Friday, May 3, 2024




 ශ්‍රීලනිප අර්බුදයේ පසුබිම සහ පාක්ෂික වගකීම:-


ජාතික දේශපාලනයේ පමණක් නොව ලෝක දේශපාලනයේ ද ස්වර්ණමය සලකුණු තබමින් 1960 දී ලෝකයේ පළමු අගමැතිනියත්, 1994 දී ලෝකයේ පළමු විධායක ජනාධිපතිනියත් බිහි කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ බඩගෝස්තරවාදී කල්ලිය විසින් අදවන විට එම පක්ෂය බරපතල අර්බුදයකට ලක්කර තිබේ. පක්ෂයේ සිදුව ඇති සහ සිදුවෙමින් පවතින විවිධ සිදුවීම් පිළිබඳව පාක්ෂකයින් තුළ ඇත්තේ විචිකිච්ඡාවකි.


පක්ෂ ව්‍යවස්ථාවේ 12(01) ii (ඈ) උප වගන්තිය අනුව අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිය 2019 නොවැම්බර් 18 දිනට පසු ඔහු පක්ෂයේ අනුශාසකවරයෙකු වන අතර වෙනත් සුදුස්සෙකු පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට පක්ෂ විධායක සභාවට ඉඩ ලබාදිය යුතු ය. එහෙත් විධායක සභා රැස්වීමක් නොපවත්වා වසරකටත් වැඩි කාලයක් වංචනික ලෙස පක්ෂ සභාපති පදවිය දැරූ ඔහු 2021 පෙබරවාරි 25 වන දින ගාලු මුවදොර හෝටලයේ දිවා භෝජන සංග්‍රහයක් පවත්වා, එය පක්ෂයේ විධායක සභා රැස්වීමක් බව කියමින් යළි සභාපති පදවියට පත් වූ බව රටට පැවසීය. එකී විධායක සභා රැස්වීම සහ එහිදී සිදු කරන ලද බව කියන ඔහුගේ පත්වීම ද පක්ෂ ව්‍යවස්ථාවට පටහැණි බව මම ඔහුටත්, පක්ෂ ලේකම්වරයාටත් ලිඛිතව දැනුම් දුනිමි. ඔවුහු එකී දැනුමුදීම පිළිබඳ කිසිදු සැලකිල්ලලක් නොදැක්වූ බැවින් පක්ෂය බේරා ගැනීම සඳහා මට අධිකරණයේ පිහිට පැතීමට සිදුවිය. ඊට අදාළව 2024/04/24 දින සිට මගේ එම නඩුව විමසා අවසන් වන තුරු සිරිසේන මහතාට පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම තහනම් කරමින් ගරු අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවන ලදී.


පක්ෂයේ සභාපති ධුරය ඩැහැ ගැනීමට කුමන්ත්‍රණය කළ බව පවසමින් 2023 සැප්තැම්බර් 05 වන දින සිරිසේන මහතා විසින් පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලදී. සිරිසේන මහතාගේ එම තීරණයට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා දයාසිරි මහතා අධිකරණයට ගිය ද, අධිකරණය විසින් ඔහුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂෙප කර තිබුණි. ඉන් පසු සිරිසේන මහතා විසින් “තමන්ට රිසි පරිදි නැටවිය හැකි පොඩියන් කෙනෙකු“  වූ නීතිඥ සාරථී දුෂ්මන්ත මහතා පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස පත්කර තිබුණි.


ඒ වන විට පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් පසුගිය මාර්තු 30 දින පක්ෂයේ රැස්වීමක් කැඳවා තිබුණි. ඔහු ඇතුළු කිහිප දෙනෙක් එය පක්ෂයේ විධායක සභා රැස්වීමක් ලෙස හඳුන්වා තිබුණි. පක්ෂ ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙහි පක්ෂයේ විධායක සභාවට අයත් වන්නන් පැහැදිලිව සඳහන් කර තිබේ. ඉහත කී පක්ෂයේ රැස්වීම කැඳවීමේ ලිපියෙන් විධායක සභාවට අයත් නොවන පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් ද ඊට කැඳවා තිබූ හෙයින් එය පක්ෂ ව්‍යවස්ථානුකූලව විධායක සභා රැස්වීමක් නොවේ. එමෙන් ම විශේෂ දේශනයක් සදහා යයි කියමින් වෙනත් පක්ෂයක සාමාජිකයෙකු වන කැබිනට් ඇමතිවරයෙකු ද ඊට කැදවා තිබුණි. විධායක සභාවට අයත් නොවන අයෙකු ද එහි සිටි හෙයින් පක්ෂයට වැදගත් වන කිසිදු තීරණයක් එම රැස්වීමේ දී ගැනීම නීත්‍යානුකූල නොවේ. එහෙත් එම රැස්වීමේ දී තීරණය කළ බව කියමින් පක්ෂයේ ජ්‍යෙෂ්ට උපසභාපතිවරයකු, ජාතික සංවිධායක සහ භාණ්ඩාගාරිකවරයා ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කොට, වෙනත් තිදෙනෙකු එම තනතුරු සඳහා පත්කර තිබේ. 


