Thursday, August 25, 2022

රන්ජන් නිදහස්

 අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගතව සිටින රන්ජන් රාමනායකට අද (26) දිනයේ ජනපති සමාව හිමිවනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය

විජේදාස රාජපක්ෂ පවසයි.

ජනාධිපති සමාව ලබාදීමට අදාළ නිර්දේශ මේ වනවිට තමන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා ඊට අද දිනයේ අනුමැතිය ලබාදෙනු ඇතිබවත් ඔහු සඳහන් කළේය.

සිරගතව සිටින රන්ජන් රාමනායක ඊයේ (25) දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් සමාව ද අයැද සිටියේ ය.

ඔහු අදාළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ, තමන් සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවත්, එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවත් ය.

2017 වසරේ අගෝස්තු 21 වැනිදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය වසරේ ජනවාරී 12 වැනිදා රන්ජන් රාමනායකට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි.

301427898 10159800901444818 4322585068598177942 n

''අධිකරණය ඉදිරියේ වැඳ වැටී සමාව ගෙන ලබන නිදහස කුමක්ද?'' -Mahinda Pathirana


රන්ජන් රාමනායක අධිකරණයෙන් සමාව අයැද පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විවිධාකාරයේ අදහස් දක්වා ඇති අතර පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.


 ''රංජන් ලබා ගැනීමට නියමිත ආකාරයේ සමාවක් මම නම් කවුදාවත් ලබා ගන්නේ නැහැ. අධිකරණය ඉදිරියේ වැඳ වැටී සමාව ගෙන ලබන නිදහස කුමක්ද? මා සිතන්නේ ඔහුට එම ක්‍රමය නඩුව අතරතුර දී පවා යෝජනා වෙන්න ඇති. ඒ කෙසේ වෙතත්, නිදහස ලබා ගැනීම පිළිබඳ ඔහුගේ තීරණය අතිශය පුද්ගලික එකක්. දඬුවම් විඳින්නේ ඔහුයි. ඒ අනුව, ඉන් බැහැර සිට අප කරන සියලු ප්‍රකාශ ආත්මාර්ථකාමි විය හැකියි.''

(උපුටා ගැනීම අවසන්)


''විඳින දුක දන්නෙ ඒක විඳින කෙනා විතරයි'' - Uvindu Kurukulasuriya


'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''මට ලංකාවෙ ඉන්නකොට කීත්ට හරි පොද්දලට හරි වගේ වද දීල අතපය කැඩුව නම් මම කවදාවත් ලංකාව දාල එන්නෙ නැහැ. [මගේ නම් කට කපනව කියල තර්ජනය කරේ "මූණ ලස්සනයි" කියල.]


ඒ වගේම මම රන්ජන් කරපු වරදට හිරේ ගියා නම්, ඉතුරු මාස කීපයත් හිරේම ඉඳල තමා එන්නෙ. ඒත් ඒක වදයට භාජනය වෙච්ච එක එක අයගෙ තීරණයක්. අපි කාටවත් කියන්න බැහැ අනිත් අය විඳින මානසික වේදනාවන්.



සමහර විට පෝද්දල ජයන්තට ලංකාවෙදි ලබාගන්න බැරි මානසික උපදේශණ සේවාවන් හා සෞඛ්‍ය සේවාවන් ඇමරිකාවෙදි ලබාදෙන්න ඇති. කීත්ටත් ඔස්ට්‍රෙලියාවෙදි එහෙම ලබාදෙන්න ඇති.

අපි කවුරුවත් පිටරටවල්වල ජීවත් වෙන්න හීනෙන්වත් හිතපු අය නෙමෙයි. රන්ජන්ට ජනාධිපති සමාව නොලැබුණොත් තව මාස කීයද ඉන්න තියෙන්නෙ කියල අපිට හිතුනත්, ඒ නරකාදියෙ නොඉඳ දවසක් හරි කලින් එන එක හිතෙනව ඇති. ඒක අපි කාටවත් තීරණය කරන්න බැහැ. විඳින දුක දන්නෙ ඒක විඳින කෙනා විතරයි. ඒ නිසා ජෝක් කරන එක හොඳ නැහැ නේද?';

(උපුටා ගැනීම අවසන්)


''ජිවිත කාලයක් පරිප්පු කන gon පතිවත රකින්න යන්න ඕන නෑ''-Chinthana Dharmadasa


මේ අතර 'ලංකා සෙක්ස් පක්ෂයේ' නායක චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබේ.

