Monday, November 21, 2022

තවදුරටත් වැරදි තීන්දු ගන්න බැහැ

 

 

රටේ ආර්ථිකය ස්ථායී නොකළහොත් ලබන වසරේ මාර්තු පමණ වනවිට තත්වය ඉතා දරුණු විය හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද(22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය දෙවැනිවර කියවීමේ  විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මෙසේද පැවසීය,

“රටේ ආර්ථිකය ස්ථායි උනොත් පමණයි රටේ අනාගතය ස්ථායි වෙන්නේ. ඒ නිසා අපිට තවදුරටත් අඩුපාඩු වැරදී තීන්දු ගැනීමට හැකියාවක් නැහැ. අපි ක්‍රමාණූකූලව හිස ඔසවන අවස්ථාවක් මේක. මේ යන තත්වය වෙනස් කරන්න හැදුවොත් ජනප්‍රිය තීරණ ගන්න ගියොත් මාර්තු අප්‍රේල් මැයි ජුනි වල රට තිබුණු තත්වයට වඩා දරුණු තත්වයකට පත්වෙනවා. ඒ නිසා සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.  ඒ නිසා වර්තමානයේ රටේ මිනිසුන් දෙස බලා තීන්දු තීරණ ගැනීම වැදගත් වෙනවා. වත්මන් රජය තීන්දු ගන්නේ නැවත රට අනතුරේ දාන්නේ නැති වෙන්න. ඒගමනේදී හොද යෝජනා තිබෙනවා නම් ආණ්ඩුව ඒවා පිළිගන්න සූදානම්. ඒ යෝජනා ලබාදෙන්න.

අසීරු අඩියක ඉන්න රට ගොඩනැගීමට රජය සහ නිලධාරීන් ගන්න තීන්දු වලදී ඒවාට ශක්තිය ලබාදීම වැදගත්වෙනවා. ඒවගේම වර්තමාන රජය ගෙනියන වැඩපිළිවෙල තුළ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක උවහොත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නොවේවි.

මේ අයවැය ලේඛණය තුළ ඉදිරිපත් කරන අලුත් ආර්ථික ක්‍රමවේදය තුළ 2024 දක්වා යාමට අවශ්‍ය පදනම සකස්වෙනවා. ඒවෙනුවෙන් කටයුතු කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.” යැයි පැවසිය.



 

ශ්‍රිලනිපය දෙකඩ වේ?

 

ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩවීමේ අර්බුදයක් මතුව තිබේ. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු 08 කුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කිරීමත් සමගය.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයට තිලංග සුමතිපාල මහතා පත්කිරීමත් සමග ඒසඳහා බොහොදෙනෙකු විරෝධය පළකර ඇති බවද වාර්තාවේ. එමෙන්ම ශ්‍රීලනිපයේ වර්තමාන සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව පිරිසක් අධිකරණයට යාමට සූදානම්වන බවද වාර්තාවේ.



අයවැය ඡන්ද විමසීම අද


අයවැය ඡන්ද විමසීම අද(22දා) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 15 දා සිට අද(22දා) දක්වා පැවැත්විණ. අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය හෙට(23දා) සිට ආරම්භවීමට නියමිතය.



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සියලු වාර්තා මෘදු පිටපත් ලෙස ඉදිරිපත් කිරීමට පියවර...

 

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා මේ වනවිට මෘදු පිටපත් මාර්ගයෙන් පමණක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන අතර එම වාර්තාවල සීමිත දෘඩ පිටපත් සංඛ්‍යාවක් පමණක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ  තැබීමට කටයුතු කරනු ලබන බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

 කඩදාසි සඳහා වැයවන අධික පිරිවැය හේතුකොටගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සියලු වාර්තා මෘදු පිටපත් (Soft Copy) වශයෙන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය කෙරිණි.

 ඒ අනුව, 2023 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන කාල සීමාවේදී ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ප්‍රගති වාර්තාද මෘදු පිටපත් වශයෙන් මන්ත්‍රීවරයන් වෙත ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවද කථානායකවරයා දැනුම් දුන්නේය. එම වාර්තාවලද දෘඩ පිටපත් කිහිපයක් මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවද කථානායකවරයා පැවසීය.



ජනතා අයිතියට පත් නොවු පොදු වැසිකිලිය

  

මහඉලුප්පල්ලම නගරයේ මීට වසර 05 කට පමණ ඉහතදී ඉපලෝගම ප්‍රාදේශීය සභාව මගින් ඉදි කිරීම් අවසන් කළ පොදු වැසිකිළි පද්ධතිය මෙතෙක් ජනතා අයිතියට පත් කර නැතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති.

 කාන්තා, පිරිමි හා ආබාධිත පුද්ගලයින් සඳහා භාවිතා කළ හැකි වන පරිදී අංග සම්පූර්ණ වැසිකිලි පද්ධතියක් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ , ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්

 ඉපලෝගම ප්‍රාදේශීය සභාව මගින් මීට වසර 05 කට පමණ ඉහතදී මහඉලුප්පල්ලම නගරයේ වෙළඳසංකීරණයට පිටුපසින් ඉදි කර අවසන් කර ඇත. නමුත් ඊට ජල සම්බන්ධතාවය ලබා නොදීම හේතුවෙන් තවමත් ජනතා අයිතියට  පත් කර නැතැයි ජනතාව පවසති.

අංග සම්පූර්ණව ඉදි කළ අදාළ වැසිකිළි පද්ධතිය මේ හේතුවෙන් භාවිතයට නොගෙනම විනාශ වෙමින් පවතින අතර, මහජන මුදල් මෙලෙස නිකරුණේ විනාශ වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය කණගාටුව පළ කර සිටිති.මේ වන විට ජල ටැංකි කැලෑවට යටවී, විනාශ වෙමින් පවතින අයුරුද දැක ගත හැකි විය.

මහඉලුප්පල්ලම නගරයේ පිහිටි ප්‍රාදේශීය රෝහල, මහඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග ආයතනය, ඉංජිනේරු කාර්යාලය, මහවැලි කාර්යාල, උපතැපැල් කාර්යාල ඇතුළු රාජ්‍යය හා පෞද්ගලික ආයතන සඳහා සේවා සපයා ගැනීමට පැමිණෙන හා මහඉලුප්පල්ලම නගරයට පැමිණෙන ජනතාවට වැසිකිලි කැසිකිළි කටයුතු සිදු කර ගැනීමට ස්ථානයක් නොමැති වීමෙන් ජනතාව මහත් අපහසුතාවට පත්වන බවද ප්‍රදේශවාසීන් පවසති.

 




තිසර සමල් - අනුරාධපුර