Thursday, April 11, 2024

 අත යා යුතු අත - දොඩම්ගස්ලන්දේ සරත් කුමාරසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ශ්‍රී ලංකාවේ නිදහසින් පසු දේශපාලන ගමන් මාර්ගය විප්ලවීය දිශාවකට යොමුකළ දේශපාලන ව්‍යාපාරයකි. නිදහස් ශ්‍රී ලංකාවට රාජ්‍ය නායකයින් පස් දෙනෙකු බිහිකරමින්, වැඩිම කාලයක් ආණ්ඩුකරණයේ නියැළි දේශපාලන පක්ෂය වූත්, පොදුජන කේන්ද්‍රීය දේශපාලන සංස්කෘතියක්‌ මෙරටට දායාද කළා වූත්, ශ්‍රීලනිපය පසුගිය ආසන්නතම දශක දෙක තුළ පරිහානියේ අභිමුඛයට පත්වීම, සමස්ථ දේශපාලන සංස්කෘතියේ විනාශයද වඩාත් ඉක්මන් කරවීය.

සොලමන් බණ්ඩාරනායක විසින් මෙරට සියළු බලවේගයන් එකතු කරගනිමින් බිහිකළ ශ්‍රීලනිපය, ඔහුගේ වියොවින් පසුවද ප්‍රගතිශීලි වාමාංශික බලවේගයන්ට සෙවන සැපයූ නිවහන විය. මේ නිසාම ඇතැම් අන්ත වාමාංශික දේශපාලන කණ්ඩායම්වල සිටි ප්‍රගතිගාමී පුද්ගලයන් ද කැටුව, සිරිමාවෝ බණ්ඩාරනායකත්, එතැන් සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත් සමඟින් ශ්‍රීලනිපය වඩාත් අධ්‍යතන දේශපාලන ව්‍යාපාරයක්‌ ලෙස ඉදිරියට ගමන් කළේය. මෙකල, ශ්‍රීලනිපය දේශීය වශයෙන් පමණක් නොව, විදේශීය වශයෙන්ද ප්‍රගතිශීලි දේශපාලන කඳවුරු අතර ප්‍රසිද්ධියක් උසලනු ලැබීය. 

ශ්‍රීලනිපයේ පරිහානිය ආරම්භ වන්නේ 2006 මැද භාගයේ සිට බව මගේ පෞද්ගලික මතයයි. බණ්ඩාරනායකවරුන්ගෙන් පක්ෂයේ බලය ගිලිහී යාමත්, ඒ හේතුවෙන් පක්ෂයෙ මුල් ආකෘතියෙන් පක්ෂය බැහැර වීමත් ආදිය මෙකී පරිහානියට බලපෑ ප්‍රධාන හේතු කාරණා වූ අතර, එයින් පසු ශ්‍රීලනිපය 'අසංවර' සොරමුලක දේශපාලන මංකොල්ලකයට ගොදුරු විය. 2009 වසරේ රජයේ හමුදා ලැබූ යුධ ජයග්‍රහණයත් සමඟින් රාජපක්ෂවරුන් ශ්‍රීලනිපයේ සදාකාලික උරුමකරුවන් ලෙස බෞතීස්ම ලැබීමත් සමඟින් ශ්‍රීලනිපයේ පරිහානිය තවත් වේගවත් විය. කල්යත්ම, දේශපාලන වටපිටාව උඩුයටිකුරු වී, ඇතැම් ඓතිහාසික වැරදි නිවැරදි කරගැනීමට අවස්ථාව උදාවුවත්, 2015 දී සිදුවූ දේශපාලන පෙරළිය රටට කෙසේවෙතත් පක්ෂයට නම් සුබ වූයේ නැත. සිදුවෙමින් පැවති විනාශය සැර බලවුවත් වුවත්, නායකත්වයේ පැවති ඇතැම් උද්දච්ච,ග්‍රාම්‍ය පැවතුම්, පරිහානිය නව මුහුණුවරකින් පක්ෂය තුළට නැවතවරක් ඇතුළු කරවීය.එක් පසෙකින් ශ්‍රීලනිපය පරිහානියට පත්වෙමින් පැවති විට, මෙරට අනෙක් දේශපාලන බලවේගය වූ එක්සත් ජාතික පක්ෂයද (එජාප) දේශපාලන වශයෙන් බෙලහීන වීම, සමස්ථ දේශපාලන ක්‍රමය ද විනාශමුඛයට ඇද දැමු අතර, එය ඇතැම් හරසුන්, අන්තගාමී දේශපාලන ව්‍යාපාරයන්වල ඉස්මතු වීමට බලපෑමක් විය.


