Wednesday, August 31, 2022

කසල වලින් මුදල් මවන කුලියාපිටිය නගර සභාව

 




ශ්‍රී ලංකාව තවමත් කසල කළමණාකරනය නිවැරදිව සිදුකිරීමට යොමුවී නොමැත . එලෙස යොමු නොවීමේ වරද ජනතාව සහ පාලකයන් යන දෙකොට්ඨාශයටම අදාල වන අතර නිවැරදි කසල කළමණාකරනයකට යොමුවන්නේනම් කසල යනු මහා ගැටළුවන් නොව ආදායම් උපයන සම්පතක් කරගැනීමට හැකිවේ.
විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ තෙත්බිම් ආශ්‍රිතව , ජලාශ ආශ්‍රිතව වැඩිවශයෙන් කසල බැහැර කිරීම් දක්නට ලැබෙන අතර මේවනවිට ලංකාව පුරා කසල කදු 200 වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. මෙම කසල කදු අවසන් කරනවා වෙනුවට දවසින් දවස එම කසල කදු වර්ධනය වීම දක්නට ලැබීම කණගාටුවට කරුණකි.



නිවැරදි කසල කළමණාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේනම් මෙම ප්‍රශ්නය සැබැවින්ම විසදාගැනීමට පහසු ප්‍රශ්නයකි. කසල ආදායමක් බවට පත්කරගනිමින් එයින් ලාබ ලබන රටවල් රැසක් ලෝකයේ ඇත. එම රටවල් ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවද මේවනවිට  ව්‍යාපෘති කිහිපයක් සිදුකර ඇති අතර ඒවායින් ඇතැම් ඒවා සාර්ථක වී තිබේ.

කුලියපිටිය නගර සභාව ද ඒ අතරින් එක් ව්‍යාපෘතියකි.  එම නගර සභාව කසල කළමණාකරනය ව්‍යපෘතියක් දීර්ඝ කාලයක් පුරාවට සාර්ථකව සිදුකරමින් පවති.

කුලියාපිටිය නගර සභාවට අයත් මීගහකොටුව වසමේ කනදුල්ල ප්‍රදේශයේ අක්කර 06 ක පමණ භුමි ප්‍රමාණයක පරිසර සංරක්ෂණ සහ කාබනික පොහොර මධ්‍යස්ථානය නමින් මෙම කසල කළමණාකරන ව්‍යාපෘතිය 2009 වර්ෂයේදී ආරම්භකර ඇත.



 කුලියාපිටිය නගර බල ප්‍රදේශය ආවරණය වන පරිදි ප්‍රදේශයේ එකතුවන කසල යොදාගනිමින් මෙම ව්‍යෘපාතිය සිදුකරන අතර මේවනවිට දෛනික කසල එකතුකිරීම කාලසටහනකට අනුව සිදුකිරීම විශේෂත්වයකි. ආරම්භයේදී මෙන් නොව මේ වනවිට කසල එක් කිරීමේදී කසල වර්ගීකරණය කර ලබාගැනීමට කුලියාපිටිය නගර සභාව කටයුතු කරන අතර පොදු ස්ථානවල කසල බැහැර කිරීමට වර්ගීකරණය කරන ලද කසල බඳුන් තබා තිබීම ද විශෙෂත්වයකි. එමගින් නගරයේ තැනින් තැන කසල විසිකිරීම වළැක්වීමට එය සාර්ථක පිළියමක් වී තිබේ.

කුලියාපිටිය නගර සීමා බල ප්‍රදේශය තුළ ජනනය වන කසල ප්‍රමාණය වාර්ෂික වැඩිවීමක් පෙන්නුම්කරන අතර එසේ උවද මෙම කළමණාකරණ මධ්‍යස්ථානය මගින් සාර්ථකව කසල කළමණාකරනය කරගැනීමට හැකිවී ඇතැයි නගර සභාව සඳහන් කළේය. පසුගිය වර්ෂ වල ජනනය වී ඇති කසල ප්‍රමාණය  (ටෙන් වලින් ) මෙසේය

වර්ෂය

2019

2020

2021

දිරන කසල

4.9

5.505

5.505

ප්ලාස්ටික්

0.0522

0.0336

0.0336

කඩදාසි

0.4456

0.389

0.389

වීදුරු

0.0322

0.0310

0.0310

වෙනත්

1.57

0.963

0.963

 

කසල එකතුකිරීමේ දත්ත වලට අනුව කුලියාපිටිය නගර සභා බල ප්‍රදේශය තුළ දෛනිකව දිරන කසල මෙට්‍රික්ටොන් 5.5 ක් පමණ සහ නොදිරන කසල මෙට්‍රික් ටොන් 1.41 පමණ මේවනවිට එකතුවන බව නගර සභාව සඳහන් කරයි. වර්ෂ කිහිපයක කසල එකතුවී ඇති ප්‍රමාණය එකම අගයක් ගෙන ඇත්තේ මන්ද යනන පිළිබඳව විමසීමේදී නගර සභාව සඳහන් කළේ කසල එක්වන ප්‍රමාණය එලෙස වී ඇති බවයි.



