Monday, February 26, 2024

 #ඔබ_කලා_විෂයන්_හැදෑරිය_යුතු_ඇයි -


- මහාචාර්ය ලියනගේ  අමරකීර්ති


(පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍ර පීඨයට ප්‍රවේශ වූ නවක සිසුන්ගේ නම්නීකරණ වැඩසටහන සඳහා පෙබරවාරි 10 වනිදා ලියනගේ අමරකීර්ති මහතා පැවැත්වූ දේශනය ඇසුරිණි)


ශාස්ත්‍ර පීඨ


මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා යනුවෙන් හැඳින්වෙන්නේ අප ශාස්ත්‍ර පීඨ යැයි සාමාන්‍යයෙන් හඳුන්වන පීඨවල ඉගැන්වෙන විෂයයන්. සාහිත්‍ය කලා, භාෂාව, ඉතිහාසය, දර්ශනය, ලලිත කලා ආදී විෂයයන් මානව ශාස්ත්‍ර ලෙසත්, ආර්ථික විද්‍යාව, සමාජවිද්‍යාව, මනෝ විද්‍යාව, භූගෝල විද්‍යාව, මානවවිද්‍යාව ආදිය සමාජයීය විද්‍යා ලෙසත් සාමාන්‍යයෙන් හැඳින්වෙනවා. නමුත් මේවා මෙතරම් පැහැදිලිව බෙදුම්කරණය කරන්න අමාරුයි. භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව, සහ වාග්විද්‍යාව ගන්න. ඒවා අර බෙදුම්කරණයෙන් තේරුම්ගන්න බෑ. භූගෝල විද්‍යාව එක පැත්තකින් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදියටත් තව පැත්තකින් සාහිත්‍ය කලා ආදියටත් සම්බන්ධයි. අද ලලිත කලා වැනි විෂයයන් භෞතික විද්‍යා, ඉංජිනේරු විද්‍යා ආදිය සමග සම්බන්ධයි. පුරාවිද්‍යාව සඳහා රසායන විද්‍යා ආදිය අවශ්‍යයයි. වාග්විද්‍යා ක්ෂේත්‍රයේ ඇති වූ එක්තරා විප්ලවීය චින්තන සම්ප්‍රදායක් වන ව්‍යූහවාදය මානවශාස්ත්‍ර විෂයයන් විතරක් නෙමේ, සාමාජීය විද්‍යාවලටත් විශාල බලපෑමක් කළා. එපමණක් නොවෙයි විද්‍යා පීඨවල ඉගැන්වෙන ස්වභාවික විද්‍යා ගැන අප කල්පනා කරන ආකාරය ව්‍යූහවාදය නිසා තීරණාත්මක වෙනස්වීම්වලට ලක් වුණා. භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඇති වූ චින්තන විධියක් ස්වභාවික විද්‍යාවලටත් බලපෑම් කරන ආකාරය දැන් අපි කවුරුත් දන්නවා. ඒ විතරක් නෙමේ ස්නායු විද්‍යා, ජාන විද්‍යා ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් වර්ධනය අපේ විෂය ක්ෂේත්‍ර වෙතත් බලපෑම් කරලා තියෙනවා. මනුෂ්‍යයන් අතර පවතින ආදරය යනු කුමක්දැයි යන්න ගැන කවීන් විතරක් නෙමේ රසායන විද්‍යාඥයන්, ජීව විද්‍යාඥයන් කතා කරනවා. “ආදරය” විඳින විට, “ආදරය” කරන විට මොළයෙහි සිදුවන රසායන ක්‍රියාවලි ගැන අපූරු පර්යේෂණ කෙරී තිබෙනවා. ඒ නිසා මනුෂ්‍ය ඥානය ගැන විද්‍යා සහ කලා යනුවෙන් කර ඇති මෙම බෙදීම් ඉතාම කෘත්‍රිම බෙදීම්.


