Saturday, July 30, 2022

පාර්ලිමේන්තුවේ පිල් මාරු රැසක්?


 


 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේවනවිට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලිකවම ලිපි යවා ඇති අතර ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ඒ බව නිල වශයෙන් දැනුම්දීමට නියමිතව ඇත.

එලෙස නිල වශයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපතිවරයා ආරාධනා කළ පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සැළකිය යුතු පිරිසක් ආණ්ඩු පක්ෂයට සහය දීමට සුදානමින් සිටින බව වාර්තාවේ. එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමටද නියමිතව ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් වාර අවසන් කළ පාර්ලිමේන්තුව ලබන සතියේ යලි ජනාධිපතිවරයා විසින්ම විවෘත කිරීමට නියමිතව ඇත


- C/S

Friday, July 29, 2022

මෛත්‍රීපාල කථානායක ධූරය ඉල්ලයි

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සර්ව පාර්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී එයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදීමට නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තමාට පාර්ලිමේන්තුවේ කථානායක ධුරය ලැබිය යුතු යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරය තුළද සාකච්ඡා කර ඇති අතර එහිදී සමාජික මන්ත්‍රීවරුන් විවිධ අදහස් දක්වා ඇති අතර බොහෝදෙනා සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්විය යුතු යන මතයේ සිට අදහස් දක්වා ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුව සහභාගී නොවුනද එහි මන්ත්‍රීවරුන් බහුතරය පෞද්ගලිකවම හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගීවීමට කැමත්ත පලකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.


- C/S


Sunday, July 24, 2022

ගෝටාභය නැවත දිවයිනට?

 ජනතා විරෝධතා හමුවේ පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදීම යළි ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ දිනවල සිංගප්පූරුවේ සිටින හිටපු ජනාධිපතිවරයා මඳ අසනීප තත්ත්වයකින් පසුවන බව වාර්තා වන අතර අතර ඊට අදාළ ව සිදු කරන ප්‍රතිකාරවලින් පසුව ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහුට අවශ්‍ය ආරක්ෂාව ඇතුළු පහසුකම් සැලසීමට රජය පියවර ගනු ඇති බව රජයට සමීප ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

හිටපු ජනාධිපතිවරයා තමන් පදිංචිව සිටි මිරිහාන නිසට පැමිණීමට නියමිත අතර ඔහු ගේ පැමිණීමෙන් පසුව රජය විසින් ජනාධිපතිවරයා වෙත නීත්‍යනුකූල ව හිමිකම් ලබන නිල නිවස ආරක්ෂාව වාහන සහ කාර්ය මණ්ඩලය ලබා දීමට සැලසුම කර ඇති එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 14 වැනිදා සිංගප්පූරුවට පැමිණි ගෝඨාභය රජජපක්ෂ මහතාට දින 14ක කෙටි කාලීන වීසා බලපත්‍රයක් නිකුත් කළ බව සිංගප්පූරුවේ ආගමන විගමන සහ මුරපොළ පරීක්ෂා අධිකාරිය පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව ඔහු ලබන 28 වැනිදා පැමිණෙන්නේද එසේ නැතිනම් ඔහුට තවදුරටත් වීසා දීර්ඝ කර ගැනීමට කටයුතු කරන්නේද යන්න පැහැදිළි නැතත් ඔහුට ශ්‍රි ලංකාවේ හිමි විය යුතු වරප්‍රසාද ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිටත් අවධානය යොමු කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූලි මස 09 වැනිදා ඇති වූ දැවැන්ත මහජන විරෝධය හමුවේ පසුගිය 12 වැනිදා රාත්‍රියේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින බලා පිටත් ව ගිය අතර එහි සිට සිංගප්පූරුවට ගොස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත එවීමට කටයුතු කළේය.



Saturday, July 23, 2022

ගෘහස්ථ රැස්වීම් සඳහා මුහුණු ආවරණ අනිවාර්‍ය කරන්න

 *ගෘහස්ථ එක් රැස්වීම් සදහා මුව ආවරණ අනිවාර්‍ය කරන්න* 


*කොවිඩ් PCR පරීක්ෂණ පහසුකම් වහා ලබා දෙන්න* 


නව COVID-Omicron ප්‍රභේදය ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය විවිධ නිවැරදිව හඳුනා ගැනීමට පහසු අපහසු ප්‍රභේදයකි. ශ්‍රී ලංකාව තුල මේවන විට කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අතිශය ලෙස සීමා කර ඇති බැවින් හා ඒ සදහා අත්‍යාවශ්‍ය ප්‍රතික්‍රීයක හිගකම හේතුවෙන් බරපතල ව්‍යාප්තියක් අපේක්ෂා කල හැකිය. එසේම ප්‍රභේද පිළිබද පරීක්ෂණ සිදු නොකෙරෙන බැවින්, පැතිර යමින් තිබෙන ප්‍රභේද පිළිබදවද නිශ්චිතව කිව නොහැක.


මේ මොහොතේ සෞඛ්‍ය සේවාව පවතින අවධානම්, අවිධිමත් සහ සැලසුම් සහගත නොවන වටපිටාව යටතේ, අවම තරමින් ගෘහස්ථ ඒකරාශී වීම් සදහා පමණක් හෝ මුඛ ආවරණ පැලදීම අනිවාර්ය නොකලහොත්, නැවත අති විශාල කොවිඩ් රැල්ලකට මුහුණදීමට සිදු වනු නොඅනුමානය. 


නව COVID-Omicron වෛරසයේ රෝග ලක්ෂණ ලෙස කැස්සක් හෝ උණට වඩා සන්ධි වේදනාව, හිසරදය, බෙල්ලේ වේදනාව, ඉහළ සිරුර පිටුපස වේදනාව, නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ ප්‍රකට බව පර්යේෂකයෝ පෙන්වා දෙති.


එම පර්යේෂණ වලට අනූව, මෙම ප්‍රදේයෙහි භායානක බව, ඩෙල්ටා ප්‍රභේදයට වඩා පස් ගුණයකින් පමණ වැඩි වන අතර මරණ අනුපාතය ද ඩෙල්ටාවට වඩා වැඩි බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. එසේම රෝගය දරුණු ලෙස වර්ධනය වීමට අඩු කාලයක් ගත වන අතර සමහර විට පැහැදිලි රෝග ලක්ෂණ නොමැත. වෛරසය ප්‍රජාව තුළ පැතිරී පෙනහළු වලට කෙලින්ම ආසාදනය වන අතර, එය වෛරස් නියුමෝනියාවට තුඩු දෙන අතර පසුව උග්‍ර ශ්වසන පීඩනය ඇති කරනු ලබන බව පැවසේ.


කරුණාකර ප්‍රවේශම් වන්න, ජනාකීර්ණ ස්ථාන වලින් වළකින්න, විවෘත ස්ථානවල පවා මීටර් 1.5 ක දුරක් තබා ගන්න, ද්විත්ව ස්ථර ආවරණයක් පළඳින්න, සුදුසු මුව ආවරණ පළඳින්න, සහ සෑම කෙනෙකුටම රෝග ලක්ෂණ නොමැති විට (කැස්ස හෝ කිවිසුම් යාම) වේලාව නිතර නිතර අත් සෝදන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජයේ නීති එනතුරු නොසිට, ස්වයං ආරක්ෂාව සලසා ගන්න.


රවී කුමුදේශ් 

සභාපති 

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය


සති දෙකකින් සර්වපාක්ෂික ආණ්ඩුවක්


 

අමාධ්‍ය ධූර 30කින් සමන්විත නව කැබිනට් මණ්ඩලයක්  සහිත සර්ව පාක්ෂික ආණ්ඩුවක් තව සති දෙක්ක තුළ පිහිටුවීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහට පක්ෂව ඡන්දය දුන්  විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් ද කැබිනට් මණ්ඩලයට සම්බන්ධ කරගෙන මෙම ආණ්ඩුව පත් කරගැනීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ නිර්මාණය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් සහිත,  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කරගත් පොදු ජන පෙරමුණ ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජනාධිපති අපේක්ෂකත්වයට තරග වැදුණු ඩලස් අලහප්පෙරුම   ඇතුළු පොහොට්ටුවේ  මන්ත්‍රීවරුන් 28ක්  පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

කළු ජූලිය සහ ලාංකීය බෙඩූඉන් චින්තනය



ශ්‍රී ලංකාව ගැන කියවන හෝ එහි ඉතිහාසය සහ දේශපාලන සංසිද්ධීන් අධ්‍යනය කරන පුද්ගලයෙකුට තිස්‌ වසරක සිවිල් යුද්ධයත් ඒ තුළින් සමාජයට ඇතිකළ බලපෑමත් අත්හළ නොහැකි මාතෘකාවක්‌ බවට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ගමන් මාර්ගය තීරණය කිරීමෙහිලා දශක තුනකට ආසන්න කාලයක් යුද්ධයෙහි වූ මැදිහත්වීම නිසාවෙනි. බොහෝ දෙනා යුද්ධය පිළිබඳව කතාබහ කලත් එය ඇතිවීමට බලපෑ සිද්ධි දාමයන් ගැන කතාකරන්නේ අල්ප වශයෙනි.


අදින් වසර 39 කට පෙර සිදුවූ දමිළ  විරෝධී ඝාතන රැල්ල නැතිනම් " කළු ජූලිය " එහි වචනයේ අර්ථයෙන්ම ලාංකීය දිනපොත්හි අඳුරුතම පරිච්ඡේදයක් ලෙස සටහන් වී ඇතිබවට සැක නැත. දමිළ ඊළාම් විමුක්ති සංවිධානය ( LTTE ) විසින් හමුදා නිලධාරීන් 13 දෙනෙකු ඝාතනය කළේ 1983 ජූලි 23 වෙනිදාය. ඒ වනවිට 13දෙනෙකු වැනි පිරිසක් එකවර ඝාතනය වීමත්, ඝාතනයට ලක්වූ සියල්ලන්ම සිංහල ජාතිකයන් වීමත්,ඔවුන් දමිළ තරුණයන් අතින් ඝාතනය වීමත් හේතුකොටගෙන පසුවදා රට පුරා දමිළ විරෝධී රැල්ලක් නිර්මාණය වී තිබුණි. අගනුවරින් පටන්ගෙන පසුව රට පුරා දමිළ ජාතිකයන් සමූල ඝාතනය කිරීමේ වියරුව වසංගතක්‌ මෙන් පැතිර ගියේය.එවකට රාජ්‍ය බලය හෙබවූ යුඇන්පී ආණ්ඩුව මෙකී භීෂක උන්මාදය කෙරෙහි දැක්වුයේ ඉතා උදාසීන ප්‍රතිපත්තියකි. ආණ්ඩුවේ නායකයන් දෙපිරිස සන්සුන් කරනවා වෙනුවට දෙපාර්ශවයේම තරුණයන්ට අවි ගැනීමට ආරාධනා කළේය.ජනාධිපතිගේත් අගමැතිගේත් සහචර ආණ්ඩුවේ ප්‍රභලයන්ගේ ආධාර ලැබූ මැර කල්ලි පිස්සු බල්ලන් මෙන් දේපල විනාශ කරමින්, දේපලවලට පමණක් නොව මිනිසුන්ටද ගිනිතබමින් හැසිරුණහ.




සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම,දේශපාලන ආධාර ලැබූ මැරයන් විසින් ආසියාතික දැනුම් ගබඩාවක් වූ යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීමත් වැනි කෙනෙහිලිකම් දමිළ තාරුණ්‍ය අවි ගැනීමට පෙළඹවීය. සිංහල මෙන්ම දමිළ දේශපාලඥනයන් විසින් දිගින් දිගටම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සාමාන්‍ය දමිළ ජනතාවගේ සිහින, ආශාවන් අපයෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලියක්‌ තුළින් තම අයිතිවාසිකම් දිනාගත හැකියි යන මතය තුළ ඔවුන් තැබූ විශ්වාසය බිඳදැමීය. අවසානයේ නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දේ පොරොවෙන්වත් කපා දැමිය නොහැකි තත්ත්වයට පත්වූයේ තම අයිතිවාසිකම් අහිමිකිරීමේ කලකිරීමෙන් හා ඉච්ඡාභගංත්වයෙන් ආවේගශිලීව සිටි ප්‍රභාකරන් වැනි දහස් ගණනක් සිංහල දමිළ තරුණයන් තිස්‌ අවුරුද්දක කාලකන්නි යුද්ධයකට ඇදදමමිනි.




කළු ජූලියෙන් ඇරඹියේ දහස් ගණනක් ජීවිත සහ දේපළ විනාශයක් පමණක් නොවේ. එයින් සිදුවූ සංස්කෘතික පරිහානියට මිලක්‌ නියම කරන්නට බැරිය. උතුරුකරයත් දකුණුකරයත් අතර වූ සබැඳියාවේ පාලම් සිය ගණනක්


කළු ජූලියෙන් අවහිර කරන ලදී. පෙර නොවූ පරිදි සීහල දමිළ බෙදීමක් ඇතිවිය. උතුරේ නෑයන්ට දකුණේ නෑයන් තහනම් විය. දකුණේ මිනිසුන්ට පොංගල් බතෙහි රස ද උතුරේ මිනිසුන්ට කැවුම් රස ද බෙදුම්වාදය විසින් අමතක කරවීය.අදටත් කළු ජූලිය විසින් ශ්‍රී ලංකා භූමියේ වැළලූ කාලකන්නි ජාතිවාදයේ සක්‍රීය බිම් බෝම්බ සිංහල, දමිළ, මුසල්මානු සහෝදර ජනතාව බිලි ගැනීමේ ආශාවෙන් සැඟවී සිටින බවද කිව යුතුය.




ජරාජීර්ණ දේශපාලනයත්, අධම දේශපාලකයනුත් විසින් සියල්ලන් සතුටෙන් ජීවත් වූ දේශයක් බලය, උද්දච්චකම සහ අවුරුදු දෙදහස් පන්සීයක ඊනියා, හණමිටි දේශමාමකත්වය සමඟ එක්වී යළි ගොඩගත නොහැකි ලෙස වලපල්ලට ඇද දමා අවුරුදු 39ක් ගතවන තැන අප සිටින්නේ කොහිදැයි යන්න පිළිබඳව ඔබ‍ට අවබෝධයක් ඇත්දැයි මම ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි.




මගේ මතය නම් තවමත් ජාති, ආගම්, කුල, පක්ෂ ආදියට බෙදී කුළල්කාගන්නා ගෝත්‍රික සමාජීය ලක්ෂණ අප වෙතින් තවමත් පෙන්නුම් කෙරෙන බවයි.ගුණාත්මකබවින් යුතු නූතනත්වය කැටි වූ අධ්‍යාපන ක්‍රමයක්‌ හා ගෝත්‍රික එඬේර චින්තනයෙන් බැහැර වූ පුළුල් සමාජ ක්‍රමයක් තුළින් ළඟාකරගන්නා දැඩි සමාජ ප්‍රතිසංස්කරණයක්‌ මත කළු ජූලිය වැනි අමිහිරි අත්දැකීම් මින් මතු පරම්පරාවලට අත්විඳින්නට නොවන තත්වයක් උදාකරලීම අපගේ වගකීමක් විය යුතුය. එයින් පමණක්ම මතුවට වේලුපිල්ලේ ප්‍රභාකරන්ලා වැනි ලේ පිපාසිතයන් ( සිංහල අය ද ඇතුළුව ) බිහිවීම නවතිනු ඇත.කුට්ටුමනී වැනි තරුණයන්ගේ යහපත් ජීවිත සුරක්ෂිත වනු ඇත. එපමණක් නොව බලය විසින් නිර්මාණය කරනු ලබන ඝාතක සංස්කෘතීන් අහෝසි වී යනු ඇත.




එතෙක්,සිංහල සින්දු කියන උතුරේ කිරිල්ලියන්ට ද මරතොන්ඩි රටා අඳින දකුණේ කිරිල්ලියන්ට ද දිනෙක එකම එක නිදහස් අහසක පියාසැරීමට හැකිවේවායැයි  ප්‍රාර්ථනා කරමු.ප්‍රර්ථනාවන් ප්‍රාර්ථනාවන් ලෙසම මියැදීමට ඉඩ නොතැබීමට වැඩ කරමු, සිතමු, බලගැන්වෙමු...!




#sahantwrites

Thursday, July 21, 2022

අරගලකරුවන් අමතක කරන්න එපා. රනිල්ට කියයි.

 සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට නම් දේශපාලන සහ සිවිල් සමාජ නායකයින් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍යා පාලනයට සම්බන්ධ කරගත යුතු බව හිටපු ජනාධිපතිනි  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පවසයි. 

පෙර පැවති දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ව පෙරලා දැමීමට බලපෑ ප්‍රධානතම හේතුව බහුතර ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ ආශිර්වාදය මත තරුණ ක්‍රියාකාරිකයන්ගේ අසම සම ක්‍රියාදාමය බව වික්‍රමසිංහ ජනාධිපතිතුමා අමතක නොකරණු ඇතැයි තමා විශ්වාස කරන බව ද එතුමිය තව දුරටත් පවසයි. 

හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ ව සුබ පැතුම් පනිවිඩයක් නිකුත් කරමිනි.


සම්පූර්ණ  පනිවිඩය මෙසේ ය. 

මෙරට 8 වන විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත් වූ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මාගේ සුබ පැතුම් පිරිනමමි.


ඔහුට රාජ්‍ය පාලනය භාර ගැනීමට සිදු වූයේ අප රට පෙර නොවූ විරූ අන්දමේ අභියෝග රාශියකට මැදිව පවතින අවස්ථාවක දී ය. 


පෙර පැවති දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ව පෙරලා දැමීමට බලපෑ ප්‍රධානතම හේතුව බහුතර ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ ආශිර්වාදය මත 

තරුණ ක්‍රියාකාරිකයන්ගේ අසම සම ක්‍රියාදාමය බව වික්‍රමසිංහ ජනාධිපතිතුමා අමතක නොකරණු ඇතැයි මම විශ්වාස කරමි. 


මේ මහා ජනතා බලවේගයේ යහපත් අපේක්ෂාව වූයේ පාලකයා තමන්ගේ සුබසිද්ධිය සඳහා කටයුතු කරනවා වෙනුවට ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන, නීතියේ ආධිපත්‍ය, අවංක බව, යහපාලනය රජයන, පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමයි. 


මෙය ඉතාමත් අසීරු කර්තව්‍යයක් බව අපි දනිමු. 


සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට නම්, දේශපාලන සහ සිවිල් සමාජ නායකයින් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතුයැයි මම විශ්වාස කරමි. ඒ සඳහා වත්මන් පාලන ක්‍රමවේද අභිබවා යමින් නව ආයතන සහ පාලන ක්‍රමවේද නිර්මාණය විය යුතු වේ. ඒ, අප ඉතිහාසයේ මේ තීරණාත්මක අවස්ථාවේ උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් අප රටට අවශ්‍ය බැවිනි.


මගේ දේශයේ සුබ සිද්ධිය වෙනුවෙන් මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සුභාශිංසන පිරිනමමි."


Tuesday, July 19, 2022

රාජපක්ෂලා සජිත්ව බිලී බා ගත්තේ කොහොමද?


 රාජපක්ෂලා දූෂිත සජිත් කොටුකර ජනපති සටනිනුත් ඉවත් කර කුක්කා කළ හැටි මෙන්න - සාක්ෂි සාධක සහිතයි 

රටේ අතිශය තීරණාත්මක අවස්ථාවක  පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ඡන්ද විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් නොවන බව පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා.

 විපක්ෂනායකවරයා ලෙස රටේ වගකීම වෙනුවෙන් අත්‍යාවශ්‍යයෙන්ම ඉදිරිපත් විය යුතු මොහොතක සජිත් ප්‍රේමදාස ඉවත් වී රාජපක්ෂ කඳවුර සෘජුවම ඉදිරිපත් කළ  ඩලස් අලහප්පෙරුම මහතා  බලයට පත් කිරීම සඳහා  සහාය ලබා දීමට තීරණය කළේ ඇයි?


  සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන් නොදන්නා අදාල රහස  හෙළි කිරීමට අප සූදානම්.


මාධ්‍ය සංදර්ශන පවත්වමින් මුදල් කාබාසිනියා කරමින්  මුදල් නාස්ති කිරීම කප් ගසා සිටින සජිත් ප්‍රේමදාස  පසුගිය ජනාධිපතිවරණය සමයේ   මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබු  රුපියල් බිලියන එකහමාරකට අධික මුදලක්  ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන් පසු  සූක්ෂම ලෙස  සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා  යොදාගෙන තිබුණා.


  මෙම බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන්  අවස්ථා ගණනාවක දී කරුණු වාර්තා වුණා.


 පහලින් දක්වා තිබෙන්නේ  අද සජිත් ප්‍රේමදාස සමග එක්වී  සම්මුතික වාදී  ජනතාවාදී   පාලනයක් නිර්මාණය කරන බව පවසන  ඩලස් අලහප්පෙරුම   එදා සජිත් සිදුකළ කෙරුවාවේ තරම  හෙළි කළ ආකාරයයි.


( වීඩියෝව -   ඩලස් අලහප්පෙරුම)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ  නිවාස සංවර්ධන අධිකාරිය සතු  මුදල් ද සජිත් ප්‍රේමදාස විසින් අවභාවිත කර තිබුණා.

 චෝදනාවලට වරදකරුවන් වන පුද්ගලයින්  සම්බන්ධව විමර්ශනය කොට  එම ලිපිගොනු ළඟ තබාගෙන  ඔවුන් පාලනය කිරීමේ රාජපක්ෂ ක්‍රමවේදය  ජනාධිපතිවරණයෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් ද  අනුගමනය කිරීමට මහින්ද රාජපක්ෂ  පියවර ගත්තේ රාජපක්ෂ ගැති  විපක්ෂ නායකවරයෙකු බලයේ  තබා ගැනීමේ අරමුණ ඇතිවයි.


අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමට  අගමැතිවරයාගේ  උපදෙස් මත  පත්කළ කමිටු වාර්තාව  ප්‍රසිද්ධ කිරීම සිදු වූ අතර  ඒ වෙනුවට සජිත් ප්‍රේමදාස  දේශපාලන වශයෙන්  හීලෑ කිරීමට  අවශ්‍ය වූ අවස්ථාවලදී  එම වාර්තාව  පිළිබඳ  සජිත් ප්‍රේමදාසට  සිහිපත් කිරීම පමණක් සිදු කෙරුණා.

රුපියල් බිලියන ගණනක වංචාවට සජිත් ප්‍රේමදාස බෙල්ලටම හිරවී සිටියේ  අදාළ දූෂිත ගනුදෙනුවට එවක  මධ්‍යම සංස්කෘතික අරමුදල  විෂය භාර අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස අමතරව  එහි පාලක මණ්ඩලයේ ප්‍රධානත්වය දැරූ  අගමැති රනිල් වික්‍රමසිංහ හෝ   අග්‍රාමාත්‍ය ලේකම්  එස් බී ඒකනායක මහතා හෝ   මණ්ඩලයේ සාමාජික පූජ්‍ය දඹර අමිල හිමියන්,  අධ්‍යාපන  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන  පිරිස අත්සන් තබා නොතිබීම හේතුවෙන්.


( අදාළ ලිපිය )


ජනපතිවරණය  කැඳවීමෙන් පසුව  පාලක මණ්ඩලයද දැනුවත් නොකොට  සජිත් ප්‍රේමදාස විසින්  අදාළ මුදල  නීති විරෝධී ලෙස  මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් බැහැරට ගෙන ඇති අතර ඊට අදාළව දින වෙනස් කරමින් පෙරදාතමින් ලිපි සකස් කර තිබෙනවා.


 කෙසේ වෙතත් එම නීති විරෝධී කටයුත්තට රනිල්  වික්‍රමසිංගේ අනුමැතිය හිමිවී නැහැ.


මෙම කරුණු  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  පත්කරන ලද කමිටුව හරහා  අනාවරණය කරගෙන තිබෙන්නේ  පැහැදිලි සාක්ෂි සාධක ද සහිතවයි.


 ඒ අනුව  මධ්‍යම සංස්කෘතික අරමුදලේ  පාලක මණ්ඩලය ද අනුමැතිය ලබාගෙන  නොතිබූ අදාළ දූෂිත ගනුදෙනුව  නීතිය හමුවට ගෙන හමුවට ගෙන ආවොත් සිදුවන්නේ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමන සදහටම අවසන් වීම බව  සජිත් ප්‍රේමදස හොදින් දන්නා කරුණක්.



 මෙම ගනුදෙනුවට අදාළ තවත් ලිපි ගොනු රැසක් පවතින අතර  ඉන් ඇතැම් ඒවා  රාජපක්ෂලා විසින්  සියතට ගෙන තිබෙන්නේ  සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස ද  සිය ග්‍රහණයට ගනිමින්. 


එම ලිපි ගොනුව පිළිබඳ  රාජපක්ෂලා විසින්  මෙම අවස්ථාවේදී ද  සජිත් ප්‍රේමදාස මහතාට සිහිපත් කර ඇති අතර සජිත් ප්‍රේමදාස  අදාල   රුපියල් බිලියන ගණනක වංචාව  යට ගැසීම සඳහා  සමගි ජන බලවේගය පක්ෂයට  ඡන්දය ලබා දුන් ජනතාවගේ  ජනවරම පවා දී අවසන්.

පක්ෂ මතයට එරෙහිව පිරිසක් රනිල්ට

 සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ඒ ඒ පක්ෂ විසින් ගනු ලැබූ තීරණයට  එරෙහිව යමින් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දීමට තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ පැවති මධ්‍යම කාරක


සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් නොපැමිණ තිබුණු අතර එහි ඝන පූරණය පවා නොතිබූ බැවින් එහිදී ගනු ලැබූ තීරණ කිසිවක් නිත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මාධ්‍යට පැවසීය. 

ඔහු ඇතුළු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බවත් ඩලස් අලහප්පෙරුමට ලැබෙන්නේ ඡන්ද දෙකක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

සජිත් ප්‍රේමදාස තරගයෙන් ඉවත් වී ඩලස් අලහප්පෙරුමට සහාය ලබාදීමට ගත් තීරණය හරහා සමගි ජන බලවේගයේ පිරිසක් ද මේ වන විට රනිල් වික්‍රමසිංහට සහාය ලබා දීමට තීරණය කර ඇත. මේ හරහා සිදු වන්නේ නැවත පොහොට්ටුවේ බලය ස්ථාවර වන බවත්, සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික කෝන්තර දේශපාලනයට ඈඳාගැනීම හරහා විපක්ෂය දුර්වල වූ බවත් ඔවුන්ගේ අදහසයි. 

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිටන් සහ රාසමානික්‍යම් ‍යන මන්ත්‍රීවරුන් සිය පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම වෙනුවෙන් රනිල්ට නොදී ඩලස් අලහප්පෙරුමට ඡන්දය ලබා දීමට තීරණය කිරීම නිසා, එම සන්ධානයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ද පක්ෂ මතයට එර්ව්හිව යමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. 

මේ අනුව අද පැවැත්වෙන ඡන්ද ප්‍රකාශකිරීමෙන් රනිල් වික්‍රම්සිංහ මහතා ඡන්ද 120 කට ආසන්න ප්‍රමාණයකට හිමිකම් කියන බවක් පෙනේ. 




ඡනාධිපතිවරයා තෝරාගැනීමේ රහස් ඡන්දය හෙළි කළොත් වසර හතකට මන්ත්‍රී ධුරය අහිමියි

 
 


අනුප්‍රාප්ත්‍රික ජනාධිතිවරයා තෝරාගන්නා ඡන්ද විමසීමට අදාළව ඡන්දය හෙළි කිරීමෙන් හෝ  යම් අයුරකින් වරදකරුවන පුද්ගලයෙකු  වසර හතක කාලයට තම මන්ත්‍රීධුරය අහිමිවන බව ජනාධිපතිවරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනතේ සඳහන්ය.
එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් අනිසි බලපෑම් හෝ අල්ලස් ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් දඩමුදලක් අයකරගැනීම හෝ මාස හයක සිරදඩුවමක් ලබාදිය හැකි බව 1981 අංක 02 දරන ජනාධිපති මැතිවරණ විශේෂ විධිවිධාන පනතේ සඳහන්වේ.
එමෙන්ම ජනාධිපතිවරයා තෝරණ ඡන්ද විමසීමේදී තම ඡන්දය ඡායාරූපගතකිරීම් නොකරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද(20දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. අදාළ ඡන්ද විමසීම සියලු නීතිරීතිවලට අනුකූලව පවත්ව බව කථානායක මහින්ද අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





ජනබලය විනාශ කළේ සජිත්



 

අද වන විට සජිත් ප්‍රේමදාස පොහොට්ටුවේ ඩලස් අලහප්පෙරුමට සහාය දීම පිළිබඳ විශාල කථිකාවක් නිර්මාණය වී තිබේ. පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින් පවසන්නේ සජිත් ප්‍රේමදාස යූඑන්පීකාරයන්ගේ සියලු අපේක්ෂා අමු අමුවේ විනාශ කළ බවයි. සජිත්ගේ මේ ආසයි බයයි තියරිය නිසා විනාශ වන්නේ සමගි ජන බලවේග පාක්ෂිකයන්ගේ අපේක්ෂා ය. අද සජිත් කිසි ලැජ්ජාවකින් තොරව රාජපක්ෂ සහචරයෙකු වන ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරය සඳහා යෝජනා කළේ මෙරට අරගලයේ යෙදුණු සියලු පාර්ශ්වවල ඉල්ලීම්වලට පයින් ගසා ය. ඔහුට අවශ්‍ය පහසු ක්‍රමයකින් බලය ලබා ගැනීම මිස ප්‍රතිපත්තිගරුක දේශපාලනයක යෙදීම නොවන බව ඔහු නැවත වරක් රට හමුවේ සනාථ කර පෙන්වනු ලැබීය.

රට මේ වන විට මුහුණ පා සිටන ආර්ථික අර්බුදයට, දේශපාලන අර්බුදයට සහ බලශක්ති අරබුදයට ඩලස් ඍජුව වගකිවයුතු පුද්ගලයෙකි. ඔහු රාජපක්ෂ රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විය. 17,18, 19 සහ 20 යන සියලු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට අත් එස වූ කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිසෙකි. විදුලි බල අර්බුදයට කිසිදු විසඳුමක් ‍සොයා ගැනීමට අපොහොසත් වූ අසාර්ථක විදුලි බල ඇමතිවරයෙකි. මේ රටේ පුරවැසියා විරුද්ධ වුණේ රාජපක්ෂවරුන්ට පමණක් නොවේ. රාජපක්ෂවාදයට ද ඔවුහු විරුද්ධ වූහ. එකට එකතු වී කළ හැකි සියලු වැරදි සිදු කර, අවසන ගෝඨාභය පමණක් එල්ලුම් ගස් යවා අනෙක් සියලු දෙනා ශුද්ධවන්තයන් ලෙස හැසිරීම මහජනතාව කොතෙක් දුරට ඉවසාවී දැයි සැකි සහිතය.

ඉතිහාසය පසෙකින් තැබුවත් ඩලස්ට මේ අභියෝය ජය ගත හැකි ද යන ගැටළුව ඊළඟට පැන නගී. ඔහුට මේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දිය හැකි ද? ඔහුට ජාත්‍යන්තර සබඳතා කළමනාකරණය කළ හැකි ද?

මීට මාස කිහිපයකට පෙර ඕමල්පේ සෝභිත හිමි, කාඩිනල් මැල්කම් රංජිත් ඇතුළු ආගමික් සංස්ථාව, සිවිල් සමාජය ඹීට කදිම විසඳුමක් යෝජනා කළහ. ඒ කරු ජයසූරිය මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගෙන පළමුව අගමැති ධුරයට ද, අනතුරුව ජනාධිපති ධුරයට ද පත් කර ගැනීමට වූ යෝජනාවයි. එහිදී මයන්ත දිසානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී, කරුට එම අවස්ථාව ලබා දීමට පවා සූදානම් විය. එහෙත් ඒ අවස්ථාව අවසාන මොහොතේ වැළකී ගියේ සජිති ඊට විරුද්ධ වීම නිසාය. ඔහු එජාපයේ වෙනත් කිසිදු නායකයෙකුට අවස්ථාව ලබා දුන්නේ නැත. බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ යන තියරිය සජිත් පසුගිය කාලය පුරාම අනුගමනය කිරීම නිසා සමගි ජන බලවේගයට පමණක් නොව සමස්ත රටට මුහුණ දෙන්නට වූයේ බරපතල ඛේදවාචකයකට ය.  ඔහු එදා එම තීරණය ගනු ලැබුවේ නම් අද ජනපිති සටනේ දී මෙවැනි අරුබුදයක් පැන නගින්නේ නැත. සජිත්ට ආත්ම ගෞරවයක් හෝ ප්‍රතිපත්තියක් නොමැති වුවත්, හෘදය සාක්ෂියක් සහිත කිසිවෙකුට මේ මොහොතේ ඩලස් අලහප්පෙරුමට ඡන්දය ලබා දිය නොහැකිය. එහි වාසිය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහටයි. අපට ආරංචි වන ආකාරයට සජිත්ගේ මේ තකතීරු තීරණයෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසි දෙ‍ෙනකු පමණ මේ වන විට රනිල්ට ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බව තහවුරු වී තිබේ.

