Tuesday, October 25, 2022

සුද්දන්ගේ ලොක්කා වූ ඉන්දියානුවා - සහන් තෙන්නකෝන්




මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා සැලකෙන්නේ එරට දේශපාලන විධායකය ලෙසයි.ව්‍යවස්ථානුකූල කිරීටය එරට රාජ්‍ය නායකත්වය, නැතිනම් නාමික විධායකය ලෙස කටයුතු කරයි. මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරය එදා පටන්ම ගෝලීය දේශපාලනය තුළ කීර්තිමත් තනතුරක් ලෙස පිළිගැනීමට ලක්වන අතර බොහෝ බැරෑරුම් අවස්ථාවන්හිදී ලෝකයට නායකත්වය සැපයීමට එම ධූරය දැරූ ඇතැමුන්ට සිදුවිය. එහෙව් තනතුරකට පත්වූ පළමු ආසියාතික සම්භවයක් ඇති පුද්ගලයා බවට පත්වීමට මීට සුළු වේලාවකට පෙර ඉන්දියානු සම්භවයක් සහිත රිෂී සුනාක්ට හැකිවිය.


කොන්සවේටිව් පක්ෂය විසින් 21 සියවසයට දායාද කරනු ලැබූ පස්වන අගමැතිවරයා ලෙසයි ඔහු සැලකෙන්නේ. ඉකුත් පක්ෂ නායකත්ව සටනේ තම ප්‍රතිවාදියා වූ හිටපු අගමැති ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අගමැති ධූරයට ඔහු පත්වන්නේ මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභා නායිකාව වූ පෙනී මෝර්ඩන්ට් පරාජයට පත්කරමිනි.


හිටපු අගමැති ලිස් ට්‍රස් විසින් ඉදිරිපත් කරන ලද අන්තර්වාර අයවැය සහ ඇයගේ ඇතැම් අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති විසින් තීව්‍ර කරන ලද උග්‍ර ආර්ථික අර්බුදය සමනය කිරීමත්, දැඩි ලෙස මහජන අප්‍රසාදයට ලක්ව සිටින තම පක්ෂය එළඹෙන මහා මැතිවරණයකදී ජයග්‍රහණය කරා මෙහෙයවීමත් රිෂී හමුවේ ඇති ප්‍රමුඛ අභියෝගයන්ය. රුසියානු-යුක්‍රේන යුද්ධය විසින් වේගවත් කරන ලද බ්‍රිතාන්‍යයේ ආර්ථික කඩාවැටීම, ට්‍රස් පරිපාලනයේ බදු ප්‍රතිපත්තිය සහ අන්තර්වාර අයවැය සමඟින් අවපාතයකට යමින් තිබෙන පවුම ස්ථාවර කරගැනීම ආදිය කාරණා හමුවේ රිෂී වෙත පැවරෙන්නේ මහා බ්‍රිතාන්‍ය සියවසයේ මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදය සහිත දේශයයි. හිටපු චාන්සලර්වරයෙකු ( Chancellor of the Exchequer යනු මහා බ්‍රිතාන්‍යයේ මුදල් ඇමති ධුරයයි ) ලෙස පසුගිය කෝවිඩ් වසංගත සමයේ රට අගුළු දමා තිබූ අසීරු මොහොතක ආර්ථිකය මෙහෙය වීමෙන් ලද අත්දැකීම් ඔහුව යම් පමණකට මෙම අර්බුදයට පිළියම ලෙස දැකීමට බ්‍රිතාන්‍ය වැසියන් පොළඹවා ඇත. කෙසේ වෙතත් සුනාක්ට එම විශ්වාසය උරඟා බැලීමට හැකිවන්නේ ඉදිරි මැතිවරණයකදීය.


තාමත් 42 හැවිරිදි වියේ පසුවන රිෂීගේ පියා යෂ්විර් සුනාක් වෛද්‍යවරයෙක් වන අතර මව ඌෂා ඖෂධවේදිනියකි. බ්‍රිතාන්‍යයේ සුප්‍රක්‍රට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ සමාජීය විද්‍යාවන් සඳහා ලොව ඇති කීර්තිමත්ම විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති සුනාක් විවාහ වන්නේ ඉන්දීය තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස සැලකෙන බිලියනපති නාරායන් මූර්තිගේ දියණිය අක්ෂතා මූර්ති සමඟයි. වරක් මාධ්‍ය වාර්තා කලේ අක්ෂතා මූර්තිගේ මුළු වත්කම දෙවන එලිසබෙත් රැජිනගේ වත්කම් අභිබවා යන බවයි.එමෙන්ම රිෂී සුනාක් අග්‍රාමාත්‍ය පදවියට පත්වීම ලොව පුරා විසීරී සිටින ඉන්දියානු ඩයස්පෝරාව ඉමහත් අමන්දානන්දයට පත්කර ඇත. ලොව බලවත්ම රාජ්‍යයයේ උප ජනාධිපතිනිය, සුද්දන්ගේ රටේ අගමැති හරහා ඉන්දියානුවන් විසින් ගෝලීය දේශපාලනයට ඉමහත් බලපෑමක් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.


කෙසේ වෙතත් රිෂී සුනාක්ට ගමන් කිරීමට ඇත්තේ සුවපහසු මාවතක් නොවේ. ඇතැම් විට එය ඔහු සිතනවාටත් වඩා බියකරු එකකි.2023 අග භාගය වන විට බ්‍රිතාන්‍යය මුහුණ දෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව එරට මුහුණ දෙන දැවැන්තම හදිසි තත්ත්වයට බව ආර්ථික විශේෂඥයන් ඉඟි පළකරයි. ලිස් ට්‍රස්ට මෙන්ම සුනාක්ට ද කාලයේ රුදුරු අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවන බවට දැනටමත් පෙනී යයි. එසේම 90 දශකයේ අග භාගයෙන් පසුව කම්කරු පක්ෂය විසින් දැවැන්ත උද්යෝගයක් පෙන්නුම් කරන අතර විපක්ෂ නායක සර් කෙයර් ස්ටාමර් සමඟ ඔවුන් නැවත පුනර්ජීවය ලාභ තිබෙන බව දැකිය හැකිය. කෙසේ වෙතත් මැතිවරණයක්‌ නොකැඳවා බොහෝ දුර යාමට නව අගමැතිවරයාට හැකියාවක් පවතින්නේ නැත. ඉදිරි මැතිවරණයකදී කොන්සවේටිව් පක්ෂයේ ජයග්‍රහණය තරමක් අවිනිශ්චිත බවක් ගන්නා බවද පෙනීයයි.


නව ලිබරල්වාදියෙක් ලෙස තමාව හඳුන්වාගන්නා රිෂී සුනාක් පසුගිය නායකත්ව තරගය අතරතුර පැවසුවේ තමා තැචර්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මකට කොන්සවේටිව් පක්ෂයේ සිටින එකම සුදුස්සා බවයි. කෙසේ වෙතත් සුනාක් හමුවේ ද ඇත්තේ එදා මාග්‍රට් තැචර් හමුවේ තිබූ අභියෝගයයි. ඒ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි. එකී අභියෝගය ජයගනිමින් තැචරියානු පන්නයේ නායකයෙක් වනවාද නැතිනම් ඇන්තනි ඊඩ්න්, නෙවිල් චැම්බර්ලේන් වැන්නවුන් සමඟින් එකට අසුන් ගන්නවාද යනවාද තීරණය වන්නේ සුනාක්ගේ ඉදිරි කාලය තුළ ඔහු විසින් ගන්නා තීරණ අනුවය.


#sahantwrites 

24.10.2022