නිදහසින් පසු වැඩිම කාලයක් මෙරට පාලනය කළ ශ්‍රී
ලංකා නිදහස් පක්‍ෂයේ වසර 6ක් සභාපතිත්වය
දැරූ මෙන්ම වසර 11ක් අප රටේ
විධායක ජනාධිපති පදවිය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ උපන් දිනය
පසුගිය ජුනි 29 දිනට යෙදී
තිබුණි. ඒ නිමිත්තෙන් සමාජ මාධ්‍ය ජාලාවන්හි ඇයට ආශීර්වාද කිරීම්, සුබ පැතීම් සහ විවිධ
ඉල්ලීම් විශාල ප්‍රමාණයක් දුටුවෙමි, කියවුයෙමි. ඒවා බොහොමයක් කෙනෙකුගේ උපන්දිනයට සමාජ මාධ්‍ය
හරහා කෙරෙන සාමාන්‍ය සුබ පැතුම් පමණක් නොවන බව පෙණුනි. ඉන් බහුතරයක් ඇයගෙන් කරන ලද
ඉල්ලීම් විය. ඒ අතරින්ද බොහොමයක ඉල්ලීම වී තිබුණේ 93/94 වසරවලදී මෙන් මෙරට සියලු ප්‍රගතිශීලීන් සහ
වාමවාදීන් එක් පෙරමුණ ගනිමින් එහි නායකත්වය ගෙන රට හරි මඟට ගන්නා ලෙසය. තවත්
පිරිසකගේ ඉල්ලීම වී තිබුණේ 2006න් පසු ක්‍රමානුකූලව
විනාශ කර දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එහි පාක්‍ෂිකයාත් යළි ශක්තිමත්
කරන්නට පක්‍ෂයේ අනුශාසකතුමිය ලෙස පෙරමුණ ගන්නා ලෙසය. තවත් පිරිසකගේ ඉල්ලීම වී
තිබුණේ. දැන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් මඟ පෙන්වමින් අනාගතයට සරිලන කාරුණික නායකයකු ශ්‍රී
ලංකා නිදහස් පක්‍ෂයට ගොඩ නඟා දෙන ලෙසය.
සිය ජීවන ගමන් මගේ වසර 79ක් සපුරන ආච්චි අම්මා
කෙනෙකුගෙන් රටේ ජනතාව මේ කරන ඉල්ලීම් සුළුකොට තැකිය හැකි නොවේ. මට හිතෙන හැටියට
නම් එතුමිය 80 වන වියට පා
තැබුවත් ජනතාව එතුමියගෙන් දකින්නේ 93/94 වසරවල දුටු ජව සම්පන්න නායිකාවමය. 1999 දී මිනීමරු
එල්.ටී.ටී.ඊ යේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලක්ව එක් ඇසක්ද අහිමිව යන්තමින්
ජීවිතය බේරුණත් ඉන් දින කිහිපයකට පසු ජාතිය අමතා සිංහ නාද කරමින් සිංහල, දෙමළ ජනතාවට සාමයේ අගය
වටහා දුන් තම ශ්‍රේෂ්ඨ නායිකාව ලෙසමය. එහෙයින්ම 80 වන වියට පාතැබු මේ මොහොතේ බොහෝ දෙනා
නොදන්නා හෝ අමතක කර දමා හෝ නො එසේ නම් තම තමන්ගේ වාසියට අරුත් ගන්වාගෙන ඇති හෝ
එතුමියගේ දේශපාලන දිවි මගෙහි මා දන්නා විශේෂිත සිදුවීම් කිහිපයක් මෙලෙස සටහන්
තැබීමට අදහස් කළෙමි.
