Saturday, January 28, 2023

බලය බෙදීම හීනයක් ද? -සහන් තෙන්නකෝන්

 බලය බෙදීම හීනයක් ද?


ශ්‍රී ලංකාවේ පවතින ජනවාර්ගික ගැටළුවටත්, එහි ප්‍රතිපලයක් ලෙස නිර්මාණය වූ තිස්‌ අවුරුදු සිවිල් යුද්ධයටත් විසඳුම් සෙවීම වෙනුවෙන් මෙතෙක් පැවති සියළුම රජයන් විවිධාකාර වූ උත්සාහයන් ගෙන ඇත. ඇතැම් ඒවා පිටුපස මෙම ගැටළුවට සාර්ථක විසඳුමක් ලබාදීම සඳහා වූ පිරිසිදු චේතනාවද, තවත් ඒවා පසුපස ජනප්‍රියවාදී දේශපාලන අරමුණුත් තිබූ බව පැහැදිලිය.


මෙම ජනවාර්ගික ගැටළුවට ලිහීමට ගෙනෙන ලද ප්‍රථම ව්‍යවස්ථාමය ක්‍රියාවලිය 13 වන ව්‍යවස්ථා සංශෝධනයයි.1987 දී එවකට රජිව් ගාන්ධි සහ ජේ.ආර්. ජයවර්ධන විසින් එළැඹි ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙසයි මෙම සංශෝධනය ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාවට ඇතුළත් වන්නේ.ඉන්පසුව 2000 වර්ෂයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් "පැකේජය" නමින් හැඳින්වූ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එවකට විපක්ෂය සහ ආණ්ඩුවේම ඇතැම් ජාතිවාදී පිරිස් විසින් එම උත්සාහය ව්‍යර්ථ කරන ලදී.13 වන සංශෝධනයටත් වඩා පුළුල් ලෙස ජනවාර්ගික ගැටළුව ආමන්ත්‍රණය කිරීමට එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය කටයුතුකර තිබුනත් අවාසනාවකට එය පාර්ලිමේන්තුවේදී සම්මත නොවීය.


13 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් පළාත් සභා පිහිටුවීම මඟින් ශ්‍රී ලංකාවේ බොහෝ වෙනස්කම් සිදුවිය.ආණ්ඩුකාරවරු පත්වීම, පළාත්බද මහාධිකරණ ඇතිකිරීම,පළාත් සභාවට වෙන්වූ විෂයපථයන් ප්‍රකාශ කිරීම ආදිය ඒ අතර විය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීමත් සමඟ එතෙක් ඒකීය රාජ්‍යයක්‌ ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් ද යන්න පිළිබඳව කතිකාවක් ඇතිවිය. තවද මෙය බලහත්කාරී ඉන්දීය මැදිහත්වීමක් ලෙසත් ඇතැම්හු හැඳින්වූහ. කෙසේ වෙතත් මෙකී සියළුම වාද විවාද මධ්‍යයේ 1987 නොවැම්බර් 14 දින සිට අද දක්වාම මෙම ව්‍යවස්ථාව සංශෝධනය මෙරට දේශපාලන කරළිය උණුසුම් කරමින් සිටී.


13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට තර්ජනයක්‌ යැයි පවසන්නේ ඉතිහාසය නොදන්නා අයවලුන් වේ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය 1987 දී යම් පරිවර්තනයකට ලක්වූයේ මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ මුල් දිනයේ පටන්ය. තවද ඒකීය ආණ්ඩුක්‍රමයක්‌ සඳහා ලොව පැවති හොඳම සම්භාව්‍ය උදාහරණය වූ මහා බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර් ආණ්ඩුව විසින් 1999 දී ස්කොට්ලන්තය හා වේල්සය වෙත බලය බෙදාහැරීමට කටයුතු කළේය.එතැන් පටන් එවැනි රාජ්‍ය මාදිලීන් ඒකීය රාජ්‍යවල පරිවර්තනයන් ලෙස හැඳින්වේ. 


නිදහසින් පසු අවුරුදු 75 ක්‌ ගෙවෙන තැනදී නැවත වතාවක් බලය බෙදීම යන මාතෘකාව එළියට පැමිණෙන්නේ මෙම ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීමට (කුමන හෝ අරමුණකින් ) ජනාධිපතිවරයා ගෙනයන සාමූහික ප්‍රයත්නය නිසාවෙනි. ජනාධිපතිවරයා විසින් උතුරේ සහ දකුණේ සියළු දේශපාලන පක්ෂවලට මේ සඳහා එක්වීමට ආරාධනා කර ඇති පසුබිමක මේ සඳහා ඔවුන් විසින් ලබාදෙන සහයත් එකී පාර්ශවයන් මෙම ප්‍රශ්නය දෙස අතීතයේ සිට දක්වන ආකල්පයත් විමසා බැලිය යුතුය.


