Wednesday, October 26, 2022

පළාත් පාලන ආයතනයක් විසින් සිදුකරන විශාලතම ව්‍යපෘතිය අර්බුදයක ද?

 



 ජනතාව වෙනුවෙන් පවතින රාජ්‍ය ආයතන මගින් ව්‍යාපෘති සිදුකිරීමේදී ජනතාවගේ කටයුතු පහසු කිරීම සඳහා ව්‍යාපෘති සිදුකළ යුතුවේ. එසේ උවද රටතුළ සිදුකර ඇති බොහොමයක් ව්‍යාපෘති දෙස බැලු කළ එය එසේ නොවන බව පැහැදිලි කිරීමට වැඩි වෙහෙසක් ගතයුතු නොවේ. බොහොමයක් ව්‍යාපෘති අසාර්ථක ව්‍යාපෘති බවට පත්ව ඇත්තේ මහජන මුදල් ද විශාල වශයෙන් පුලුස්සා දමමින්ය. එබැවින් මහා පරිමාණ ව්‍යාපෘති සිදුකිරීමේ දී ජනතාවගේ ආයතන ලෙස කටයුතු කරන රාජ්‍ය ආයතන දැඩිලෙස සැලකිලිමත් විය යුතුය.
මෙය මධ්‍යම රජයේ ආයතනයක් වේවා පළාත් සභා හෝ පළාත් පාලන ආයතන වේවා මේ සියල්ලටම පොදු කාරණයක් ය. මේ අතර මෙරට පළාත් පාලන ආයතනයක් විසින් සිදුකරන විශාලතම ව්‍යපෘතිය ලෙස දැනට හදුනාගෙන ඇති බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම කුලියාපිටිය නගර සභාව මගින් සිදුකරමින් පවතින අතර සැලසුම් කළ පරිදි එය මෙතෙක් අවසන් කරගැනීමට නොහැකි වීමේ අර්බුදයකට එම නගර සභාව පත්ව සිටියි.


  කුලියාපිටිය සිටි සෙන්ටර් (KULIYAPITIYA CITY CENTER)


 සුවපත් ජීවිතයක් - අලංකාර නගරයක් තේමාව  මුල්කරගනිමින් කුලියාපිටිය නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන විශාලතම ව්‍යාපෘතිය ලෙස රුපියල් මිලියන 1089 ක වියදමින් මෙම  පොදු වෙළඳපල හා බහුකාර්ය ගොඩනැගිල්ල ව්‍යාපෘතිය ඉදිකිරීම් 2020 වර්ෂයේ ආරම්භ කර ඇත.

කුලියාපිටිය නගර මධ්‍යයේ ඉදිකෙරෙමින් පවතින මෙම ගොඩනැගිල්ල මේ වසරේ (2022) අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීමට නියමිතව තිබුණ ද මේ වනතෙක් එහි ඉදිකිරීම් අවසන් කර ගැනීමට ඉදිකිරීම් කරන සමාගමට නොහැකි වී තිබේ. මේවනවිට සිදුකර ඇත්තේ එම ව්‍යෘපෘතියෙන් 75% ක පමණ ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනයක් විසින් තම අරමුදල් යොදවා සිදුකරන විශාලතම ව්‍යාපෘතිය ලෙස මෙම ව්‍යාපෘතිය සුවිශේෂී වේ. මේ සඳහා මධ්‍යම රජයේ අරමුදල් ලබාදී නොමැති අතර කුලියාපිටිය නගර සභාවේ අරමුදල් සහ දේශීය ණය සංවර්ධන අරමුදල මගින් ලබාගෙන ඇති ණය පහසුකමක් මත ව්‍යාපෘතිය ආරම්භකර ඇත.