 ශ්‍රීලනිපයේ වර්තමාන නායකත්වයට, විරුද්ධ පාර්ශවය මඟින් එල්ලවන ප්‍රධාන චෝදනාව නම්, ඔවුන් පක්ෂය වර්තමාන ආණ්ඩුවට හේත්තු කිරීමට උත්සාහ කරමින් සිටින බවයි. වර්තමාන ආණ්ඩුව යනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි (පොහොට්ටුව) ද සහයෝගය ඇතිව පිහිටුවා ඇති ආණ්ඩුවයි. අපි දන්නා තරමින් සහ පෙර පාසල් අවධියේ පසුවන දරුවෙකුවට වුවද තේරෙන අන්දමින්, ශ්‍රීලනිපයට තනිවම ආණ්ඩු බලයක් ලබාගැනීමට හෝ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීමට තරම් ශක්‍යතාවයක් මෙම අවස්ථාවේ නොමැති අතර පක්ෂයේ වැඩබලන මහලේකම් හෝ ගරු අධිකරණය විසින් වාරණය කළ සභාපතිවරයා සිහින මවන අන්දමින් ශ්‍රීලනිපය ගාමක බලවේගයක් බවට පත්කරමින් සන්ධානයක් නිර්මාණය කිරීමටද මෙම අවස්ථාවේ එම පාර්ශවයට නොහැකිය. එබැවින් ශ්‍රීලනිපය ඉදිරියේ ඉතිරිව ඇත්තේ ශක්තිමත් නායකත්වයක්‌ තුළ, සමාන ප්‍රතිපත්ති ඇති, දේශපාලන ව්‍යාපාරයක්‌ තුළ ක්‍රියාකාරී වීම පමණි. 

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පසුගිය සති කිහිපය තුළ සිදුකළ ඇතැම් ප්‍රකාශ සහ ඔහුගේ හැසිරීම, පක්ෂයක සභාපතිවරයාගෙන් තබා, ඩාර්ලි පාරේ යාචකයෙක්ගෙන් තරම්වත් බලාපොරොත්තු නොවන අමනෝඥ, නොදියුණු එකක්‌ වන විට ශ්‍රීලනිපයට මෙවැනි තීරණාත්මක මොහොතක අවශ්‍ය කරන ශක්තිමත් නායකත්වය ඔහු නොවන බව බහුතරයක් වූ සබුද්ධික පාක්ෂිකයන්ට අවබෝධ වී හමාරය. 2018 දී ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිදුවූ 'ලැජ්ජාසහගතම' ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදුකරමින්, පෞද්ගලික දේශපාලන පෙරේතකම් වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂාව උගසට තබමින්, ජනාධිපති ධූරයේ වගකීම් පැහැරහැරි ඔහු කළයුතුව තිබුණේ පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමයි.නමුත් සිරිසේනගේ හීන පෞරුෂය ඇතුළු ඔහු තුළ පවතින දුර්වලතාවයන්ගේ පිහිටෙන් පක්ෂයේ බලය ඩැහැගැනීමට මානබලමින් සිටින දේශපාලන වශයෙන් අතරමන් වී සිටින කණ්ඩායම් ඔහුගේ නායකත්වය අපේක්ෂා කරන්නේ පක්ෂය වැහැරී ගියද එහි අන්තිම සාරයෙන් පවා තමන් ශක්තිමත් වීමට ඇති ආත්මාර්ථකාමී අරමුණු නිසාය.


මෙවැනි වටපිටාවක් තුළ, රට ආර්ථික මෙන්ම දේශපාලන වශයෙන්ද බංකොලොත් වී ඇති කාලයක, ශ්‍රීලනිපය වැනි ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයකට ඓතිහාසිකව පැවරී ඇති වගකීමක් ඇති බව වටහාගත යුතුය. ශ්‍රීලනිපය එම වගකීම අවබෝධ කර නොගෙන, ඒ වෙනුවෙන් සන්නද්ධ නොවන තාක්කල් අන්තගාමී වාමාංශික බලවේගත්, දැක්මක් නොමැති 'ළදරු' දේශපාලන කණ්ඩායමුත් එක්ව රට තවත් ගොඩගත නොහැකි දේශපාලන අර්බුදයක් වෙත ගෙන යාම වැළක්විය නොහැකිය. එබැවින් එක්විය හැකි අය සමඟ එක්වීමට ශ්‍රීලනිපය නොපසුබට විට යුතු අතර, නොගැලපෙන පාර්ශවයන් ඉවත්කර දැමීමට ද ඔවුන් නොපැකිලිව කටයුතු කළ යුතුය. ඒ මන්දයත් පක්ෂයට පෙර රට ගැන සිතා කටයුතු කිරීම ශ්‍රීලනිපයේ සදාකාලික ඉගැන්වීම වූ බැවිනි.


ඉතින් අපි 'සදාකල්ම මාතෘ භූමියට පෙමින් බැඳී' කටයුතු කරමු.