''රංජන් උසාවියෙන් සමාව අරන් එලියට එන එකෙන් රංජන්ගෙ මොකක්ද එකක් නැති වෙනවා කියල පෝස්ට් කීපයක් දැක්කා.

මං නං කියන්නෙ තමන් කියපු ඔක්කොම බොරු කියලා හරි එලියට එන එකයි මොලේ තියෙන එකෙක් කරන්න ඕන.


සොක්‍රටීස් වගේ කියපු දේ වෙනුවෙන් වහබීලා මැරෙන මෝඩකම මේ සියවසේ මිනිහෙක් කරන්න ඕන නෑ. කියපු දේ කිව්වා, ඇහුන මිනිස්සුන්ට ඇහුනා. ඊට පස්සෙ ආ, ඒ මං බොරුවට කිව්වෙ කියල නිදහස් වෙලා එන එක තමයි කරන්න ඕන.


ඔය තමන් කියපු දේ වෙනුවෙන් ජිවිත කාලයක් පරිප්පු කන gon පතිවත රකින්න යන්න ඕන නෑ  කිසිම කෙනෙක්. ඒ කාඩ්බෝඩ් වීරකම අතෑරලා සමාව ඉල්ලලා එලියට එන එකට මං  කියන්නෙ රංජන් නියමයි කියල.''

ගෝටා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුට?


 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක් ලබා දී ඔහු ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරයෙක් ලෙස පත් කළ යුතු බවට යෝජනා වී ඇත. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති රැස්වීමක දී මෙම යෝජනාව ඉදිරිපත් වූ බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම යෝජනාවට පක්ෂව කණ්ඩායමක් හා විරුද්ධව කණ්ඩායමක් ද පොදු ජන පෙරමුණ තුළ නිර්මාණය වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

මහ ජන විරෝධය හේතුවෙන් පසුගිය ජූලිමස 13 වැනිදා රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ලබන සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. එසේ පැමිණීමෙන් පසු ඔහු පක්ෂයේ ඉහළ තනතුරකට පත්කිරීමට සැලසුම් කර ඇති බව  පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

මේ සම්බන්ධව පොදුජන පෙරමුණේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු  කියා සිටියේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වී තිබුණ ද ඒ සම්බන්ධව මෙතෙක් නිල සාකච්ඡාවක් හෝ අවසන් තීන්දුවක් ගෙන නොමැති බවය.

Tuesday, August 23, 2022

ඇබෑර්තු ඇත

 ඇබෑර්තු ඇත!


මංගල සමරවීර නම් දැවැන්ත දේශපාලන සත්ත්වයා නික්ම ගොස් වසරක් ගතවීම, විශ්වාස කිරීමටත් නොහැකි කාරණයක්. ගතවූ අවුරුද්ද පුරාම සිදුවුණු නොයෙක් සිද්ධි මංගලගේ නික්ම යාමෙන් ඇති වුණු හිඩැස තවත් තීව්‍ර කළා.ඇතැම් විට මෙරට දේශපාලන ඉතිහාසයේ ගෙවුණු ක්‍රියාකාරීම මාස කිහිපයේ මංගල අප අතරේ නොවීමත්, මේ අවුරුද්ද පුරාම මංගලගේ මතකය නොමරා තියන්න උදව් කරන්න ඇති.

සමහර තැනක මංගල හිටියනම් අපි හැමෝටම මෙච්චර මහන්සිත් නොවෙන්න තිබුණා. කොහොමහරි ඒ අවුරුද්ද පුරාම මංගලගේ රූපය පෙනුනේ නැති වුණත් සිදුවුණු හැමදෙයක් නිසාම මංගලගේ මතය තවත් ඔපවත් වෙලා පෙනුණා.


පහුගිය කාලේ පුරාම මැරුණු මංගල නිසා ජීවත් වෙලා හිටපු මංගලට මිනිස්සු ආදරේ කරන්න ගත්තා. ඒ මංගලව තේරුම්ගන්න පටන්ගත්තා.කොටින්ම කිව්වොත් ඔහුගේ දේශපාලන පිළිමළුන් පවා මංගලගේ දර්ශනය පිළිගත්තා.හැමෝම ආකර්ෂණය වුණු මංගලට උරුමව තිබූ රැඩිකල් චින්තනයත්, ඒ හා කැටුව පැමිණි රාජ්‍යතාන්ත්‍රිකභාවයත්,නිර්මාණශීලිත්වයත් "මංගල" යන්න සන්නාමයක් බවට පත්කළා.


