Thursday, March 7, 2024

මිහින්තලේ හිමි සුද්ධවන්තයෙක් ද?


 මිහින්තලය රාජමහා විහාරාධිපති වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියන් මේ වන විට අලුත් නාට්‍යයක් රඟපෑමට පටන් ගෙන තිබේ. ඒ දූෂිතයන් එළවා නැවතත් භික්‍ෂුන්ට කීකරු පාලක පන්තියක් ගොඩනැගීම වෙනුවෙනි. එය බැලූ බැල්මට ඉතා හොඳ කර්තව්‍යයකි. එහෙත් මතුපිටට නොපෙනෙන සත්‍යය නම් දුස්සීල භික්‍ෂු පිරිසකට නතු වූ පාලකයන් රට කුමන දිසාවකට ගෙනයා දැයි යන ගැටළුවයි.

මීට කදිම නිදසුනක් 2019 ජනාධිපතිවරණයේ දී මෙරට බෞද්ධ බලවේග කියා ගන්නා වාණිජවාදී භික්‍ෂුන් පිරිසක් සහ සේරිවාණිජ කුලයේ බෞද්ධ වෙළඳ පන්තියක් විසින් සිදු කළ විනාශය තවම මෙරට ජනතාවට අමතක නැත. දියසෙන් කුමරා, බෝධි සත්ත්වයකු ලෙස පිළි අන්දා රජ පුටුවේ තැබූ පාලකයා අමුම අමු ගවයෙකු බව මෙරට ජනතාවට අවබෝධ වන විට ප්‍රමාද වැඩිය. ඒ අත්වැරැද්ද නිසා සිදු වූ විනාශයට මේ රටේ ජනතාව අසීමාන්තිකව වන්දි ගෙවමින් සිටී. එහෙත් ඒ මොහොතේ මේ රටේ ජනතාව මුලාවට පත් කළ කිසිදු ගිහි හෝ පැවිදි බෞද්ධ නායකයෙකු සිදු කළ විනාශය පිළිබඳ ජනතාවගෙන් සමාව ගත්තේ නැත.
ඉතිහාසය විමසීමේ දී මෙරට භික්‍ෂු සමාජය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් හඳුනාගත හැකිය. ඉන් පළමු පිරිස බුදුන් වදාළ පරිදි ශාසනික මගෙහි ගමන් කරමින් පිළිවෙත් සරු මහ සඟ රුවනයි. දෙවන පිරිස දේශපාලනික භික්‍ෂුවයි. මොවුන් ශාසනික ද නොවේ. ඔවුන් සිය පෞද්ගලික ආත්ම ලාභය වෙනුවෙන් බුද්ධ ශාසනය සහ භික්‍ෂුත්වය අළෙවිකරණයෙහි යෙදෙන පිරිසයි. ඔවුන්ට අවශ්‍ය තමන්ට නතු රූකඩ පාලකයෙක් බිහි කර ගැනීමටයි. ලංකා ඉතිහාසය විමසීමේ දී භික්‍ෂු නායකත්වයේ සහ අනවශ්‍ය මැදිහත්වීමෙන් පත්කළ රජවරු බහුතරයක් සාර්ථක වූයේ නැත. නිදහසින් පසු ලාංකේය දේශපාලනයේ ද එය පැහැදිලිව හඳුනාගත හැකි වේ.
නිදහසින් පසු භික්‍ෂු මැදිහත් වීමෙන් බලයට ගෙන ආ පළමු නායකයා වූයේ බණ්ඩාරනායක අගමැතිතුමායි. එතුමා බලයට පැමිණි පසු තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට නොහැකි වූ පසු එතුමාව ඝාතනය කරන්නේ ද භික්‍ෂුවක විසිනි. ඒ මේ රටේ සුප්‍රසිද්ධ ප්‍රධාන විහාරස්ථානයක් වන කැලණිය රජමහා විහාරයේ නායක හිමියන්ගේ අවශ්‍යතාවයකටය.
බණ්ඩාරනායක ඝාතනයෙන් පසු මෙරට භික්‍ෂු බලය ඉතා බරපතල සෝදා පාළුවකට ලක් වන අතර ඒ අනුව භික්‍ෂු මැදිහත්වීමෙන් තොර පාලකයන් පිරිසක් බලයට පත්වූහ. එහෙත් නැවතත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙනුවෙන් ඒ භික්‍ෂු බලය ගොඩනැගුණි. ඔහුගෙන් ලැබුනු වරදාන හා වරප්‍රසාද නිසා ප්‍රේමදාස පාලනයේ ජඩබව ඒ භික්‍ෂුන් දුටුවේ නැත.
