Thursday, October 13, 2022

සිස්ටම් වෙනස් කරන්න - සෘජු බදු වැඩි කරන්න

 


 රජය විසින් සිදුකළ ආදායම් බදු සංශේධනය  මේ මස 01 දා සිට ක්‍රියාත්මක වන අතර මාසික ආදායම රුපියල් ලක්ෂයක ඉක්මවන පුද්ගලයින්ගෙන් බදු අයකිරීමට නියමිතය.

නව පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මාස 06 තුළ ආදායම රුපියල් ලක්ෂ 6 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමට යෝජනා කර ඇත.

ඒ අනුව 2022 ඔක්තෝබර් 01 වනදා සිට 2023 මාර්තු 31 දක්වා ඉදිරි මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6ක් හෝ ඊට අඩු නම් ඔවුන් ආදායම් බදුවලින් නිදහස් වේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6 සීමාව ඉක්මවන්නේ නම් එහිදී පළමු රු.250,000 සඳහා 6% ක බදු මුදලක් අයකිරීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 5 අතර ආදායම පවතින පුද්ගලයෙකුගෙන් රුපියල් 15,000ක මුදලක් සහ මුල් ලක්ෂ 5 සීමාව ඉක්මවා තවත් රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා 12% ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජනා වී තිබේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් ලක්ෂ 5ත් රුපියල් හත්ලක්ෂ පනස්දහසත් අතර ආදායම පවතින පුද්ගලයෙකු රුපියල් 45,000ක මුදලක් සහ අතිරික්තව උපයන රුපියල් ලක්ෂ 5 දක්වා සියයට 18ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් හත් ලක්ෂ පනස්දහසේ සිට රුපියල් ලක්ෂ 10ත් අතර ආදායම පවතින පුද්ගලයෙකු නම් රුපියල් 90,000ක මුදලක් සහ  අතිරික්තව උපයන රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදලින් 24% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් ලක්ෂ 10ත් රුපියල් දොලොස්ලක්ෂ පනස්දහසත් අතර ආදායම පවතින පුද්ගලයෙකු නම් රුපියල් 150,000ක මුදලක් සහ අතිරික්තව උපයන රුපියල් ලක්ෂ 10 දක්වා 30% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජනා වී තිබේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් දොලොස් ලක්ෂ පනස්දහසට වැඩි ආදායමක් පවතින පුද්ගලයෙකු නම් රුපියල් 225,000ක මුදලක් සහ රුපියල් දොලොස් ලක්ෂ පනස්දහසේ සීමාව ඉක්මවා උපයන මුදලින් 36% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මෙම ආදායම් පනත් සංශෝධන කෙටුම්පත මේවනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් ලංකාවේ බදු අය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මේවනවිට දැඩි කතාබහට ලක්ව ඇති අතර වක්‍ර බදු අයකිරීම වෙනුවට සෘජු බදු අයකිරීම වැඩි කළ යුතු බව බොහොදෙනාගේ අදස වී තිබේ.

කථිකාචාර්ය මලින්ද අලහකෝන්  මහතා යූටියුබ් නාලිකාවක් වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ලංකාවේ  බදු අයකිරීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවය. දැනට 18% ට ව පවතින වක්‍ර බදු අයකිරීම 80% දක්වා වැඩිකළ යුතු බවද හෙතෙම  සම්බන්ධයෙන් මෙසේ පවසා තිබුණි.

“ලංකාවේ බදු ක්‍රමය බැලුවොත් 82෴ ක් වක්‍ර බදු 18෴ ක් සෘජු බදු. ඒක අතිශය අමානුෂික ක්‍රමයක්.  හිතන්න මම දවසකට රුපියල් 10,000 ක් හොයනවා.  ඒ කියන්නේ මම මාසෙකට ලක්ෂ 03 ක් හොයනවා. මධ්‍යම පාන්තික මනුස්සයෙක්. ඔයා දවසකට හොයන්නේ රුපියල් 1000 යි. මාසෙකට 30,000 යි. හොදටම දුප්පත් මුනුස්සයෙක්.

සීනි කිලෝ එකක් තියෙනවා රුපියල් 100 යි. ඔයත් ගන්නවා කිලෝ එකක් මමත් ගන්නවා කිලෝ එකක්. මට 10,000 ක් ලැබුණා කියලා සීනිකිලෝ 10  ක් ඔනේ නැහැනේ.  මේ සීනි කිලෝ එකෙන් රජය රුපියල් සීයක බද්ධක් ගහනවා. ඒ කියන්නේ වක්‍ර බදු (VAT වගේ). ඒ බද්ධත් ගෙවලා රුපියල් 200 ට සීනී කිලෝ එකක් ඔයා ගෙදර ගෙනියනවා. මාත් රුපියල් 200 ට සීනි කිලෝ එක ගෙනියනවා. ඔයාගේ බදු බර 10% යි නමුත් මගේ බදු බර 1% යි . ඒක හොඳද? . පට්ටම වැරදියි.  රජයට ලැබෙන්නේ රුපියල් 200 යි. ඒක වෙනුවට ඔයාගේ ආදායමෙනුත් 5% ක් රජය අරගන්නවා. ඒකියන්නේ රුපියල් 50 ක් රජයට දීලා සීනි කිලෝ එක රුපියල් 100 ට අරගෙන ගෙදර යනවා.  දැන් ඔයාගේ සම්පුර්ණ වියදම රුපියල් 150 යි. මමත් මගේ ආදායමෙන් 5% රජයට දෙනවා ඒ කියන්නේ රුපියල් 500 ක්. දැන් අපි දෙන්නගෙම බදු බර සමානයි. නමුත් රජයෙ ආදායම කීයද?. රුපියල් 550. ඒ කියන්නේ වක්‍ර බදු වලට වඩා සෘජු බදු වලින් රජයේ ආදායම සම්පුර්ණයෙන් දෙගුණ කරගන්න පුළුවන් උනා. සෘජු බදු වැඩිපුර තියෙන්න ඔන උනත් ලංකාවේ සෘජු බදු තියෙන්නේ 18 % යි.  නමුත් හරි නම් 80% ක් සෘජු බදු වෙලා 20% ක් වක්‍ර බදු වෙන්න ඔන. මේ වෙනස්කම් කරන්නනම් ඒ මතය භුමියේ තියෙන්න ඔන”.යැයි ඔහු පැවසුවා.