Friday, November 25, 2022

කවුද මේ ඩීන් ඩියම් - සහන් තෙන්නකෝන්

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් අතරතුර අරගලය හා සම්බන්ධ උද්ඝෝෂණ ආදිය පිළිබඳව මෙන්ම ඒවා සංවිධානය කරන දේශපාලන ව්‍යාපාර පිළිබඳවත් මෙසේ අදහස් දැක්වීය.


“ඕන තරම් පෙළපාලි යන්න, මම හිට්ලර් වගේ කියලා කෑ ගහන්න. හැබැයි එකක් කියන්නම් පෙළපාලි යද්දි පොලිසියෙන් අවසර අරගෙන යන්න. පාරේ එක පැත්තකින් යන්න අනිත් වාහනවලට යන්න ඉඩ දෙන්න. ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ.  ආණ්ඩුව වෙනස් කරන්න අරගලයක් තව ඇතිකරනව කියලා සමහරු කියනවා. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට ඉඩක් නෑ මේ රටේ."


මෙම ප්‍රකාශයත් සමඟම කාගෙත් අවධානය සහ උනන්දුව යොමුවූ කාරණයක් වූයේ කවුද මේ ඩීන් ඩියම් යන්නයි. ඩීන් ඩියම් යනු 1950 දශකය අග භාගයේ සිට 1960 දශකය මුල් භාගය තෙක් වියට්නාමය පාලනය කළ ඒකාධිපති නායකයෙකි.ඉතින් හදිසියේම ජනාධිපතිවරයා උපහැරණයට ගත් ඩීන් ඩියම් කවුරුදැයි අපි විමසා බලමු.


ඩීන් ඩියම් ප්‍රකටව සිටින්නේ දැඩි කොම්යුනිස්ට් සහ යටත්විජිත විරෝධියෙකු ලෙසය. ඔහු තුළ පැවති දැඩි කොම්යුනිස්ට් විරෝධී අදහස් නිසාම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහයෝගය ඇතිව ඔහු 1954 වර්ෂයේ දී වියට්නාමයේ අගමැති ධූරයට පත්වනවා. අවුරුද්දක් ඇවෑමෙන්, එනම් 1955 වර්ෂයේදී විවිධ කුමන්ත්‍රණ රාශියකට පසුව එවකට වියට්නාමයේ පාලකයා වූ බාඕ ඩායි බලයෙන් ඉවත් කර ඔහු වියට්නාමයේ පළමු ජනාධිපතිවරයා බවට පත්වනවා. වියට්නාමයේ ප්‍රමුඛ පෙළේ කතෝලික පවුලකට දාව උපත ලබන ඩීන් ඩියම්ගේ එක් සහෝදරයෙක් වූ ඩීන් තක් එරට කතෝලික සභාවේ අගරදගුරුවරයා විය. ඔවුන් ඒ තරමටම දැඩි ආගමික පසුබිමකින් පැවත එන්නන්.එම නිසාම ඩීන් ඩියම්ට බලයට පැමිණීමට එරට කතෝලික පල්ලියෙන් මහත් සහයෝගයක්‌ ලැබුණි.ඩීන් ඩියම් බලයට පැමිණි මුල් කාලයේ ඇමෙරිකාව සමඟ ඉතා හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යාමට ඔහුට හැකිවිය.කෙසේ වෙතත් ඩීන් ඩියම්ගේ පාලනය කාලයත් සමඟ දැඩි ඒකාධිපති ස්වරූපයක් ගන්නවා. විශේෂයෙන්ම මැතිවරණ කල් දැමීම, බෞද්ධාගමිකයන්ට සිදුවන හිංසාවන් ආදිය නිසාම එතෙක් ඔහුට ලැබුණු බටහිර සහයෝගයත් නැතිවෙනවා.


ඩීන් ඩියම් පාලන සමයේ එරට විශාලතම ඉඩම් හිමියා වූයේ කතෝලික පල්ලියයි.ඇතැම් කතෝලික පූජකවරු පෞද්ගලික හමුදා පවත්වාගෙන යාමට තරම් බලවත් විය.එපමණක් නොව සිවිල් සේවයේ මෙන්ම හමුදාවේද ඉහළ තනතුරු සඳහා කතෝලිකයන් පත් කිරීම සිදුකෙරුණි. ඉඩම් බෙදීම, ව්‍යාපාර සහනාධාර, බදු සහන ආදිය සියල්ලම කතෝලිකයන්ට පමණක් හිමිවිය. විදේශ සහනාධාර ආදිය ද කතෝලිකයන්ට හිමිවිය. මෙවැනි කාරණා නිසා බහුතරයක් වූ බෞද්ධ ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්වූ අතර ඔවුන්ට බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය පවා නීතියෙන් තහනම් විය.1963, මැයි මස එම තහනමට විරුද්ධව විරෝධය පලකළ නිරායුධ බෞද්ධයන් 9 දෙනෙකු ඩීන් ඩියම් රෙජීමය විසින් ඝාතනය කෙරිණි. තවද එම වසරේම ජූනි මස එම විරෝධතා ව්‍යාපාරය මැද බෞද්ධ භික්ෂුවක් ගිණි තබාගෙන සියදිවි හානි කරගැනීම ඩීන් ඩියම්ට එරෙහි විරෝධය උත්සන්න කළේය.ඩීන් ඩියම්ගේ මෙම වියරුව අවසානයට පත්වන්නේ 1963 වර්ෂයේ නොවැම්බර් මස ඇමරිකාවේ CIA සංවිධානයේ සහය ඇතිව සිදුවන හමුදා කුමන්ත්‍රණයකිනි. එහිදී අල්ලා ගැණෙන ඔහු සහ ඔහුගේ ඥාතීන් පසුව ඝාතනය කෙරිණි.