ඒ 1982 වසරෙහි අග භාගයයි. බටහිර කොළඹ ආසනයේ ඡන්ද 21,707කින් මුළු රටේම විධායක ජනාධිපතිවරයා වු ජේ.ආර්.ජයවර්ධන දරුණු ඒකාධිපතියකු ලෙස රාජ්‍ය සේවකයින් ඇතුළු සමස්ත ජනතාවම පීඩාවෙන් පීඩාවට පත්කර තිබු කාලයයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසිකර තිබු කාලයයි. රටේ ප්‍රධාන විපක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කුමන්ත්‍රණකාරී ලෙස දෙකට බෙදා තිබුණි. 1982 සැප්තැම්බර් 17 දින ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරගත්විට එජාපයේ ජේ.ආර්. ජයවර්ධනට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ඉදිරිපත් කෙරුණි. ජවිපෙන් රෝහණ විජේවීර, සම සමාජයෙන් කොල්වින් ආර් ද සිල්වාත්, නව සම සමාජයෙන් වාසුදේව නානයක්කාර සහ සමස්ත ලංකා ද්‍රවිඩ ලංකා සංගමයෙන් කුමාර් පොන්නම්බලම් යන මහත්වරු ඉදිරිපත් වී තිබුණි. මෙහි විශේෂත්වය වුයේ ජේ.ආර්. ජයවර්ධන මහතාට එරෙහිව කොබ්බෑකඩුව මහතාත්, කුමාර් පොන්නම්බලම් මහතාත් සිය ප්‍රචාරක වැඩ පිළිවෙළ ගෙනයන විට අනෙක් අපේක්‍ෂකයින් තිදෙනාම කොබ්බෑකඩුව මහතාට එරෙහිව වැඩිබරක් යෙදවීමයි. රෝහණ විජේවීර මහතාගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ තේමාව “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගමනක අවසානය” වූ අතර කොල්වින් මහතාගේ තේමාව “කොබ්බෑකඩුව දිනුවත් පරාදයි” යන්න විය. රුහුණේ වීරයින් යයි කියාගන්නා රාජපක්‍ෂ පවුලේ බැසිල් රාජපක්‍ෂ ජේ.ආර්.ගේ වේදිකාවේ ප්‍රබල කථිකයකු විය. වත්මන් පොහොට්ටු පක්‍ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ පියා වූ ඇල්බට් කාරියවසම් මහතාද එජාප වේදිකාවෙහිය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ කටයුතු වලින් ඉවත්ව වක්‍රව එජාපයට සහාය දීම නිසා සිරිමාවෝ මැතිනිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ කටයුතු මෙහෙයවීම ඩිව් ගුණසේකර මහතාට බාරදුන්නාය.
මේ සියලු අර්බුද අරගල මැද පක්‍ෂයේ
උපලේකම්වරයකු වු විජය කුමාරතුංගයන් ජනාධිපතිවරණයෙන් පක්‍ෂයෙන් අපේක්‍ෂකය දිනවීමේ
වැඩි බර කරට ගත්තේය. ප්‍රජා අයිති අහිමි කර තිබු මැතිනියට කිසිඳු දේශපාලන
කටයුත්තකට සහභාගීවීමට නොහැකි විය. නාම යෝජනා ලබා දී පළමු සතියේදී විජය තම කොටස
තනිවම ඉටුකළේය. දෙවන සතිය වනවිට තත්වය බොහෝ බැරෑරුම් විය. පක්‍ෂයේ බොහෝ ජ්‍යෙෂ්ඨටයින්
සටන මඟහැර ගියහ. චන්ද්‍රිකා තීරණයක් ගත්තාය. යන්තමින් මාස දෙක තුනක් වූ තම පුතු
විමුක්ති නිවසේ සේවිකාවන් වෙත පවරා රටේ සියලු දරුවන් වෙනුවෙන් ජේ.ආර්. පරාජය කිරීම
සඳහා විජය සමඟ එක්වුවාය. එතැන් සිට රටපුරා ජනාධිපති අපේක්‍ෂකයා සමග ප්‍රධාන
රැස්වීම් සඳහා විජය-චන්ද්‍රිකා යුවළ සහභාගී විය. ජවිපෙ සහ සමසමාජයේ දේශදෝහී
වැඩපිළිවෙළ හමුවේ දිවා රෑ නොබලා කැපවු ඇයට රටේ ජනතාව ගෞරව දක්වා තිබුණේ 77 මහ මැතිවරණයේදී ලක්‍ෂ
19ක් වූ ශ්‍රී
ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද ප්‍රමාණය 82 ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 27ක් දක්වා වැඩිකර දෙමිනි.
ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ ක්‍රියාත්මක වූ
එජාප ආණ්ඩුව, නැක්සලයිට්
කුමන්ත්‍රණයක් පිළිබඳව චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන ලේකම්
රත්නසිරි වික්‍රමනායක සහ උපලේකම් විජය කුමාරතුංග ඇතුළු පක්‍ෂයේ ප්‍රබලයින් පිරිසක්
අත් අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කළහ. 1982 දෙසැම්බර් 22 පැවති ජනමත විචාරණය ප්‍රකාශයට පත් කළ පසු
විජය කුමාරතුංගයන් හැර අනෙක් පිරිස ඇප මත නිදහස් කළ අතර ජනමත විචාරණයේ ප්‍රතිඵල
නිකුත් වු පසු කිසිඳු චෝදනාවක් නොමැතිව විජය කුමාරතුංගයන්ද නිදහස් කෙරිණි. විජය
සිරගත කර සිටි කාලය තුළ සිය කුඩා දරු දෙදෙනා සමඟ ඇය අභියෝගයන්ට අභියෝගයක්ම වෙමින්
සියලු දුක් වේදනා දරාගනිමින් පක්‍ෂය වෙනුවෙන් සිය වගකීම් කොටසද ඉටු කළාය.
එල්ටීටීඊ මිලේච්ඡ යුද්ධයේ උච්චතම අවධියේදී
සාම සාකච්ඡා සඳහාත් එල්ටීටීඊ අත්අඩංගුවේ සිටි යුධ සෙබළුන් බේරාගැනීම සඳහාත් තම
ජීවිතය පරදුවට තබා තමන්ගේ කණ්ඩායම සමඟ යාපනයේ එල්ටීටීඊ කඳවුරුවලටත් විදෙස් රටවලටත්
ගියාය. 1988 පෙබරවාරි 16 දිනය ඇයගේ දේශපාලන
දිවියේ මෙන්ම පෞද්ගලික සිවිල් ජිවිතයේද අඳුරුතම දිනයක් විය. සන්නද්ධ ජවීපෙ
මිනීමරුවන් විසින් තම ආදරණීය ස්වාමි පුරුෂයා තම නිවසේ මිදුල මැද ඔළුව කුඩුවෙන්නට
වෙඩි තබා මරා දමන හැටි සිය දෙනෙතින්ම දකින්නට ඇයට සිදුවිය. විජයගේ අවමංගල කටයුතු
අවසන්වීමත් සමඟම සිය මවගේ දැඩි පෙරැත්තය මත තමා සහ දරුදෙදෙනාගේ ආරක්‍ෂාව පතා
විදෙස්ගතවන්නට ඇයට සිදුවිය. 1991 වසරෙහි දී
ආපසු සිය මව්බිමට පැමිණි ඇය ප්‍රේමදාස පාලනයට එරෙහිව සිය මව සමඟ එක්ව ශ්‍රී ලංකා
නිදහස් පක්‍ෂය යළි ශක්තීමත් කරන්නට කැපවුවාය. මංගල සමරවීර මහතාගේ සංවිධායකත්වයෙන්
සහ ඝාතනය කෙරුණු රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාගේ මෑණියන් වූ දොස්තර මනෝරාණි
සරවනමුත්තු මැතිනියගේ සහභාගීත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ පැවති “මවුවරුන්ගේ පෙරමුණ”
මංගල රැස්වීමෙහිදී ඇය යළි ප්‍රසිද්ධ දේශපාලනයට එක්වුවාය.
පක්‍ෂයේ බලය තමන් අතට ගන්නට පක්‍ෂ නායිකා
සිරිමාවෝ මැතිනිය ශාරීරීකව දුර්වල වනතුරු බලා සිටි රාජපක්‍ෂ කල්ලියට ඇය ඉමහත්
හිසරදයක්ම විය. මේ නිසාම කුසල් පෙරේරාගේ සංකල්පයක් අනුව 1992 වසරේ ආරම්භයත් සමඟ
මහින්ද රාජපක්‍ෂගේ “කතරගම පාදයාත්‍රාව” වැඩසටහන සංවිධානය විය. මාර්තු 16 කොළඹින් ඇරඹුනු පාද
යාත්‍රාව මාර්තු 25 දින මාතරට
ළගාවීම නිමිත්තෙන් මංගල සමරවීර මහතා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දැවැන්ත ජන
රැළියක් සංවිධානය කර තිබුණි. පා ගමනේ මුල් කොටසේම පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා
ඇතුළු කණ්ඩායම වේදිකාවේ අසුන්ගෙන තිබුණි. අවසන් කොටසේ මාතර ජනතාව පිරිවරා පැමිණි
චන්ද්‍රිකා මැතිනිය වේදිකාවට ගොඩවන විට වේදිකාවේ සිටි මහින්ද රාජපක්‍ෂ ඇයට කුණුහරප
කියමින් බැණ වදින්නට විය. ඔහුගේ බැණුම් මැද මංගල සමරවීර සමඟ සුවහසක් ජනතාවගේ
ජයඝෝෂා මැද ජනතාවට අචාර කළ ඇය, සිය අසුන වෙත
පැමිණෙන අතර දැඩි කේන්තියෙන් තමන් දෙස බලා සිටින මහින්ද රාජපක්‍ෂ මහතා දෙස බලා
ස්තුති පූර්වකව හිස නමා “සන්තෝෂයි මහින්ද” කියමින් අසුන් ගත්තාය. ඇයගේ එම ක්‍රියාව
වේදිකාවේ සිටි සියලු දෙනාගේම ප්‍රසාදයට ලක්විය.