2005 වසරේ දී මහින්ද රාජපක්‍ෂ බලයට එන්නේ ද භික්‍ෂු බලයෙන් බව සියලු දෙනා දන්නා සත්‍යයකි. ඔහුගේ දූෂිත, භීෂිත පාලනය වසා සිවුරු ඔතා, ඔහුව රැකගත්තේද, තවමත් ඔහුගේ ජඩකම්වලට සුදු හුණු ගාන්නේ ද ඉහත කී දේශපාලනික භික්‍ෂුව විසිනි. ඒ වෙනුවෙන් ඔවුන් අසීමාන්තික සැප සම්පත් ද භූක්ති විඳිති. අප්‍රමාණ ලාභ ප්‍රයෝජනද ලබාගනිති.
අවසන් වශයෙන් 2019 දී බලයට ගෙනා ගෝඨාභය මේ රට නැත්තටම නැති කර දමා තිබේ.
එතරම් විනාශයක් සිදු කර තිබිය දීත්, තවමත් විලි ලැජ්ජා නැතිව රජවරු තනන්නට මොවුන් දරණ උත්සාහය නම් පිළිකුල් සහගත ය.
මේ රටේ ධනවත්ම විහාරස්ථාන කිසිවක් මේ මෑතක් වනතුරු විදුලිබිල් ගෙව්වේ නැත. සියලු වැඩ කටයුතු සඳහා සිවිල් ආරක්‍ෂක අංශය සිටියේ ය. ඉදිකිරීම් සිදු කළේ ත්‍රිවිධ හමුදාව විසිනි. තීරු බදු රහිත වාහන බලපත්‍ර එසේ කඩේ ගිය බහුතරයකට ලැබුණි. පොලිස් ප්‍රභූ ආරක්‍ෂකයන් සිටී. මේ සියල්ලට වැය වන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල් නොවේ ද?
මිහින්තලේ නාහිමියන් පවසන ආකාරයටම ඔවුන් 1979 වසරේ සිටම විදුලි බිල් ගෙවා නැත. එහෙත් මිහින්තලය ඇතුළු ප්‍රධාන විහාරස්ථාන වල විදුලි බිල වෙනුවෙන් දායකත්ව මුදල් අයකරයි. මිහින්තලා නගරයේ සහ පූජා භූමියේ ඇති වෙළෙදසැල් වලින් මාසිකව කුලී ලබා ගනී. පූජා භූමියට අයත් අක්කර දහස් ගණනක ආදායම් ලබයි. එහෙත් පන්සල නඩත්තු කරනු ලැබුවේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාවයි.
එසේ නම් මේවා මහජන මුදල් අවභාවිත කිරීම් නොවේ ද? සුචරිතවාදී භික්‍ෂුන් තමන් අනීතිකව මෙලෙස මහජන මුදලින් වරප්‍රසාද භූක්ති විඳින්නේ ඇයි?
මිහින්තලේ හාමුදුරුවන් ඇතුළු දේශපාලන භික්‍ෂුන් වහන්සේලා සිදු කරන්නේ මුදලට තම භික්‍ෂුත්වය විකිණීමකි. ඔවුන්ට වඩා වීදි ගණිකාව සිය ගුණයකින් වැදගත් ය.
මේ රටේ ආගමික ස්ථානවලින්ද ආදායම් බදු අයකර, භික්‍ෂුන්ට අනවශ්‍ය වරප්‍රසාද ලබාදීමට මහජන මුදල් නාස්ති නොකරන පාලනයක මේ රට වඩා යහපත් වනු ඇත. ධම්මරතන හිමියනි, ඔබවහන්සේ නිරුවතින් සිට අන් අයගේ නිරුවත සොයනු වෙනුවට තමා මුලින් ම ප්‍රතිපත්ති ගරුක වී අවංකව කටයුතු කරනු මැනවි. එය බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ද මහත් සේවයක් වනු ඇත.

සමන් ගණකධාර