මෙරට ඉතිහාසයේ බිහි වූ දුරවලම විපක්ෂ නායක භූමිකාව නිරූපණය කළ සජිත් ප්‍රේමදාස තමන්ගේ බියගුළුකම සහ උද්දච්චකම නිසා මෙරට තරුණ ප්‍රජාව අරගලයෙන් ලබා ගත් ජයග්‍රහණය ආපසු හරහා තිබේ. ඔහුගේ තකතීරුකමට කිසිදු සමාවක් ලබා චදිය නොහැක්කා සේම, අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීමේ නිරතවන සිටින සජිත් ප්‍රේමදාස මේ විපක්ෂ නායක ධුරයේ සිටින තාක් කල් අපට යහපත් පාලනයක් ඇති කිරීමට විපක්ෂයේ සහායක් නම් අපේක්ෂා කළ නොහැක. පටු අදහස් පුරවාගෙන සිටින ඔහු රාජප්කෂවරුන්ගේ පැවැත්මට සම්පතක් මිස කිසිදින ඔවුන්ට අභියෝගයක් නම් නොවන බව අපගේ වැටහීමයි.

 

නිර්මාල් සුරංග

ජනපති ගියාම ඊළඟ අනුප්‍රාප්තිකයා තමන් බව කියූ සජිත් පොහොට්ටු අපේක්ෂක ඩලස්ට මුවා වෙයි - අගමැති කමට ඩීල් දමයි





අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කිරීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද වීමසීම මේ වන විට තුන් කොන් සටනක් බවට පත්ව තිබෙනවා.

අද පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාවේ  අපේක්ෂකයින් සිව් දෙනෙකු ඉදිරිපත් වන බවට තොරතුරු  වාර්තතා වුව ද  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා  එම ධුරයට තරග නොකරන බව දැනුම් දුන්නා.

 ඒ අනුව  ජනාධිපතිවරණ සටන තුන් කොටසක් බවට පත්ව තිබෙනවා.

 ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා කටයුතු කළ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ම ඉදිරිපත් වන  ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට  සජිත් ප්‍රේමදාස මහතා මේ දී තීරණය කර තිබෙනවා.

 ඒ   අගමැති ධුරය ලබා ගැනීමේ එකඟතාවය මතයි.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම සිදුවීම් දාමය පිටුපස බැසිල් රාජපක්ෂ මහතා සිටින බවයි.

තමන් රටේ විපක්ෂනායකයා බවත් රටේ මීළඟ අනුප්‍රාප්තික පාලකයා තමන් විය යුතු බවටත් සජිත් ප්‍රේමදාස මහතා දැරූ අදහස මේ වන විට වෙනස් කරගෙන තිබෙන්නේ පොහොටුව පක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය පාලකයා වීමට අවස්ථාව ලබා දෙමින්.


රනිල් - සජිත් අතර බලය උරගා බැලීමට තිබු තවත් අවස්ථාවක් ද මේ හේතුවෙන්  ජනතාවට අහිමිව ගොස් ඇති අතර රනිල් හමුවේ පරාජය වුවහොත් තම දේශපාලනය සදහටම අවසන් වනු ඇති බවට බොහෝ දෙනෙකු අනතුරු ඇඟවීමද සජිත් ජනපති තරඟයෙන් ඉවත් වීමට බලපා ඇති බවද දැනගන්නට තිබේ.

රනිල්ට මෙච්ච්ර බය ඇයි?

 


ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ම සමගි ජන බලවේගය ද එක පෙළට සිට රනිල් වික්‍රමසිංහට පහර දීම අරඹා තිබේ. ඔවුන් සපථ කරමින් කියා සිටින්නේ රනිල් හැර වෙනත් ඔනෑම අයෙකුට ජනාධිපති ධුරයට පත් වීමට සහාය ලබා දෙන බවයි. 

ඇයි ඔවුන් මෙතරම් රනිල්ට බය?

මුලින් ම අපි මේ ගැටළුව විසඳා ගත යුතු ය. එම පිරිසට අනුව රනිල් දූෂිතයෙකි, රාජපක්ෂ හිතවාදියෙකි, ඒකාධිපතිවාදියෙකි, දුර්වල නායකයෙකි, රට සංවර්ධනය කිරීම පිළිබඳ කිසිදු දැක්මක් නැත්තෙකි, පරාජිතයෙකි, වයොවෘද්ධයෙකි, බටහිර ගැති පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින්නෙකි.

රනිල්ට මෙම චෝදනා එල්ල කරද්දී රනිල්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ඩලස් අලහප්පෙරුමයි. ඩලස් අලහප්පෙරුම මහා ප්‍රජාතන්ත්‍රවාදීයෙකු ලෙස පෙනී සිටිය ද, ඩලස්ගේ කිල්ලෝටයේ තියෙන තරම් හුණු වෙන කා ළඟත් නැති තරම් ය.

ඩලස්ගේ කුණු වූ දේශපාලන ඉතිහාසය පිළිබඳ මංගල සමරවීර කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. හිටුපු අගවිනිසුරු ෂිරාණි බණ්ඩාරනායක ද වරෙක ප්‍රකාශ කළේ තමන්ට එරෙහිව දොශාභියෝගය ඉදිරිපත් වූ මොහොතේ ඩලස් අලහප්පෙරුම තමන්ගේ චරිතය ඝාතනය කරමින් විවිධ අපහාසාත්මක ලිපි ලියා වෙබ් අඩෙවිවල පළ කළ බවයි.

ඩලස් ගැන තතු දන්නෝ මේ සියල්ල දනිති. හරි හමන් අධ්‍යාපනයක් නොමැතිව ටැබ්ලොයිඩ් පත්තරයක විශේෂාංග රචකයෙකු ලෙස කොලඹ පැමිණි ඔහු, අනුර බණ්ඩාරනායක සමග මාධ්‍යවේදී භූමිකාව හරහා හිතවත්කමක් ගොඩනගා ගත්තේය. ඉන් පසු අනුර සහ මංගලගේ ආශිර්වාදයෙන් දේශපාලනයට පිවිසෙන ඔහු ටික කලකට පසු මහින්ද රාජපක්ෂගේ කැලෑ පත්තර රචකයා බවට පත් විය.

1993 චන්ද්‍රිකා ආගමනය වළක්වන්න මහින්ද තමන්ගේ මඩ බලකායේ ප්‍රධානියා බවය=ට පත් කර ගන්නේ ඩලස් අලහප්පෙරුමවයි. ඔහු ඒ කරතව්‍යය කොතරම් සාර්ථකව සිදු කළ ද කිවහොත්චන්ද්‍රිකා බලයට පැමිණීමෙන් පසු ඔහුට කිසිදු තනතුරක් ලබා දෙන්නේ නැත. මහින්ද සමග පැවති සමීප සබඳතාව නිසා මහින්දගේ අමාත්‍යංශයේ කටයුතුවලට අනියමින් සම්බන්ධ වන ඔහු, එහි එක්තරා ටෙන්ඩරයක් සම්බන්ධ කටයුත්තක දී සිදු කළ අකටයුත්තක් නිසා අවසානයේ දේශපාලනයෙන් පමණක් නොව රට ද අත් හැර යන්නට සිදු විය.

නැවත 2005 දී මහින්දාගමනයත් සමග මෙරටට පැමිණෙන ඔහු, මහින්දගේ ප්‍රධාන කසල ශෝධකයා ලෙස කටුයුතු කළ බව ප්‍රකටය. ඩලස් ජනපති වීමට උත්සාහ කිරීම පිළිබඳ ආරංචි වූ මගේ එක් මිතුරෙක් පැවසුවේ ජනාධිපති වෙන්න කලින් එයාට ‘උතුරු මිතුරු” කෝච්චි ටිකට් එකේ සල්ලි දීලා ඉන්න කියන්න කියලා ය.

ඩලස්ට තවමත් රාජපක්ෂ ලැදියාව ඉතාමත් දරුණුව පවතී. ඔහු කිසි විටෙක රාජපක්ෂවරුන්ට එරෙහිව වචනයකින් හෝ විවේචනය නොකරන බව දන්නා මහින්ද, මේ මොහොතේ නාමල්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඩලස්ගේ ජයග්‍රහණය මහින්දට ඉතාමත් වටින්නේ ය. ඔහු ඒ වෙුවෙන් සූක්ෂ්මව වැඩ කරන්නේ ය.

රනිල් රාජපක්ෂවාදියෙක් නම් ඩලස් ඊටත් වඩා රාජපක්ෂවාදියෙකි. රනිල් දූසිතයෙක් නම් ඩලස් ඊටත් වඩා දූෂිතයෙකි.

රනිල්ට එරෙහිව ගෙන එන අනෙක් චෝදනා දෙකත් එකිනෙකට පරස්පර විරෝධිය. එක් වරෙක් රනිල් දුර්වලයෙක් කියයි. තවත් වරෙක් රනිල් ඒකාධිපතියෙක් කියයි. අපට ඇති ගැටළුව රනිල් දුර්වලයෙක් නම් ඒකාධිපතියෙකු වන්නේ කෙසේ ද කියා ය.

අපි මේ මොහොතේ ඇත්ත ගැටළුව හඳුනාගත යුතු ය. මේ මොහොතේ අප මුහුණ දෙමින් සිටින්නේ ඉතාමත් බරපතල ආර්ථික අර්බුදයකට ය. ඒ තත්ත්වය විසඳීමේ උපාය මාර්ගික දැනුම සහ ජාත්‍යන්තර සම්බන්ධතා ඇත්තේ කාට දැයි අපි මැනවින් අවබෝධ කරගත යුතු ය.

පාඩු ලබන ශ්‍රී ලංකන්, සිපෙට්කෝ සහ විදුලි බල මණ්ඩලය වැනි ආයතන තවදුරටත් දූෂිත නිලධාරීන්ගේ පාලනයට නතු කර රාජ්‍ය ව්‍යවසායන් ලෙස ඒ බර මහජනතාව මත පටවා තබනවාට වඩා මා මම රනිල්ගේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට කැමති ය. ඈත වන්නියේ ජීවත් වන අහිංසක ගොවීන් ශ්‍රී ලංකන් ආයතනයේ පාඩුවට වගකිව යුතුවීමේ සාධාරණත්වයක් මට නොපෙනේ. එක්තරා නිලධාරී පිරිසක් වෙනුවෙන් දිගින් දිගට පාඩු ලබමින් තිබෙන රාජ්‍ය ආයතන අද වන විට මේරටේ උද්ගත වී ඇති ප්‍රශ්නයට වගකිව යුතු බව මගේ හැඟීමයි.

ඒ නිසා මම ඩලස්ගේ මුග්ධ ජාතිකවාදයට වඩා රවනිල්ගේ ජාත්‍යන්තරවාදය ප්‍රිය කරමි. මේ මොහොතේ රට ඇද වැටී ඇති තත්ත්වයෙන් මුදවා ගත හැක්කෙ එවැනි නායකයෙකු ටය.

 

සුනිමල් සිරිමෙවන්

Monday, July 18, 2022

 මවු බිමේ හෙට දවස?