 මෙලෙස එකතුවන කසල වලින් වෙන්කිරීමෙන් පසුව දිරන කසල මෙම කසල කළමණාකරන මධ්‍යස්ථානය යටතේ කොම්පොස් පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට යොමුකරන අතර එමගින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුකරයි. මෙලෙස නිපදවන පොහොර ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මගින් තත්ව පරීක්ෂාවට ලක්කරන අතර පසුව සාධාරණ මිල ගණන් යටතේ ජනතාවට අලෙවි කිරීම කරන බවද නගර සභාව සඳහන් කළේය. ඒ අනුව මේවනවිට කොම්පෝස්ට් පොහොර කිලෝග්රූම් එකක් රුපියල් 15 ට නගර සභාව විසින් අලෙවි කරයි.



මෙලෙස පොහොර අලෙවිකිරීම හරහා ද නගර සභාවට ආදායම් උත්පාදන මාර්ගයක් නිර්මාණය වී ඇති බව නගර සභාවේ ලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව පොහොර අලෙවි කිරීමෙන් 2018 වර්ෂයේ රුපියල් 443720.00 ක් , 2019 වර්ෂයේ 909130.00 ක මුදලක්ද ලබාගෙන ඇත.  2020 වර්ෂයේ 1874000.00 මුදලක්ද එමෙන්ම 2021 වර්ෂයේ 1845600.00 ක මුදලක් ද ලබාගැනීමට නගර සභාවට හැකියාව ලැබී ඇත.

මේ අතර නගර සභා බල ප්‍රදේශය තුළ ඉවත දමන ප්ලාස්ටික් බෝතල් දැමීම සඳහා පමණක් ස්ථාන 14 ක වෙනම බදුන් තබා ඇති අතර නොදිරන කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුකිරීමද නගර සභාව මගින් සිදුකරයි. ඒ අනුව ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය විකිණීම හරහා 2019 වර්ෂයේ රුපියල් 45300.00 ක ආදායමක් , 2020 වර්ෂයේ රුපියල් 50250.00 ක ආදායමක් මෙන්ම 2021 වර්ෂයේ  173035.00 ක ආදායමක් නගර සභාව ලබාගෙන තිබේ.

නොදිරන පොලිතින් පුත්තලම සිමෙන්ති කම්හලට යොමුකර විනාශ කිරීම සිදුකරන අතර 2020 වර්ෂයේදී පොලිතින් කිලෝග්රූම් 30240 ක් 2021 වර්ෂයේ පොලිතින් කිලෝග්රූම් 77160 ක් ඒ වෙත යොමුකර ඇත.

නගර තුළ කසල කළමණාකරනය මනාව සිදුකිරීම මෙන්ම කසල කළමණාකරන මධ්‍යස්ථානය නිසි පරිදි පත්වාගෙන යාම හේතුවෙන කුලියාපිටිය නගර සභාව සම්මානයට පාත්‍රවී ඇති අතර 2016 වසරේදී හොදම ඝන අපද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතියට හිමි සම්මානය , 2016  ජනාධිපති පරිසර සම්මාන රීදි සම්මානය ,  2017 වර්ෂයේ සහ 2018 වර්ෂයේ හොදම ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය සඳහා වන පළමු ස්ථානය හිමිකර ගැනීමටද කුලියාපිටිය නගර සභාව සමත්ව ඇත. 2019 වර්ෂයේ ජනාධිපති පරිසර සම්මාන රීදී සම්මානය ද කුලියාපිටින නගර සභාව හිමිකරගෙන තිබේ.



ඝනඅපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේ සිදුකරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නගර සභාවේ සභාපති ඒ.එම් ලක්ෂ්මන් අධිකාරී මහතා සහ නාගරික ලේකම් එච්.එම්.පී.කේ හේරත් මහතා ප්‍රමුඛ වැඩ අධිකාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක , ඝන අපද්‍රව්‍ය කළමණාකරන නිලධාරී ඇතුළු කණ්ඩායමේ දිනපතා අධික්ෂණයට ලක්වේ. එමෙන්ම මෙම කසල කළමණාකරන ව්‍යාපෘතිය පළාත්පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ , ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙරට කසල සම්බන්ධ වගකීම නීතිමගින්ම පළාත් පාලන ආයතන වෙත පවරා තිබුණද නිසිඅයුරින් කසල කළමණාකරණය වීම් සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. ඒබැවින් මෙවැනි සාර්ථක ව්‍යාපෘති ආදර්ශයට ගනිමින්  කසල බැහැර කිරීමට නිවැරදි ජාතික ප්‍රතිපත්ති හදුන්වාදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම කසල බැහැර කිරීම නිසිපරදි  සිදුකිරීමට නිතිරීති හදුන්වාදීමත් යුගයේ අවශ්‍යතාවයක් වී තිබේ . මහජන මුදල් නිසිලෙස භාවිත කරමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට මෙන්ම අනාගතය සඳහා පරිසරය රැකගැනීමට කසල කදු නැතිකිරීමට මෙවැනි ව්‍යෘපෘති තවතවත් සාර්ථකව දියත් කිරීමේ කාලය එළැඹ ඇත.