අපේ රටේ මානවශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා යනුවෙන් හැඳින්වෙන අධ්‍යාපනයට ඇමරිකා එක්සත් ජනපදයෙහි භාවිත කරන නම තමයි ලිබරල් ආර්ට්ස් හෙවත් නිදහස් කලා යන්න. නමුත් ලොකු වෙනසක් තියෙනවා. එහි නිදහස් කලා යන්නට විද්‍යාව, ගණිතය වගේ දේවලුත් අයිතියි. ලිබරල් හෙවත් නිදහස් යනුවෙන් එතනදි අදහස් කරන්නේ වැදගත් දෙයක්. මනුෂ්‍ය චින්තනයේ නිදහස, මනුෂ්‍යයාගේ නිදහස සාධනය කරන ඥානය තමයි නිදහස් කලා යන්නෙන් අදහස් කෙරෙන්නේ. අද වන විට ලංකාවේ විශ්වවිද්‍යාලවලත් මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා ඉගෙනීමට එන අයටත් ගණිතය, සංඛ්‍යානය වගේ විෂයන් ඉගෙනගන්න වෙනවා. විද්‍යාව පිළිබඳ මූලික ඥානය ලැබෙන පාඨමාලාවක් දෙකක් වත් තවමත් ඔබට හදාරන්නට අවකාශ නැති වුවත් මේ පීඨයේදී ඔබට ලැබෙන අධ්‍යාපනය විශාල වශයෙන් පුළුල්.


සාමාන්‍යයෙන් අපේ රටේ ඔබ වැනි අය ඉගෙනගන්න විෂය දිහා බලන්නෙ අවතක්සේරු ස්වරයෙන්. “කලාව කෙරුවොත් මළා” තමයි කියල සෝමලතා සුභසිංහගෙ විකෘති නාට්‍යයෙදි කියවෙන්නෙ ඔබ ඉගෙනගන්න විෂය ගැන අපේ සමාජයේ තියෙන අවබෝධයේ තරම. මානව ශාස්ත්‍ර විෂයවලට පරිභෝජන ධනවාදී ලෝකයේදී අත්වන ඉරණම පිළිබඳ ලංකාවේදී දක්වන ලද මුල්කාලීන ප්‍රතිචාරයක් තමයි විකෘති නාට්‍යය.


කලා විෂයන් කියන්නෙ චිත්‍ර, සංගීත, නැටුම් හෝ සිව්පද ආදිය ගැන කියල හිතන අය චිත්‍ර, සංගීත, නැටුම් වැනි ලලිත කලාවලටත් කරන්නෙ දරුණු නිගරුවක්. මේ විෂයට බැහැරින් ඉන්න අය මොනව හිතුවත් කමක් නෑ කියමු. විෂය ඇතුළෙ ඉන්න අපිත් බොහෝ විට හිතන්නෙ කලා කියන්නේ සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙන්න බැරි, ගණිතය, ඉංග්‍රීසි වගේ ඒවත් බැරි අය ඉගෙන ගන්න විෂයක් කියලා. ඒ නිසා අපි ඉගෙනගන්න කාලෙත්, ඉගෙනගත්තට පස්සෙත් හිතන්නෙ වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා වගේ පීඨවලට යන්න බැරි වුණ අය සම්පූර්ණයෙන් අනාථ වෙන එක වලක්වන්න තියෙන පීඨයක් තමයි ශාස්ත්‍ර පීඨය කියලා. මේ අවබෝධය වැරදියි. විද්‍යා, වානිජ වැනි විෂයධාරා හදාරන්නට තරම් ඉහළින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ අයත් මෙතන ඉන්න නිසා අර ප්‍රකාශය කොහොමත් වැරදියි.


අපි මේ පීඨයෙ ඉගෙනගන්න කිසිම විෂයයක් අනික් පීඨවල උගන්වන කිසිම විෂයකට වඩා හරයාත්මකව පහළ වන්නේවත් වැදගත්කමින් අඩුවන්නේවත් නෑ. මනුෂ්‍ය ඥානයේ විවිධ ප්‍රභේද සහ ශාඛා තියෙනවා. ඉන් එකක් වත් අනිකට වඩා පහළවත් ඉහළවත් නෑ. යම් යම් විෂයයන් නිසා අත්පත් කරගත හැකි ප්‍රාග්ධනය හා සංකේත ප්‍රාග්ධනය අතර පරතරයක් තියෙනවා. ඉතා ඉක්මනින් විශාල නිවසක්, මෝටර් රථයක් ආදිය අත්පත් කරගන්නට ඉඩ දෙන විද්‍යාව වෛද්‍ය විද්‍යාව වී තිබෙන්නේ ඒ විද්‍යාවේ නෛසර්ගික උසස්කමක් නිසා නොවේ. අනික වෛද්‍ය විද්‍යාව ලෝකයට පහළ වී ඇත්තේ එය ඉගෙනගත්ත පිරිසට ඉක්මනින් විශාල කාර් සපයන්න නොවේ. මානව වර්ගයා සුවපත් කරන්න. අනික අපේ රටේ සෑම පාසලකම පාහේ විද්‍යා විෂයයන් හදාරන්න ඉඩ තිබුණා නම්, වෛද්‍ය පීඨවලට බඳවා ගන්නා ශිෂ්‍ය පිරිස විශාල වශයෙන් වැඩි කළා නම් ඒ විද්‍යාව ඉක්මනින් කාර් සපයන විද්‍යාවක් වෙන්නේ නෑ.


