Tuesday, October 11, 2022

ටීචර්ලා නටන එක ගැන නෙමෙයි ළමයි කනබොන හැටි ගැන හිතමු

 

 

 

 


 

ආර්ථික අර්බුදයත් එක්ක මුළු ලෝකයටම ආහාර අර්බුදයකුත් ඇවිත් තිබෙනවා. ලෝකයේ සෑම රටකටම මේ අර්බුදයේ බලපෑම දැනිලා තිබෙන නිසා  ඔවුන් දැනටමත් ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ආරම්භකරලා තියෙනවා.  කොහොම උනත් 2023 අවසන් වෙනකම් ආහාර අර්බුදය ලෝකයටම බලපායි කියලා තමයි දැනට ලෝක ආහාර වැඩසටහන අනාවැකි පළකරලා තියෙන්නේ.

කොවිඩ් වසංගතය , දේශගුණික බලපෑම්, යුධමය ගැටුම් , කෘෂිකර්මය බිදවැටිම වගේම ජීවන වියදම ඉහල යාම මෙයට බලපානවා. මේ නිසාම බොහෝ රටවල් අනිකුත් රටවලට ආහාර අපනයනය කිරීම නවත්වලා තිබෙනවා. මොකද තමන්ගේ රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය ගබඩා කරගන්න ඔවුන් දැන් මහන්සි වෙනවා.

අපේ රට තුළත්  ආහාර අර්බුදයක් ඇති වේගෙන එනවා. කෘෂිකර්මාන්තය බිදවැටීම , පොහොර කෘෂි රසායන අවශ්‍ය අවස්ථාවල නොතිබීම වගේම ඉන්ධන නොමැතිකම නිසා මේ ප්‍රශ්නය තවත් උග්‍රවෙලා තිබුණා.  කොහොම උනත් මේ අර්බුදයෙන් ගොඩ ඒමට ආර්ථික ආරක්ෂාව වගේම ආහාර ආරක්ෂාව ඇති කරන්න රජය දැන් කටයුතු කරගෙන යනවා.  

ඒ වෙනුවෙන් ආහාර බැංකුව (food bank) සහ ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්ප සාර්ථකව කරගෙන යන්න රාජ්‍ය සේවයෙන් වැඩි පිරිසක් යොදවන්න රජය දැනටමත් කටයුතු කරලා තියෙනවා.

ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්පය ඇති වුණේ අරගලයත් එක්ක. අරගලයේ යෙදුනු තරුණ තරුණියෝ  ඔවුන්ගේ සංකල්පයක් විදිහට ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්පය අත්හදා බැලුවා.  ඒක සාර්ථක වුණ නිසා තැන් කිහිපයකම ප්‍රජාවත් එකතුකරගෙන ප්‍රජා මුළුතැන්ගෙය  ක්‍රියාත්මත කරන්න තරුණ තරුණියෝ කටයුතු කළා. ආහාර සොයාගන්න අපහසු අයට උදව්වක් වශයෙනුයි ඔවුන් ඒක කලේ. ඔවුන් තවදුරටත් ඒ වැඩපිළිවෙල කරගෙන යනවා. මේ වැඩපිළිවෙල සාර්ථක නිසා රජය ඒක පිළිඅරගෙන තිබෙනවා. රජයේ නිලධාරීන් යොදවලා ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්පය සාර්ථකව පවත්වමින් කුසට ආහාර නැතිව ඉන්න ළමයින්ගේ බඩගින්න නිවන්න ඔවුන් දැනටමත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ මොකද මේවෙද්දි හරියට කන්න බොන්න නැති ළමයි ගොඩක් ඉන්නවා. මේවගේ පාසල් හොයලා ඔවුන්ට ආහාරපාන ලබාදෙන්න ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වු ඒකාබද්ධ යාන්ත්‍රණයකුත් පිහිටවලා දැන් වැඩ පටන් අරගෙන තිබෙනවා. ඇත්තටම ටීචර්ලා නටන එක ගැන නෙමෙයි ළමයි කනබොන හැටි හොයලා බලලා විසඳුම් දෙන එන එක තමා ආණ්ඩුවේ වගකීම වෙන්න ඔන.