Wednesday, December 28, 2022

මෙරට පළමු කාෂි රසායනාගාරය නැගෙනහිරින් ඇරඹෙයි

 

කාර්මික තාක්ෂණ ආයතනය සහ නැගෙනහිර පළාත් සභාව එක්ව මෙරට  ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ඇති කිරීම සදහා වන අව‌බෝධතා ගිවිසුමට අත්සන් තැබිම  පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

ආණ්ඩුකාරවරිය විසින් ක්‍රියාවට නංවන  ලද දැයට හිතැති තිරසර කෘෂි සංස්කෘතිය නමැති  ව්‍යාපෘතියට සමගාමිව මෙම නව රසායනාගාරය ඉදිකෙරෙණු ඇති.

එම ගිවිසුමට අත්සන් කිරීම සිදුවුයේ  නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක සහ කාර්මික තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ජේ.කේ.ආර්.රාධිකා සමරසේකර අතරය.

මෙම නව රසායනාගාරය හරහා කාබනික පොහොර සහ යෙදවුම්, බීජ සහ රෝපණ ද්‍රව්‍ය, කෘෂිකාර්මික ආහාර සහ පස් නියැදි පරික්ෂාව සිදු කෙරෙන අතර එම සහතික සදහා දේශිය සහ  විදේශිය වටිනාකමක් ලබාදිමද විශේෂත්වයකි.

දැනට දිවයිනේ  මෙවැනි රසායනාගාර 2ක් මහඉලුප්පල්ලම සහ ගන්නෝරුව කෘෂි  පර්යේෂණ ආයතන වල පිහිටා ඇති අතර කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත් විමෙන් සියලු පහසුකම් වලින් සපිරි ISO ප්‍රමිතියෙන් යුතු මෙවැනි රසායනාගාරයක් නොමැත. මේ අතර කාබනික කෘෂි නිෂ්පාදන  වලට රසායනාගාරයක සහතිකයක් තිබිමෙන් ජත්‍යන්තරය තුල ඉතා ඉහළ වටිනාකමක් ලැබෙන අතර ජත්‍යන්තර වෙළදපොළ ජයග්‍රහණය කිරීමේ පහසුවද සැලසේ.

යෝජිත නව රසායනාගාරය ඉදි කිරීමෙන් දැනට කෘෂි ‌බෝග බහුල වශයෙන්  වගා කෙරෙන උතුරු මැද සහ උතුරු පළාත් වල ගොවින්ට ද දුර බැහැර නොගොස් මේ හරහා පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමටද හැකිවිම  විශේෂත්වයකි.

මෙහිදි අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය කියා සිටියේ අද රටේ විශාල ඩොලර් හිඟයක් පවතින බැවින් ගොවින්ට මෙමගින් ලබා ගන්නා වටිනා තත්ව සහතිකයක් මගින් සිය නිෂ්පාදන ජත්‍යන්තර වෙළදපොළට යවා රටට ඩොලර් ගෙන ඒමේ හැකියාව ඇතිවන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේද පැවසුවාය.

අපි දැන්  හිතන්න ඕනේ තවදුරටත් ණයට ඩොලර් අරගෙන අපේ ණය කන්ද තවත් ගොඩ ගහ ගන්නවද එසේත් නොමැති නම් අපේ නිෂ්පාදන මෙවැනි ක්‍රම හරහා පිටරට වෙළදපොළට යවලා ඩොලර් හිගයට මුණ දෙනවද කියන එකයි. ජත්‍යන්තර වෙළදපොළට අපේ නිෂ්පාදන යන්න නම් හොද තත්ව සහතිකයක් ඕනේ. ඒ්කට තමයි අපි මේ රසායනාගාරය නිර්මාණය කරන්නේ. කෘෂි තාක්ෂණය අපේ රටේ හොදටම මදි. ඒ නිසා තමයි අපේ  නිෂ්පාදන පිටරට වෙළදපොලට යන එක අඩු වෙන්නේ . අපි මේ මොනවා කිවුවත් යූරියා නැතුව වැඩ කරන්න බෑ කියන ගොවියෝ තාමත් ඉන්නවා. ඔවුන් මේ කරන්නේ අපේ දරුවෝ අසනීපකාරයෝ කරන එක. පරිසරය දූෂණය කරන එක. එසේ නොවි වැඩ කිරීමට අපි කටයුතු කළ යුතුයි.

නව රසායනාගාරය සදහා චීනයේ යුන්හාන් ප්‍රාන්තයේ කෘෂි විශ්ව විද්‍යාලයක් හා  සම්බන්ධ කිරීමට අපි ඉදිරියේදි කටයුතු කරනවා. මොනවා වෙනස් වුනත් මෙය ඉදිරියට ගෙන යන්න කොන්ද සහ උනන්දුව තියෙන්නම ඕනේ යැයි ද ආණ්ඩුකාවරිය වැඩිදරටත් කීවාය.

මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.ජී.කේ.  මුතුබණ්ඩා , ආණ්ඩුකාර ලේකම් ඒල්.පි.මදනායක ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩී.ඒච්.ඒම්.ජයවර්ධන මහතා, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවිසංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.