-        - චාමර සම්පත්


Monday, August 29, 2022

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය: ''මම මැරෙන්න කලින් මගේ පුතාලා එන්න ඕනා''

 




අතුරුදහන් වූ පුතුන් දෙදෙනාගේ මුහුණු තමන් මිය යෑමට පෙර දැකීම එකම සිහිනය බව වවුනියාවේ ජීවත්වෙන අන්නලක්ෂ්මි  පැවසුවාය.

අතුරුදහන්වූවන් සොයා දෙන්නැයි ඉල්ලා දින 2000කට වැඩි කාලයක සිට වවුනියාවේ පැවැත්වෙන අඛණ්ඩ උපවාසයට ද ඇය ආරම්භයේ පටන් එක්ව සිටින්නීය.

ශ්‍රී ලංකාවේ බලයට පත්වෙන පුද්ගලයන් විසින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ව දිගින් දිගටම රැවටීමට ලක්කර ඇති නිසා ජාත්‍යන්තර මැදිහත්වීමකින් පිළිසරණක් අපේක්ෂා කරන බව ඇය වැඩිදුරත් පැවසුවාය.

අතුරුදහන්වූවන්ගේ දෙමාපිය සංගමයේ ලේකම් රාජ්කුමාර් පවසන්නේ උපවාස අතරතුර උතුරු නැගෙනහිර මවුවරු 120ක් පමණ මියගිය බවයි.

මේ අතර බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය, අගෝස්තු 30 වන දින එනම් අදට යෙදී තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වැඩිම රටවල් අතරින් 2වැනි ස්ථානයේ පසුවෙයි.

1992 දෙසැම්බර් 18 වැනි දින 47/133 දරන යෝජනාවෙන් එක්සත් ජාතින් විසින් සියලුම රාජ්‍යයන් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් ලෙස එහි මහා සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලහත්කාර අතුරුදහන්වීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ යෝජනාවලිය ප්‍රකාශනයට පත් කොට තිබේ.

ඒ අනුව එය බරපතල මානව හිමිකම් උල්ලංඝණයක් ලෙස හැඳින්වේ.


- BBC

චිචීට කෙළවෙයි ද?


 

රැකියාවක් හෝ් වෙනත් ආදායම් මාර්ගයක් නොපෙනෙන රෝහිත රාජපක්ෂට අයත් බව කියන නිවාඩු නිකේතනය පිළිබඳ ඇත්ත   සොයා බලන ලෙස ඉල්ලමින්  සර්ව-පාර්ශ්වික අරගලකරුවෝ ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂට අයත් බව පැවසෙන කොළොන්න ප්‍රදේශයේ හෝටලයකට ගිනි තබා දේපළ සොරකම් කිරීමේ චෝදනාව මත පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

එම වාර්තාව ගැන සඳහන් කරමින් සර්ව-පාර්ශවික අරගලකරුවෝ ප්‍රශ්න කර තිබුණේ නිසි ආදායම් මාර්ගයක් නොමැති  රෝහිත රාජපක්ෂට හෝටලයක් හිමිවන්නේ කෙසේද කියාය.

අදාළ ප්‍රදේශයේ තමන්ට හවුල් දේපළක් ඇති බවත්, සියලු නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසු හෝටලය ඉදිකර ඇති බවත් රෝහිත රාජපක්ෂ   News 1st වෙත තහවුරු කර ඇත.

යම් වරදක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ හැකි බව ද රෝහිත රාජපක්ෂ කියා සිටියේය. එවැනි චෝදනා එල්ල කරන පුද්ගලයන් ඔවුන්ට එරෙහිව තම පාර්ශවය විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සූදානම් විය යුතු බවද ඔහු සඳහන් කළේය.


Sunday, August 28, 2022

හිත ඇත්නම් පත කුඩා ද?

 

දෑත් සහ එක් පාදයක් අහිමිව මෙලොව එළිය ලැබ හිමි එකම වම් පාදය   හුරු කරමින් අකුරු ගැලපූ  ඒ විශිෂ්ට දියණිය,  ඇහැලියගොඩ ජාතික පාසලේ රෂ්මි නිමේෂා ගුණවර්ධන    උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් A- 3 ක් ලබා ගෙන ඇත්තීය.