1992 අග භාගයේදී අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය සංවිධානයේ ලේකම්වරිය ලෙස ඇය සංවිධානය කළ මහජන
රැස්වීම මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සළකුණක් විය. නිදහසින් පසු එදා මෙදා තුර
ලංකාවේ දේශපාලන පක්‍ෂ වැඩිම ගණනක නායකයින් සහභාගී වූ දේශපාලන රැස්වීම එය විය.
එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙක් සිංහල, දෙමළ මුස්ලිම් දේශපාලන
පක්‍ෂ සියල්ලෙහිම පාහේ නායකයින් එම වේදිකාවේ විය. ඒ වනවිට එජාපයේ කැඩී “රාජාලියා”
පක්‍ෂය පිහිටුවාගෙන තිබු ලලිත් ඇතුළත්මුදලි මහතා ඇතුළු කණ්ඩායම ද එහි විය.
1993 මැයි 17 දින පැවති පළාත් සභා මැතිවරණය ද ඇයගේ
දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම මහින්ද රාජපක්‍ෂ
කණ්ඩායමේ දැඩි කැපිලි කෙටිලි සහ බාධා කිරීම් මැද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලක්‍ෂ
තුනක ඉතිහාසගත මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ඇය ලංකාවේ පළමු මහ ඇමතිවරිය වුවාය.
අනතුරුව 1994 අගෝස්තු 16 දින පැවති මහ
මැතිවරිණයෙන් නැවත වාර්තා පිට වාර්තා තබමින් මනාප ඡන්ද ලක්‍ෂ 5කට ආසන්න ප්‍රමාණයක්
ලබාගනිමින් පාර්ලිමේන්තුවට පැමිණ අගොස්තු 19 දින ශ්‍රී ලංකාවේ 13 වන අගමැති ලෙස
දිවුරුම් දුන්නාය. පිය සහ මව දෙදෙනාම අගමැතිවරුන් වු රටක එම පක්‍ෂයේම දියණියද
අගමැති වීමේ ලෝක වාර්තාවන්ට හිමිකම් කියු ඇය ලෝකයේ පළමු අගමැතිනිය වූ සිය මව තම
කැබිනට් මණ්ඩලයට පත්කරගනිමින් තවත් ලෝක වාර්තාවක් තැබුවාය.
1994 නොවැම්බර් 09 දින පැවති ශ්‍රී ලංකාවේ තුන්වන
ජනාධිපතිවරණයෙන් එදා මෙදා තුර රටේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ම විජයග්‍රහණය කරමින්
ද 62.28%ක ඡන්ද ප්‍රතිශතයක්
ලබාගනිමින් ද වාර්තා පිට වාර්තා තබමින් නොවැම්බර් 11 දින මෙරට සිව්වන විධායක ජනාධිපති ලෙස ඇය
දිවුරුම් දුන්නාය. ඇගේ කැබිනට් මණ්ඩලයේ කම්කරු හා වෘත්තීය පුහුණු ඇමතිවරයා වූ
මහින්ද රාජපක්‍ෂ මහතා “කම්කරු ප්‍රඥාප්තියක්” ඉදිරිපත් කරමින් එය ක්‍රියාත්මක
කිරීමට ජනාධිපතිනිය ඉඩ නොදෙන බව පවසමින් ජනාධිපතිනිය අප්‍රසාදයට පත් කළේය. එහෙත් 2005 සිට වසර 10ක් රටේ ජනාධිපතිවරයා
වු ඔහු ඔහුගේ පාලන කාලයේදී එම කම්කරු ප්‍රඥප්තිය ගැන කිසිවක්ම නොකළේය. ඒ අනුව
ඔහුගේ චේතනාව වී තිබුණේ ජනාධිපතිනිය ජනතාව අතර අප්‍රසාදයට ලක් කිරීම මිස කම්කරුවාට
සහන ලබාදීමක් නොවන බව ජනතාවට පැහැදිලි විය.
