Monday, November 7, 2022

මරණයට බිය නොවූ දෙවියන්ගේ දියණිය - -බෙනාසීර් බූතෝ




පසුගිය දා පාකිස්තානු හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉලක්ක කරගෙන එල්ල වූ වෙඩි ප්‍රහාරය සමඟ, එම සිද්ධිය ද යටපත් කරගෙන දේශපාලන කරළියේ මතුව ආවේ අතීත සිදුවීමකි.මෙම සිදුවීම 2007 දී රාවල්පිණ්ඩි හිදී ජන රැළියක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් එවකට හිටපු අගමැතිනියක් වූ බෙනාසීර් අලි බූතෝ ඝාතනය වීම පිළිබඳ මතකය බොහෝ දෙනෙක් තුළ නැවුම් ආකාරයකින් මතුකරන්නට සමත් විය.


ආසියාවේ ප්‍රබල දේශපාලන පරම්පරාවක සාමාජිකාවක ලෙස පාකිස්තානයේ හිටපු අගමැති සුල්ෆිකාර් අලි බූතෝට සහ හිටපු අමාත්‍යවරියක් වූ බෙගම් නස්රත් බූතෝට දාව 1953 දී උපත ලබන බෙනාසීර් සැලකෙන්නේ නූතන ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික ඉස්ලාමීය රාජ්‍යයක නායිකාව බවට පත්වූ පළමු කාන්තාව ලෙසයි. කෙතරම් ප්‍රභූ පවුලක ඉපදුනත් බෙනාසීර්ගේ ජීවිතය කටුක අභියෝග රාශියකින් පිරුණු එකකි.


අමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් සහ මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් (ඇය එහි ඉගෙනුම ලබන සමයේ ඇයගේ හොඳම යෙහෙළියන් අතරින් කෙනෙක් වූයේ මහා බ්‍රිතාන්‍යයේ දෙවන අගමැතිනිය වූ තෙරේසා මේ යි ) දේශපාලන විද්‍යාව, දර්ශනය සහ ආර්ථික විද්‍යාව පිළිබඳව හදාරා 1977 දී ඇය නැවත පාකිස්ථානයට පැමිණෙන්නේ එරට විදේශ සේවයට එක්වීමේ අරමුණෙනි. නමුත් ඉන් මාස දෙකකට පසුව එවකට එරට හමුදාපති මොහොමඩ් සියා-උල්-හක් විසින් ඇයගේ පියා හමුදා කුමන්ත්‍රණයක් මඟින් බලයෙන් පහකර අත්අඩංගුවට ගෙන එල්ලා මරා දැමීමත් සමඟ සියල්ල උඩුයටිකුරු විය.ඉන් පසුව ඇයගේ මවත් සමඟින් තම පියාගේ දේශපාලන පක්ෂය වූ පාකිස්තානු ජනතා පක්ෂයේ වගකීම සිය දෙවුර මතට ගැනීමට ඇයට සිදුවූ අතර සියා-උල්-හක්ගේ මිලිටරි රෙජීමය විසින් ඇයව කිහිපවරක් අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි.පසුව 1984 දී ඇය එංගලන්තය බලා යන්නේ ජීවිතය රැකගැනීමේ අරමුණෙන්ය.


මේ අතරවාරයේ ඇයගේ එකම සොහොයුරා අල්-සුල්ෆිකාර් නමින් මිලිටරි සංවිධානයක් පිහිටුවාගෙන සිටි අතර මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර පැවතියේ අමනාපකමකි. ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑවටත් වඩා විශ්වාස කළ ඇයට එය කිසිසේත්ම එකඟවීමට නොහැකි කරුණක් විය.1987 දී අසීෆ් අලි සර්දාරි සමඟින් විවාහ වන ඇය 1988 දී එරට පළමු අගමැතිනිය ලෙස පත්වූවාය.


ඇයගේ පළමු ධූර කාලය තුළ පාකිස්තානු දේශපාලනය තුළට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අංග එකතු කිරීමට ඇය කටයුතු කළාය. එපමණක් නොව ආගමික, සමාජීය කාරණා මත පීඩාවට පත්ව සිටි පාකිස්තාන කාන්තාව වෙනුවෙන් ඇයගේ රජය විසින් බොහෝ පියවර ගත් අතර කාන්තාවන්ට පුරුෂයන් හා සම අයිතිවාසිකම්, මෙන්ම සම වැටුප් ලබා දීමට කටයුතු කළාය.තවද සම්ප්‍රදායික ඉස්ලාමීය දේශපාලන ආකෘතියෙන් බැහැර වී නුතන ලිබරල්වාදී, ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් පාකිස්තානු දේශපාලනයට ලබා දීමට ඇය උත්සුක විය.මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි ප්‍රබල යුරෝපා රටවල් සමඟ පමණක් නොව තම සදාකාලික සතුරා වූ ඉන්දියාව සමඟද යහපත් සබඳතා ගොඩනගා ගැනීමට ඇය කටයුතු කළාය.නමුත් අසීමිත ලෙස පවුල් බලයක් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම, අකාර්යක්ෂමතාවය ආදී චෝදනා මත දැඩි ඉස්ලාමීය මතධාරී ජනාධිපතිවරයා සහ විරුද්ධවාදීන් විසින් ඇයගේ ආණ්ඩුව ඉවත් කරන ලදී.