ඉදිකෙරෙමින් පවතින කුලියාපිටිය සිටි සෙන්ටර් ගොඩනැගිල්ල  භුගත මහල ද සහිතව මහල් හතකින් සමන්විත ගොඩනැගිල්ලකි.  භුගත වාහන අංගනයක් සහ බිම් මහල තුළ කඩ කාමර 51  ක්  ද පළමු මහලෙහි කඩ කාමර 17 ක් ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.  දෙවන මහලෙහි සිනමා ශාලා 02 ක්  කායවර්ධන මධ්‍යස්ථානයක්  රූපලාවණ්‍යාගාරයක්  ක්‍රීඩා කලාපයක් ආහාරපාන අලෙවිසැල් 08 ක් ළමා ක්‍රීඩාංගනයක් ඉදිකෙරේ.  තුන්වැනි මහලේ උත්සව ශාලා 02 ක් හා ආපහන ශාලාවක් සහිත විවෘත ඉහළ මහලකින් සමත්විත වන ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම   සුපිරි වෙළඳපල පරිශ්‍රයක ලෙස ඉදිකිරීම්ට  නවීන සෝපාන සහ විදුලි පාපුවරු ආදිය යොදා ගැනීමටද හරිත සංකල්පයට අනුගමනය කරමන් මෙහි අපජල පිරිපහදු ඒකකයක් මෙන්ම ලීටර 10 000 ක ධාරිතාවයකින් යුතු වැසි ජල රඳවනයක් ඉදිකිරිමටද සැලසුම්කර තිබේ. එමෙන්ම විදුලිය ලබාගැනීම සඳහා සුර්ය පැනල සහ LED විදුලි පහන් භාවිතා කිරීමටද සැලසුම් කර තිබේ.


 

අර්බුදකාරී තත්වය

 නගර සභාවේ අරමුදල් සහ ලබාගත් ණය පහසුකම් මත මෙම ගොඩනැගිල්ල  ඉදිකිරීමට නගර සභාව යොමුව ඇති අතර නියමිත කාලයට එය අවසන් කර ගැනීමට නොහැකිවීම තුළ නගර සභාවේ කටයුතු සඳහා අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතාවයකට මේවනවිට නගර සභාව මුහුණ දී ඇත. නියමිත කාලය අවසන් කිරීමෙන් පසුව එම ගොඩනැගිල්ලෙන් ලැබෙන ආදායම යොදාවා ගනිමින් නගර සභාවේ කටයුතු සිදුකිරමට සැලසුම් කර තිබුණද  සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය අවසන් කරගැනීමට නොහැකිවීම තුළ යම් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පිළිගන්නා බව නගර සභාවේ ලේකම් එච් එම් පී කේ හේරත් මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම ඉදිකිරීම ආරම්භ කළ අවස්ථාවේ කොවිඩ් වසංගතයට මුහුණ දීම හේතුවෙන් රට වසාතැබීමේදී දුෂ්කරතාවයන්ට ලක්වීම නිසාද රටේ පැවති අර්බුද තත්වයන් නිසා මෙන්ම ඉදිකිරීම් ද්‍රව්‍ය අසීමිතව මිල ඉහළ යාම හේතුවෙන් කටයුතු කරගෙන යාම දුෂ්කර වු බව ඉදිකිරීම් කරන සමාගම  වරින්වර දැන්වු බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් මේ හේතුවෙන් නගර සභාව රුස්වී ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අවසන් කිරීමේ කාලය අවස්ථා දෙකකදී දීර්ඝ කිරීමට කටයුතු කර ඇති අතර එම දීර්ඝ කිරීමේ කාලයද මෙම ඔක්තෝම්බර් මාසයෙන් අවසන් වී ඇත.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වලින් මේවනවිට 75% ක ප්‍රමාණයක් අවසන් කර ඇති අතර එසේ උවද ව්‍යාපෘතිය සම්පුර්ණයෙන් අවසන්කර ලබාදෙන දිනයක් ඉදිකිරීම් සමාගම මෙතෙක් සභාවට දැනුම්දී නොමැත. ඒ අතරම දේශීය ණය සහ සංවර්ධන අරමුදලින් සභාව ලබාගෙන ඇති ණය මුදල ද මෙවනවිට අවසන් වී ඇති අතර සභාවේ ස්ථීර තැන්පත් මුදල් ද මේ සඳහා යොදවා තිබේ. මේ හේතුවෙන් සභාව මේවනවිට මුල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත.

