ශ්‍රී ලංකාව ගැන කියවන හෝ එහි ඉතිහාසය සහ දේශපාලන සංසිද්ධීන් අධ්‍යනය කරන පුද්ගලයෙකුට තිස් වසරක සිවිල් යුද්ධයත් ඒ තුළින් සමාජයට ඇතිකළ බලපෑමත් අත්හළ නොහැකි මාතෘකාවක් බවට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ගමන් මාර්ගය තීරණය කිරීමෙහිලා දශක තුනකට ආසන්න කාලයක් යුද්ධයෙහි වූ මැදිහත්වීම නිසාවෙනි. බොහෝ දෙනා යුද්ධය පිළිබඳව කතාබහ කලත් එය ඇතිවීමට බලපෑ සිද්ධි දාමයන් ගැන කතාකරන්නේ අල්ප වශයෙනි.
අදින් වසර 39 කට පෙර සිදුවූ දමිළ විරෝධී ඝාතන රැල්ල නැතිනම් " කළු ජූලිය " එහි වචනයේ අර්ථයෙන්ම ලාංකීය දිනපොත්හි අඳුරුතම පරිච්ඡේදයක් ලෙස සටහන් වී ඇතිබවට සැක නැත. දමිළ ඊළාම් විමුක්ති සංවිධානය ( LTTE ) විසින් හමුදා නිලධාරීන් 13 දෙනෙකු ඝාතනය කළේ 1983 ජූලි 23 වෙනිදාය. ඒ වනවිට 13දෙනෙකු වැනි පිරිසක් එකවර ඝාතනය වීමත්, ඝාතනයට ලක්වූ සියල්ලන්ම සිංහල ජාතිකයන් වීමත්,ඔවුන් දමිළ තරුණයන් අතින් ඝාතනය වීමත් හේතුකොටගෙන පසුවදා රට පුරා දමිළ විරෝධී රැල්ලක් නිර්මාණය වී තිබුණි. අගනුවරින් පටන්ගෙන පසුව රට පුරා දමිළ ජාතිකයන් සමූල ඝාතනය කිරීමේ වියරුව වසංගතක් මෙන් පැතිර ගියේය.එවකට රාජ්‍ය බලය හෙබවූ යුඇන්පී ආණ්ඩුව මෙකී භීෂක උන්මාදය කෙරෙහි දැක්වුයේ ඉතා උදාසීන ප්‍රතිපත්තියකි. ආණ්ඩුවේ නායකයන් දෙපිරිස සන්සුන් කරනවා වෙනුවට දෙපාර්ශවයේම තරුණයන්ට අවි ගැනීමට ආරාධනා කළේය.ජනාධිපතිගේත් අගමැතිගේත් සහචර ආණ්ඩුවේ ප්‍රභලයන්ගේ ආධාර ලැබූ මැර කල්ලි පිස්සු බල්ලන් මෙන් දේපල විනාශ කරමින්, දේපලවලට පමණක් නොව මිනිසුන්ටද ගිනිතබමින් හැසිරුණහ.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම,දේශපාලන ආධාර ලැබූ මැරයන් විසින් ආසියාතික දැනුම් ගබඩාවක් වූ යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීමත් වැනි කෙනෙහිලිකම් දමිළ තාරුණ්‍ය අවි ගැනීමට පෙළඹවීය. සිංහල මෙන්ම දමිළ දේශපාලඥනයන් විසින් දිගින් දිගටම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සාමාන්‍ය දමිළ ජනතාවගේ සිහින, ආශාවන් අපයෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලියක් තුළින් තම අයිතිවාසිකම් දිනාගත හැකියි යන මතය තුළ ඔවුන් තැබූ විශ්වාසය බිඳදැමීය. අවසානයේ නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දේ පොරොවෙන්වත් කපා දැමිය නොහැකි තත්ත්වයට පත්වූයේ තම අයිතිවාසිකම් අහිමිකිරීමේ කලකිරීමෙන් හා ඉච්ඡාභගංත්වයෙන් ආවේගශිලීව සිටි ප්‍රභාකරන් වැනි දහස් ගණනක් සිංහල දමිළ තරුණයන් තිස් අවුරුද්දක කාලකන්නි යුද්ධයකට ඇදදමමිනි.
