Sunday, August 28, 2022

හිත ඇත්නම් පත කුඩා ද?

 

දෑත් සහ එක් පාදයක් අහිමිව මෙලොව එළිය ලැබ හිමි එකම වම් පාදය   හුරු කරමින් අකුරු ගැලපූ  ඒ විශිෂ්ට දියණිය,  ඇහැලියගොඩ ජාතික පාසලේ රෂ්මි නිමේෂා ගුණවර්ධන    උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් A- 3 ක් ලබා ගෙන ඇත්තීය.

අඩුපාඩු හා නැති බැරිකම ගැනම කියමින් වැළලෙන්නට හදන දුගී පසුගාමී මානසිකත්වයක් සහිත අප වැනි රටක අභියෝග ජයගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ පාඩමක් නොව පාඨාමාලාවක් සේ හැදැරිය යුතු මේ තරුණ දියණිය ගැන මාධ්‍ය වරින්වර කථා කළේය. ඇය ලබා ගත් සෑම ජයග්‍රහණයක්ම වාර්තා කළේය.

රෂ්මි උපදින්නේ වර්ෂ    2002 ක්වූ දෙසැම්බර් 23 වන දිනය. ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ  දෙල්ඔළුව කනිටු විදුහලෙනි.     වර්ෂ 2012 දී ඇය  5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූවාය. අනතුරුව ඇහැළියගොඩ ජාතික පාසලට තේරුණාය. රෂ්මි  අපොස සාමාන්‍යෙපළ  පෙළ විභාගයට පෙනී සිටින්නේ වර්ෂ 2018 දී ය.   සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් සහිතව සමත් වූවාය.

රෂ්මි උසස්පෙළ විභාගයට ලියන 2021 අවුරුද්ද ලෝක ඉතිහාසයේම එන දුර්ග සමයකි.  ඒ දුර්ග වකවානුව ආත්ම ශක්තියෙන් ජයගත් ඇය A සාමාර්ථ තුනක් සහිතව උසස්පෙළ විභාගය සමත්වී සිටින්නීය.

ඇය විෂය බාහිර ක්‍රියාකාරකම්හි විශිෂ්ටතා පෙන්වූ දියණියකි.   2017 සැප්තැම්බරයේ දී වියට්නාමයේ පැවති   Global IT challenge 2017 Super challenger ජාත්‍යාන්තර තරගයෙන්  රන් පදක්කම   රැගෙන එන්නට සමත් වූවාය.   සරසි සහ රෂ්මිධාරා ඒක පුද්ගල ගී ප්‍රසංග පවත්වමින් ජනාදරයට පත් වූවාය.

ජීවිතය ජයගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව රෂ්මි ජීවිතාදර්ශයක් සපයා ඇත්තේ එලෙසය.