                      



විගණන විමසුමක්

 කුලියාපිටිය නව පොදු වෙළඳපල හා බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් විගණන විමසුමක්ද සිදුව ඇති අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නගර සභාව විසින් ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොමැති අතර ව්‍යාපෘති වාර්තාව පමණක් පිළියෙල කර ඇති බව එහිදී හදුනාගෙන තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ ඉංජිනේරු ඇස්තමේන්තු මිල රුපියල් මිලියන 996 ක් ලෙස සඳහන් ව තිබුණද කොන්ත්‍රාත් අත්සන් කිරීමේ ගිවිසුමේ එහි මිල රුපියල් මිලියන 1089 ලෙස සඳහන් වීමද විගණනයේදී අවධානට ලක්ව තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මිල විචලනයන මෙන්ම ගෙවීම් සිදුකිරීමේ කාර්ය පටිපාටිය අනුගමනය කර නොතිබු අවස්ථා කිහිපයක්ම විගණනය මඟින් හදුනාගෙන ඇත.



                                             බහුකාර්ය ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වු  දැන්වීමක්

  

බහු කාර්ය ගොඩනැගිල්ල වෙනුවෙන්ම විශේෂ මහා සභාවක්

  මහා පරිමාණ ව්‍යාපෘතියක් හේතුවෙන් සභාව මේවනවිට අර්බුදයකට ලක්ව සිටින බැවින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනම් තීරණ ගැනීමට කුලියාපිටිය නගර සභාව මෙමස 07 දා විශේෂ මහා සභාවක් ලෙස රැස්විය. කොවිඩ් වසංගතය  හේතුවෙන් ඉදිකිරීමේ ගිවිසුම් කාලය දීර්ඝ කිරීම මත මේවනවිට විශාල මුදල් ප්‍රමාණයක් ණයට ගැනීමට සිදුව ඇති බවත් එය නගර සභාවට අවාසි සහගත තත්වයක් බවත් නගර සභාව මෙහිදී හදුනාගත්තේය.

තවදුරටත් අවාසි සිදු නොවීමට නම් මෙම ගොඩනැගිල්ලේ මහල් කිහිපයක් කඩිනමින් විවෘත කර එමගින් ලැබෙන ආදායම් යොදවා ඉතිරි වැඩකටයුතු සිදුකළ යුතු බවටද සභාව මගින් යෝජනා සම්මත විය. ඒ අනුව පොදු වෙළඳපල හා බහුකාර්ය ගොඩනැගිල්ලේ බාහිර සියලු වැඩ උද්‍යාණ අලංකරණ කටයුතු මේ වසරේ දෙසැම්බර් 31 ට පෙර අවසන් කිරීමටත් ගොඩනැගිල්ලේ ඉතිරි සියලු කටයුතු 2023 වර්ෂයේ මාර්තු මාසය වන විට අවසන් කිරීමටත් යෝජනාවක් සභාපතිවරයා ගෙන ආ අතර ඒසඳහා සභාවේ අනුමැතිය හිමිවිය.

 

නව සංශෝධිත ඇස්තමේන්තුවක්

 ද්‍රව්‍ය මිල ඉහළ යාම සහ සේවා ලබාගැනීමේ දුෂ්කරතා ආදිය සලකා ගොඩනැගිල්ලේ ඉදිකිරීම පිළිබඳ නව සංශෝධිත ඇස්තමේන්තුවක් සකස් කිරීමට කටයුතු කර ඇති අතර එමගින් 120% ක පමණ මිල වැඩිවීමක් සිදුවී ඇත. කෙසේ උවද එම ඇස්තමේන්තුව සභාවට ඉදිපත් නොවීමද ගැටලු සහගතය. මිල ගණන් වැඩි වු ද්‍රව්‍ය සහ මිල වැඩිකිරීම් කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳ සභාව දැනුවත් වී නොතිබීමද මේ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුකර ඇත.

එමෙන්ම මෙම ගොඩනැගිල්ල නියමිත කාලසීමාවේදී විවෘත කළේ නම් සැලකිය යුතු ආදායමක් නගර සභාවට ලබාගැනීමට අවස්ථාව තිබු අතර මේවනවිට එම ආදායම් අහිමී වී ඇත. ඉදිරි කටයුතු සැලසුම් කිරීමේදී නගර සභාව මෙවැනි තත්වයන් පිළිබඳ අවධානය යොමුකළ යුතුව ඇත . මන්දයත් මේ සියලු මුදල් මහජනතාවගේ බදු මුදලින් ගෙවීමට සිදුවන බැවිනි.