දැන් මම ඉහත කිව්වා වෛද්‍ය විද්‍යාවත් අනික් ඥාන පද්ධතිත් පහළ වී තියෙන්නෙ මනුෂ්‍ය ජීවිතය සුවපත් කරන්න, නිදහස් කරන්න. ඕනෑම විද්‍යාවක් පහළ වී ඇත්තේ කුමකටද කියන ප්‍රශ්න අහන එක අපේ පීඨයේ ඉගැන්වෙන විෂයවල එක කාර්යක්. මනුෂ්‍ය ඥානයේ එක අරමුණක් තමයි මනුෂ්‍ය නිදහස සාධනය කරගැනීම. මනුෂ්‍ය දැනුම භාවිත කරලා මනුෂ්‍යයා ලෙඩරෝගවලින් නිදහස් කරගැනීම වෛද්‍ය විද්‍යාවේ කාර්යක්. අප අවට තියෙන භෞතික සම්පත් වෙනස් කරලා මනුෂ්‍ය නිදහස වර්ධනය වෙන ආකාරයේ නිෂ්පාදන කිරීම, ස්වභාව ධර්මයේ ඇතැම් නියාම නිසා මනුෂ්‍යයාට ඇති වන බාධා ජයගැනීම ඉංජිනේරු විද්‍යාවේ කාර්යක්. මෙහෙම හිතමු. අව්ව වැස්ස අපට තියෙන ස්වභාවික බාධා. අපි අපගේ ඉංජිනේරු ඥානය භාවිත කරලා නිවාස හදා ගත්තම ඒ ස්වභාවික බාදා ඉවත් කරලා අපේ නිදහස වැඩිවෙනවා. මහා සාගරය කියන්නේ මනුෂ්‍යයා හමුවේ තියෙන දරුණු ස්වභාවික බාධාවක්. මනුෂ්‍යයා තමන්ගෙ ඉංජිනේරු ඥානය භාවිත කරලා නැව් හැදුවම අපට ඒ මහා සාගරය තරණය කරන්න පුළුවන්. ඒ නිසා මනුෂ්‍ය නිදහස වැඩි වෙනවා.

මනුෂ්‍ය නිදහස සාක්ෂාත් කරගැනීම විතරක් මදි වෙන තත්ත්වයක් අද ඇති වී තිබෙනවා. මනුෂ්‍යයා සහ අනෙකුත් ජීවය පිණිස මෙතරම් උචිත වූ ග්‍රහලෝකයක් අපට ළඟා විය හැකි දුරක තවම හොයාගෙන නෑ. ඒ නිසා පෘතිවිය නමැති අපේ ලෝකය වඩා වැඩි කාලයක් මනුෂ්‍යයන්ට සහ අනෙක් සතා සිව්පාවන්ට උචිත ලෙස පවත්වා ගනිමින් මනුෂ්‍ය නිදහස සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ තියෙනවා. ඒක අද ලොකු ප්‍රශ්නයක්. එවන් පසුබිමක ඔබ මෙම පීඨයට පැමිණ හදාරන්නේ මොනවාද? ඒවා හැදෑරිය යුත්තේ ඇයි? යනාදී ප්‍රශ්න ගැන අදහස් කිහිපයක් මම ඔබට කියනවා. 

අපි මෙම පීඨයේ ඉගෙනගන්නා දේවල වටිනාකම වටහා ගන්න කොට අපි ප්‍රවේශ තුනක් ගන්න පුළුවන්.


