Thursday, April 4, 2024

 ශ්‍රිලනිපය තුල මෛත්‍රී කොයිබටද?


මීට දවස් කීපයකට උඩදී රටේ රාළ ලියපු " අයියෝ සිරිසේන " ලිපියෙන් කියපුවා දැන් ඔයාලගේ ඇස් පනාපිට සිද්ධ වෙන්න පටන් අරන්. රටේ රාළ කියන්නේ මෛත්‍රී ගිය 22 ක සහ 30 වෙනිදා පත්තු කරපු දේශපාලන බෝම්බ දෙකෙන් පුද්ගලයෙක් විදිහට මෛත්‍රීටත්, පක්ෂයක් විදිහට ශ්‍රිලනිපයටත්, රටක් විදිහට අපිටත් ලොකු හානියක් වෙලා කියලයි.පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා සියලුදේ දන්නවා කියපු කතාවට අදලව දැන් අධිකරණමය ක්‍රියාවලියක් සිද්ධවෙමින් තියනවා. 


මෛත්‍රී ගිය 30 වෙනිදා විශේෂ තීන්දුවක් ගන්න කියලා ශ්‍රිලනිප සංවිධාන ස්ථර කීපයක සමාජිකයෝ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට කැදවලා තිබුණා. විශේෂ ආරාධිතයෙක් විදිහට එතනට ආපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂත් තියාගෙන තමයි මෛත්‍රී බෝම්බය පත්තු කළේ.මෛත්‍රී එතනදී කළේ නීති විරෝධී සහ සදාචාර විරොධී විදිහට පක්ෂයේ ජේෂ්ඨයන් වන මහින්ද අමරවීර,දුමින්ද සහ ලසන්ත තනතුරුවලින් අයින් කරපු එකයි.


ඒ ඉවත් කිරීමට රටේ රාළ කිව්වේ ඒක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කියලයි.දේශපාලන වශයෙන් ශ්‍රිලනිපයත් මරාගෙන මෛත්‍රීත් බ්ලාස්ට් වෙන්න කරපු ප්‍රහාරයක් ඒක.එතනින් පස්සේ ශ්‍රිලනිප නායකත්වය මෛත්‍රීමෙන් ගිලිහෙන්න තියන ඉඩ වැඩියි කියලා රටේ කිව්වා.දැන් ඊට අවශ්‍ය මූලික පදනම හැදෙමින් තියනවා. මහින්ද අමරවීර,දුමින්ද,ලසන්ත තමන් දැරූ තනතුරුවලින් අයින් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් අරන් තියනවා.


ඒ වගේම ඊයේ (04) චන්ද්‍රිකාත් මෛත්‍රීට ශ්‍රිලනිප සභාපතිධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් අරන්.අප්‍රියෙල් 18 වෙනිදා වෙනකං ඒ නියෝගය වලංගුයි.පහුගිය කාලේ ශ්‍රිලනිප ව්‍යවස්ථාවට සංශෝධන ගණනාවක් සිද්ධවුනා.පුද්ගලයෝ ගණනාවක් අලුතෙන් එකතු වුනා. මේ ව්‍යවස්ථා සංශෝධන සහ පුද්ගල එකතු කිරීම් සියල්ල සිද්ධවුනේ මෛත්‍රීගේ උවමනාවට.ඒ හරහා මෛත්‍රී තමන්ට හිතවත් කණ්ඩායමක් පක්ෂය ඇතුළට ගත්තා.


ඒ ගැනීම්වල අරමුණ මොකද්ද කියලා හිතද්දී රටේ තියන දේශපාලන,ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ගොඩනගා ගැනීමට මේ පිරිස ගත්තා කියලා කීයටවත් හිතන්න බෑ.


ඇත්තටම මෛත්‍රී ඒ පිරිස ගත්තේ මෛත්‍රීගේ සභාපතිකම ආරක්ෂා කරගැනීමට සහ ශ්‍රිලනිප බලය මෛත්‍රී අතේ තියා ගැනීමට කියලා තමයි හිතන්න වෙන්නේ.එහෙම දේවල් කලේ මෛත්‍රී විතරයි කියලා රටේ රාළ කියන්නේ නෑ.මේ රටේ හැම නායක,නායිකාවක්ම තමන්ගේ බලය රැකගන්න ඔය ජාතියේ වැඩ කළා.හැබැයි මෙතනදී මෛත්‍රී ඒ වෙනුවෙන් තොරගත්තේ කිසිම දේශපාලන කියවීමක් නැති ළමා සොල්දාදුවෝ පිරිසක්.එයාලා දිගමට කළේ මෛත්‍රී මොනවා කළත් ඒක අතිශෝක්තියෙන් වර්ණනා කරපු එකයි.


මෛත්‍රීගේ දේශපාලනය පෝෂණය වීමක් හරි ශ්‍රිලනිප දේශපාලනය පෝෂණය වීමක් එතනින් වුනේ නෑ. එකමදේ උනේ මෛත්‍රී ඉතාමත් පුංචි කවයකට කොටුවීම විතරයි. මෛත්‍රීගේ උපදේශකයන් විදිහට හිටපු සහ තවමත් ඉන්න අය ලෝකේ කාල වතුර බීපු ගේම්කාරයෝ.මේ සියලු දෙනා එක්ක මෛත්‍රීට ධාර ලණු දුන්නා. දයාසිරි පක්ෂයෙන් පන්නපු තැන ඉඳන් දුමින්දලාගේ තනතුරුවලින් ඉවත් කිරීම දක්වා මෛත්‍රී ගත්ත සියලු තීරණ දේශපාලනිකව වැරදියි.