අඩුපාඩු හා නැති බැරිකම ගැනම කියමින් වැළලෙන්නට හදන දුගී පසුගාමී මානසිකත්වයක් සහිත අප වැනි රටක අභියෝග ජයගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ පාඩමක් නොව පාඨාමාලාවක් සේ හැදැරිය යුතු මේ තරුණ දියණිය ගැන මාධ්‍ය වරින්වර කථා කළේය. ඇය ලබා ගත් සෑම ජයග්‍රහණයක්ම වාර්තා කළේය.

රෂ්මි උපදින්නේ වර්ෂ    2002 ක්වූ දෙසැම්බර් 23 වන දිනය. ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ  දෙල්ඔළුව කනිටු විදුහලෙනි.     වර්ෂ 2012 දී ඇය  5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූවාය. අනතුරුව ඇහැළියගොඩ ජාතික පාසලට තේරුණාය. රෂ්මි  අපොස සාමාන්‍යෙපළ  පෙළ විභාගයට පෙනී සිටින්නේ වර්ෂ 2018 දී ය.   සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් සහිතව සමත් වූවාය.

රෂ්මි උසස්පෙළ විභාගයට ලියන 2021 අවුරුද්ද ලෝක ඉතිහාසයේම එන දුර්ග සමයකි.  ඒ දුර්ග වකවානුව ආත්ම ශක්තියෙන් ජයගත් ඇය A සාමාර්ථ තුනක් සහිතව උසස්පෙළ විභාගය සමත්වී සිටින්නීය.

ඇය විෂය බාහිර ක්‍රියාකාරකම්හි විශිෂ්ටතා පෙන්වූ දියණියකි.   2017 සැප්තැම්බරයේ දී වියට්නාමයේ පැවති   Global IT challenge 2017 Super challenger ජාත්‍යාන්තර තරගයෙන්  රන් පදක්කම   රැගෙන එන්නට සමත් වූවාය.   සරසි සහ රෂ්මිධාරා ඒක පුද්ගල ගී ප්‍රසංග පවත්වමින් ජනාදරයට පත් වූවාය.

ජීවිතය ජයගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව රෂ්මි ජීවිතාදර්ශයක් සපයා ඇත්තේ එලෙසය.


Thursday, August 25, 2022

රන්ජන් නිදහස්

 අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගතව සිටින රන්ජන් රාමනායකට අද (26) දිනයේ ජනපති සමාව හිමිවනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය

විජේදාස රාජපක්ෂ පවසයි.

ජනාධිපති සමාව ලබාදීමට අදාළ නිර්දේශ මේ වනවිට තමන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා ඊට අද දිනයේ අනුමැතිය ලබාදෙනු ඇතිබවත් ඔහු සඳහන් කළේය.

සිරගතව සිටින රන්ජන් රාමනායක ඊයේ (25) දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් සමාව ද අයැද සිටියේ ය.

ඔහු අදාළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ, තමන් සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවත්, එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවත් ය.

2017 වසරේ අගෝස්තු 21 වැනිදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය වසරේ ජනවාරී 12 වැනිදා රන්ජන් රාමනායකට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි.

301427898 10159800901444818 4322585068598177942 n

''අධිකරණය ඉදිරියේ වැඳ වැටී සමාව ගෙන ලබන නිදහස කුමක්ද?'' -Mahinda Pathirana


රන්ජන් රාමනායක අධිකරණයෙන් සමාව අයැද පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විවිධාකාරයේ අදහස් දක්වා ඇති අතර පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.


 ''රංජන් ලබා ගැනීමට නියමිත ආකාරයේ සමාවක් මම නම් කවුදාවත් ලබා ගන්නේ නැහැ. අධිකරණය ඉදිරියේ වැඳ වැටී සමාව ගෙන ලබන නිදහස කුමක්ද? මා සිතන්නේ ඔහුට එම ක්‍රමය නඩුව අතරතුර දී පවා යෝජනා වෙන්න ඇති. ඒ කෙසේ වෙතත්, නිදහස ලබා ගැනීම පිළිබඳ ඔහුගේ තීරණය අතිශය පුද්ගලික එකක්. දඬුවම් විඳින්නේ ඔහුයි. ඒ අනුව, ඉන් බැහැර සිට අප කරන සියලු ප්‍රකාශ ආත්මාර්ථකාමි විය හැකියි.''

(උපුටා ගැනීම අවසන්)


''විඳින දුක දන්නෙ ඒක විඳින කෙනා විතරයි'' - Uvindu Kurukulasuriya


'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''මට ලංකාවෙ ඉන්නකොට කීත්ට හරි පොද්දලට හරි වගේ වද දීල අතපය කැඩුව නම් මම කවදාවත් ලංකාව දාල එන්නෙ නැහැ. [මගේ නම් කට කපනව කියල තර්ජනය කරේ "මූණ ලස්සනයි" කියල.]