නෛසර්ගික අගය ( intrinsic value)

2. ශාස්ත්‍රාලයෙන් එපිටදී ප්‍රයෝජනවත් වන්නා වූ බුද්ධිමය ගුණාංග සහ ප්‍රායෝගික ගුණාංග වර්ධනය-


3.චරිත සංවර්ධනය සහ යම් උත්තර පරමාර්ථයක් පිළිබඳ හැඟීමක් වර්ධනය කිරීම


අපි දැන් මේ ප්‍රවේශ තුන ගැන තරමක් සවිස්තරව සාකච්ඡා කරමු. පළමු වැන්න තමයි අපි ඉගෙනගන්න දේවල්, විශේෂයෙන් ශාස්ත්‍රපීඨයේ ඉගෙනගන්න දේවල් අපි ඒවාගේ නෛසර්ගික අගය නිසා. ඉන් අදහස් වෙන්නෙ මෙහෙම දෙයක්. .එයින් අදහස් කරන්නේ ඉගෙනීම සඳහාම ඉගෙනීම. ජීවිතය ගවේෂණය කිරීමේ ප්‍රීතිය. ජීවිතයෙහි අර්ථ පිළිබඳ මහා ප්‍රශ්න ඇසීම, ගවේෂණය කිරීම. මෙම බුද්ධිමය ප්‍රයාමය ප්‍රීති ඇති කරන එකක්. ශාස්ත්‍ර පීඨයේ අපි අපේ අධ්‍යයන කටයුතු අවංකව කරන වෙලාවට මෙම ප්‍රීතිය අත්වෙනවා. අපි ඒක විඳිනවා. නමුත් මේ සඳහා ඥාන ගවේෂණයට කැපවුණු ගුරුවරු වගේම ශිෂ්‍යශිෂ්‍යාවනුත් ඉන්න ඕනෙ.


අපි පුරුදු වෙලා ඉන්නව අපේ අධ්‍යාපනයේ අගය මනින්න ඒ නිසා අපට ලැබෙන ප්‍රායෝගික දේවල් මොනවද කියන එක අනුව. ඉහළ ආර්ථික තත්ත්වයකට යන්න ඒ අධ්‍යාපනයෙන් මොනවද ලැබෙන්නෙ කියන එක අනුව. අධ්‍යාපන දර්ශනයෙදි මේකට කියනවා කරණීය තර්කනය කියලා. ඒ කියන්නේ අධ්‍යාපනය වෙනත් ප්‍රායෝගික වාසියක් ලබාගන්න උපකරණයක් ලෙස භාවිත කරන්නෙ කොහොමද කියන එක. අපේ අධ්‍යාපනය විශාල වශයෙන් අද මේ තර්කනයට යටවෙලා තියෙන්නෙ. අධ්‍යාපනය ඔස්සේ හොඳ වෘත්තියකට ප්‍රවේශවීම නරක දෙයක් නෙමේ. මම ඒ ගැන ඉදිරියෙදි කතා කරනවා. නමුත් අපේ පීඨයේ ඉගැන්වෙන බොහෝ දේවල් කරණීය තර්කනයෙන් මැන්නොත් වරදිනවා. ඒ නිසා අධ්‍යාපන දර්ශනයෙදී අපේ වගේ විෂයයන් අගය කරන්නෙ වටිනාකම පිළිබඳ තර්කනය අනුව. එතන වටිනාකම කියන්නෙ රුපියල් සත වටිනාකම හෝ ප්‍රායෝගික වටිනාකම නොවේ.