මංගලගේ ඇඩ්වෙන්චරස් දේශපාලන ජීවිතය ඇතුළේ මංගලට තිබ්බ ලොකුම හයිය, ඔහුට තිබුන නොනැමෙන කොඳු නාරටිය. යුද්ධය පිටිපස්සේ තියෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක් කියලා කියන්න ඔහුට පුළුවන් වුණා.ත්‍රස්තවාදී සිංහල බෞද්ධ හෙජමොනිය එක්ක හැප්පෙන්න ඔහුට පුළුවන් වුණා. කාටත් කලින් රාජපක්ෂලාගේ ආණ්ඩුවෙන් එළියට බහින්න කොන්දක් තිබුණා. සමලිංගිකත්වය තහනම් වුණු රටක තමන්ගේ අනන්‍යතාවය ආඩම්බරයක් කරගත්තා.කොටින්ම මංගල අපිව හිරකරලා තිබ්බ ගෝත්‍රික රාමුව කුඩුපට්ටම් කරලා පෙන්නුවා.මේ සේරම එක්ක දේශපාලනයට මංගල කියන මනුස්සයා බිලිනොදෙන්න තරම් හැකියාවක්‌, ඉවසීමක් ඔහුට තිබුණා.


මංගල ලංකාවේ ශේෂ වෙලා හිටපු අවසාන නව ලිබරල්වාදී දේශපාලනඥයා. ඒ අදහස් මංගල කතාවෙන් වගේම ක්‍රියාවෙනුත් පෙන්නුවා. ඡන්ද ගොඩ වෙනුවට මංගල තමන්ට හරියැයි හිතෙන දේ වෙනුවෙන් හිටගත්තා. ඒ මංගලම අනාගත පරම්පරාවට මාවතක්‌ පෙන්නුවා. ඒ හෘදසාක්ෂියේ මාවත. මංගල ගියේ මංගලලා දහස් ගාණකට බලාපොරොත්තුවක් දීලා.ඒ නිසා මංගලගේ හිස්තැනට ඇබෑර්තු තියනවා.මේ රටට මංගලල ඕනෙම වෙලාව.එකෙක් දෙන්නෙක් නෙවෙයි. ඕනෑ තරම්....


එන්න අපි මංගල නවත්තපු තැනින් පටන් ගමු!


සහන් තෙන්නකෝන්


Monday, August 22, 2022

රංගන ලක්මාල් අත් අඩංගුවට


 

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය අත්අඩංගුවට ගෙන ඇත. අද (22) පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් රංගන අත්අඩංගුවට ගත් බව සමාජවාදී ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව රංගන ලක්මාල් දේවප්‍රිය කොළඹ කොටුව පොලිසිය භාරයට ගත් බවයි එම සංගමය වැඩිදුරටත් කියා  සිටියේය.

මේ අතර, ජූලි මාසයේ පැවති මහජන විරෝධතා අතරතුර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා ලද දෙවන පුද්ගලයා වන චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ කුරුඳුවත්ත පොලිසියට භාර වීමෙන් පසු අද   අත්අඩංගුවට ගෙන තිබේ.

 

චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ ගාලු මුවදොර විරෝධතාවයේ යෙදී සිටි දනිෂ් අලි සමඟින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවන්නේ    ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුරය.

Sunday, August 21, 2022

භූමි තෙල් මිල ඉහළට

 

අද මධ්‍යම රාත්‍රියේ  සිට ලංකා භූමිතෙල් ලීටරය මිල රුපියල් දෙසීය පනස් තුනකින්( 253) ඉහළ දමා ඇත.

භූමිතෙල් ලීටරයක් සඳහා මෙතෙක් පැවති මිල රුපියල්   රුපියල් අසූ හතකි.

නව මිල වැඩිවිමත් සමග භූමිතෙල් ලීටරය මිල්  රුපියල් තුන්සිය හතලිහකි (340)  කි.


Thursday, August 18, 2022

ජනපති "ජැකා" බලන්න මහරෝහලට යයි.




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන හදිසියේම කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. ඒ හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගධරයෙකු, සිනමාවේදියෙකු සේම, ඉතිහාසඥයෙකුද වන ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහායි. 


රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වෙත ජැක්සන් ඇන්තනී වෙත ඉක්මන් සුවය  ප්‍රාර්ථනා කළ අතරම ඇන්තනී මහතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස එහිදී ඉල්ලා සිටියා. 


වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදයද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනී මහතාට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලෙසද, ඊට සිය උපරීම සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ඇන්තනී මහතාගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රකාශ කලා. 


ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වූ අතර දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගෙ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ප්‍රකාශ කර තිබේ. 


රෝහලෙන් පිටතට පැමිණීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා සිටියා.