====================


 ජුලී 9 ශ්‍රී ලංකාවේ සිදුවූ කැරැල්ල සාධාරණීකරණය කරන්න මේ දවස්වල බුකියේ ප්‍රබලවම යොදා ගැනෙන සංසිද්ධියක් "ප්‍රංශ විප්ලවය". නැත්නම් "රුසියානු විප්ලවය".


 එයිනුත් සිංහල නැත්නම් ගමනක් බිමනක් ගිහිපු වෙලාවක හදිසියකට  වැසිකිළියකටවත් යාගන්න බැරිවෙච්ච දෙමවුපියන්ගෙ (මෙහෙම කිවුවෙ ඒ අහිංසක දෙමවුපියන්ට අපහාස කරන්න නම් නෙවෙයි.කාටත් හොඳට තේරෙන්න ඕන නිසයි. අනෙක මගේ අම්මයි, තාත්තයිත් ඒ වගේ දෙන්නෙක්) දරුවො වැඩියෙන්ම යොදාගන්නෙ "ප්‍රංශ විප්ලවය". මොකද ප්‍රංශය කියන්නෙ රුසියාවට  වඩා යුරෝපයට බර වගේම ඉංග්‍රිසියටත් බර රටක් කියල මේ කණ්ඩායමේ බහුතරයක් හිතන නිසා. සිංහල රාජ්‍ය භාෂාව කිරීමටත් ඒ හුඟක් 56 දරුවො විරුද්ධයි කියලයි මට හිතෙන්නෙ.


එහෙම  කරන බහුතරයක් පිරිස් වලට අනුව නූතන, දියුණු ප්‍රංශය ගොඩ නැගුනේ "ප්‍රංශ විප්ලවය" නිසා. 


ප්‍රංශ ඉතිහාසය ගැන අබමල් රේණුවක් නොදන්නා, රැළි වලට පහසුවෙන් ගසා ගෙන යන අතිබහුතරයක් එය විශ්වාස කරනවා.


මොකක්ද මේ ප්‍රංශ විප්ලවය ? කියවල තියෙන කෙනෙක් ඉන්නව නම් හිතල බලන්න.


ප්‍රංශ විප්ලවය 1789 වසරේ සිට මධ්‍යතන යුගයේ ප්‍රංශයේ සිදුවූ මේ වගේම දේශපාලනික කැරැල්ලක්.


අද ලංකාවේ  රාජපක්ෂවරුන්ටත් ටිකක් විතර ඉස්සරහින්  එවකට ප්‍රංශය පාලනය කරමින් සිටියේ 16 වැනි ලුවී රජු.


විප්ලවයෙන් පසු  ප්‍රංශ රජ පවුලම අත්අඩංගුවට ගත්තු අරගලකරුවන් රජ පවුල ඝාතනය කළා.


එපමණක් නොවේ,‍රටට එරෙහිවූවන් ලෙස හංවඩු ගසමින්  එවකට ඉඩම් හිමියන් සහ ප්‍රාදේශීය පාලකයන් වූ රදළයන්ද ඝාතනය කළා.


ඒ සඳහා ඔවුන් භාවිතා කළේ ඔවුන්ම සාදා ගත් ගිලටීනය නම් ඝාතක උපකරණයයි. තියුණු තලයක් බෙල්ලට වැට්ටවීම එයින් සිදුවුනා.


ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ ස්ථිර පාලනයක් ඇති කරගන්න විප්ලවකරුවන්ට සහ අරගලකරුවන්ට නොහැකි වුනා.


විප්ලවයෙන් නායකයො බිහි වුනත් රටක් පාලනය කිරීම පිළිබඳ ඔවුන්ට දැනුමක් තිබුනෙ නෑ. රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීම සහ පරිපාලනය පිළිබඳ දැනුමක් ඔවුන්ට තිබුනේ නෑ. 


ඉඩම් හිමියන් වූ රදළයන්ගේ මැදිහත් වීමත් රටට අහිමි වූ නිසා වගාබිම් පාලුවට ගියා. රටේ ආර්ථිකය බිංදුවටම වැටුනා. දැඩි සාගතයක් ඇති වුනා.


ප්‍රංශ මිනිස්සු මේ කාලයේ කන්න නැතුව දුක් වින්දා.


රජ පවුලේ ඝාතනයෙන් පස්සේ ඇතිවුනේ අරාජික සමයක්. 


මේ අරාජික කාලයේ විප්ලවකාරයො අතර ගැටුම් ඇති වුනා. විප්ලවයේ නායකයො, ක්‍රියාකාරිකයො උන් උන් මරා ගැනීම ආරම්භ කළා.


ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන නායකයෙක් වූ රොබෙස්පෝයර්, සෙසු විප්ලකරුවන් අතින් ගිලටීනයේදීම ඝාතනය කෙරුනා.


රජ පවුල සහ රදළයන් ඝාතනය කිරීමේදි විප්ලවකරුවන් වෙනුවෙන් නීතිපති ලෙස කටයුතු කළ විප්ලවයේ නායකයාත් ඔවුන් විසින්ම ගිලටීනයෙන්ම  මරා දැමුනා.


ප්‍රංශ විප්ලවයේ තවත් කැපී පෙනෙන නායකයෙක් වගේම  රජ පවුල සහ රදළයන් ඝාතනය කිරීමට ගිලටීනයත් හදපු ජෝශෆ් ගිලටීන්, ගිලටීනයෙන් ගැලවුනේ නූලෙන්.


ඒ විදියට විප්ලවකරුවො එකා එකා නැති වෙද්දි කන්න නැතුව, බෙහෙත් නැතුව, බඩගින්නේ දුක් විඳපු මිනිස්සු අවුරුදු ගණනාවක් තිස්සේ රටට නායකයෙක් හෙව්වා. 


රජ පවුල නැති කරත් විප්ලවයෙන්  රටට නායකයෙක් හොයාගන්න බැරිවුණු ඔවුන්ට අවසානයේ නායකයෙක් හමුවුනා.


ඔවුන් එම නායකයා අධිරාජ්‍යයෙක් කරලා කිරුළු පැළැන්දුවා.


එම නායකයා තමයි නැපෝලියන් බොනපාර්ට්. 


පුද්ගලිකව මම මේ ප්‍රංශ විප්ලවය සහ නැපෝලියන් බොනපාර්ට් ගැන කතාකරන්න, ප්‍රංශ විප්ලවයේ රටට හානිකර තත්වයන් ගැන කතාකරන්න අකමැති උනත් සිද්ධියේ යතාර්ථය දැනගත යුතු නිසයි මේ ගැන ලියන්න හිතුවේ.


ඔහු අධිරාජ්‍යයා වශයෙන් බලයට පත් වී ප්‍රංශ විප්ලවයෙන් ඇති වූ අරාජිකත්වය අවසන් කොට යළිත් ප්‍රංශයට සමෘද්ධිය ගෙන ඒමට කටයුතු කළා.


ඔහු තමන්ට පක්ෂපාතී රදළයන් පිරිසක් ඇති කර ඒ ඔස්සේ වගාබිම් සහ හමුදාවන් යළි නඩත්තු කළා. සාගතය අවසන් වුනා.


නැපෝලියන් බොනපාර්ට් ලෝක යුද්ධයෙන් පරාජය වීමෙන් පස්සේ ප්‍රංශ පාලනය යළිත් ලුවී රජ පවුලටම හිමි වුනා.


18 වෙනි ලුවී නැපෝලියන් බොනපාර්ට්ගෙන් පසුව ප්‍රංශයේ රජ වුනා.


ඒ තමයි ‍රටට දැඩි හානියක් සිදු කර පරාජයකින් අවසන් වූ ප්‍රංශ විප්ලවයේ කතාව.


ප්‍රංශ විප්ලවය නිසා ප්‍රංශය දියුණු වූ බව කිසිවෙකුත් කියනවා නම් ඔහු ඉතිහාසය නොදන්නා, ෆේස්බුක් රැලි විශ්වාස කරනා පුද්ගලයෙක්.


මෙහි දෙවැනි සංදර්භය වන රුසියානු විප්ලවයේත් කතාව තරමක් සමානයි.


රුසියානු විප්ලවය රුසියාවට දැඩි තද ඒකාධිපති පාලකයෙක් ගෙන ඒමට පාර කැපුවා. ඒ මිලියන ගණනකගේ ජීවිත බිලිගත් ජෝශෆ් ස්ටාලින්. 


අනෙක් අතට යූරෝපාකරයේ පිහිටි, ලෝකයට දැනුම සොයා ගත් යුරෝපිය ජාතිකයන් සිටින, ලෝකය පුරා යටත් විජිත නඩත්තු කළ රටවල්වලට දියුණු වෙන්න විප්ලව කරන්න ඕන උනේ නැහැ. 


ඒවා දියුණුවුනේ ඒ රටවල මිනිසුන් මුලින්ම ආකල්පමය  වශයෙන් දියුණුවූ නිසා. ඒ රටවල මිනිස්සු මුලින්ම මිනිස්කම් අගය කරන සැබෑ මිනිසුන් වූ නිසා. හැම මුතුවලටම වඩා "එකමුතු" වටින බව තේරුම් ගත්තු නිසා.


කවදාවත් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව සසඳන්න එපා. ජීවත් වන මිනිස්සු, ඔවුන්ගේ දැනුම, සිතුම් පැතුම් ඉදලා භූ දේශපාලනය දක්වා ඒ රටවල් හාත්පසින් වෙනස්.


ප්‍රංශ විප්ලවයේ වුනා වගේ මාළිගා අත් පත් කරගෙන, කඩලා, කුඩු කරාට අපිට ප්‍රංශය වගේ වෙන්නවත්, දියුණු වෙන්නවත් බෑ.


මට හිතෙන හැටියට නම් ඒවායෙන් අපි ලං වෙන්නේ ලිබියාවට, හයිටියට මිසක් ප්‍රංශයට හෝ රුසියාවට නම් නෙවෙයි.


මට බැන්නට කමක් නෑ, මේ ගැන හිතන්න කියලයි මගේ ඉල්ලීම. හැබැයි තීරණ ගැනීමේ පූර්ණ අයිතිය ඔබ සතුමයි.

-මොන්ටේගු සරච්චන්ද්‍ර-

ශ්‍රීලනිප විධායක සභික,

මනෝ විද්‍යා උපදේශක.


පාස්කු ප්‍රහාරයට රනිල් අතගසයි - පරීක්ෂණ ජාත්‍යන්තර පොලිසියකට

 



 

රටෙහි ජාතීන් අතර අසමගිය ඇති කිරීමට තුඩුදුන් සිදුවීමක් වන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කරන බවත් ඒ සම්බන්ධ විමර්ශ මෙහෙයවීමට බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් පොලිසියට භාරදෙනබවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද(18දා) විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේය.

ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට තුඩුදෙන ක්‍රියාවන් වැළැක්විය යුතු බවත් මේවනවිට මන්දගාමි තත්වයක පවතින පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු ඉතා කඩිනම් කිරීමට කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු අවසන් නොවීම පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නය විසඳලා දාන්න මම කැපවෙනවා. හැමදාම අපි මේ ප්‍රශ්නය ඇදගෙන යන්න අවශ්‍ය නැහැ. කොමිසමේ වාර්තාවලට අමතරව තවත් වාර්තා තියෙනවා. මේ නිසා මම කැමතියි යළිත් මේ පිළිබඳව සමාලෝචනයක් කරන්න. යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසිය.

