Tuesday, September 27, 2022

ජීනිවා යෝජනා පරද්දන චෝදනා

සැප්තැම්බර් මස 12 වැනි දින ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ඔක්තෝබර් මස 7 වැනිදායින් නිමා වේ. එහෙත් මෙම සමුළුව ආරම්භ වීමට දින හයකට පූර්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ප්‍රසිද්ධ කරනු ලැබිණි. එම වාර්තාව පිළිබඳව ලෝකයේ මෙතෙක් නොවූ විරූ සාකච්ඡාවක් ඇති විය. මෙවැනි වාර්තාවක් පිළියෙළ කිරීමේදී අදාළ රටෙහි විදේශ අමාත්‍යාංශයෙන් තොරතුරු විමසීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරුන් කිහිපදෙනකු විටින් විට පත් වුවද ඔවුනට අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයේ නිලධාරීන් සපයන්නට ඇත. එහෙත් මගේ මතය අනුව, ලංකාවෙන් ලබාදෙන ලද තොරතුරු මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය එතරම් දුරට සැලකිල්ලට ගෙන නොමැත. මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, එහි මුඛ්‍ය දේශනය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය. පිටු 16 කින් සමන්විත අදාළ වාර්තාවෙහි 71 හා 72 හි ඡේද මගින් ලංකාවට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇත. එහි 72 G හි ඇතුළත් නිර්දේශය තරමක් භයානක එකකි. ශ්‍රී ලංකාව ආර්ථික අපරාධ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීමට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරන බවත් එහි සඳහන්ය. එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය ඇතුළත මින් පෙර සිදුනොවුණු දෙයකි. එනම්, මානව හිමිකම් ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගිය කාරණයක් ගැන පළමු වරට අවධානය යොමුකර තිබීමය. ආර්ථික අපරාධ සිදුකරන ලැදැයි සඳහන් කර තිබුණද, එසේ කර ඇති ආර්ථික අපරාධ මොනවාද සහ නිශ්චිත කාලපරාසය මේ ආදී කිසිවක් ගැන සඳහනක් නැත. එය විවෘතව තබා ඇත. ආර්ථිකය සම්බන්ධ කාරණයේදී ශ්‍රී ලංකාව නියමු ව්‍යාපෘතියක් වශයෙන් යොදාගෙන තිබෙන බවත් කවුන්සිලයෙහි සෙසු සාමාජික රටවල් අරබයා ද එවැනි යෝජනා ගෙන ඒමේ ඉඩක් ඇති බවත් මගේ නිරීක්ෂණයයි. එක්සත් ජාතීන්ගේ 1966 ආර්ථික සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතියට ශ්‍රී ලංකාව ද අස්සන් තබා ඇත. එම සම්මුතිය යටතේ ආර්ථික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් කඩ වී ඇත්නම් අදාළ කමිටුවට ඒ ගැන සොයා බැලීමේ හැකියාව තිබිණි. එහෙත් එසේ නොකර සෘජුවම අදාළ චෝදනාව මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවට ඇතුළත් කර තිබේ. අප මේ තත්ත්වය වඩාත් බැරෑරුම්ව සැලකිය යුතු අතර ප්‍රතිචාර ද දැක්විය යුතුය. අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය විසින් ලබාදෙන ලද ප්‍රතිචාරය ගැන සෑහීමකට පත් විය නොහැකිය. ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයක් ලබා දීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ බව මගේ අදහසයි. මානව හිමිකම් කවුන්සිලය රැස්වීමට ආසන්න කාලයේදී පිළිතුරු වාර්තාව සැකසීම ප්‍රමාණවත් නැත. ඒ සඳහා කල්තියා සූදානම් විය යුතුය. අවශ්‍ය විමර්ශන කර ආර්ථිකය කඩාවැටීමට බලපෑ හේතු කවරේද යන්න නිශ්චිතව අප විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතුව තිබිණි. අපේ පැත්තෙන් ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව පැහැදිලිය. එය අප පිළිගත යුතුය. අදාළ ආර්ථික අපරාධ යන චෝදනාව ප්‍රතික්ෂේප කිරීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ අරබයා ඉදිරිපත් කරන දත්ත සාක්ෂි ශක්තිමත් ඒවා විය යුතුය. මානව හිමිකම් කවුන්සිලයේදී රුසියාව, චීනය, කියුබාව ආදී රටවල සහයෝගය ලැබෙන නිසා අපට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවලින් ආරක්ෂා විය හැකිය යන පූර්ව උපකල්පනය ඇතිව ලංකාව කටයුතු කරන බව පෙනේ. එය වෙනම කාරණයකි. එහෙත් දැන්වත් නිශ්චිත ආර්ථික සැලැස්ම අපි සකස් කර ගත යුතු වෙමු. මූලික මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට වඩා මේ වන විට ලෝකය ලංකාව සම්බන්ධයෙන් කතා කරන්නේ එහි සිදුව ඇතැයි කියන ආර්ථික අපරාධ ගැනය. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම් ගැන ද ප්‍රශ්න කර තිබේ. එසේ අත්අඩංගුවට පත්වූවන් ත්‍රස්තවාදීන් වන්නේ ද යන්නත් ප්‍රශ්න කර ඇත. එම පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 15 හා 16 වශයෙන් අත්අඩංගුවේ තබාගෙන සිටින සැකකරුවන් සිටින බව අප අමතක නොකළ යුතුය. එසේ අත්අඩංගුවේ තබා ගත නොහැකිය. එය සම්පූර්ණ වරදකි. එම සැකකරුවන්ට එරෙහි විමර්ශන අවසන් කර නඩු පැවරිය යුතුය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2022 අප්‍රේල් මස 1 වැනි දින සංශෝධනයක් ගෙන එන ලදී. එම සංශෝධනය ප්‍රකාරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයකුට අවශ්‍ය ප්‍රවේශය ගැනීමටත් ඒ ඔස්සේ ඉදිරියට යෑමටත් සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇත්නම් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමටත් නීතිමය අවකාශය නිර්මාණය කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2022 දී සිදු කළ සංශෝධනය ඇසුරින් නව ජාතික ආරක්ෂක පනතක් සකස් කරන්නේ නම් එය යහපත්ය යන ස්ථාවරයේ මම සිටිමි. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් සිදුකරන පාපෝච්චාරණ ඔවුන්ට එරෙහි නඩුවල සාක්ෂි වශයෙන් යොදාගැනීමේ හැකියාව තිබෙන නිසාය. මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරණ එකකි. නූතනයේදී ත්‍රස්තවාදය පැමිණෙන්නේ අවි ආයුධවලින් පමණක් ම නොව අන්තර්ජාලය නවීන තාක්ෂණය ඔස්සේද එය පැමිණිය හැකිය. මේ පනතින් එම ක්ෂේත්‍ර ආවරණය වන්නේ නැත. එසේම මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් දින 90 ක කාලයක් රඳවා තබා ගත හැකි අතර මගේ අදහස අනුව, එම කාලය දින 14 ක් දක්වාවත් අඩු කළ යුතුය. ඉන්පසු සැකකරුවන් සම්බන්ධ ඉදිරි කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ සිදු කළ යුතුය. එහිදී අපට බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදර්ශයට ගත හැකිය. එම පනත ප්‍රකාරව අත්අඩංගුවට ගන්නා සැකකරුවන් දින 14 ක් රඳවා තබා ගැනීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරේ. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් හතක් එකතු වී 1/46 යෝජනාවට එහා ගිය යෝජනාවක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිතය. එනම්, ඉකුත් 12 වැනි දින ඉදිරිපත් කළ ලිඛිත වාර්තාවෙහි ඇතුළත් 72 වැනි වගන්තියෙහි අන්තර්ගත කරුණු අතරින් කරුණු 18 ක් ගෙන මේ යෝජනාව සම්මත කිරීමට එම රටවල් උත්සාහ කරයි. එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් එය ජයග්‍රහණය කිරීමට නම් අප මූලික කරුණු කිහිපයක් සපුරා තිබිය යුතුය. චීනය, කියුබාව, සහ මැදපෙරදිග රටවල් අප වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට ඉඩ තිබේ. එහෙත් ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ජපානය වැනි රටවල් ඡන්දය නොදී සිටි අවස්ථාවල අප පරාජයට පත් වූ අවස්ථා තිබේ. මෙවර සැසිවාරයේදී මේ යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකාව පරාජයට පත් වේ. 5/51 නමින් කෙටුම්පත් කර ඇති නවතම යෝජනාව මේ වන විට සාමාජික රාජ්‍යවලට ලබා දී ඇත. එහි දළ සැකැස්ම මෙරට විදේශ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබේ. මෙහිදී අප කළ යුත්තේ එක්කෝ මේ වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර අප කළ වැඩකටයුතු ඉදිරිපත් කිරීමය. ඒ සඳහා අපට තවම කල්වේලා තිබේ. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි (LLRC) අන්තර්ගත ප්‍රධාන නිර්දේශ 12 ප්‍රයෝජනයට ගැනීමට පිළිවන. එසේම මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාවද යොදාගත හැකිය. නැතිනම් පාකිස්තානය හරහා අතුරු වාර්තාවක් ගෙන ඒම කළ යුතුය. අප කරන්නේ ඒ අවස්ථාවට පැලැස්තර විසඳුම් ඉදිරිපත් කිරීමය. එයින් බැහැරව ව්‍යවස්ථාදායකය ඇතුළත වසර 10 ක් සඳහා ජාතික මානව හිමිකම් සැලැස්මක් සකස් කළ හැකිය. එසේම යුද අපරාධ සහ ආර්ථික අපරාධ සිදුකර ඇත්නම් ඒ ගැන සොයා බැලීමට ජාතික පරීක්ෂණයක් සිදු කළ හැකිය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඒ අරබයා මුලපිරිය හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් ලංකාව සම්බන්ධයෙන් ගෙන එන වාර්තාවල අන්තර්ගත කරුණුවලින් අප භාර ගත යුත්තේ කවර ඒවාද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත් කළ අතර එහි තොරතුරුද මේ සඳහා ඉවහල් කර ගත හැකිය. දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය හොඳ එකකි. එසේම ත්‍රස්තවාදයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ මුස්ලිම් සංවිධාන කිහිපයක තහනම ද ඉවත් කෙරිණි. එහෙත් මෙතෙක් ඒවායෙහි සහයෝගය ලංකාණ්ඩුවට ලැබී නොමැත. එම සහාය ලබා දීම වෙනුවෙන් දමිළ ඩයස්පෝරා සංවිධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආදිය ඒ අතර වෙයි. පෙර වසරවල පැවැති මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් දැක්වූ අදහස් සහ මෙවර සැසිවාරයේදී පළ කළ අදහස් අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කරන ලෙස මීට පෙර ප්‍රබල ලෙස ඉන්දියාව අවධාරණය කර නොතිබුණි. එහෙත් මෙවර එය දැඩිව අවධාරණය කළේය. පළාත් සභා මැතිවරණ පැවැත්වීම, ඉඩම් පොලිස් බලතල ලබා දීම, උතුරු පළාතෙන් හමුදාව ඉවත් කිරීම, ඉඩම් නැවත ලබා දීම නමැති කොන්දේසිවලට යටත්ව ලංකාවට ඉන්දියාවේ සහාය ලබා ගැනීමට සිදු වේ. ඉන්දියාවේ චෝදනාව වන්නේ 2009 දී සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසු මේ දක්වා උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ජීවිත යහපත් කර නොමැත යන්නය. එහෙත් අද වන විට එම ප්‍රදේශ සංවර්ධනය වී තිබේ. නිදහසේ ගමන් බිමන් යෑමට ඔවුන්ට පිළිවන. රැකී රක්ෂා පිරිනමා තිබේ. සාමාන්‍ය සිවිල් ජනතාවගෙන් විමසුව හොත් කළ යුත්තේ කුමක්ද කියා ඔවුන් පවසනු ඇත. උතුරේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂවලට ඡන්ද අවැසි බැවින් ඉන්දියාව පාවිච්චි කරන බව පෙනේ. හියුමන් රයිට්ස් වොච් ඇතුළු මානව හිමිකම් සංවිධාන හතරක් ලංකාව සම්බන්ධයෙන් දැඩි යෝජනාවක් සම්මත කළ යුතු බව ප්‍රකාශ කර තිබේ. එමගින් ඔවුන් ප්‍රධාන යෝජනා හතරක් ගැන අඟවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින තරුණයන් වහා නිදහස් කිරීම, ඊට හේතු දැක්වීම සහ එම පනතට එරෙහිව ගෙන එන විකල්පය ඉදිරිපත් කිරීම පළමුවැන්නය. දෙවැන්න නම්, එම පනත යටතේ 2009 සිට අත්අඩංගුවේ රඳවා තිබෙන සැකකරුවන්ට එරෙහි නීති කටයුතු ආරම්භ කිරීම හෝ ඔවුන් නිදහස් කිරීමය. මැයි මස 9 වැනි දින අරගලයේ ක්‍රියාකාරීන්ට පහර දුන් පිරිස් අත්අඩංගුවට නොගැනීම සහ අවසාන වශයෙන් යුද්ධයේදී සමූල ඝාතන සහ යුද අපරාධ කළ බවට එල්ල ව ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පැවති විමර්ශනය ඉදිරියට ගෙන යෑම යනු සෙසු ඒවාය. මෙවර සමුළුවට ඉදිරිපත් කරන යෝජනාව සම්මත කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදෙන කාලය මාස හයක් දක්වා අඩු කිරීම සහ එම වාර්තාව හේග් නුවර පිහිටි යුද අපරාධ අධිකරණය වෙත යොමු කිරීම යනාදී ක්‍රියාමාර්ග ඔවුන් දැඩි යෝජනාවක් යන්නෙන් අපේක්ෂා කරන බව මගේ අදහසයි. එහෙත් මෙහි දැඩි යෝජනා යන්නෙන් ඇඟවෙන යෝජනා විශේෂයක් නැත. සාමාන්‍ය පරිදි යෝජනාවක් සම්මත වනු ඇත. මෙවැනි යෝජනා කියුබාව, ඊශ්‍රායලය යන රටවලට එරෙහිව ද සම්මත කර ඇත. කෙසේවෙතත් එම යෝජනාවල අන්තර්ගත නිර්දේශ පිළිබඳ එම රටවල් කිසිදු අනුකූලතාවක් දැක්වූයේ නැත. මහා බ්‍රිතාන්‍යයේ හමුදා ඉරාකයේ සිදු කළ යුද අපරාධ අනාවරණය වූ පසු බ්‍රිතාන්‍යය කළේ වගකීමෙන් මිදවීමේ පනතක් සම්මත කොට චෝදනාවලට ලක්වූ අයට සම්පූර්ණ නිදහස ලබා දීමය. බලවත් රටවල් එසේ ක්‍රියා කළද එවැනි හැකියාවක් ලංකාවට නැත. හේතුව, එල්.