ඒ වගේම මම රන්ජන් කරපු වරදට හිරේ ගියා නම්, ඉතුරු මාස කීපයත් හිරේම ඉඳල තමා එන්නෙ. ඒත් ඒක වදයට භාජනය වෙච්ච එක එක අයගෙ තීරණයක්. අපි කාටවත් කියන්න බැහැ අනිත් අය විඳින මානසික වේදනාවන්.



සමහර විට පෝද්දල ජයන්තට ලංකාවෙදි ලබාගන්න බැරි මානසික උපදේශණ සේවාවන් හා සෞඛ්‍ය සේවාවන් ඇමරිකාවෙදි ලබාදෙන්න ඇති. කීත්ටත් ඔස්ට්‍රෙලියාවෙදි එහෙම ලබාදෙන්න ඇති.

අපි කවුරුවත් පිටරටවල්වල ජීවත් වෙන්න හීනෙන්වත් හිතපු අය නෙමෙයි. රන්ජන්ට ජනාධිපති සමාව නොලැබුණොත් තව මාස කීයද ඉන්න තියෙන්නෙ කියල අපිට හිතුනත්, ඒ නරකාදියෙ නොඉඳ දවසක් හරි කලින් එන එක හිතෙනව ඇති. ඒක අපි කාටවත් තීරණය කරන්න බැහැ. විඳින දුක දන්නෙ ඒක විඳින කෙනා විතරයි. ඒ නිසා ජෝක් කරන එක හොඳ නැහැ නේද?';

(උපුටා ගැනීම අවසන්)


''ජිවිත කාලයක් පරිප්පු කන gon පතිවත රකින්න යන්න ඕන නෑ''-Chinthana Dharmadasa


මේ අතර 'ලංකා සෙක්ස් පක්ෂයේ' නායක චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබේ.

''රංජන් උසාවියෙන් සමාව අරන් එලියට එන එකෙන් රංජන්ගෙ මොකක්ද එකක් නැති වෙනවා කියල පෝස්ට් කීපයක් දැක්කා.

මං නං කියන්නෙ තමන් කියපු ඔක්කොම බොරු කියලා හරි එලියට එන එකයි මොලේ තියෙන එකෙක් කරන්න ඕන.


සොක්‍රටීස් වගේ කියපු දේ වෙනුවෙන් වහබීලා මැරෙන මෝඩකම මේ සියවසේ මිනිහෙක් කරන්න ඕන නෑ. කියපු දේ කිව්වා, ඇහුන මිනිස්සුන්ට ඇහුනා. ඊට පස්සෙ ආ, ඒ මං බොරුවට කිව්වෙ කියල නිදහස් වෙලා එන එක තමයි කරන්න ඕන.


ඔය තමන් කියපු දේ වෙනුවෙන් ජිවිත කාලයක් පරිප්පු කන gon පතිවත රකින්න යන්න ඕන නෑ  කිසිම කෙනෙක්. ඒ කාඩ්බෝඩ් වීරකම අතෑරලා සමාව ඉල්ලලා එලියට එන එකට මං  කියන්නෙ රංජන් නියමයි කියල.''

ගෝටා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුට?


 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක් ලබා දී ඔහු ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරයෙක් ලෙස පත් කළ යුතු බවට යෝජනා වී ඇත. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති රැස්වීමක දී මෙම යෝජනාව ඉදිරිපත් වූ බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම යෝජනාවට පක්ෂව කණ්ඩායමක් හා විරුද්ධව කණ්ඩායමක් ද පොදු ජන පෙරමුණ තුළ නිර්මාණය වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

මහ ජන විරෝධය හේතුවෙන් පසුගිය ජූලිමස 13 වැනිදා රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ලබන සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. එසේ පැමිණීමෙන් පසු ඔහු පක්ෂයේ ඉහළ තනතුරකට පත්කිරීමට සැලසුම් කර ඇති බව  පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

මේ සම්බන්ධව පොදුජන පෙරමුණේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු  කියා සිටියේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වී තිබුණ ද ඒ සම්බන්ධව මෙතෙක් නිල සාකච්ඡාවක් හෝ අවසන් තීන්දුවක් ගෙන නොමැති බවය.

Tuesday, August 23, 2022

ඇබෑර්තු ඇත

 ඇබෑර්තු ඇත!


මංගල සමරවීර නම් දැවැන්ත දේශපාලන සත්ත්වයා නික්ම ගොස් වසරක් ගතවීම, විශ්වාස කිරීමටත් නොහැකි කාරණයක්. ගතවූ අවුරුද්ද පුරාම සිදුවුණු නොයෙක් සිද්ධි මංගලගේ නික්ම යාමෙන් ඇති වුණු හිඩැස තවත් තීව්‍ර කළා.ඇතැම් විට මෙරට දේශපාලන ඉතිහාසයේ ගෙවුණු ක්‍රියාකාරීම මාස කිහිපයේ මංගල අප අතරේ නොවීමත්, මේ අවුරුද්ද පුරාම මංගලගේ මතකය නොමරා තියන්න උදව් කරන්න ඇති.

