Sunday, December 18, 2022

අද වගේ දවසක

 



 










ශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති බෙදුම්වාදී යුද්ධය හේතුවෙන් අපිට අහිමි වූ දෑ බොහෝය. බෝම්බවලට හසුවීමෙන් සුනුවිසුණු වූ ගොඩනැගිලිවල අබලිවලින් හෝ ගිනිගෙන දැවුණු බස්රථවලින් එය කිසිසේත්ම තක්සේරු කළ නොහැකිය. ඒ එම තිස්‌ අවුරුදු කාලය තුළ යුද්ධයට ගොදුරු වී මියගිය උතුරේ මෙන්ම දකුණේද දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම මෙතෙකැයි කියා මිළ නොකළ බැවිනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක්‌, ඉන්දීය අගමැතිවරයෙක්, කීර්තිමත් විදේශ අමාත්‍යවරයෙක්, නාවුක හමුදාපතිවරයෙක්, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ආදී ප්‍රබල පුද්ගලයන් රැසක් එල්ටීටිඊය විසින් ඉතාමත් ආත්මාර්ථකාමී ලෙස බිලිගෙන තිබුණි.ඔවුන්ගේ මීළඟ ඉලක්කය වූයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.

 

1999 වර්ෂය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ පොදු පෙරමුණු රජයට ඉතා සුවිශේෂී වසරක් විය. දෙසැම්බර් මාසයේ පවත්වන්නට තීරණය කර තිබූ ජනාධිපතිවරණය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රබල සටනක් ලබාදීම ඔවුන්ට සිදුවී තිබුණි.තවද 1995 වර්ෂයේදී යාපනය අර්ධද්වීපය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගැනීම, කුමාරතුංග රජය විසින් ගෙනගිය සාම ව්‍යාපාරය විසින් විශාල පු

 

පුරවැසියන් සංඛ්‍යාවක් සාම මාවත වෙත ආකර්ෂණය වීම ආදී හේතු නිසාවෙන් එල්ටීටීඊ සංවිධානය රජය සමඟ දැඩි වෛරයකින් පසුවිය. බුද්ධි අංශ විසින් මැතිවරණ ව්‍යාපාරය අතරතුර ජනාධිපතිනියගේ මෙන්ම විපක්ෂ නායකවරයාගේද ආරක්ෂාවට තර්ජනයක්‌ විය හැකි බවට ඔවුන්ගේ ආරක්ෂාව භාර වගකිවයුත්තන්ට දැනුම් දී තිබුණි.

 

ඒ දෙසැම්බර් 18 වැනිදාය.එදින උදෑසන සහ දහවල් කාලයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කොළඹින් පිටත පැවති මහජන හමු කිහිපයකට සම්බන්ධ වූ අතර පසුව පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගී වූවාය.මෙකල ජනාධිපතිනිය වෙත ඉතා විශේෂ ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති ආරක්ෂක අංශය කටයුතු කර තිබුණි. කාලයේ හැටියට ඕනෑම මිනිත්තුවක

එක් හුදකලා වෙඩික්කරුවෙකුට නැවත වතාවක් ශ්‍රී ලංකාවේ සමස්ථ ගමන් මඟ වෙනස් කිරීමේ හැකියාව පැවතුනි.ජනාධිපතිනිය පොළොන්නරුවේ සිට නැවත කොළඹ බලා පැමිණෙන්නේ එදින රාත්‍රියේ කොළඹ පුරහළ භූමියේදී සංවිධානය කර තිබුණු පොදු පෙරමුණේ අවසන් රැළිය සඳහා සහභාගී වීමටයි.නමුත් ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් ප්‍රමුඛ එල්ටීටීඊය විසින් එදින ඇයගේ ජීවිතයේ තීරණාත්මක දිනයක් බවට පත්කිරීමට සැලසුම් කොට තිබුණු බවට ඇය නොදැන සිටියාය.මෙම රැළිය අතරවාරයේ ජාඇල පැවති එක්සත් ජාතික පක්ෂ රැළියක් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් හිටපු යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ලකී අල්ගම ඇතුළු කිහිපදෙනෙක් මරණයට පත්වී ඇති ආරංචිය පැමිණියේය.