ටී.ටී.ඊ. හිතවාදී දමිළ ඩයස්පෝරාව කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල සිට මේ කටයුතු මෙහෙයවන නිසාය. මේ තත්ත්වය සමථයකට ගෙන එන්නේ කෙසේද යන්න ගැන අප අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් හතක් අස්සන් තබා ඇති යෝජනාවට එරෙහිව ලංකාවේ විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයේදී ආර්ථික අර්බුදය සමනය කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවලට යටත්ව භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන බවත් ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාව ගොඩනැගීම අරබයා යාන්ත්‍රණයක් සකස් කරන බවත් අවධාරණය කළේය. එම අංශවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කරන ලෙස ද අමාත්‍යවරයා සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. වෙසෙසින්ම ආර්ථික අර්බුදය හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට එරෙහිව ජනතාවට ප්‍රතිවිරෝධතා දැක්වීමට අයිතිය තිබෙන බවද විදේශ අමාත්‍යවරයා ඔහුගේ කතාවේදී පිළිගත්තේය. අමාත්‍යවරයා එම අයිතිය පිළිගත්තද ඉකුත් සෙනසුරාදා දින පැවැති සාමකාමී උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකයට ගලා ගොස් තිබේ. යෝජනාව සම්බන්ධයෙන් ලංකාව පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන කරුණු ප්‍රායෝගික විය යුතුය. අධිආරක්ෂිත කලාප සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවද වැදගත්ය. ඊට අදාළ අන පනත් නිසි පරිදි උපයෝගී කරගෙන තිබේද යන ප්‍රශ්නය අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන මතු කරයි. විදේශ අමාත්‍යවරයාගේ විශිෂ්ට දේශනයෙහි අන්තර්ගත වූ හරබර වචන ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක වන්නේ ද යන්න ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 විසින් හොඳින් සලකා බලනු ලැබේ. විදේශ අමාත්‍යවරයාගේ කතාවෙන් ඡන්ද 24 ක් ලබාගත හැකි නම් අපට මෙම යෝජනාව ජයග්‍රහණය කළ හැකිය. එහෙත් තත්ත්වය ඊට වඩා වෙනස්ය. එබැවින් මෙවැනි සිදුවීම් මගින් අපට අවාසියක් සිදු වේ. මෙම යෝජනාවෙන් ලංකාව පරාජය වුවද එයින් විශාල බලපෑමක් සිදුවන්නේ නැත. ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් අංශය හා එහි ලේකම්වරයා හමු විය. ඔවුන්ගේ ද සහාය ලබාගනිමින් හොඳ මානව හිමිකම් සැලැස්මකට යා හැකි නම් අපට මෙම යෝජනාව ජයග්‍රහණය කළ හැකිය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා උපුටාගැනීම - ලංකාදීප

අධි ආරක්ෂිත කලාපය රිවස්

ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි.? කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කල ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කල කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මෙම ගැසට් පත්‍රය නිකුත් කළේය. නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපය තුල ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර තිබේ. කොළඹ නගරය තුල වරින් වර ඇතිවන උද්ගෝෂණ නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බවත්, නමුත් මෙම අධි ආරක්ෂිත කලාප නම් කිරීම හරහා වෙනත් ගැටලු ඇතිවිය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ. ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධිකරණය කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සනම යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙය සිදුකිරීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.