Tuesday, July 19, 2022

ජනබලය විනාශ කළේ සජිත්



 

අද වන විට සජිත් ප්‍රේමදාස පොහොට්ටුවේ ඩලස් අලහප්පෙරුමට සහාය දීම පිළිබඳ විශාල කථිකාවක් නිර්මාණය වී තිබේ. පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින් පවසන්නේ සජිත් ප්‍රේමදාස යූඑන්පීකාරයන්ගේ සියලු අපේක්ෂා අමු අමුවේ විනාශ කළ බවයි. සජිත්ගේ මේ ආසයි බයයි තියරිය නිසා විනාශ වන්නේ සමගි ජන බලවේග පාක්ෂිකයන්ගේ අපේක්ෂා ය. අද සජිත් කිසි ලැජ්ජාවකින් තොරව රාජපක්ෂ සහචරයෙකු වන ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරය සඳහා යෝජනා කළේ මෙරට අරගලයේ යෙදුණු සියලු පාර්ශ්වවල ඉල්ලීම්වලට පයින් ගසා ය. ඔහුට අවශ්‍ය පහසු ක්‍රමයකින් බලය ලබා ගැනීම මිස ප්‍රතිපත්තිගරුක දේශපාලනයක යෙදීම නොවන බව ඔහු නැවත වරක් රට හමුවේ සනාථ කර පෙන්වනු ලැබීය.

රට මේ වන විට මුහුණ පා සිටන ආර්ථික අර්බුදයට, දේශපාලන අර්බුදයට සහ බලශක්ති අරබුදයට ඩලස් ඍජුව වගකිවයුතු පුද්ගලයෙකි. ඔහු රාජපක්ෂ රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විය. 17,18, 19 සහ 20 යන සියලු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට අත් එස වූ කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිසෙකි. විදුලි බල අර්බුදයට කිසිදු විසඳුමක් ‍සොයා ගැනීමට අපොහොසත් වූ අසාර්ථක විදුලි බල ඇමතිවරයෙකි. මේ රටේ පුරවැසියා විරුද්ධ වුණේ රාජපක්ෂවරුන්ට පමණක් නොවේ. රාජපක්ෂවාදයට ද ඔවුහු විරුද්ධ වූහ. එකට එකතු වී කළ හැකි සියලු වැරදි සිදු කර, අවසන ගෝඨාභය පමණක් එල්ලුම් ගස් යවා අනෙක් සියලු දෙනා ශුද්ධවන්තයන් ලෙස හැසිරීම මහජනතාව කොතෙක් දුරට ඉවසාවී දැයි සැකි සහිතය.

ඉතිහාසය පසෙකින් තැබුවත් ඩලස්ට මේ අභියෝය ජය ගත හැකි ද යන ගැටළුව ඊළඟට පැන නගී. ඔහුට මේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දිය හැකි ද? ඔහුට ජාත්‍යන්තර සබඳතා කළමනාකරණය කළ හැකි ද?

මීට මාස කිහිපයකට පෙර ඕමල්පේ සෝභිත හිමි, කාඩිනල් මැල්කම් රංජිත් ඇතුළු ආගමික් සංස්ථාව, සිවිල් සමාජය ඹීට කදිම විසඳුමක් යෝජනා කළහ. ඒ කරු ජයසූරිය මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගෙන පළමුව අගමැති ධුරයට ද, අනතුරුව ජනාධිපති ධුරයට ද පත් කර ගැනීමට වූ යෝජනාවයි. එහිදී මයන්ත දිසානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී, කරුට එම අවස්ථාව ලබා දීමට පවා සූදානම් විය. එහෙත් ඒ අවස්ථාව අවසාන මොහොතේ වැළකී ගියේ සජිති ඊට විරුද්ධ වීම නිසාය. ඔහු එජාපයේ වෙනත් කිසිදු නායකයෙකුට අවස්ථාව ලබා දුන්නේ නැත. බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ යන තියරිය සජිත් පසුගිය කාලය පුරාම අනුගමනය කිරීම නිසා සමගි ජන බලවේගයට පමණක් නොව සමස්ත රටට මුහුණ දෙන්නට වූයේ බරපතල ඛේදවාචකයකට ය.  ඔහු එදා එම තීරණය ගනු ලැබුවේ නම් අද ජනපිති සටනේ දී මෙවැනි අරුබුදයක් පැන නගින්නේ නැත. සජිත්ට ආත්ම ගෞරවයක් හෝ ප්‍රතිපත්තියක් නොමැති වුවත්, හෘදය සාක්ෂියක් සහිත කිසිවෙකුට මේ මොහොතේ ඩලස් අලහප්පෙරුමට ඡන්දය ලබා දිය නොහැකිය. එහි වාසිය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහටයි. අපට ආරංචි වන ආකාරයට සජිත්ගේ මේ තකතීරු තීරණයෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසි දෙ‍ෙනකු පමණ මේ වන විට රනිල්ට ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බව තහවුරු වී තිබේ.

මෙරට ඉතිහාසයේ බිහි වූ දුරවලම විපක්ෂ නායක භූමිකාව නිරූපණය කළ සජිත් ප්‍රේමදාස තමන්ගේ බියගුළුකම සහ උද්දච්චකම නිසා මෙරට තරුණ ප්‍රජාව අරගලයෙන් ලබා ගත් ජයග්‍රහණය ආපසු හරහා තිබේ. ඔහුගේ තකතීරුකමට කිසිදු සමාවක් ලබා චදිය නොහැක්කා සේම, අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීමේ නිරතවන සිටින සජිත් ප්‍රේමදාස මේ විපක්ෂ නායක ධුරයේ සිටින තාක් කල් අපට යහපත් පාලනයක් ඇති කිරීමට විපක්ෂයේ සහායක් නම් අපේක්ෂා කළ නොහැක. පටු අදහස් පුරවාගෙන සිටින ඔහු රාජප්කෂවරුන්ගේ පැවැත්මට සම්පතක් මිස කිසිදින ඔවුන්ට අභියෝගයක් නම් නොවන බව අපගේ වැටහීමයි.

 

නිර්මාල් සුරංග

No comments:

Post a Comment