කළු ජූලියෙන් ඇරඹියේ දහස් ගණනක් ජීවිත සහ දේපළ විනාශයක් පමණක් නොවේ. එයින් සිදුවූ සංස්කෘතික පරිහානියට මිලක් නියම කරන්නට බැරිය. උතුරුකරයත් දකුණුකරයත් අතර වූ සබැඳියාවේ පාලම් සිය ගණනක්
කළු ජූලියෙන් අවහිර කරන ලදී. පෙර නොවූ පරිදි සීහල දමිළ බෙදීමක් ඇතිවිය. උතුරේ නෑයන්ට දකුණේ නෑයන් තහනම් විය. දකුණේ මිනිසුන්ට පොංගල් බතෙහි රස ද උතුරේ මිනිසුන්ට කැවුම් රස ද බෙදුම්වාදය විසින් අමතක කරවීය.අදටත් කළු ජූලිය විසින් ශ්‍රී ලංකා භූමියේ වැළලූ කාලකන්නි ජාතිවාදයේ සක්‍රීය බිම් බෝම්බ සිංහල, දමිළ, මුසල්මානු සහෝදර ජනතාව බිලි ගැනීමේ ආශාවෙන් සැඟවී සිටින බවද කිව යුතුය.
ජරාජීර්ණ දේශපාලනයත්, අධම දේශපාලකයනුත් විසින් සියල්ලන් සතුටෙන් ජීවත් වූ දේශයක් බලය, උද්දච්චකම සහ අවුරුදු දෙදහස් පන්සීයක ඊනියා, හණමිටි දේශමාමකත්වය සමඟ එක්වී යළි ගොඩගත නොහැකි ලෙස වලපල්ලට ඇද දමා අවුරුදු 39ක් ගතවන තැන අප සිටින්නේ කොහිදැයි යන්න පිළිබඳව ඔබට අවබෝධයක් ඇත්දැයි මම ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි.
මගේ මතය නම් තවමත් ජාති, ආගම්, කුල, පක්ෂ ආදියට බෙදී කුළල්කාගන්නා ගෝත්‍රික සමාජීය ලක්ෂණ අප වෙතින් තවමත් පෙන්නුම් කෙරෙන බවයි.ගුණාත්මකබවින් යුතු නූතනත්වය කැටි වූ අධ්‍යාපන ක්‍රමයක් හා ගෝත්‍රික එඬේර චින්තනයෙන් බැහැර වූ පුළුල් සමාජ ක්‍රමයක් තුළින් ළඟාකරගන්නා දැඩි සමාජ ප්‍රතිසංස්කරණයක් මත කළු ජූලිය වැනි අමිහිරි අත්දැකීම් මින් මතු පරම්පරාවලට අත්විඳින්නට නොවන තත්වයක් උදාකරලීම අපගේ වගකීමක් විය යුතුය. එයින් පමණක්ම මතුවට වේලුපිල්ලේ ප්‍රභාකරන්ලා වැනි ලේ පිපාසිතයන් ( සිංහල අය ද ඇතුළුව ) බිහිවීම නවතිනු ඇත.කුට්ටුමනී වැනි තරුණයන්ගේ යහපත් ජීවිත සුරක්ෂිත වනු ඇත. එපමණක් නොව බලය විසින් නිර්මාණය කරනු ලබන ඝාතක සංස්කෘතීන් අහෝසි වී යනු ඇත.
එතෙක්,සිංහල සින්දු කියන උතුරේ කිරිල්ලියන්ට ද මරතොන්ඩි රටා අඳින දකුණේ කිරිල්ලියන්ට ද දිනෙක එකම එක නිදහස් අහසක පියාසැරීමට හැකිවේවායැයි ප්‍රාර්ථනා කරමු.ප්‍රර්ථනාවන් ප්‍රාර්ථනාවන් ලෙසම මියැදීමට ඉඩ නොතැබීමට වැඩ කරමු, සිතමු, බලගැන්වෙමු...!
#sahantwrites