධ කරුවන්ට හැකියාව තිබේ ද ?


 මොවුන් අපරාධයේ හවුල් කරුවන් බවට රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් තීරණය කර ඇති පසුබිමක් තුළ අපරාධ නඩුකරයකින් මොවුන් දීර්ඝ කාලීන සිර දඬුවම් විදිය යුතු නොවේ ද ? මේ අපරාධය නොවැළැක් වූවන් ලෙස මොවුන්ට ලැබෙන එකම දඩුවම වන්දි ගෙවීම පමණක් වුවහොත් , ඕනෑම වන්දියක් ගෙවීමට හැකියාව ඇති කාට හෝ මහා අපරාධයකට අනුබල දී පසුව "වන්දියක්" පමණක් ගෙවා අතපිස දා ගත හැකි ය. එවැනි "පූර්වාදර්ශයක්" රට තුළ තිබිය යුතු ද ?


නිලන්ත ජයවර්ධන තවදුරටත් පොලීසියේ   දෙවෙනියා ලෙස රාජකාරී කරනවාද ...?

===================================

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිසියේ පරිපාලනය භාර පොලිස්පතිට පමණක් දෙවැනි වූ ඉහළම නිලධාරියා ය. එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස දැන දැනම මහා අපරාධයක් සිදු වන්නට ඉඩ දුන් අපරාධ කරුවෙකි. ඒ බව තහවුරු කර ඇත්තේ එසේ මෙසේ තැනකින් නොව රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. අපරාධයට ගොදුරු වූවන්ට රුපියල් මිලියන හැත්තෑ පහක වන්දි ගෙවීමට යටත් කෙනෙකි. නිලන්ත ජයවර්ධන තවදුරටත් පොලීසියේ දෙවෙනියා ද ?


මෛත්‍රීපාල සිරිසේන , හේමසිරි ප්‍රනාන්දු , පූජිත ජයසුන්දර , සිසිර මෙන්ඩිස් යන "අපරාධ" කරුවන්ට විශ්‍රාම වරප්‍රසාද හිමිකම් තිබේ ද .........?

===================================

හිටපු ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හිමිකම් පනත යටතේ මහජන බදු මුදලින් සියලු වරප්‍රසාද  ලබමින් පසුවෙයි. ඔහු රටේ ජනාධිපති ලෙස සිය නිල වගකීම ඉටු නොකළ කෙනෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඔහුගේ නොකර හැරීම නිසා වින්දිත භාවයට පත්වූවන්ට මිලියන සියයක වන්දි ගෙවීමට පවා නියම කර තිබේ. එසේ නම් "අපරාධ කරුවකු" වූ ඔහු රටේ මහජන බදු මුදලින් ඔහු තවදුරටත් නඩත්තු කළ හැකි ද ? 


ඉහත නම් සඳහන් අනෙක් පිරිස සිය රාජකාරිය පැහැර හැර දැන දැනම මහා අපරාධයක් සිදු වන්නට ඉඩ දුන් අපරාධ කරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී තවදුරටත් මහජන බදු මුදලින් නඩත්තු කළ හැකි ද ?


(පෝද්දල ජයන්ත)