 

Sunday, July 17, 2022

කුමන්ත්‍රණය හෙළිවීමෙන් භික්ෂූන් අරගලයෙන් ඉවත් වේ

 


 

දූෂිත රාජපක්ෂ රෙජීමයට


එරෙහිව  මහජනතාවගේ නැගීටීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනත් දිශාවකට යොමු කරවීමට උත්සාහ කිරීමත් සමග ආගමික නායකයන්ගේ සහාය අරගලයට නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇති බවක් විශ්වාසනීය ආරංචි මාර්ග වාර්ථා කරයි.

චීනය සහ විවිධ අන්තවාදී සංවිධානවල මූළ්‍ය අනුග්‍රහය යටතේ  අරගලය වෙනත් මගකට යොමු කරන කුමන්ත්‍රණයේ මහා මොළකරු ලෙස ක්‍රියා කරන්නේ කුමාර් ගුණරත්නම් විසිනි. ඔහුගේ අපේක්ෂාව වී තිබෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය යටතේ කොමියුනිට්ස් පාලනයක් ස්ථාපිත කිරීම වුවත්, ඊට ආධාර සපයන සංවිධානවල අරමුණ වන්නේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් කිරිමයි.

තමිල්නාඩු හිටපු මහ ඇමති කරුණානිධිගේ පුත් සටාලින් ද අරගලයට ඉතා යහමින් මුදල් පොම්ප කරන්නේ දකුණේ සිංහලයන් සමග පවතින බද්ධ වෛරය හේතුවෙනි. දෙමළ ඩයස්පෝරාව, කතෝලික සහ මුස්ලිම් අන්තවාදී සංවිධාන මෙන් ම ලංකාවේ බුදුන් ඉපදුනා යැයි පවසන බෞද්ධ අන්තවාදී සංවිධාන ද අරගලයට ඍජුව අනුග්‍රහ දක්වන බව ද මේ වන විට හෙළි වී තිබේ.

මේ පිළිබඳ තම මුහුණු පොතේ සටහනක් තබමින් ආචාර්ය සුනිල් විමලගුණරත්න ද මේ පිළිබඳ සඳහනක් සිදු කර තිබේ.

ඒ සටහන මෙසේ ය.

“අරගලයට දීපු සහය ගැන සදාකාලික පසුතැවීමක් සමඟ ජීවත් වෙන්න සිදුවීම ඛේදවාචකයක්!”

“අවසාන වතාවට 1977 දී ජන්දය දුන්නට පස්සේ 1981 දී ලංකාවෙන් පිටවෙලා ආවට පස්සේ මම කිසි දිනක ලංකාවේ ජන්දය දීල නැහැ. හැබැයි ආර්ථික විද්‍යාව මගේ විෂය නිසාත් ලෝක බැංකුවේ සහ විවිධ අන්තර්ජාතික ආයතනහි වසර 35ට වඩා රැකියා කරපු නිසාත් බිඳවැටුණ රටවල් සමඟ කටයුතු කරපු නිසාත් මේ ප්‍රශ්නය හොඳටම තේරෙනවා. මට නොමිලේ අධ්‍යාපනය දීපු රටේ පුරවැසියෝ දුක් විඳිනකොට, රාජ්‍ය බිඳවැටෙනකොට මට මීට පෙර හිටියා වගේ නිහඬව ඉන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. නැතුව මට කිසිම නායකයෙක් හෝ පක්ෂයක් සමඟ බැඳීමක් හෝ ගැටීමක් නැහැ. ලබාගැනීමට කිසිම දෙයකුත් නැහැ. මම මේ දේ ලියන්නේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා පක්ෂ පාට ගැන හිතන්නේ නැතිව විවෘත මනසකින් කියවන ලෙස ඉල්ලා සිටිනවා. (මම ලියන්න දක්ෂයෙක් නම් නෙමෙයි. වරදක් ඇතොත් සමාවෙන්න)”

“පටන් ගත්තේ කව්ද? කොහොමද?

“කුමාර් ගුණරත්නම් ට ඩයස්පෝරා එක ප්‍රමුඛ විදේශ බලවේග දුන්න කොන්ත්‍රාත් එක තමයි රට ආර්ථිකව සහ දේශපාලනිකව අස්ථාවර කරලා පරිපාලනය බිඳවට්ටන්න එක. කුමාර් ඒකට අන්තරේ සහ තරුණ දරුවෝ පාවිච්චි කලා.”

“දකුණේදී රට ව්‍යාකුල කරාට පස්සේ තබන ඊළඟ පියවර තමයි TNA හරහා දෙමල ජනතාව කුලප්පු කරල උතුරේ හමුදා කඳවුරු ලඟට යවන එක. හමුදාවට තියෙන බය නැති කරවල ඉවත් වෙන්න කියලා බල කරවනවා වගේ දේවල් කිරීම.”

“ඊට පස්සේ ආරක්ෂක අංශ සහ ‘ජනතාව’ අතර ගැටීම් වැඩි කරලා රටේ පාලනය නැතිවෙනකොට එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා ගෙනත් දාන තැනට වැඩ සලස්වනවා.”

“දකුණ ‘අකමැති’ සහ පාලනය කරන්න බැරි ආණ්ඩුවකට කොහොමද උතුර පාලනය කරන්නේ කියන තර්කය මත ටික කාලයක් යනකොට ජනමත විචාරණයකට ගිහින් උතුරට වෙනම රාජ්‍යක් දෙන්න වෙන තැනටම රට ගේනවා. (මෑත කාලීනව නැගෙනහිර ටීමෝරය සහ දකුණු සුඩානය කැඩුවේ එහෙම)”

“ආර්ථික අර්බුදය එක්ක අරගලයට පාර හැදුන හැටි!”

“කොරෝනා වසංගතය, ලෝක බලශක්ති සහ ආහාර අර්බුධ, ඉන්දියන් සාගරයේ බල ගැටුම් වගේම ලංකාවේ ප්‍රධාන විදේශ ආදයම් මාර්ග බිඳ වැටීමත් අවාසනාවන්ත ලෙස බලපෑවා.”

“ගෝටාභයට දේශපාලන ආර්ථික විද්‍යාව ගැන හරි අදහසක් තිබුනේ නැහැ. ආණ්ඩුවට අර්බුද කළමනාකරණය ගැන සැලැස්මක් තිබුනේත් නැහැ.”

“අවාසනාවකට රටේ තිබුන පෝලිම් එක්ක පරිභෝජනයටම කෑදර මධ්‍යම පංතිය, ආගමික නිකායන් සහ කිසිම දේශපාලන අවබෝධයක් නැති තරුණ පිරිස් නළු නිලියෝ යූ ටියුබ් නාලිකා ( මුදල් වලට) වගේම පිටරටවල ඉන්න ශ්‍රී ලාංකික පිරිසක් මේ කුමන්ත්‍රණයට හොඳටම අහුඋනා.”

“දුර්වල රාජපක්ෂ පාලනය වගේම රට ගැන හිතන්නේ නැතිව හුදු බල ලෝභයට කෑදර අරමුණක් නැති සජබ - ජවිපෙ වැනි විපක්ෂයත් බලය ගැනීමේ කෑදර කමට ඍජුව සහ වක්‍රව සහය දුන්නා. කට්ටියම කුමාර් ගේ ප්‍රොජෙක්ට් එකට අහු උනා.”

“කුමාර් කරන්නේ දෙන්න බැරි - කරන්න බැරි දේවල් ඉල්ලමින් ’අරගලේ’ කියන මිරිඟුව අල්ලන් යන එක. ජවිපෙටත් වෙනවා  තමන්ගේ ප්‍රධාන සතුරා සහ තරඟකරු වෙන පෙරටුගාමීන්ව ඉක්මවා යන්න ඕනේ කමට අරගලේ තීව්‍ර කරන්න. එතන තියෙන අර්බුධය ජූලි 09 පස්සේ මාරාන්තික ගැටුම් එක්ක එලියට ආවා.”

“තාම ජාතිකවාදී කඳවුර ඉන්නේ අසංවිධානාත්මක අස්ථාවරයක. බෙදිලා. ඉතින් කවුරුත් නැහැ හරියට දෙයක් ජනතාවට කියන්න.”

“ඔක්කොටම ඉස්සෙල්ල ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ.”

IMF - ණය ප්‍රතිව්‍යුහගත කිරීම් - අනෙක් රටවල් එක්ක සාකච්චා කිරීම් වගේ දැවැන්ත වැඩ කොටසක් තියෙනවා.”

“කව්රු විවේචන කලත් මොන පෙර වැරදි තිබුනත් රනිල් විතරයි පිළිවෙලකට ඒ වැඩේ පටන් ගත්තේ. රනිල් ට IMF / WB පැරිස් ක්ලබ් ADB ගනුදෙනු හොඳට තේරෙනවා.”

“කොටින්ම කිව්වොත් ආණ්ඩුව පඩි ගෙවන්නත් කැබිනට් එක රැස්වෙන්න පාර්ලිමේන්තුවක් ඕනේ. බැංකු පද්ධතිය වැඩ කරන්න ඕනේ. රාජ්‍ය පුද්ගලික ආයතන - සංචාරක කර්මාන්තය - අපනයන වැඩ කරන්න ඕනේ. අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න රට දුවන්න ඕනේ.”

“බලශක්තිය ඕනේ. ගල් අඟුරු ඊළඟ මාසේ ගෙනාවේ නැත්නම් ලබන අවුරුද්දේ පැය 18ක් ලයිට් කපන්න වෙනවාමයි. අනෙක ආණ්ඩුවක් එනකම් ඒවා කල්දාන්න පුලුවන් ද? එහෙම රටකට ආයෝජනය කරන්න එන්නේ කව්ද? දැනටමත් ආයෝජකයෝ රටින් යනවා.”

“ඒවා කරන්න බිල්ඩින් බලෙන් අල්ලන් ඉන්න අරගලකරුවන්ට පුලුවන්ද? අද වෙනකම් සහන දෙන්න කියල - ණය කපන්න කියල - රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න එපා කියලා උස් හඬින් සටන් පාඨ කිව්වට ඔවුන් කිසිම විකල්ප ආර්ථික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. ඒකම ඇති මේ අරගලය බොරු එකක් කියන්න. විසඳුම් වෙනුවට අරගලකරුවෝ කරන්නේ ප්‍රශ්න උග්‍ර කරන එක.”

“හැබැයි මේ බොරු අරගලේට දීපු සහය වහාම ඉවත් කරගෙන ප්‍රධාන පක්ෂ වලට පාර්ලිමේන්තුව ඇතුලේම විසඳාගන්න ඉඩදීලා, දැන්වත් අරගල අතැරලා ආපහු හැරෙනවා නම් කට්ටිය තාම ප්‍රමාද නැහැ.”

“එහෙම උනේ නැත්නම් බොරු අරගලේට අහුවෙලා මහා විශාල පසුතැවීමක් එක්ක බෙදුන රටක - ලිබියාවක ජීවත් වෙන්න ලැහැස්ති වෙන්න!”