ඇයගේ දේශපාලන දිවියේ තවත් සුවිශේෂිත
සිදුවීමක් වූයේ 1999 දෙසැම්බරයේ
පැවති ජනාධිපතිවරණයයි. ඒ වෙනුවෙන් පැවති ඇයගේ අවසන් ප්‍රචාරක රැළියේදී එල්ටීටීඊ
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එක් ඇසක් අහිමි වූ ඇගේ ජීවිතය බේරුණේ ජනතාවගේ
වාසනාවටය. එවන් තත්වයකදීද තම ප්‍රතිවාදියාට වඩා ඡන්ද ලක්‍ෂ 07ක් ලබාගනිමින් ඇය
යළිත් ජනාධිපති පදවියට පත්වුවාය. ඡන්දයෙන් ජයග්‍රහණය කළ ද බෝම්බ ප්‍රහාරයෙන් ඇති
වූ කම්පනය නිසා ඇය රටේ ජනාධිපති ධුරය දැරීමට සුදුසු නැති බවට නීති තර්ක ඉදිරිපත්
විය. එවකට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වූ ජනාධිපති නීතිඥ හේමන්ත
වර්ණකුලසුරිය මහතා එහි ප්‍රමුඛයකු විය. පසු කළෙක මහින්ද රාජපක්‍ෂ රජයෙන් ඔහු
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද පත්කෙරුණි.
2000 ඔක්තෝබර් 10 දින පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 107ක් ලැබු පොදුජන එක්සත්
පෙරමුණ තවත් පක්‍ෂ කිහිපයක සහාය ලබමින් ආණ්ඩුව පිහිටුවන ලදී. මැතිවරණ දා ලෝකයේ
පළමු අගමැතිනිය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිනිය වු සිරිමාවෝ මැතිනිය
අභාවප්‍රාප්ත වුවාය. චන්ද්‍රිකා මැතිනියගේ නායකත්වයෙන් යුතු මේ ආණ්ඩුවද ලංකා
පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට නිතරගයෙන් කතානායකවරයකු පත්කර ගනිමින් ඉතිහාසගත
විය. ආණ්ඩුවට වසරක් ගතවීමටත් පෙර තමන් ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකිරීම සඳහා
විධායක ජනාධිපති පදවිය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඇය සිය
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා එම කෙටුම්පත ජනමත
විචාරණයකට ඉදිරිපත් කිරීම සඳහා 2000 අගෝස්තු 21 දිනට දින නියම කළාය. එහෙත් මේ ක්‍රියාදාමයට එරෙහි වු
ආණ්ඩුවේම අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්.පීරිස්, ඇස්.බී. දිසානායක,
බන්දුල ගුණවර්ධන,
මහින්ද විජේසේකර
මහත්වරුන් ඇතුළු පිරිසක් විපක්‍ෂයට එක් වීම නිසා එම වැඩපිළිවෙළ අතරමග නතර විය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරි ජනාධිපතිනිය 2000 දෙසැම්බර් 05 දින මැතිවරණයකට දින නියම කළාය. එම
මැතිවරණයෙන් එජාපය ජය ලැබු අතර එජාපයට එක් වූ බොහෝ දෙනෙකුට එම ආණ්ඩුවේ ඇමතිකම්
ඇතුළු විවිධ තනතුරු හිමිවිය.