 

සභාපතිගේ යෝජනාව

 කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුලියාපිටිය නගර සභාවේ සභාපතිවරයා පැවසුයේ මෙම ව්‍යෘපෘතිය කඩිනමින් සාර්ථක කරගැනීමට හැකි උවහොත් නගර සභාව වෙනුවෙන් ජනතාවගෙන් අයකරන වරිපනම් බදු විශාල ප්‍රමාණයකින් අඩුකිරීමට තමා කටයුතු කරන බවයි. සභාපති ලක්ෂ්මන් අදිකාරී මහතා ඒ සම්බන්ධයෙන් පැවසුයේ මෙසේය,

“ සාප්පු සංකීරණය විවෘත කිරීම දින නියමයක් නොමැතිව ඉදිරියට ඇදෙමින් තියෙනවා. නමුත් අපි ලබන වසරේ ජනවාරි වෙද්දි පළමු මහල් දෙක විවෘත කරන්න සැලසුම් කරගෙන තිබෙනවා.  නගර සභාවේ ආදායම වැඩිකරගැනීමට අවශ්‍යව තිබෙනවා . ඒ නිසා අපි එය අනිවාර්යෙන් එය සිදුකරන්න කටයුතු කරනවා. ඒවගේම නගර සභා සාප්පු සංකීරණයේ සියලු කටයුතු විගණනයට යටත් කරන්න අපි සැලසුම් කර තිබෙනවා. කොහොමඋනත් මේ ප්‍රමාදය අපේ ප්‍රමාදයක් නෙවෙයි. කොන්ත්‍රාත් සමාගමේ ප්‍රමාදයක්. ඒ නිසා අපි ඉදිරියේදී මේ ප්‍රමාද ගාස්තු අයකිරගැනීමටත් අදහස් කරගෙන ඉන්නවා. මේ සාප්සු සංකීරණය සාර්ථක වෙන්න තිබුණු ව්‍යාපෘතියක්. එය ක්‍රියාත්මක කිරීම තරමක් පසුවෙලා තිබෙනවා මිස අසාර්ථක වෙලා නැහැ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා සමඟම මගේ තවත් අදහසක් තිබෙනවා. එය ලංකාවේ මෙතෙක් කොහෙවත්ම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ තමයි මේ ව්‍යාපෘතියේ ආදායම ලබාගන්නා විට ජනතාවගේ වරිපනම් බද්ධ විශාල ලෙස අඩු කරන්න මම සැලසුම්කරගෙන ඉන්නවා. ජනතාවට සහනයක් දෙන්න අපි සැලසුම්කරගෙන යනවා යැයි හෙතෙම පැවසීය.

කුලියාපිටිය නගර සභාව මේවනවිට ගෘහස්ත ඒකක වලින් 5% ක වරිපනම්  බදු අයකිරීමක් සිදුකරන අතර ව්‍යාපාරික ඒකක වලින් 7% ක බදු අයකිරීමක් සිදුකරයි. ඒ අනුව වාර්ෂික බදු ආදායම ලෙස රුපියල් 28,742,226 ක මුදලක් නගර සභාව ලබාගන්නා අතර මුල් අදියරේ බදු අඩුකිරීමේදී ගෘහස්ත 3% ක් ව්‍යාපාරික 5% දක්වා බදු අඩුකිරීමට සභාපතිවරයා සැලසුම්කර තිබේ. ජනතාවගේ මානයේ සිට බලනවිට බදු බර අඩුකිරීමට සැලසුම් කිරීම ඉතා විශිෂ්ට ක්‍රියාවකි. මන්ද යත් මේවනවිට  රටේ සම්ස්ත බදු බර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර  එය ජනතාවට දරාගැනීමට නොහැකි මට්ටමට පැමිණ ඇති බැවිනි. එසේ උවද නව ව්‍යාපෘතිය මගින් ලබාගැනීමට අපේක්ෂිත ආදායම සම්බන්ධයෙන් මෙතෙක් නිසිලෙස සැලසුම්කර හෝ ගණනන් බලා නොමැති බවද ඒ සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා කීවේය.

කෙසේවෙතත් මහජන බදු මුදලින් ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යෘපෘති මගින් උපරිම මහජන සුබ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කිරීමට යොමුවීම යුගයේ අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත.

 

 

සටහන  - චාමර සම්පත්