සමහර තැනක මංගල හිටියනම් අපි හැමෝටම මෙච්චර මහන්සිත් නොවෙන්න තිබුණා. කොහොමහරි ඒ අවුරුද්ද පුරාම මංගලගේ රූපය පෙනුනේ නැති වුණත් සිදුවුණු හැමදෙයක් නිසාම මංගලගේ මතය තවත් ඔපවත් වෙලා පෙනුණා.


පහුගිය කාලේ පුරාම මැරුණු මංගල නිසා ජීවත් වෙලා හිටපු මංගලට මිනිස්සු ආදරේ කරන්න ගත්තා. ඒ මංගලව තේරුම්ගන්න පටන්ගත්තා.කොටින්ම කිව්වොත් ඔහුගේ දේශපාලන පිළිමළුන් පවා මංගලගේ දර්ශනය පිළිගත්තා.හැමෝම ආකර්ෂණය වුණු මංගලට උරුමව තිබූ රැඩිකල් චින්තනයත්, ඒ හා කැටුව පැමිණි රාජ්‍යතාන්ත්‍රිකභාවයත්,නිර්මාණශීලිත්වයත් "මංගල" යන්න සන්නාමයක් බවට පත්කළා.


මංගලගේ ඇඩ්වෙන්චරස් දේශපාලන ජීවිතය ඇතුළේ මංගලට තිබ්බ ලොකුම හයිය, ඔහුට තිබුන නොනැමෙන කොඳු නාරටිය. යුද්ධය පිටිපස්සේ තියෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක් කියලා කියන්න ඔහුට පුළුවන් වුණා.ත්‍රස්තවාදී සිංහල බෞද්ධ හෙජමොනිය එක්ක හැප්පෙන්න ඔහුට පුළුවන් වුණා. කාටත් කලින් රාජපක්ෂලාගේ ආණ්ඩුවෙන් එළියට බහින්න කොන්දක් තිබුණා. සමලිංගිකත්වය තහනම් වුණු රටක තමන්ගේ අනන්‍යතාවය ආඩම්බරයක් කරගත්තා.කොටින්ම මංගල අපිව හිරකරලා තිබ්බ ගෝත්‍රික රාමුව කුඩුපට්ටම් කරලා පෙන්නුවා.මේ සේරම එක්ක දේශපාලනයට මංගල කියන මනුස්සයා බිලිනොදෙන්න තරම් හැකියාවක්‌, ඉවසීමක් ඔහුට තිබුණා.


මංගල ලංකාවේ ශේෂ වෙලා හිටපු අවසාන නව ලිබරල්වාදී දේශපාලනඥයා. ඒ අදහස් මංගල කතාවෙන් වගේම ක්‍රියාවෙනුත් පෙන්නුවා. ඡන්ද ගොඩ වෙනුවට මංගල තමන්ට හරියැයි හිතෙන දේ වෙනුවෙන් හිටගත්තා. ඒ මංගලම අනාගත පරම්පරාවට මාවතක්‌ පෙන්නුවා. ඒ හෘදසාක්ෂියේ මාවත. මංගල ගියේ මංගලලා දහස් ගාණකට බලාපොරොත්තුවක් දීලා.ඒ නිසා මංගලගේ හිස්තැනට ඇබෑර්තු තියනවා.මේ රටට මංගලල ඕනෙම වෙලාව.එකෙක් දෙන්නෙක් නෙවෙයි. ඕනෑ තරම්....


එන්න අපි මංගල නවත්තපු තැනින් පටන් ගමු!


සහන් තෙන්නකෝන්


Monday, August 22, 2022

රංගන ලක්මාල් අත් අඩංගුවට


 

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය අත්අඩංගුවට ගෙන ඇත. අද (22) පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් රංගන අත්අඩංගුවට ගත් බව සමාජවාදී ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව රංගන ලක්මාල් දේවප්‍රිය කොළඹ කොටුව පොලිසිය භාරයට ගත් බවයි එම සංගමය වැඩිදුරටත් කියා  සිටියේය.

මේ අතර, ජූලි මාසයේ පැවති මහජන විරෝධතා අතරතුර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා ලද දෙවන පුද්ගලයා වන චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ කුරුඳුවත්ත පොලිසියට භාර වීමෙන් පසු අද   අත්අඩංගුවට ගෙන තිබේ.

 

චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ ගාලු මුවදොර විරෝධතාවයේ යෙදී සිටි දනිෂ් අලි සමඟින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවන්නේ    ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුරය.

Sunday, August 21, 2022

භූමි තෙල් මිල ඉහළට

 

අද මධ්‍යම රාත්‍රියේ  සිට ලංකා භූමිතෙල් ලීටරය මිල රුපියල් දෙසීය පනස් තුනකින්( 253) ඉහළ දමා ඇත.