 

රැළිය ආමන්ත්‍රණය කිරීමෙන් පසුව රාත්‍රී 9.30 පමණ ඇය වේදිකාවෙන් බැස ඊට නුදුරෙන් නවතා තිබුණු ඇයගේ නිල රථය වෙත ගමන් කරමින් සිටින අතරවාරයේ BBC මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක් විසින් ඇය වෙත මයික්‍රෆෝනය දිගු කරනවත් සමඟම මරාගෙන මැරෙන බෝම්බකාරිය විසින් බෝම්බය පුපුරුවා හැරියාය. ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් වහාම ජනාධිපතිනිය ජාතික රෝහලට රැගෙන යාමට පියවර ගත්තත් ජාතික රෝහලට ගෙනයන අවස්ථාවේදී දෙවන ප්‍රහාරයක් එල්ලවිය හැකි බැවින් නවලෝක රෝහල වෙත ගමන් කිරීමට ජනාධිපතිනිය විසින් උපදෙස් ලබාදී තිබුණි. විශේෂයෙන්ම එවැනි බරපතල අවස්ථාවක පවා ඉතා සංවේදී කාරණා පිළිබඳව ඇය විසින් අවධානයට ලක්‌ කිරීම පුදුමයට කරුණකි. එහිදී ඇයව ශල්‍යකර්මයකට භාජනය කෙරුණු අතර ඇයගේ දකුණු ඇසට බරපතල ලෙස හානි සිදුවී තිබුණි.කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇය ජාතිය ඉදිරියේ පෙනී සිටිමින් සාමය වෙනුවෙන් වන ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාමට කැපවෙන බවට ජාතිය ඉදිරියේ පොරොන්දු වූවාය.

 

මේ අන්දමට ඉතිහාසයේ තවත් එක් දේශපාලන ඝාතනයක්‌ ඉතා දෛවෝපගත අන්දමට වැළකුණු බව පෙනෙන්නට තිබේ.රාජපක්ෂ රෙජීමයේ ආධාර ලැබූ ඇතැම් ව්‍යාජ සුචරිත මාධ්‍යවේදීන්ගෙන් ඇතැමෙක් මෙය කුමාරතුංග පාර්ශවයේම සැලසුම් සහගත ක්‍රියාවක් යැයි පැවසුවත් එම පදනම් විරහිත චෝදනාවලට, අධිකරණය විසින් මෙම සිද්ධිය සම්බන්ධව ලබාදුන් නඩු තීන්දුවලට අභියෝග කිරීමේ හැකියාවක් මෙතෙක් තිබී නැතිබවද කිවයුතුය.

 

අවසානයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව පළමු වරට ජාතිය ඇමතීමේදී කළ කතාවෙන් කොටසක් උපුටා ගන්නේ එයින් ඇය විසින් සාමය පිළිබඳව තබා තිබූ නොබිඳුණු විශ්වාසය මොනවට පැහැදිලි වන නිසාය.

 

" I challenge them to say, if they dare, that Chandrika Bandaranaike Kumaratunga is not genuine in her desire to forge a permanent peace with the arms of compassion and love.

 

I will answer them, indeed the very wounds I bear will answer them that there is no individual on this Earth more determined than I am to end this country’s wretched and mindless bloodshed and destruction. I will answer them that there is no other political leader in this country who sees so clearly as I do the enemy that walks so freely about in our land. That enemy is hatred and he stands in front of me as I speak. I see him. I know him. I, and my family, and this nation, have felt his touch one too many times.

 

Indeed it is with unshakeable confidence that I declare that I have felt his touch for the last time. Because from this day forward I shall not rest until I have rid this land, of hatred and its curse of death and destruction."

 

- සහන් තෙන්නකෝන්