Tuesday, November 22, 2022

පාර්ලිමේන්තුව විසුරවන්නේ නැහැ - එන්න එකට වැඩකරමු

 


ආර්ථික අර්බුදයක් පවතින මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරවීමට කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ . රටේ බොහොදෙනෙක්ට ඡන්දත් එපාවෙලා පක්ෂත් එපා වෙලා. තරුණයො බලාගෙන ඉන්නේ වෙනසක් කරනකම්. ඒ වෙනස කරලා සහනයක් දීලා

මනාප ක්‍රමය තිබෙනකම් දුෂණය තියෙනවා මේ රටේ. කොච්චර වියදම් කරනවද මේරටේ ඡන්ද වෙනුවෙන්. ඒ නිසා මම ආයෙත් විපක්ෂයට කියනවා එන්න අපි එකතුවෙලා ඒ කටයුත්ත කරමු. මට මේ හැමෝම එකක වැඩ කරන්න පුළුවන්. අයවැයෙන් පසුව අපි හැමෝම එකතුවෙලා මේගැන කතා කරමු මම රුස්වීමක් කැදවන්නම්”යැයි ජනාධිතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පළාත් පාලනයේ වෙනසක්


පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(23දා) දැනුම්දුන්නේය.

ඒ අනුව පළාත් පාලන ආයතනවල  මන්ත්‍රීවරුන්  ගණන අඩු කිරීමට මෙන්ම  වියදම් පාලනයට කිරීමට ද කටයුතු සකස් කරමින් සිටින බවද අග්‍රමාත්‍යවරයා දැනුම්දුන්නේය.

එම කටයුතු එසේ සිදු උවද මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඇති බලය බලපෑමක් කිරීමට රජය බලාපොරොත්තු නොවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරණ සිදුකරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තමා කණගාටුවන බවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේය.

මැණික් වලින් ඩොලර් 500 ක ඉලක්කයක්



මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ අපනයනයන් සිදුව තිබුණද එම සියලු මුදල් රටට නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද(23දා) පාර්ලිමේන්තුවට පැවසීය.

එම මුදල් ප්‍රමාණයෙන් රටට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 170 ක පමණ සුළු මුදලක් පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

 අපනයන හරහා ලැබෙන මුදල් දින 180 ක් තුළ රටට ගෙන ආ යුතු බවට නීතියක් තිබුණද එම මුදල් රටට නොලැබෙන බවද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර අපනයනය සඳහා ආණ්ඩුව අයකරන බදු ප්‍රමාණය 0.025% ක්  බවද මෙවර අයවැයෙන් එය 2.5% දක්වා ඉහළ දමා ඇති බවද අමාත්‍යවරයා කීවේය.

කෙසේවෙතත් ලබන වසර තුළදී මෙම ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 500 වඩා රටට ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.