විපක්ෂ නායිකාව ලෙස නැවතවරක් 1993 දී මහා මැතිවරණය ජයගනිමින් අග්‍රාමාත්‍ය ධූරයට පත්වන ඇය එතැන් සිට 1996 දක්වා අග්‍රාමාත්‍ය ධූරය හෙබවූවාය.එහිදී ඇය බ්‍රිතාන්‍යයේ දී ලද ආභාෂය සහ තැචර්වාදී ආකල්ප නිසා ආර්ථිකය පෞද්ගලිකරණය වැනි ප්‍රතිපත්තිවලට යොමුවීම ඇයව බොහෝ පාකිස්තානු දේශපාලනඥයන්ගේ උදහසට ලක්වීමට හේතු විය.එම කාලය අතරතුර වඩාත් මතභේදයට තුඩුදුන් සිදුවීමක් වූයේ ඇයගේ සහෝදරයාගේ ඝාතනය ඇයගේ අනුදැනුම මත සිදුවූ බවට විරුද්ධවාදීන් විසින් චෝදනා කිරීමයි. එහිදී  ද එකී චෝදනා සියල්ල සහ 1995 දී සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් ඇයගේ ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.


පෞද්ගලික ජීවිතයත් තම දේශපාලනික ජීවිතයත් ඇය ඉතා සමබරව පවත්වාගෙන ගිය බවට හොඳම නිදසුන නම්, අග්‍රාමාත්‍ය ධූරය දරන අතරවාරයේ දරුවෙකු ප්‍රසූත කළ ලොව පළමු අගමැතිවරිය බවට ඇය පත්වීමයි. 1990 දී ඇය බක්තාවර් බූතෝ සර්දාරිට මෙලොව එලිය දෙමින් කාන්තාවකට ඕනෑම වගකීමක් දැරීමේ  සහජ හැකියාව ඔප්පු කිරීමට සමත් වූවාය.


දශකයකට ආසන්න කාලයක් ඩුබායිහි සහ මහා බ්‍රිතාන්‍යයෙහි වාසය කර ඇය නැවත 2007 දී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ 2008 මහ මැතිවරණය ඉලක්ක කරගෙනය. නමුත් අවාසනාවන්ත ලෙස 2007 දෙසැම්බර් 27 වන දින රාවල්පිණ්ඩි සිදුවූ වෙඩි තැබීමකින් ඇය මියයන අතර ඇයට වෙඩි තැබීමෙන් පසුව එම රැලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ද එල්ල විය. ඊට මාස දෙකකට පෙර ද ඇය ගමන් කළ රථය ඉලක්ක කරගෙන කරච්චි අගනුවර දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් දිවිගලවා ගැනීමට ඇය සමත් වුවත් මෙවර මාරයා ඇයව පහසුවෙන් ගොදුරු කරගැනීමට සමත් විය.


ඉස්ලාමීය රාජ්‍යයක ආකර්ෂණිය නායිකාවක ලෙසත්, මිලිටරිකරණයෙහි අඳුරු සෙවනැලි අතරින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට දැරූ ප්‍රයත්න නිසාත්, ගෝත්‍රිකත්වය වෙනුවට නූතනත්වය වැළඳගැනීමට ස්වකීය ජනතාව පෙළඹවීම නිසාත් බෙනාසීර් බූතෝගේ ජීවිතය තවමත් ඝාතනය කිරීමට ඇයගේ විරුද්ධවාදීන්ට නොහැකි වී තිබේ. ඇය පෙන්වූ මාර්ගය මලාලා වැනි සුවහසක් දැරියන්ට ආලෝකයක් වී ඇති අතර ඒ මාර්ගය අදටත් බෙනාසීර්ලා බොහොමයක් බිහි කරමින් සිටි.


"ඔබ‍ට මිනිසෙකු සිරගත කළ හැකිය. ඔහුව පිටුවහල් කළ හැකිය. අවශ්‍යය නම් ඔහුව මරාදැමිය හැකිය. නමුත් ඔබට ඔහුගේ අදහස් සිරගත කිරීමට‍ හෝ , පිටුවහල් කිරීමට හෝ මරාදැමීමට නොහැකිය."



සහන් තෙන්නකෝන් 

#sahantwrites 

08.11.2022


#BenazirBhutto #BenazirPakistan #BilawalBhuttoZardari #ImranKhan