Monday, October 17, 2022

කාන්තා හිංසනය නැති කිරීමට නම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍රවාදී යාන්ත්‍රණයක් අවශ්‍යයි - CBK

 


 


 

 

කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට නම් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ මානව නිදහස මනා ලෙස ක්‍රියාත්මක වීම අතිශ්‍ය වැදගත් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති “නිදහස උදෙසා කාන්තාවෝ” සංවිධානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේබව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ,

“අපේ කාන්තාවන්ගෙන් 25% ක් පමණ ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක්වෙනවා. ඒහා සමානවම දරුවනුත් ඒ විදිහටම ලිංගික අපයෝජනයට ලක්වෙනවා.  රාජ්‍ය යාන්ත්‍රණය මේ සම්බන්ධයෙන් බොහෝ ප්‍රදේශවල නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා ඉන්නවා.  මෙවැනි සිද්ධියක් සිදුවුනාම ක්‍රියාතමක වීම බොහොම වැදගත්. නමුත් එවැනි සිදුවීම් සිදුවෙන එක වළක්වාගන්නයි අපි කටයුතු කළ යුතු වෙන්නේ.  ඒ වගේම මෙහි තිබෙන මූලික හේතුව අපි හදුනාගන්න අවශ්‍යයි. ඒක අපේ සමාජයේ පතුලටම කිදා බැස තිබෙන ප්‍රශ්නයක්. අධ්‍යාපනය උසස් අධ්‍යාපනයේදී ඒ සම්බන්ධයෙන් කෙරෙන ඉගැන්වීම් මේ ප්‍රශ්නය විසඳන්න ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම සමාජීය සහ දේශපාලන ප්‍රචන්ඩත්වය පිළිබඳව අවධානය යොමුකරලා මේ ප්‍රශ්නයට විසඳුම් සොයාන්න වෙනවා.

මේකට තිබෙන සරලම උත්තරය තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ මානව නිදහස. ඒ වගේම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍රවාදී යාන්ත්‍රණයක් ඒ සඳහා අවශයයි. ඒකට තවත් අරගල කිහිපයක් කරන්න අවශ්‍ය වෙනවා. මෙහෙම කිව්වාම මාව අත්අඩංගුවට ගන්නේ නැතිවෙයි කියලා මම හිතනවා.” යැයි පැවසුවාය.

“නිදහස උදෙසා කාන්තාවෝ” (Women For Freedom)   සංවිධානය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් වන අතර  කාන්තාවන්ට සිදුවන ප්‍රචන්ඩත්වය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන, නීතිය සහ සමාජීය කාරණා සම්බන්ධයෙන් කාන්තාවන් සවිබල ගැන්වීමද එම සංවිධානය මගින් සිදුකරයි. දැනට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරන සිවිල් සංවිධාන සමඟ එකතුව ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකිරීම බලාපොරොත්තු වන බව  “නිදහස උදෙසා කාන්තාවෝ” (Women For Freedom)   සංවිධානය මෙහිදී සඳහන් කළේය.