භූමිතෙල් ලීටරයක් සඳහා මෙතෙක් පැවති මිල රුපියල්   රුපියල් අසූ හතකි.

නව මිල වැඩිවිමත් සමග භූමිතෙල් ලීටරය මිල්  රුපියල් තුන්සිය හතලිහකි (340)  කි.


Thursday, August 18, 2022

ජනපති "ජැකා" බලන්න මහරෝහලට යයි.




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන හදිසියේම කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. ඒ හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගධරයෙකු, සිනමාවේදියෙකු සේම, ඉතිහාසඥයෙකුද වන ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහායි. 


රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වෙත ජැක්සන් ඇන්තනී වෙත ඉක්මන් සුවය  ප්‍රාර්ථනා කළ අතරම ඇන්තනී මහතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස එහිදී ඉල්ලා සිටියා. 


වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදයද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනී මහතාට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලෙසද, ඊට සිය උපරීම සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ඇන්තනී මහතාගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රකාශ කලා. 


ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වූ අතර දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගෙ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ප්‍රකාශ කර තිබේ. 


රෝහලෙන් පිටතට පැමිණීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා සිටියා.

Tuesday, August 16, 2022

දයාසිරි ශ්‍රීලනිප නායකත්වයට


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයා දයාසිරි ද? 

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඉතාමත් බරපතල අන්දමේ මතභේදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවක් වාර්ථා වේ.  මෙයට හේතු වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන සහ දයාසිරි ජයසේකර අතර පක්ෂ නායකත්වය සඳහා පවතින බල පොරයයි. 


මේ වන විට පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ දයාසිරි ජයසේකර පක්ෂ මෆ්හ්හ්‍යම කාරක සභාව තුල තම බලය ස්ථාපනය කරගෙන ඇති බවයි. සිරිසේනට වඩා ඔහුට මධ්‍යම කාරක සභිකයන් පිරිසක් සිටින බවත්, ඒ අනුව ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමක දී දයාසිරි ජයසේකර පක්ෂ සභාපතිත්වයට පත්කිරීමට සූදානමක් පවතින බවත් වාර්ථා වේ. 

බොහෝ විට එළඹෙන සැප්තැම්බර 03 වන දිනට පෙර මෙම වෙනස්කම සිදුවනු ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.

Sunday, August 14, 2022

සංග්‍රාම කුමරිය

                                               සහන් තෙන්නකෝන් විසිනි.



ලෝකයේ බොහෝ රටවල්වලට තමන්ටම ආවේණික වූ විදේශ ප්‍රතිපත්තියක් ඇත. ඕනෑම රටක එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේදී එරට විදේශ ඇමතිවරයාට සුවිශේෂී ස්ථානයක්‌ හිමිවේ. ලෝක බලවතා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ නම් එරට රාජ්‍ය ලේකම්වරයා එම වගකීම් දරයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධූරය ලෝකයට විශාල බලපෑමක් කළ හැකි තනතුරක්‌ ලෙස සැලකිය හැකිය.


සාමාන්‍යයෙන් වර්ණභේදය වැනි අදහස් ඇමෙරිකානු සමාජය තුළි දැකිය නොහැකි යැයි පැවසුවද සැලකිය යුතු තරමක් එම අදහස් සමාජයට බලපෑමක් කරමින් තිබූ අවදියක, එක් තරුණ කළු ජාතික කාන්තාවක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කිරීමම පුදුමයට කරුණකි. 

හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්ගේ පාලන අවදියේ එම තරුණිය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සෝවියට් හා නැගෙනහිර ආසියාවේ දේශපාලන උපදේශක ලෙස,සෝවියට් දේශයේ බිඳවැටීමටත් ජර්මනියේ එක්වීමටත් අමෙරිකාවේ බලපෑම පසුපස සිටි ශක්තිය වූවා ය .


තම පියාට ලබාදුන් සහයෝගය තමාටද ඇයගෙන් ලැබේයැයි යන විශ්වාසය මත ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් ඇයව ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පත් කළ අතර එම ධූරය ඇමෙරිකා එක්සත් ජනපදයේ ධුරාවලියේ අභ්‍යන්තර වශයෙන් වැදගත් තීරණ ගන්නා බලවත් තනතුරක්‌ ලෙස සැලකේ. ජාතික ආරක්ෂාව පිළිබඳව ගන්නා සියලු තීරණවලදී ඇමෙරිකා ජනාධිපතිවරයාට උපදේශනය සපයන්නේ ඔහු /ඇය විසිනි.එබැවින් ලෝකයේ බලවත්ම පුද්ගලයාට පවා උපදෙස් දියහැකි තනතුරක බලය හා වරප්‍රසාද අවබෝධ කරගැනීම පුළුවනි .


