Monday, August 29, 2022

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය: ''මම මැරෙන්න කලින් මගේ පුතාලා එන්න ඕනා''

 




අතුරුදහන් වූ පුතුන් දෙදෙනාගේ මුහුණු තමන් මිය යෑමට පෙර දැකීම එකම සිහිනය බව වවුනියාවේ ජීවත්වෙන අන්නලක්ෂ්මි  පැවසුවාය.

අතුරුදහන්වූවන් සොයා දෙන්නැයි ඉල්ලා දින 2000කට වැඩි කාලයක සිට වවුනියාවේ පැවැත්වෙන අඛණ්ඩ උපවාසයට ද ඇය ආරම්භයේ පටන් එක්ව සිටින්නීය.

ශ්‍රී ලංකාවේ බලයට පත්වෙන පුද්ගලයන් විසින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ව දිගින් දිගටම රැවටීමට ලක්කර ඇති නිසා ජාත්‍යන්තර මැදිහත්වීමකින් පිළිසරණක් අපේක්ෂා කරන බව ඇය වැඩිදුරත් පැවසුවාය.

අතුරුදහන්වූවන්ගේ දෙමාපිය සංගමයේ ලේකම් රාජ්කුමාර් පවසන්නේ උපවාස අතරතුර උතුරු නැගෙනහිර මවුවරු 120ක් පමණ මියගිය බවයි.

මේ අතර බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය, අගෝස්තු 30 වන දින එනම් අදට යෙදී තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වැඩිම රටවල් අතරින් 2වැනි ස්ථානයේ පසුවෙයි.

1992 දෙසැම්බර් 18 වැනි දින 47/133 දරන යෝජනාවෙන් එක්සත් ජාතින් විසින් සියලුම රාජ්‍යයන් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් ලෙස එහි මහා සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලහත්කාර අතුරුදහන්වීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ යෝජනාවලිය ප්‍රකාශනයට පත් කොට තිබේ.

ඒ අනුව එය බරපතල මානව හිමිකම් උල්ලංඝණයක් ලෙස හැඳින්වේ.


- BBC

චිචීට කෙළවෙයි ද?


 

රැකියාවක් හෝ් වෙනත් ආදායම් මාර්ගයක් නොපෙනෙන රෝහිත රාජපක්ෂට අයත් බව කියන නිවාඩු නිකේතනය පිළිබඳ ඇත්ත   සොයා බලන ලෙස ඉල්ලමින්  සර්ව-පාර්ශ්වික අරගලකරුවෝ ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂට අයත් බව පැවසෙන කොළොන්න ප්‍රදේශයේ හෝටලයකට ගිනි තබා දේපළ සොරකම් කිරීමේ චෝදනාව මත පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

එම වාර්තාව ගැන සඳහන් කරමින් සර්ව-පාර්ශවික අරගලකරුවෝ ප්‍රශ්න කර තිබුණේ නිසි ආදායම් මාර්ගයක් නොමැති  රෝහිත රාජපක්ෂට හෝටලයක් හිමිවන්නේ කෙසේද කියාය.

අදාළ ප්‍රදේශයේ තමන්ට හවුල් දේපළක් ඇති බවත්, සියලු නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසු හෝටලය ඉදිකර ඇති බවත් රෝහිත රාජපක්ෂ   News 1st වෙත තහවුරු කර ඇත.

යම් වරදක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ හැකි බව ද රෝහිත රාජපක්ෂ කියා සිටියේය. එවැනි චෝදනා එල්ල කරන පුද්ගලයන් ඔවුන්ට එරෙහිව තම පාර්ශවය විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සූදානම් විය යුතු බවද ඔහු සඳහන් කළේය.