ජනතා විමුක්ති පෙරමුණ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එකල දැඩිව විරුද්ධව ක්‍රියාකළේය.එදා ජවිපෙ 1987 දී ජේ.ආර්. ජයවර්ධන රජය ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන විටදී ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව රට පුරා දැවැන්ත ප්‍රචණ්ඩකාරී ක්‍රියාපිළිවෙතක්‌ අනුගමනය කළේය. එපමණක් නොව විජය කුමාරතුංග සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ මහජන පක්ෂය සාමය වෙනුවෙන් උතුරුකරයට තම දෑත් දිගුකල විට විජය කුමාරතුංග තම දරු දෙදෙනා ඉදිරිපිට ඝාතනය කළේ ඔවුන්මය. ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයන් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කළ නියෝගයක සඳහන් විය. මීට අමතරව නන්දන මාරසිංහ, ගාමිණී මැදගෙදර යන අයද ඝාතනය විය.තවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය එල්ටීටීඊ සංවිධානය කෙරෙහි විශ්වාසය තබා සුනාමි සහන මණ්ඩලය ස්ථාපිත කොට අරමුදල් උතුරේ සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට පියවර ගත්විට, චන්ද්‍රිකා උතුර කොටින්ට දෙනවා යැයි පවසා ජාතිවාදී අන්තයක පිහිටා එය ව්‍යර්ථ කළේද මේ කණ්ඩායමය. අද උතුරට බලය බෙදන වැඩසටහන තම දේශපාලන කුහකත්වය වෙනුවෙන් ආපසු හැරවීමට උත්සාහ කරන්නේද ඔවුන්ය. වේදිකාවේ ජාතික සංහිදියාව ගැන කටමැත දොඩවමින් සිටින බොහෝ පාර්ශවයන් ප්‍රයෝගිකව එය සිදුකිරීමට අකමැති බවයි මෙයින් පෙනෙන්නේ.


සමගි ජන බලවේගය ද කටයුතු කරන්නේ මීට නොදෙවෙනි ආකාරයටය. පසුගිය මහමැතිවරණයේ සිට උතුරේ දේශපාලන පක්ෂවල සහයෝගය සජබය ප්‍රමුඛ කඳවුර වටා ඒකරාශී වී සිටී. කවුරුත් දන්නා පරිදි උතුරේ ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම්වලට ජනවාර්ගික ගැටළුව සඳහා පිළියම් සෙවීමට කිසිම දිනෙක කිසිඳු අවශ්‍යතාවයක් නොතිබුණු අතර හිඟන්නාගේ තුවාලය මෙන් ඔවුන් එම තත්ත්වය පෞද්ගලික දේශපාලන වාසිය වෙනුවෙන් දිගින් දිගටම පවත්වාගෙන යාම සිදුකරයි. එම පාර්ශවයන්ගේ දේශපාලන ඉතිහාසය මෙන්ම අනාගතය ද මුළුමනින්ම මෙමත රැඳී පවතින බව ඔවුන් විසින් මනාව තේරුම්ගෙන ඇති හෙයින් මෙම ගැටළුවට කල්පවත්නා විසඳුමක් ලබාදීමට ඔවුන්ගේ සහයෝගය ලැබේවිද යන්න ගැටළුවකි.සජිත් ප්‍රේමදාස විසින් සුළුතරය වෙත ආමන්ත්‍රණය කිරීමට දරණ ප්‍රයත්න සියල්ල පිටුපස ඇත්තේ  ව්‍යාජ දේශපාලන අරමුණක් මිස ඉන් එහාට ගිය පරාර්ථකාමී එකක් නොවන බවයි.


ජාතිවාදය කරපින්නා ගත්, ඒ මතින් බලයට පැමිණි පොදුජන පෙරමුණ පවා දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එකඟ වීම පුදුමයට කරුණක් නොවේ. පොදුජන පෙරමුණ දැන් සිටින්නේ දේශපාලනිකව බංකොලොත් මට්ටමකය. පොදුජන පෙරමුණ දැන් කරමින් සිටින්නේ එල්ලීමට පිදුරු ගසක් සෙවීමයි. රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණ මතින් තම දේශපාලන උවමනාවන් මුදුන්පත් කරවාගනිමින් සිටිය ද බලය බෙදීම වැනි තීරණාත්මක සංධිස්ථානයකදී ඊට එරෙහිව නැඟී සිටීමට තරම් බලයක් මේවන විට පොදුජන පෙරමුණ සතුව නැති වීම නිසා මේ සඳහා එකඟවීමට සිදුවීම ඔවුන් මතවාදීව ලබන විශාලතම පරාජයකි.පොදුජන පෙරමුණේම අප්‍රකාශිත ආධාරකරුවන් වන ඩලස්-විමල්-උදය පාර්ශවය (මට පෙනෙන පරිදි ) මේ සම්බන්ධයෙන් දරණ මතයේ කිසිදු වෙනසක් පෙනෙන්නට නැත.මෛත්‍රීපාල සිරිසේන යම්තාක් දුරකට මේ සඳහා ප්‍රගතිශීලිව කටයුතු කරන බවට සිතාගත හැක්කේ ඔහුගේ පාලන සමයේ ද රජය (හමුදාව ) සතු ඉඩම්වලින් බොහොමයක් නැවත ජනතාව වෙත ලබාදීම, ජාතික සංහිදියා කාර්යාංශය ස්ථාපිත කිරීම වැනි මෙම ගැටළුවට සම්බන්ධ පියවර කිහිපයක් ගැනීමට ඔහු කටයුතු කළ බැවිනි.