2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇති කරමින්
ජවීපෙ සමග එක්වීමෙන් පාර්ලිමේන්තුවේ ආසන දිනාගැනීමට ජවිපෙට ඉඩ දුන්නාය. එමෙන්ම
රජයේ ප්‍රධානතම අමාත්‍යංශ 4ක් සහ ඒවායේ
නියෝජ්‍ය ඇමති තනතුරුද ජවිපෙට ලබාදෙමින් ඔවුනට රිසි පරිදි ජනතාවට සේවය කිරීමට
පහසුක්ම සැළසුවාය. ඔවුන්ගේ ඉල්ලීම පරිදි ආණ්ඩුවේ අගමැති පදවිය මහින්ද රාජපක්‍ෂ
මහතාට ලබාදුන්නාය. 2005 මාර්තු 26 දින පැවති ශ්‍රී ලංකා
නිදහස් පක්‍ෂයේ සමස්ත ලංකා සහ විධායක සහ ඒකාබද්ධ රැස්වීමෙහිදී පක්‍ෂ ලේකම් මෛත්‍රීපාල
සිරිසේන ඊට විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කළේය. පළමුවැන්න පක්‍ෂයේ මීළඟ ජනාධිපති
අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කිරීමයි. දෙවැන්න ඊළඟ රජයක අගමැති ධුරය
පක්‍ෂයේ ජාතික සංවිධායක අනුර බණ්ඩාරනායක මහතාට ලබාදිය යුතු බවයි. තුන්වැන්න පක්‍ෂයේ
එවක සභාපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පක්‍ෂයේ යාවජීව සභාපතිනිය ලෙස පත් කළ
යුතු බවයි. යෝජනා තුනම සභාවේ ඒකමතිකව සම්මත විය. සභාවේ කටයුතු අවසානයේ මුලසුන
දෙසුම කරමින් ඇය පැවසුවේ සභා සම්මත වූ පළමු හා දෙවන යෝජනාවට තමන් එකඟ වුවත් තුන්වන
යෝජනාව වන පක්‍ෂයේ යාවජීව සභාපතිනිය ලෙස තමන් පත්කිරීමට එකඟතාවයක් නැතිබවයි. දක්‍ෂතා
සහිත පක්‍ෂයට ආදරය කරන පක්‍ෂයේ ඕනෑම අයෙකු පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගැනීමට
පාක්‍ෂිකයින්ට ඉඩ තිබිය යුතු බව පැවසු ඇය ඒ සඳහා කිසිවිටෙක තමන් බාධාවක් නොවන බවද
පැවසුවාය.
කෙසේ වෙතත් ඉහත යෝජනා ඉදිරිපත් කළ මෛත්‍රීපාල
සිරිසේන ලේකම්වරයාට 2006 ජුනි 29 දින පක්‍ෂයේ
සභාපතිනිය විදේශගතව සිටියදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා
වීරෝධී රැස්වීමක් පවත්වා, පක්‍ෂ ව්‍යවස්ථාව
සංශෝධනය කර රටේ ජනාධිපති ලෙස නිල බලයෙන් පක්‍ෂයේ සභාපති ලෙස පත් කිරීමට කටයුතු
කළේය. මේ තත්වය නිසා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වූ ඇය මහින්ද රාජපක්‍ෂ මහතා
විසින් පක්‍ෂය විනාශ කිරීම වළක්වා ගැනීම සඳහාත්, රාජපක්‍ෂ පවුලෙන් රට බේරාගැනීම සඳහාත් 2015 දී යළි පෙරමුණට
පැමිණියාය. පක්‍ෂයත් රටත් බේරාගැනීම සඳහා ඇගේ තෝරා ගැනීම වූ මෛත්‍රීපාල සිරිසේන
පක්‍ෂයටත් රටටත් සිදුකළ දේ පිළිබඳව කළකිරුණු ඇය යළිත් ක්‍රියාකාරී දේශපාලනයෙන්
පසෙකට වුවාය.
එහෙත් මේවන විට යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත්,
රටටත් ඇය අවශ්‍ය වී
ඇති බව පැහැදිළිය. හොරකම, වංචා නැති රටට,
ජනතාවට ආදරය කරන
විශ්වාසනීයම නායකත්වය ලෙස බොහෝ ජනතාව ඇය තෝරා ගෙන ඇත. හැකි පමණින් ඒ ජනතා පැතුම්
ඉටුකිරීම ඇයගේ වගකීමක් මෙන්ම යුතුකමක් බවද මගේ විශ්වාසයයි.
මොන්ටේගු සරච්චන්ද්‍ර
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු විධායක
සභික
මනෝවිද්‍යා උපදේශක