සිවිල් අධ්‍යාපනයත් මිලිටරි අධ්‍යාපනයත් මිශ්‍ර කිරීම උත්සාහ කිරීම තුළින් වත්මන් රජය බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නොදනිමු. නමුත් දන්නා කාරණයක් නම් අන් කාටත් වඩා මිලිටරි උන්මාදයක් පසුපස මේ ආණ්ඩුව ගමන් කරන බවයි.ශ්‍රී ලංකාවට ආරක්ෂක විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බවත්, අධ්‍යාපනය ලැබීම මානව අයිතියක් වූ ලෝකයක හමුදා සොල්දාදුවෙකුට වුවද ගුණාත්මක, ඔවුන්ට විශේෂ වූ ක්ෂේත්‍ර පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සලසා දිය යුතු බවත් අපි දනිමු. නමුත් එයට මිලිටරි නොවන වෙනත් ඕනෑම අයෙකු සම්බන්ධ කරගත හැකිය යන්නෙන් අදහස් වන්නේ සිවිල් සමාජයේ පුද්ගලයන්ටද එවැනි මිලිටරි නීතීන් මත ක්‍රියාකෙරෙන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබිය හැකි බවයි.
පාසල්වල නීතී රීතින් තිබේ. ගුරුවරු විදුහල්පතිවරු දරුවන්ට දඬුවම් දෙයි. එය සාමාන්‍ය විය හැකිය. නමුත් කිසිදු රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක එලෙස ශිෂ්‍යන් මත අනවශ්‍ය අයුරින් නිදහස සීමාකරන නීතී පනවා නැත. ඔවුන්ට අවශ්‍ය පරිදි කොණ්ඩය, ඇඳුම ආදිය තබාගැනීමේ හැකියාව පවතී. අවශ්‍ය වෙලාවක ගමනක් බිමනක් යාමට නිදහස ඇත.රැවුල කොණ්ඩය වැවීමට තරම්වත් නිදහසක් නොමැති මිලිටරි ගුහාවක ( නමින් විශ්ව විද්‍යාලයක් වූ ) සිරවී, අදහස් සිරගත කොට නිර්මාණශීලීත්වය සහ මානුෂියත්වය මරාදමා මොටකළ විද්‍යාර්ථයන් බිහිවීමත් පසුකාලීනව ඔවුන් සිවිල් සමාජයට පැමිණ විස්කම් පාන ආකාරය කෙසේ වේදැයි සිතීමත් අපහසුය.
කොහොමත් ලංකාවේ පවතින්නේ ගොපලු-ගව අධ්‍යාපන ක්‍රමයක් බැවින් යම් දෙයක් නිවැරදිව සිදුකරන තෙක් කෙවිටෙන් පහරදෙනු ලැබේ. "හැඳි නොගා හදන හොද්දත්, නොගහ හදන දරුවාත් එකයි "යැයි යම් අවලම් දාර්ශනිකයෙක් පවසා ඇති අතර තවත් යමෙක් "අපි අද මේ වගේ තැන්වල ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහපු නිසා"යැයි පවසයි. ලංකාවේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මෙවැනි ශ්‍රේෂ්ට වදන්වලින් පණලබා ඇත. ලංකාවේ දියුණුවේ රහස එම අධ්‍යාපනය බව අපි විශ්වාස කරමු.
කාලයක් ලංකාවේ පාසල්වල විදුහල්පතිවරුන්ට මිලිටරි පට්ටම් ප්‍රදානය කෙරිණි. දරුවන් ගුරුවරුන්ට බිය වූයේ ගෞරවය නිසා නොව කර්නල් පට්ටමට වූ බිය නිසාය. එවැනි ගෝත්‍රික අධ්‍යාපන වැඩපිළිවෙලවල්ද මෙරට ක්‍රියාත්මක විය. ඒවායෙන් පණ ලැබූ ඇතැම් අය ශිෂ්‍යයන්ගේ කන පැලූ අවස්ථාද ඕනෑ තරම් ඇත.
කාලයක් උතුරේ අධ්‍යාපනය මිලිටරි නියාමනයකට ලක්විය යුතුයි පැවසු ලේකම්වරයෙක් දැන් එය මුළු රටටම කරන්නට යන බව පෙනේ. ඔවුන් එය සාධාරණීකරණය කිරීමට මිලිටරිවාදය තුළ නොමැති විනයක් මවා පෑමට උත්සාහ කරයි . මැතකදී සිවිල් ආරක්ෂක බලකායේ පුද්ගලයෙක් යකැදුරෙක් සේ පෙනී සිට මවත් දියණියත් දූෂණය කළ බව මාධ්‍යවල පලවිය.හමුදාවේ එම විනයගරුක පුහුණුව ලැබූ විනයධර සොල්දාදුවන් අපරාදවලට හසුවූ අවස්ථා සෑම දිනකම පාහේ අසන්නට ලැබෙයි. එවැනි තත්ත්වයක මෙවැනි පුහු මතවාද දැන් දිරාපත් වී තිබෙන බව කිව යුතුය.
දඬුවමෙන් හෝ හමුදා බලයෙන් අපරාද නැවැත්වීමටත්, විනයගරුක සමාජයක් බිහිකිරීමටත් දත කනාවට වඩා දැන්වත් අනාගතයට ගැලපෙන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් තුළින් වඩාත් මානුෂීය, නීතිගරුක පුද්ගලයෙකු බිහිකළ හැකි සුන්දර අධ්‍යාපන පරිසරයක් බිහිකිරීමට අවශ්‍ය සංකල්ප සිතා ඒවා ක්‍රියාත්මක කිරීම වටිනා බව සිතේ. මිලිටරියට එරෙහිව නොව මිලිටරීකරණයට එරෙහිව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නිර්මාණය විය යුතුය.
එබැවින් දඬුවමෙන් නොව ආකල්ප තුළින් වඩාත් මානුෂිය සමාජයක් බිහිකිරීමට, ලංකාව ගොඩගැනීමට නම් හමුදා පාලනයක් අවශ්‍යයැයි සිතන -කාන්තාර ඔටුවන් -සියලු දෙනාට ආරාධනා කරමු.නමුත් ප්‍රශ්නය නම් කෙවිටට හුරුවූ ඔවුන් මෙය කෙසේ පිළිගනීවිදැයි යන්නයි.
#sahantwrites
05.08.2021