මීළඟට අවධානය යොමුකළ යුතුවන්නේ  මෙවැනි චරිතයක් ජනාධිපතිවරයා තම ප්‍රකාශය සඳහා ඈඳා ගැනීමෙන් ඔහුට අදහස් කරන්නට අවශ්‍ය වූයේ කුමක්ද යන්නයි.පසුගිය කාලය පුරාවට සිදුවූ දේශපාලන සංසිද්ධි එකිනෙක විමසා බලන විට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය අන් කවරදාටත් වඩා දේශපාලනික වශයෙන් ක්‍රියාකාරීව සිටිනු පෙනෙයි. ඇතැම් තැනක කතෝලික පල්ලියේ සහයෝගය කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත ලැබෙන බවටද කසුකුසුවක් පවතියි. විශේෂයෙන්ම අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල පවතින මන්දගාමීත්වය නිසාම ඒ වෙනුවෙන් සාධාරණයක් පවතින රජයෙන් බලාපොරොත්තු නොවිය හැකි බව කාඩිනල්වරයා දිගින් දිගටම ප්‍රකාශ කිරීම ද, ඔහු ඇතුළු කතෝලික පල්ලිය වර්තමානයේ පවතින රජය පෙරලා දමා අළුත් පාලනයක් ස්ථාපිත කිරීම පිළිබඳව අදහසක එල්බ ගෙන සිටින බවට කදිම ඉඟියකි.අරගලයේ පාර්ශව සඳහා පවතින මහජන ප්‍රසාදය ඒ වෙනුවෙන් යොදාගැනීමට ඔවුන් උත්සුක වනවා වන්නට පුළුවනි.


ආගමික කල්ලියක උදව්වෙන් බලයට පත්ව පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන අඹමල් රේණුවක විශ්වාසය නොතිබූ ඩීන් ඩියම් වැනි ඒකාධිපතියෙකුට මෙරට බිහිවීමට ඉඩ නොදෙනවා යන්නෙන් ජනාධිපතිවරයා අදහස් කරන්නේ ඇතැම් විට මෙම තත්ත්වය විය හැකිය. තවද ඩීන් ඩියම් සහ එම පාර්ශව අතර පවතින බොහෝ සමානතා මෙම උදාහරණයෙහි පවතින නිවැරදි බව තවත් තීව්‍ර කරයි.ඩීන් ඩියම්ද බලයට පැමිණීමට පෙර සිටම බලය ඩැහැගැනීම නොයෙක් ආකාරයේ උත්සාහයන් දැරුවේය. අවසානයේ ඔහුට බලය ලබාගැනීමට උපකාර කළේ කතෝලික පල්ලියයි.බලයට පැමිණි පසුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව මැතිවරණ නොපවත්වා ඒකාධිපතියෙකු ලෙස කටයුතු කළේය.මෙරටෙහි ද ඇතැම් පාර්ශව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාස නොකරන බව එළිපිට පැවසීම පසුගිය දිනවලදී දැකගැනීමට හැකිවිම ඩීන් ඩියම්ලාගේ අවතාර අප අතරද සිටින බවට නිදසුන්ය.


ආගම පැවතිය යුත්තේ පෞද්ගලික වසමේය.අතීතයේ පටන්ම ආගම සහ දේශපාලනය එකිනෙක පටලවා ගැනීමෙන් රටක්‌ ලෙස අපිට බොහෝ දෑ අහිමි විය.ව්‍යාජ දේශප්‍රේමය සහ ආගමික භක්තිය මිනිසුන්ගේ ඇස් බැඳ තැබීය.රටක උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් යම් ආගමක් රාජ්‍ය ආගම ලෙස පිළිගැනීම සිදුනොකළ යුතු වන්නේ එබැවිනි. වැදගත්ම කරුණ නම් සියලු ලබ්දීන්වලට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් පවතින බව අප විසින් තේරුම්ගත යුතුවීමයි.ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නා අන් සියළු ආගම්වලට ගරු කරයි.ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන්නා අන්‍යන්ගේ අයිතීන්වලට ගරු කරන්නේ නැත.එබැවින් ඩීන් ඩියම් පන්නයේ, ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන පාලකයන් සහ ඩීන් තක් වැනි ආගමික නායකයන් එක්ව සාදා ගන්න අශුද්ධ සන්ධානයන් තුළින් පුරවැසියන් වෙත යහපතක් සිදුකරනු ඇතිද යන්න ප්‍රශ්න කළ යුතුය.