යම්හෙයකින් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පාර්ලිමේන්තුවේදී බරපතල ලෙස විරෝධයක් පැනනගින්නේ ඉහත පැවසූ විමල්-වාසු-ගම්මන්පිල පාර්ශවයෙනි. 2005 සිටම පසුගාමී දේශපාලන මාර්ගයක ගමන් කරන අතුරලියේ ද මේ වෙනුවෙන් සුභවාදී ස්ථාවරයක පසු නොවන බවයි සර්ව පාක්ෂික හමුවේදී දක්නට ලැබුණේ. ඔහුට අමතරව සරත් වීරසේකර සහ ගෙවිඳු කුමාරතුංග ද ප්‍රසිද්ධියේ ම තමන්ගේ අකමැත්ත ප්‍රකාශය කළේය. සරත් වීරසේකර සහ ගෙවිඳු කුමාරතුංග සිංහල බෞද්ධ මදය ඔවුන් සෑම විටම විකාරරූපී අන්තයක ස්ථානගත කරවීම පෙර කර්මයකි.මේ කුලකයේම සිටින් වර්ගවාදී භික්ෂුන් ද බලය බෙදීමට එරෙහිව යුධ ප්‍රකාශ කොට ඇත. සාර්ථක බලය බෙදීමක් යනු මෙම රැළෙහි මහන්තත්වය බිඳ හෙළීමකි.


මේ අතර මෙම ගැටළුව කෙරෙහි ඉන්දියානු ආකල්පය ද තීරණාත්මක සාධකයකි. ඉන්දිරා ගාන්ධිගේ සිට පත්වූ බොහෝ ඉන්දීය රජයන් ශ්‍රී ලංකාවේ මෙම ජනවාර්ගික ගැටළුව දෙස ඉතා බලවත් අවධානයකින් යුතුව කටයුතු කළෝය. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද එහි ප්‍රතිපලයකි. බොහෝවිට ඉන්දීය මධ්‍යම රජයන් තමිල්නාඩු දේශපාලනය කෙරෙහි දක්වන සංවේදීබවත් මෙයට හේතුවිය. පසුගිය සතියේ සිදුවූ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්ගේ පැමිණීම ද මේ අවස්ථාවේ වැදගත් වන්නේ එබැවිනි.විශේෂයෙන්ම මෙරට ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයකින් පසුවීම නිසාද මෙම බලය බෙදීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනුමට ඉන්දියාවේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එසේම යුද්ධය අවසාන වූ අවධියේ ඉන්දියාව 13+ ආකාරයේ බලය බෙදීමක් පිළිබඳව කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව මන්මෝහන් සිං අගමැතිවරයා පැවසූ බව පවසන එවක මෙරට විදේශ අමාත්‍යවරයා වූ රෝහිත බෝගොල්ලාගම පවසන්නේ තමිල්නාඩු දේශපාලනයට යම් බලපෑමක් විය හැකි බැවින් ඉන්දියාව පවා උතුර දැඩිව බලවත් කරන ප්‍රතිසංස්කරණයකට යාමට කැමති නැති බවයි.කෙසේවෙතත් උතුරේ දේශපාලන පක්ෂවල හැසිරීමට ප්‍රබල බලපෑමක් ඉන්දියාවට කළ හැකිබව අමතක නොකළ යුතුය.


1987 සිට අද දක්වා ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව ඇති 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය අහෝසි කළ යුතුය. බලතල බෙදීම යනු උතුරට පමණක් ලොකු හැන්දෙන් බෙදීමක් නොවේ. බොහෝ අය සිතන්නේ බලය බෙදීම යනු රට බෙදීම හෝ උතුරට ඊලම ලබාදීම යනුවෙනි. සුළුතරයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින බොහෝ අන්තවාදී දේශප්‍රේමින්ද ඔවුන්ට හිමි ව්‍යස්ථාපිත අයිතීන් ලබාදීමට මැලිවීම තුළින් පෙනෙන්නේද දේශප්‍රේමී ලේබලයෙන් පෙනී සිටින බොහෝ අය සැබෑවටම දේශප්‍රේමීන් නොවන වර්ගවාදීන් බවයි. ඉතින් එවැන්නන් පිරි දේශයක බලය බෙදීම යථාර්තයක්‌ වේවිද?


#sahantwrites

27.01.2023