මෙම ක්‍රියාව කිහිප අතකින් ම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. පක්ෂ ව්‍යවස්ථාවට එරෙහි මෙම ද්වේෂ සහගත ඉවත් කිරීම බල රහිතකරමින් කොළඹ දිසා අධිකරණය විසින් අප්‍රේල්  01 දින වාරණ නියෝගයක් ලබා දී ඇත. ඒ අනුව අදාළ රැස්වීමේ දී අලුතින් ඒ තනතුරු සඳහා පත්කරන ලද තිදෙනාගේ තනතුරු ද අහෝසි වෙයි. එමෙන් ම කොළඹ දිසා අධිකරණය විසින් සිරිසේන මහතා පක්ෂ සභාපති පදවියේ කටයුතු කිරීම වළක්වමින් අප්‍රේල් 04 දින වාරණ නියෝගයක් ලබා දී ඇත.


එවන් අවස්ථාවක පක්ෂය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලි සටහනක් නොමැති නිසා දේශපාලන මණ්ඩලය රැස් කර, සුදුසු තීරණ ගැනීම සඳහා සාමාන්‍ය සම්ප්‍රදාය අනුව පක්ෂයේ ජ්‍යේෂඨතම උපසභාපතිවරයා විසින් වහාම දේශපාලන මණ්ඩලය රැස් කරන ලෙස වැඩ බැලූ ලෙකම්වරයාට ලිඛිතව උපදෙස් ලබා දී තිබේ. එහෙත් වැඩ බැලූ ලේකම්වරයා එකී උපදෙස් ප්‍රතික්ෂේප කරමින් දේශපාලන මණ්ඩලය කැඳවන්නේ අවුරුද්දට කැවුම් කොකිස් බැදීමට දැයි විමසූ බවක් දැනගන්නට ලැබුණි. මා දන්නා තරමින් නම් මෙවන් තකතීරු, උද්දච්ඡ ලේකම්වරයෙකු පක්ෂ ඉතිහාසයේ කෙදිනකවත් සිට නැත. නීතිඥයෙකු බව කියන මොහුගේ මෙම හැසීරීම ඔහුගේ දේශපාලන උපත පිළිබද ගැටළුවක් බව මගේ හැඟීමයි.


වැඩ බැලූ ලේකම්වරයා සැබෑ ලෙසම පක්ෂයට ආදරය කරන පක්ෂය රැක ගැනීමට කැපවූ සැබෑ ශ්‍රී ලංකා කාරයෙකු වූයේ නම් පක්ෂයේ ව්‍යවස්ථානූකූලව ඇති වී තිබෙන ගැටළුව විසඳා ගැනීමට පක්ෂයේ ජේ‍්‍යෂ්ටතම උපසභාපතිවරයා දුන් උපදෙස් පිළිගත යුතුව තිබුණි. තමන්ට ලැබුණු උපදෙස් පිළිබඳව එතුමන් සමග සාකච්ඡා නොකොට දේශපාලන බඩගෝස්තරවාදීන් වට කරගෙන “පඩෂෝ “පෙන්වීමට නොයා යුතුව තිබුණි.


ආණ්ඩුවේ ඇමතිකම් දරන්නේ යැයි කියමින් පක්ෂයේ ජේ‍යෂ්ට නිලධාරීන් තිදෙනෙකු ඔවුන්ගේ නිලයන්ගෙන් ඉවත්කළ සිරිසේන කල්ලිය පසුගිය 21 වන දින යළිත් පක්ෂයේ ව්‍යවස්ථානුකූල නොවන රැස්වීමක් කැඳවා වෙනත් පක්ෂයක සාමාජිකයෙකු වන කැබිනට් අමාත්‍යවරයෙකු පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරගෙන තිබේ. මෙම රැස්වීම ද පක්ෂ ව්‍යවස්ථාවේ 11 වන වගන්තියේ සඳහන් ව්‍යවස්ථානුකූල විධායක සභිකයන්ගේ රැස්වීමක් නොවූ අතර එය කැඳවා තිබූ ආකාරය ද අනීතික විය. එපමණක් නොව පක්ෂයේ කිසිම තනතුරක් සඳහා වැඩ බැලීමට කෙනෙකු පත් කිරීමට ද විධායක සභාවට බලය නැත. ව්‍යවස්ථානූකූලව එම බලය පවතින්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ය. ඒ අනුව සිරිසේන-විජේදාස කල්ලියේ මේ සමස්ත ක්‍රියාවලිය ම පක්ෂයේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් වෙයි. මෙය මෙම කල්ලියේ නිරුවත් බව සහ බංකොලොත් බව රටට කියාපෑමකි. මුළුමණින්ම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ සදාචාර විරරෝධීව සිදු කර ඇති මෙම පත්කිරීම්වල විපාක ඉතා ඉක්මණින් ඔවුන්ට විඳින්නට සිදු වනු ඇත.