රටේ වෙලා තියනදේ ගැන අදහසක් නෑ.වෙන්න නියමිතදේ ගැන හරි තක්සේරුවක් නෑ.ශ්‍රිලනිපයට දේශපාලන මතයක් නෑ, වැඩපිලිවෙලක් නෑ.ශ්‍රිලනිපය පහල සංවිධායකයන්ට වෙලා තියෙන්නේ  උඩ තියන රන්ඩු දිහා බලා ඉන්න විතරයි.මෛත්‍රී නිදාගෙන ඉන්න ශ්‍රිලනිප යෝධයා නැගිට්ටවන්න මොකුත් කළේ නෑ.ඇත්තටම ඒක යම් උත්සාහයක් දයාසිරි ගත්තා. රාජපක්ෂලා ශ්‍රිලනිපය දෙකට කඩලා ලොකු කෑල්ල අරන් ගියා.


ඒත් ඉතිරිවුන අයත් එක්ක පක්ෂය ගොඩගන්න පුළුවන්කම ඕනිවටත් වැඩිය තිබුණා.ඒ කිසිම අස්ථාවකින් ප්‍රයෝජන ගන්න මෛත්‍රී කටයුතු කළේ නෑ.මෛත්‍රී ශ්‍රිලනිපයට නායත්වය දුන්නේ රට පාලනය කරපු නායකයෙක් විදිහට නෙවෙයි. තමන්ගේ වසමේ වැඩටික බලා කියාගෙන ඉන්න ග්‍රාම නිළධාරී මහත්තයෙක් විදිහටයි.මෛත්‍රීට වටේ හිටියේ ග්‍රාම සේවක මහත්තයාගෙන් අස්වැසුම ඉල්ලගෙන ඇවිත් උදේ හවස කාර්යාලය ලඟ වැටිලා ඉන්න මිනිස්සු වගේ අසරණයෝ ටිකක්.  


මෛත්‍රී කළේ ශ්‍රිලනිපය තමන් අතේ තියාගැනීම වෙනුවෙන් ශ්‍රිලනිපය අසරණයන්ගෙන් සහ අදක්ෂයන්ගෙන් පුරවන එකයි. පුරවලා නිකං හිටියේ නෑ.එයාලා පාව්චිචි කරලා ජේෂ්ඨයන්ට ගහන එකයි.රාජපක්ෂලා ශ්‍රිලනිපය දුර්වල කරලා ගියාට පස්සේ ශ්‍රිලනිපය එක්ක රැඳුණු කණ්ඩායමක් හිටියා. ඒ අතර දක්ෂයෝ හිටියා,දයාසිරි, දුමින්ද,ලසන්ත,සාරතී.අංගජන් වගේ තරුණ නායකයෝ හිටියා.


එයාලා නායකයන් විදිහට ගොඩනැගීමේ හැකියාව ඕනි තරම් තිබුණා.ඒත් මෛත්‍රී කවදාවත් ශ්‍රිලනිපය ඇතුලෙන් ශක්තිමත් නායකත්ව පෞරුෂයයන් හැදුවේ නෑ,මෛත්‍රීගෙත් ටාගට් එක වෙන්න ඇත්තේ මෛත්‍රීගෙන් පස්සේ බැට්න් එක දහම්ට දෙන්න වෙන්නත් පුළුවන්.දැන් මෛත්‍රීගේ සභාපති ධූරයට වාරණයක් ක්‍රියාත්මක වෙනවා.සමහරවිට තව අවස්ථා කීපයක් ඔය වාරණය දික්වෙන්න පුළුවන්.


කොහොම උනත් අවසානයේ ශ්‍රිලනිප නායකයා තේරීමේ වගකීම එන්නේ පක්ෂයට.රටේ රාළ විශ්වාස කරන්නේ ආයෙත් මෛත්‍රීට ශ්‍රිලනිපය සභාපතිධූරය ගන්න ලේසි නෑ.මෛත්‍රී වෙනුවෙන් ඒ සටන කරන්න දැන් කවුරුවත් ඉතිරිවෙලා නෑ.මෛත්‍රී වෙනුවෙන් ඒ සටනට එන හැම කෙනාම බරපතල දේශපාලන අවධානමකට වැටෙනවා. 


රටේ රාළ කියන්නේ මෛත්‍රී එල්ල කරපූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මෛත්‍රී දේශපාලන වශයෙන් බ්ලාස්ට් වෙලා ශ්‍රිලනිපය බරපතල තුවාල ලැබුවා කියලයි.දැන් ඇත්ත ශ්‍රිලනිප සාමාජිකයාට ඉතිරිවෙලා තියෙන්නේ පණ අදින ශ්‍රිලනිපය බේරගන්න පුළුවන්ද කියලා අවසන් උත්සාහ දරන එක විතරයි.


ජයවේවා.

මිට

රටේ රාළ.