Tuesday, November 15, 2022

ජනාධිපතිතුමාට අපේ විරෝධයක් නැහැ - අපි අපේ ආණ්ඩුවක් හදාගම්මු

 


ව්‍යවස්ථානූකූලව පත්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග වඩා හොදින්ම වැඩ කළ හැකි කණ්ඩායම සමගි ජනබලවේගයේ කණ්ඩායම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එබැවින් ජනාධිපති ධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් පවත්වන ලෙස හර්ෂ ද සිල්වා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේබව කීවේය.




මම සමගි සන්ධානයට ගියෙ නැහැ


තමා සමගි ජන බල සන්ධානය වෙත එක්ව ඇති බව සම්පුර්ණයෙන්ම අසත්‍ය කාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතා පැවසීය.

විපක්ෂය ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ඡා මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථ දක්වා ඇති බවත් එමගින් තමාගේ වරප්‍රසාද කඩවී ඇති බවද මන්ත්‍රීවරයා අද(16දා) පාර්ලිමේන්තුවේදී කීවේය.  ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස වරප්‍රාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින්  මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


ගෝඨාභයට උදවු කළේ කලු සල්ලි ජාවාරම්කාරයෝ

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලු සල්ලි ජාවාරම්කරුවන්ට හසුවී සිටිබවත් රටේ බදු ප්‍රතිපත්ති වෙනස් කරන ලද්දේ ඔවුගේ උපදෙස් අනුව බවත් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම ගෝඨාභය මහතාගේ මැතිවරණයට සහය දුන්නේද කලු සල්ලි ජාවාරම්කරුවන් බවද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසු අතර මෙසේද පැවසීය,

මේ රටේ තිබෙන දුෂණය ඉතාම බරපතල කාරණයක්. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්වෙන්නෙත් දුෂණයත් එක්ක.  මේ හැමතැනම ජාවාරම්කාරයෝ ඉන්නවා. හිටපු ජනාධිපතිතුමාටත් උණේ  ඒකමයි.  එතුමාගේ මැතිවරණයට සහය දුන්නේ කලු සල්ලි ජාවාරම්කාරයෝ. ඔවුන් තමයි අපේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න ජනාධිපතිතුමා පෙළබෙව්වේ. රටේ බදු ආදායම බිලියන 1400 තිබෙන තැනකින් බිලියන 600 ක් ඉවත් කරගන්න මේ කලු සල්ලි ජාවාරම්කාරයෝ කටයතු කරපුවාම හිතාගන්න පුළුවන් නේද රටට වෙන දේ. ඒ නිසා මේ රටට ගැලපෙන බදු ප්‍රතිපත්තියක් අපි ඇති කළ යුතුයි.  යැයි ද කීවේය.