2020 මහා මැතිවරණයේ දී පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත් වන විජේදාස මන්ත්‍රීවරයා මේ වන විටත් එම පක්ෂයේ සාමාජිකයෙකි. ඔහු එම පක්ෂයෙන් ඉවත් වූයේ නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99 (12) සහ (13) අනු ව්‍යවස්ථාවන්හි පැහැදිලිවම සඳහන් වන පරිදි ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වෙයි. ඒ අනුව ඔහු තවමත් කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීම ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ඔහු එම පක්ෂයෙන් ඉවත් නොවූයේ නම් ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ 23 (ii) උප වගන්තිය යටතේ ඔහුට ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත නොහැකිය. ඔහු කියන්නේ ශ්‍රීලනිප සාමාජිකත්වය ඔහු නොඉල්ලූ බවත් සිරිසේන මහතා විසින් ඔහු කැඳවා ඔහුට සාමාජිකත්වය පිරිනැමූ බවත් ය. එහෙත් ඔහු එම සාමාජිකත්වය භාරගන්නා විට තමන් වෙනත් පක්ෂයකින් පත් වූ මන්ත්‍රීවරයෙකු බව ඔහු නොදැන සිටියේ යැයි පිළිගත නොහැකිය.  අනෙක් අතට පක්ෂ ව්‍යවස්ථාවේ 27(iv) උපවගන්තියට අනුව ඔහුට පක්ෂයේ සාමාජික අංකයක් සහිතව තනතුරක් භාර ගැනීමට හැකිවන්නේ සභාපතිවරයා විසින් පිරිනමන ලද සාමාජිකත්වයට මාස හයක් සම්පූර්ණ වීමෙන් පසුවය. ඒ අනුව ඔහු චේතනාන්විතවම වරදක් සිදු කර ඇති බව පෙනෙයි. 1951 දී පක්ෂය පිහිට වූ දා පටන් ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ඉමහත් කීර්තියක් දිනා ඇති ශ්‍රීලනිපයට මෛත්‍රීපාල සිරිසේන වැනි උන්මන්තකයෙකු විසින් සිදු කර ඇති සහ සිදුකරමින් සිටින විනාශය නම් සුළුපටු නොවේ. 


ඒ සියලු තීරණ පක්ෂය හෝ පාක්ෂිකයා ගැන සිතා ගත් තීරණ නොව හුදෙක් එකිනෙකාගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් සිදු කළ ඒවා බව ජනතාව දනිති. මට හිතෙන හැටියට නම් සිරිසේන මහතා උත්සාහ කරන්නේ අධිකරණ ඇමතිවරයාගේ තනතුර අවභාවිත කරමින් පාක්ෂිකයිනුත්, රටේ ජනතාවත් නොමග යවමින් තම බඩගෝස්තරය රැකගැනීමටය. විජේදාස රාජපක්ෂ මහතා සූදානම් වන්නේ දිනුම පැරදුම කුමක් වුවත් ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා වී තමන්ගේ මඩිය තර කර ගැනීමටය. සිරිසේන කල්ලියේ සංවිධායකවරුන් සිතන්නේ සිරිසේන-රාජපක්ෂ එකතුවෙන් තම තමන්ගේ බඩගෝස්තරය හදා ගැනීමටය. මේ සියල්ලෙන් අතරමං වන්නේ අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ය.


විජේදාස රාජපක්ෂ පක්ෂයේ වැඩබලන සභාපතිවරයා කිරීමෙන් සිරිසේන කල්ලිය සිදු කර ඇත්තේ 2018 දී මහින්ද රාජපක්ෂ අගමැති කිරීම හා සමාන නීති විරෝධී සහ ජනතා විරෝධි කටයුත්තකි. එය ඔවුන් පක්ෂ ව්‍යවස්ථාව තඹයකටවත් මායිම් නොකරන බවට කරන අනතුරු ඇඟවීමකි. වැරදි පූර්වාදර්ශයකි. තත්ත්වය තවදුරටත් මෙලෙස ඉදිරියට ගියහොත් පාක්ෂිකයින් සිරිසේන දුටුතැන “තූ නොදකින්” කියා මුහුණට කෙළ ගසන දිනය වැඩි ඈතක නොවනු ඇත.


වසලයින් එළවා පක්ෂය නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේ දී සිදුව ඇති සියලු ක්‍රියාකාරකම් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූල ද යන්න අධිකරණය විසින් තීන්දු කරනු ඇත. තම පියා සමග උරණ වී තම පවුලේ කුඹුරෙහි ගොඩ ගසා තිබූ ගොයම් ගොඩට ගිනි තැබූ බව කියන තකතීරු ග්‍රාමසේවකයෙකුගේ උන්මත්තක තීන්දු නිසා අපේ ආදරණිය පක්ෂය වැනසෙන්නට ඉඩ නොදෙමු. පක්ෂය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය නිමල් සිරිපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමට ලබා දෙමු.


මොන්ටේගු සරච්චන්ද්‍ර

ශ්‍රීලනිප හිටපු විධායක සභික

මනෝවිද්‍යා උපදේශක

No comments:

Post a Comment