Friday, May 6, 2022

 ගාලුමෝදර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය ඉදිරිපත් කිරීමට සූදානම් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉවත්ව තිබෙනවා.


කොටුව පොලීසිය විසින් කරන ලද එම ඉල්ලීම අද (06) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා.


එහිදී කොටුව පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම අරගලය හා සම්බන්ධ නඩු දෙකක් මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත්වී ඇති බව සඳහන් කළා.


එබැවින් එම ඉල්ලීම සලකා බැලීමට සූදානම් නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.


කෙසේවෙතත් අදාළ ඉල්ලීම කුමක්දැයි විවෘත අධිකරණයේදී සදහන් වූයේ නැහැ.


රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අරගලයේ නියුතු පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධය පළකර සිටියා.


දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා තමන් එම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එය වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන බවටත් නියෝග කළා.


No comments:

Post a Comment