 

මේ වන විට ඔමල්පේ සෝභීත හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මැදගොඩ අභයතිස්ස හිමි දිනපතා රැස් වෙමින් බෞද්ධ බලය රැක ගැනීම සඳහා සජිත්ව ජනපති කර, ඔහු ජනපති වීමෙන් හිස් වන මන්ත්‍රී ධුරය සඳහා කරු ජයසූරිය පාර්ලිමේනතුවට ගෙන ඒමට සාකච්ඡා කරමින් සිටිති. එහෙත් කණගාටුවට කරුණ නම් ඒ කිසිදු භික්ෂුවක් මේ මොහෙතේ මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට සමත්කමක් ඇති නායකයෙකු නොසොයා තවමත් තමන්ට නැටවිය හැකි නායකයෙකු ම සෙවීමයි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය දිනෙක මහනුවර අසගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් පවසා තිබුණේ මේ මොහොතේ රටේ ආර්ථික අර්බුදය ගැන මිස වෙනත් පටු අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඉතුරු වී තිබෙන් ගෞරවය ද නැත්තටම නැති වී යා හැකි බවයි.

ආදරයේ අරගලය ම්ලේච්ඡත්වය සහ අන්තගාමීත්වය කරා ඇදී යාම නිසා මේ වන විට බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපේකෂා භංගත්වයට පත්ව සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැණ්ඩා චතුරංගනී

ඇමරිකාවෙන් ශ්‍රීලංකාවට ඩොලර් ලක්ෂ 10 ක හදිසි ඖෂධ ආධාර

 



 

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඩොලර් ලක්ෂ 10 ක හදිසි ඖෂධ ආධාරයක් ඇමරිකාවෙන් පිරිනමා තිබෙනවා.

ප්‍රසිද්ධ ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් සංවිධානය මගින් මෙම ඖෂධ තොගය  ඇමරිකාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රීලංකාවේ සෞඛ්‍ය අංශ වෙත ලබාදී ඇත.

ඒ යටතේ සපයන පළමු ඖෂධ තොගය මේවනවිට කොළඹට ලගාවී ඇති අතර ඉතිරිය කඩිනමින් ලංකාවට ලබාදෙන බව හාට් ටු හාට් සංවිධානය සඳහන් කර තිබෙනවා.

මෙම ඖෂධ ශ්‍රීලංකාවේ ජනතාවට නොමිලයේ බෙදාහැරීමට නියමිතයි.

Saturday, July 16, 2022

රට ගොඩනගන්න පුළුවන් කාට ද?

 පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීම ශ්‍රී ලංකාවට නෑඹුල් අත්දැකීමක්‌ නොවේ.1993 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩී.බී. විජේතුංග පත්කරගැනීමේ ඓතිහාසික පූර්වාදර්ශයක්‌ ඒ වෙනුවෙන් ඇත.


1993 දී මෙන් නොව, අද අප ඉදිරියේ ඇත්තේ දේශයක් ලෙස අප මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයයි. එකී ආර්ථික අර්බුදය විසින් ඊට සමාන්තර සමාජීය -දේශපාලන වියවුලක් නිර්මාණය කර ඇති නිසාත් එකී අර්බුදකාරී තත්වයෙන් සමස්ථ රාජ්‍යය මුදාගැනීමේ වගකීම පත්වන ජනාධිපතිවරයා මත මුදාහැර ඇති නිසාත් මෙවර පිටිය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා තරඟකාරී සහ සුවිශේෂී ස්වභාවයක්‌ ගනී. විජේතුංග ජනාධිපතිවරයා ඉදිරියේ තිබූ වටපිටාවට හාත්පසින්ම වෙනස් වටපිටාවක නව ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කිරීමට සිදුවෙයි.


පත්වන නව ජනාධිපතිවරයා දැක පුරුද්දෙන් මෙන්ම කළ පුරුද්දෙන්ද සන්නද්ධ වූ කෙනෙක් වේ නම් එය මේ අවස්ථාවේ වඩාත් ධනාත්මක පිටුබලයක් ඔහුට හෝ ඇයට සපයාවි යැයි යන මතය සමාජයේ තරමක් දුර‍ට මුල් බැස ගෙන තිබේ. එතුළින් ගෝලීය ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කළ හැකි රාජ්‍ය යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වීමේ හැකියාව ඔහුට පවතී. අත්හදා බැලීම් කරන්නට ගතවන සෑම තත්පරයක් පාසාම රෝගියා මිය යාමේ සම්භාවිතාවය වැඩි වෙයි. තවදුරටත් මෙම අවස්ථාව අනාගත රාජ්‍ය නායකයන් පුහුණු කරන පාඨමාලාවක් සේ සුළුවෙන් තැකිය නොහැකිය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන සමඟ කඩිනම් සහ විනිවිද පෙනෙන අයුරින් ගණුදෙනු කිරීමට හැකි විවෘත මනසක් පත්වන නව ජනාධිපතිවරයාට තිබිය යුතුය.


අමෙරිකාව, ජපානය ප්‍රමුඛ බටහිර, ආසියානු ධනවාදී කඳවුරත්, චීනය, රුසියාව ප්‍රමුඛ සමාජවාදී බල කඳවුරත්  අනිත් පසින් කලාපීය බලවතා ලෙස ඉන්දියාව ප්‍රමුඛ නැගීඑන ආර්ථික බල කඳවුරත් ආදී වූ බහු ධ්‍රැවීය ලෝකය ආමන්ත්‍රණය කිරීමට නව ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතුය.සියල්ලන්ගේම උපරිම උදව් ලබාගත හැකි පුද්ගලයෙකු විය යුතුය.


කෙසේවෙතත් මෙම අවස්ථාවට වඩාත් හොඳින් අනුවර්තනය වෙමින් කඩිනම් විසඳුම් සෙවීමට හැකි විභවයක් සහිත සුදුසුම පුද්ගලයා ජනාධිපති ධුරයට පත්කර ගැනීම පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති අභියෝගයයි. එය අභියෝගයක්‌ මෙන්ම වගකීමකි.20 වෙනිදා පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීරණය තවත් දශක ගණනාවකට ශ්‍රී ලංකාවේ ගමන් මග තීරණය කරනු ඇත.


මේක අත්හදාබැලීම් කරන වෙලාවක් නෙවෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

 

- උද්ධමනය අපට විතරක් පාලනය කරන්න බෑ

- බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම අනිවාර්යයයි

- කෙටිකාලීන ක්‍රියාමාර්ග දිගු කාලීනව රටට යහපතක්

 



ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. එසේම විවිධ පාර්ශ්ව ඉන් මිදීමට යෝජනා ඉදිරිපත් කරයි. ඒ අනුව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ කළ විශේෂ කතාබහ.

  අපේ රටේ ඉදිරි මාස දෙක තුන නිමා වන විට 70% ක උද්ධමන වේගයක් ඇති වනු ඇතැයි ඔබ ඉකුත්දා ප්‍රකාශ කළා. මෙය ඉතා භයානක උද්ධමන මට්ටමක්. පළමුව ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

 ජූලි මාසයේ මූල්‍ය ප්‍රතිපත්ති විවරණය නැතිනම් අපේ රටේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තමයි මම මේ ගැන මුලින්ම කීවේ. එදා මම කිවුවේ දැනට වාර්තා වන උද්ධමන වේගය 50% ඉක්මවා තිබෙනවා. එය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තමන් සතු මූල්‍ය උපකරණ භාවිත කර ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. නමුත් උද්ධමනය අපට පමණක් තනිව පාලනය කිරීමට නොහැකි බවත් කිව යුතුයි.

 

උද්ධමනය පාලනය කිරීම හා විදේශ විනිමය අනුපාතිකය රටට හිතකර ලෙස පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙනවා නේද?

 ඔව්! ඒ බව අනිවාර්යයෙන්ම අප පිළිගන්නවා. නමුත් උද්ධමනය පාලනය කිරීමට හෝ විදේශ විනිමය අනුපාතිකය රටට ගැළපෙන මට්ටමකට පවත්වාගෙන යෑම කියන කරුණු දෙක තනිවම මහ බැංකුවට පමණක් සිදු කළ හැකි දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයවමින් මේ කරුණු ජය ගන්නට ක්‍රියා කරන අතර, අපි වාගේම තවත් විශාල කාර්යභාරයක් පැවරී තිබෙන කොටසකුත් සිටිනවා.

 

කවුද ඒ වගකීම පැවරී සිටින අය?

 

එම වගකීම පැවරී තිබෙන්නේ රජයටයි. විශේෂයෙන් රජය වෙනුවෙන් මුදල් ඇමැතිතුමා, මුළු කැබිනට් මණ්ඩලයට, මුදල් අමාත්‍යාංශයට ඒ වගකීම පැවරී තිබෙනවා. ඔවුන් විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නිසි ආකාරයට ගළපා ගනිමින් මේ අර්බුදයෙන් ගොඩඒමට පිළියම්, විසඳුම්, ක්‍රියාත්මක කළ යුතුයි. අපට පමණක් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැඩි කිරීමෙන් පමණක් රටේ උද්ධමනය, විදේශ විනිමය අනුපාතිකය පාලනය කිරීමට බැහැ. අප ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග නිසා මේවායේ යම් පාලනයක් දැනට සිදු වෙමින් තිබෙනවා. නමුත් එය ඉතා තිරසර, අතිසාර්ථක ප්‍රතිඵල රටට, ජනතාවට දීමට නම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල විශාල වෙනස්කම් ගණනාවක් සිදු විය යුතුයි. ඒවා සිදු කළ යුතුයි.

 

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් මොනවාද?
 

අපි මෙහිදී අවංකව අපේ රට, රටේ ආර්ථිකය මුහුණ දී සිටින අර්බුදය පළමුව තේරුම් ගත යුතුයි. අපේ අර්බුදය රජයේ ආදායම් ඉතා විශාල ලෙස අඩු වීම, රජයේ වියදම් පැත්ත විශාල ලෙස ඉහළ යෑම ලෙස දැක්විය හැකියි. ඒ නිසා රජයේ ආදායම්, වියදම් අතර විශාල පරතරයක්, හිඟයක් ඇති වී තිබෙනවා. දෙවැනි කරුණ අපගේ ආනයන වියදම් වැඩියි. අපනයන ආදායම් අඩුයි. මේ නිසා විශාල ලෙස වෙළෙඳ හිඟයක් මතු වී තිබෙනවා. එය වැළැක්වීමට ගත් යම් යම් උපාය මාර්ගික වැඩපිළිවෙළ නිසා එය දැනට තරමක් දුරට අඩු වී තිබෙනවා. නමුත් එය තවදුරටත් අඩු කර ගැනීමට අපි කටයුතු කළ යුතුමයි.

 මෙන්න  කරුණු දෙක ජය ගන්න නම් මුලින්ම අපට රජයේ ආදායම් වැඩිකර ගන්න වෙනවා. දෙවනුව රජයේ වියදම් අඩුකර ගන්න වෙනවා. මෙතැනදී රජයේ ආදායම් වැඩි කරගන්න නම් මුදල් අමාත්‍යාංශය විසින් කළ යුතු විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ සඳහා ප්‍රබල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් රටට හඳුන්වා දී ක්‍රියාවට නැංවිය යුතුයි.

