Wednesday, October 12, 2022

සිස්ටම් චේන්ජ් එක බදු සංශෝධනයෙන්ම පටන් ගමු





 ආණ්ඩුවේ බදු ගහන එක ගැන ආයෙත් වැඩි කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ආදායම් බදු වැඩිකිරීමත් එක්ක. මාසෙක පඩිය ලක්ෂයකට වඩා ගන්න අයට මේ මාසේ පළවෙනිදා ඉදන් බදු අයකර ගන්න බදු පනත සංශේධනය කරල තියෙනවා.

අරගලය කරලා අපි ඉල්ලුවේ සිස්ටම් එකකට රට ගෙනියන්න කියලා. එහෙම සිස්ටම් එකකට රට අරගන යන්නනම් රටේ පුරවැසියන් විදිහට අපිත් ඒ සිස්ටම් එකට ඇතුලත් වෙන්න සූදානම් වෙන්න ඔන.  ඒකේ මුලිකම දෙයක් තමා සෑම පුරවැසියෙක්ම බදු ගෙවන්න කටයුතු කරන එක. 

එකතු කරන බදු සල්ලි ආයෙත් හොරා කයිද කියලා මිනිස්සු අතර ප්‍රශ්නයක් තිබෙනවා. ඒක සාධාරණයි. මොකද මෙච්චර කාලයකට අපිට තියෙන්නේ හොරා කාපු අත්දැකීම් නිසා. කොහොම උනත් අරගලයෙන් පස්සේ රටේ පාලනයට පුරවැසියන් විදිහට සක්‍රීයව දායක වෙන්න අපි කටයුතු කරන්න අවශ්‍යයයි. හොරා කන්න කලින් ඒක වළක්වා ගන්න අපි මැදිහත් වෙන්න ඔන.

ලෝකයේ දියුණු රටවල් සියල්ලගේම සෘජු බදු අයකිරීම වැඩියි. යුරෝපා රටවල ආදායම් බදු අයකරගැනීම සාර්ථකව කරනවා. අපිත් දියුණු වෙන්න අවශ්‍යනම් මේ වක්‍ර බදු අයකිරීම අඩුකරලා සෘජු බදු අයකිරීම වැඩිකරන්න ඔන. එතැනදී මිනිස්සුන්ගෙන් වගේම ඉහළ ආදායම් උපයන සමාගම් වලනුත් බදු අයකරගන්න ඔන.  සිස්ටම් එකකට රට යනවානම් ඒ හැමදේම හරියට කරන්න අවශ්‍යයි. එහෙම නැතිව එක සෙට් එකකට විතරක් බදු ගහලා රටක් දියුණු කරන්න බැහැ.

වක්‍ර බදු නිසා මේ රටේ අඩු ආදායම් උපයන, එදිනෙද පොඩි ව්‍යාපාර කටයුත්තකින් ආදායම් උපයන දුප්පත් මිනිස්සු මහ විශාල පීඩාවකට පත්වෙලා ඉන්නවා. ඒක හරිම අසාධාරණයි. ඇති හැකි අය වැඩියෙන් බදු ගෙවිය යුතුයි.  එතකොට තමයි නැති බැරි මිනිහගෙ කර මත පටවල තියන මහ දැවැන්ත බර නිදහස් වෙන්නේ. 

සාමාන්‍යයෙන් බදු ආදායමෙන් 40%ක් වත් සෘජු බදු වෙන්න ඕන. නමුත් ලංකාවේ  ප්‍රතිශතය 18% යි. ඒ කියන්නේ 82% වක්‍ර බදු.  කිරිපිටි,  පරිප්පු, හාල් මැස්සො විතරක් නෙමෙයි යට ඇදුමටත් බදු ගහලා තමයි ඒ 82% අරගෙන තියෙන්නේ.  අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් කරන්න ඕන.

 ඒවගේම තමයි බදු අයකර‍ගෙන ඒ බදුවලින් මොනවද කරන්නේ කියන විනිවිදභාවයත් තියෙන්න ඔන. ඒ විනිවිදභාවයෙන් කටයුතු කිරීම ආණ්ඩුවේ  වගකීමක්. බදු අයකර ගැනීමේදී  පහුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් කටයුතු කළොත් ජනතා විශ්වාසය නැතිවෙලා යාවි. ඔනෙම රටකට පැහැදිලි බදු ප්‍රතිපත්තියක් තියෙන්න ඔන. ඒක සාධාරණය  එකක් වෙන්න අවශ්‍යමයි.  සාධාරණ බදු ප්‍රතිපත්තියකට විරුද්ධ වෙන්න අපිට අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තුවේ ඉන්න 225ම හොරු කියලා හිතලා බදු අයකිරීමට විරුද්ධ වෙන්න එපා. ඔබ ජන්දය දීලා පාර්ලිමේන්තු යවපු පුද්ගලයා  හොරෙක් නම් මීළඟ මැතිවරණයේදි ඔහුව පරාජය කරන්න.  හැබැයි අද දවසේ මේ බදු  පැනවීමට විරුද්ධ වෙලා රට පරාජය කරන්න එපා. 

මේ වැටුන රට අපිම එකතු වෙලා ගොඩගමු. සිස්ටම් චේන්ජ් එක බදු සංශෝධනයෙන්ම පටන් ගමු

මහ කන්නයට අවශ්‍ය පොහොර ලැබේ





 මහ කන්නය සඳහා යූරියා පොහොර බෙදාහැරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් මෙලෙස පොහොර බෙදා හැරීම ආරම්භ කර තිබේ.

වී වගා කර සති දෙකක් ඇතුළත යුරියා පළමු පොහොර ප්‍රමාණය යෙදිය යුතු හෙයින් මේ වනවිට  දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පොහොර බෙදා හැරීම අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සැප්තැම්බර් මස 29 සිට ඔක්තෝබර් 10 දක්වා කාලයේ  කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් දිස්ත්‍රික්ක 07කට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 11,283.86ක් බෙදා හැර තිබේ. එමෙන්ම ලංකා පොහොර සමාගම විසින් බෙදා හැර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,698කි. 

මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 814,678.43ක් බවත් එම බිම් ප්‍රමාණය මහ කන්නයේ  වී වගා කරන බිම් ප්‍රමාණයෙන් සියයට 100ක් බවද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

මෙවර මහ කන්නයේ ද පසුගිය යල කන්නයේ මෙන් කිලෝ ග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙන බවත්   හෙක්ටෙයාර් එකක් සඳහා  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත පොහොර  ප්‍රමාණය මෙවර  ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මහ කන්නයේ කුඹුරු වගා කිරීම ඇතැම් දිස්ත්‍රික්කවල ආරම්භව පවතින අතර බොහෝ දිස්ත්‍රික්කවල වගාව ආරම්භ කෙරෙනුයේ ඔක්තෝබර් තුන්වන සතියේ සිටය.