අපේ විෂයයන්වලදි අපි අහන්නෙ උපරිම වටිනාකම් පිළිබඳ ප්‍රශ්න. මනුෂ්‍ය ජීවිතය යනු කුමක්ද? ජීවිතයක හරය යනු කුමක්ද? මරණයෙන් මතු ජීවිතය කුමක්ද? ආදරය යනු කුමක්ද? සහෝදරත්වය යනු කුමක්ද? මනුෂ්‍යයන් විවිධාකාරයෙන් සමාජය සංවිධානය කරගන්නේ ඇයි? මනුෂ්‍යයන් එකිනෙකා වෙත සම්බන්ධ වන ආකාරය ඉතිහාසය ඔස්සේ වෙනස් වී ඇත්තේ ඇයි? වඩා හොඳ ආදරවන්තයන්, ආදරවන්තියන් වන්නේ කෙසේද? වඩා හොඳ ස්වාමි පුරුෂයන් හෝ භාර්යාවන් වන්නේ කෙසේද? විවාහය නමැති ආයතනය තුළ ආධිපත්‍යය හිමිව ඇත්තේ කාටද? ඒ ඇයි? මනුෂ්‍ය ලෝකයෙහි ඇති පළමු බෙදීම වන ස්ත්‍රී-පුරුෂ භේදයේදී ඉහළ පහළ යනාදී වශයෙන් ධුරාවලි සම්බන්ධයක් පවතින්නේ ඇයි? මේ බෙදීම වඩා ප්‍රජාතාන්ත්‍රික කළ නොහැකිද? සමාජයක පවතින ධනය සහ සම්පත් ඒ සමාජයේ බහුතරයක් දෙනාගේ නිදහස සාක්ෂාත් වන ආකාරයට බෙදා හරින්නේ කෙසේද? හුදෙක් ධනය සමානව බෙදා හැරීමෙන් පමණක් සාධාරණය සහ සමානත්වය ඇති වන්නේද? ධනයෙන් ඉහළ වුවත් වෙනත් අනන්‍යතා නිසා පහත් කොට සලකනු ලබන ජනයා නොසිටීද? ආර්ථික සංවර්ධනයෙන් පමණක් එවන් ජනයා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කළ හැකිද? මේවා ඉහළ තලයක පිහිටන ප්‍රශ්න. ඒ ඉහළ බවේ විවිධතා තියෙන්න පුළුවන්. සම්භාව්‍ය විශ්වවිද්‍යාලය යනු කුමක්දැයි පැහැදිලි කරමින් ජෝන් හෙන්රි කාඩිනල් නිව්මන් 1863 දී මෙහෙම කිව්වා:


“යම් යම් දැනුම් තියෙනවා හුදෙක් ඒවාගෙන් කෙරෙන්නේ මොනවාද යන්න නොසලකා ඒවා ඒවා පිණිසම අත්පත් කරගැනීම වැදගත් වන.” There is a knowledge worth possessing for what it is not merely for what it does.” දර්ශනය, සාහිත්‍යය, ඉතිහාසය, සමාජවිද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව ආදිය අපි ඉගෙනගන්න පළමු හේතුව ඒවා අපිව අර වගේ වැදගත් ප්‍රශ්න වෙත යොමු කිරීම. ඒ ප්‍රශ්න වෙත යොමු කරන නිසාම පමණක් අර විෂයයන් වටිනවා විතරක් නෙමේ, ඒ ප්‍රශ්නත් නෛසර්ගිකව වටිනවා.


ඒවගේම ශාස්ත්‍රපීඨයේ අපි භාෂා සාහිත්‍ය ආදිය ඉගෙනගන්නවා. ව්‍යක්ත, අලංකාර, අර්ථවත් භාෂා භාවිතවල අගය අපි ඉගෙනගන්නවා. මනුෂ්‍ය භාෂා භාවිතයෙහි ඇති සංකීර්ණතා, සියුම් අර්ථ, ඇඟවුණු අර්ථ ආදිය ගැන අපි සංවේදී වෙනවා. කවිය වැනි ඇතැම් භාෂා භාවිත අසළ වැඩි වේලාවක් ගත කර, සෙමින් කියවමින් බහුවිධ අර්ථ මතු කරගන්නා සැටි අපි ඉගෙන ගන්නවා. කාලය යනු මුදල් යැයි සිතන සමාජයක හා යුගයක කවියක් කියවන්නට එපමණ වෙලා ගත කරන්නේ ඇයි? අන්තර්ජාලයෙන් හරි බිස්නස් එකක් කරලා කීයක් හරි හොයාගන්න කැප කළ හැකි වෙලාවෙ අපි හෙට (පෙබරවාරි 11) මහාචාර්ය සරච්චන්ද්‍ර එළිමහන් රංපීඨයේදී ජර්මානු නාට්‍යකරු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව නරඹන්නේ ඇයි? එය නැරඹීමම වටිනාකමක් නිසා. සංකීර්ණ දේශපාලන අවස්ථාවක මනුෂ්‍ය චර්යාව කෙසේ වන්නේද? පන්තිමය වශයෙන් බෙදී වෙන්වුණු මනුෂ්‍ය සමාජය තුළ මනුෂ්‍ය වටිනාකම් විපරීත වන්නේ කෙසේද? මේ ප්‍රශ්න ගැන හිතන්නට අපට ඉඩ ලැබෙන නිසා.


- මහාචාර්ය ලියනගේ අමරකීර්ති