 

රජයේ ආදායම් වැඩි කර ගැනීමට බදු ප්‍රතිපත්ති, දැනට අයකරන ඇතැම් බදු ඉහළ දැමිය යුතු බවද ඔබ පවසන්නේ?

 බදු ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි. බදු අනුපාත ඉහළ දැමිය යුතුයි. මා රජයට යෝජනා කර සිටිනවා එය යම් තරමකට මේ අර්බුදය වැඩි වූ අවස්ථාවේ පසුගියදා රජය සිදු කළා. නමුත් ඒවා මතු වී ඇති ආර්ථික ගැටලුවෙන් මිදීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි ඊට වඩා ගැඹුරින් මේ ප්‍රශ්න ගැන සිතා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.

 

ඒ කුමනාකාරයේ වෙනස්කම්ද?

 පැහැදිලිවම කිවහොත් අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් රාශියක් දැනට පවත්වා ගෙන යන්නේ මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට අතිවිශාල බරක් පැටවෙන ආකාරයටයි. ඒ අනුව රටට, මහාභාණ්ඩාගාරයට බරක් වන රාජ්‍ය ව්‍යවසායන් අඩුම තරමේ තමන්ගේ ආදායම්,තමන්ගේ වියදම් පියවා ගන්නා තැනටවත් පත් කර ගැනීමේ ප්‍රතිසංස්කරණවලට යා යුතුම වෙනවා.

 එවැනි ව්‍යවසායන් කිහිපයක් ඔබට උදාහරණ ලෙස දැක්විය හැකිද?

 පිළිතුර:- මම ඒ ඒ ආයතන ගැන නම් වශයෙන් සඳහන් කිරීම එතරම් සදාචාරාත්මක වන්නේ නැහැ. නමුත් ඒවා ගැන සඳහන් නොකරත් බැහැ. අපි කියමු ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන කියා ඒවායේ පාඩුව මේ වන විට මහා භාණ්ඩාගාරයට දැරිය හැකි මට්ටමක නැහැ. ඒවා පවත්වාගෙන යෑමට ඔවුන්ට මහා භාණ්ඩාගාරයෙන් මුදල් පොම්ප කළ යුතුයි. එය තවදුරටත් රටේ ජනතාවගේ බදු මුදලින් සිදු කිරීම අසීරුයි. ඒ නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අපි රජයට, මහාභාණ්ඩාගාරයට නිර්දේශ කරන්නේ මෙවැනි ආයතනවල අඩුම තරමේ මෙහෙයුම් අලාභයවත් අඩු කර ගැනීමට සමත්වන ප්‍රතිසංස්කරණ රාමුවක් යටතේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා.

 ඔබ සඳහන් කරන රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු අවම කිරීමට නම්, ඔවුන්ගේ සේවා සඳහා අය කරන මිල ඉහළ දැමිය යුතුයි. එය මේ අවස්ථාවේ ජීවන වියදම් බරින් දැඩිව පීඩාවට පත් වී සිටින ජනතාව මත තවත් විශාල බරක් පැටවීමක් නේද?

 

ඒ කරුණ අපි එසේ විග්‍රහ නොකළ යුතුයි. අපට, ඔබට මට සියලු දෙනාටම මේ අවස්ථාවේ දැරීමට සිදු වී තිබෙන්නේ විශාල අපහසුතා, අසීරුතා, අභියෝග තමයි. ඉන් මිදීමට කෙටි කාලීනව ගන්නා ක්‍රියාමාර්ගවලින් දිගු කාලීනව යහපතක් වන්නේ නම් අපි ඒ දේ කළ යුතුයි. අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපට මේ අන්දමේ අසීරුතා ඇති වී තිබෙනුයේත්, පසුගිය කාලයේ කළ යුතුව තිබූ ක්‍රියාමාර්ග ඒ කාලයේදී නොගැනීමයි. මම එක උදාහරණයක් කියන්නම්, අපි වැඩි මිලට ඉන්ධන මිලදී ගෙන අඩු මිලට ජනතාවට දීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේමයි විදුලි බිල සම්බන්ධයෙන් තත්ත්වයත්. එහෙත් අපි එදිනෙදා වෙළෙඳපොළ මිල මට්ටම්වලට අපේ මිල මට්ටම් ගැළපුවානම් මෙවැනි අර්බුද මතු වන්නේ අඩු බලපෑමක් එල්ල වන ආකාරයටයි.

 

අප සිතා බැලිය යුත්තේ ඒ ආකාරයටයි.

 

දැනට මිල සූත්‍ර හඳුන්වා දෙමින් විවිධ සේවා සඳහා මිල අඩු වැඩි කිරීම් ගැළපුවත් ඒවායේත් ප්‍රශ්න පැන නැඟී තිබෙනවා නේද?
 

ඔව්. ඒ අපි එවැනි වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුව තිබූ කාලයේ සිදු නොකිරීම නිසා. එදා කළ යුතුව තිබූ දේ දවසින්, සති, මාස නොව අවුරුදු ගණනින් ප්‍රමාද කොට සිදු කිරීම මේ අර්බුද සියල්ල වැඩි වීමට හේතුවයි. ඒ නිසා මේ අවස්ථාවේවත් අතීතයෙන් නිසි පාඩම් ඉගෙන වර්තමාන අර්බුදයෙන් ගොඩඒමට අපි සියලු දෙනා එක්වී වැඩ කළයුතුයි.

 

මේ අර්බුදයෙන් ගොඩඒමට අපේ රටේ ආනයන වියදම් සීමා කර ගනිමින් අපනයන ආදායම් වැඩි කර ගැනීමට කියා කළ යුතුයි නේද?
 

එය තමයි අපට මේ අභියෝගය ජය ගැනීමට තිබෙන තිරසරම විසඳුම. මේ අවස්ථාවේ හැකි තරම් ආනයන සීමා කර ගනිමින් රටේ ජනතාවත් ආනයන මත රැඳී සිටීම නවතා අපනයන ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි. රටේ ප්‍රශ්නය ඩොලර් හිඟය නම්, ඩොලර් හිඟය උග්‍ර කරන දේ වෙනුවට අප කළ යුත්තේ ඩොලර් සුලභ කරන දේ කිරීමයි. අපේ විදේශගත ශ්‍රමිකයෝ, රටෙන් පිටවී සිටින ජනතාව, අපනයනකරුවෝ මේ සියලු දෙනා මේ මොහොතේ රටට ඩොලර් නීත්‍යනුකූල මාර්ග ඔස්සේ වැඩි වශයෙන් එවීමට ක්‍රියා කළ යුතුයි. සංචාරක කර්මාන්තයේ වර්ධනයට දායක වන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි.

 

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඩොලර් හෝ විදේශ විනිමය වැඩි වශයෙන් එවීමට විවිධ සහන, වරප්‍රසාද, ප්‍රතිලාභ ඉල්ලා සිටිනවා. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

 

විදේශගත වූවන් අපේ රටට එවන සල්ලිවලට බදු අය කරන්නේ නෑ. අපේ රටේ ජීවත්වෙන අයගෙන් අය කරන බදු මුදලින් තමයි එලෙස බදු අය නොකරන පිරිසට සහන දෙන්නට මුදල් සපයා දෙන්න වෙන්නේ. එය එතරම් සදාචාරාත්මක කාර්යයක් නොවෙයි. පිටරට ගිය අය සල්ලි එවන්නේ තමන්ගේ පවුලේ සාමාජිකයින්ට, ඥාතීන්ට. ඒ අය අද මහ පාරේ තෙල් පෝලිමේ, ගෑස් පෝලීමේ දුක් විඳිනවා. ඒ අයට සහනයක් වෙන්න විදේශ මුදල් රටට නිසි ආකාරයෙන් එවන්නේ නැතිව රජයෙන් වරප්‍රසාද, සහන ලැබෙනවා නම් ඒ මුදල් එවනවා කීම මම නම් හොඳ දෙයක් ලෙස දකින්නේ නැහැ.

 
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම පිළිබඳව වත්මන් තත්ත්වය කුමක්ද?

 

අපි මහ බැංකුවත්, රජයත් ඉතා ඉහළ සතුටුදායක ප්‍රතිඵල ලැබෙන ආකාරයට සාර්ථක සාකච්ඡා වට කිහිපයක් ඔවුන් සමඟ පැවැත්තුවා. දැන් එහි විධායක නිලධාරි මට්ටමේ සාකච්ඡා ඇරඹීමට නියමිතයි. ඒවා සාර්ථක වීමට රටේ දේශපාලන ස්ථාවරභාවය, සමාජ ස්ථාවරභාවය ඇති වීම ඉතා වැදගත් බව කිව යුතුයි.

 
මේ වන විට රටේ සමාජ, දේශපාලන ස්ථාවරභාවය පිළිබඳ දෙගිඩියාවක් මතු වී තිබෙන්නේ එවැනි පසුබිමක අපට අයි.එම්.එෆ්. ණය පහසුකම ලබා ගැනීමට හැකි වෙයිද?
 

අද වන විට ඔබ කියන ආකාරයේ තත්ත්වයක් රටේ මතු වී තිබෙනවා. ඒ කුමන තත්ත්වයක් මතු වූවත් අපට ඉදිරි මාස තුන, හතර, කිසිදු බාධාවකින් තොරව අඩුම තරමේ ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් වැනි දේ ලබා ගැනීමට නම් අප දැනට සැලසුම් කර තිබෙන මූල්‍ය සම්පාදන පහසුකම් ලබා ගැනීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. එසේ නොමැතිව එක් පුද්ගලයකුට, කණ්ඩායමකට, එක් දේශපාලන පක්ෂයකට තනිව මේ අර්බුදය ජය ගන්න බැහැ. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ නායකයෝ, ආගමික සාමාජික පිරිස් පොදු මහත් ජනතාව එකට එක්වී ජය ගත යුතු අර්බුදයක් ඉදිරියේයි අපි ඉන්නේ. මෙය ජය ගැනීමට අත්හදා බැලීම් කරන්න සුදුසු වේලාවක් නොවෙයි දැන් තියෙන්නේ. අප කරන වැඩපිළිවෙළ කවුරු හෝ කළයුතුයි. එය සියලු දෙනා එක්වී සිදු කළ හොත් රටේ ජනතාවට පීඩා විඳීමට සිදු වන කාල සීමාව අඩු කර ගත හැකියි. එසේ නොවන්න, නොවන්න අපේ රටේ ජනතාවට පීඩාවෙන් ඉන්න තිබෙන කාලය වැඩි වෙනවා මිසක් අඩු වන්නේ නැහැ.

 

මේ මොහොතේ රටේ පුරවැසියෝ, නායකයෝ සියලු දෙනා කළ යුත්තේ කුමක්ද?

 

පිළිතුර : සියලු වාදභේද මඳකට දුරුකොට රට ගැන සිතා රටේ බිඳවැටීම වැළැක්වීමට එකට එක්ව අවංකව, කැපවීමෙන් සමඟියෙන් ක්‍රියා කිරීම තමයි කළ යුත්තේ. ඉන් එහා අපට, රටට, ජනතාවට ජයග්‍රහණයක් අත්කර ගත නොහැකියි.