මේ අතරවාරයේ ලෝකයත්, අමෙරිකාවත් සසලකළ සිදුවීමක් වූ 2001 සැප්තැම්බර් 11 අල් -කයිඩා සංවිධානය විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ගුවන් යානා ප්‍රහාරය ලෝකයේම ඉරණම කරපිට හරවන්නට විය. එවකට ජාතික ආරක්ෂාව භාර ප්‍රධාන පුද්ගලයා වූයෙන් ඇයටද මේ සිදුවීමේ කළු පැල්ලම් තවරාගැනීමට සිදුවිය. කෙසේ හෝ ඇය කිසිඳු විටෙක තම රටටත් ලෝකයටත් එරෙහිවූ ත්‍රස්තවාදයටත්, ඒවාට උදව් දෙන රාජ්‍යන්ටත්, ඒවායෙහි දුර්දාන්ත පාලකයන්ටත් සමාව ලබාදීමට කටයුතු නොකළාය. ඇගේ පිඹුරුපත් මත ඇමෙරිකානු හමුදා ඉරාකයත්, ඇෆ්ගනිස්ථානයත් ආක්‍රමණය කළහ. එහි ප්‍රතිපල ලෙස බුෂ්ගේත් ඇගේත් නාමයන් යුධ අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීය.


ඇගේ වෘත්තීය දිවියේ කූඨප්‍රාප්තිය සිදුවන්නේ ඇය 2005 දී අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධූරයට පත්වීමෙනි.සියලු විරෝධතා පසෙකින් තබා ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා විසින් ඇයව එම ධූරයට පත්කරන්නේ ඇගේ හැකියාව පිළිබඳව ඔහු තැබූ අචල විශ්වාසයේ ප්‍රතිපලයක් ලෙසටය. ඇගේ සිව් අවුරුදු කාලය තුළ ඒකාධිපති, දුර්දාන්ත පාලකයන් විසින් ඩැහැගෙන සිටි බොහෝ රාජ්‍යයන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ හිරු රැස් වැටෙන්නට පටන් ගත්තේය. අන් කවර කාලයටත් වඩා අමෙරිකාවනු හමුදාවන් ශක්තිමත් විය.තවද ලෝක මාධ්‍ය විසින් ඇයව " Warrior Princess " ලෙස හඳුන්වා දුන්හ.ඇය එම වසරේදීම ලෝකයේ බලවත්ම කාන්තාව ලෙස සුප්‍රකට Forbes සඟරාව විසින් නම් කරනු ලැබීය.


ඇය තරම් විදේශ රාජ්‍යතාන්ත්‍රික සංචාරයන්හි නිරත වූ රාජ්‍ය ලේකම්වරයෙක් නැති තරම්ය. ඒ සෑම අවස්ථාවකම ඇමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමටත්, භූ දේශපාලනික ලෝකය තුළ අමෙරිකානු සන්නාමය ඔසවා තබන්නටත් හැකි සියල්ලම ඈ ඉටුකළාය.2009 වසරේ ධූරයෙන් නික්ම යන ඈ තම ආණ්ඩුවට පසුව පැමිණි ඔබාමා පරිපාලනය විවේචනය කරන්නවත් තමන් පිළිබඳව පාරම් බෑමටවත් ගියේ නැත. ඇය රාජ්‍ය ලේකම් ධූරයෙන් විශ්‍රාම ගොස්, තමාගේ අත්දැකීම් ඉදිරි පරම්පරාව සමඟින් බෙදා ගැනීමට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් ලෙස සේවයට එක් වූයේ අමෙරිකානු දේශපාලනයේ මහත්මා ගතිය පෙන්නුම් කරමිනි.


සුද්දන්ගේ දේශයක ඉපිද, හැදී වැඩී ලෝකයේ බලවත්ම කාන්තාව තෙක් ඇය පැමිණි ගමනේ ඇයට ආශීර්වාදයක්‌ වූයේ නම් ඒ ඇගේ අධ්‍යාපනයත්, අධිෂ්ඨානයත්ය. ලෝකයට යුධ අපරාධකාරියෙක් වී උපන් රටට වීරවරියක් වූ ඇයගේ ජීවිතය සැබවින්ම ආකර්ෂණීය, ආදර්ශවත් එකකි. ලෝකයේ සර්ව සම්පුර්ණ පිරිසිදු චරිත සොයන්නට නොමැති වගත් අපි බොහොමයක් අළු චරිත ඇත්තන් වගත් මතක තබා ගත යුතුය. අවසානය ඇයගේ වචනවලින් ම ඔබ‍ට යමක් කියමි.


" අමෙරිකාවෙදී වැදගත් වෙන්නේ ඔබ එන්නේ කොහෙන්ද කියන එක නෙමෙයි. ඔබ අවසානයේ යන්නේ කොතනටද කියන එක. "


ඇයගේ එම වචන අමෙරිකාවට පමණක් නොව ලෝකයේ ඕනෑම තැනකට වලංගු බවත් කිවයුතුය.


ඇය කොන්ඩලීසා රයිස්.


#sahantwrites 

15.08.2021

Thursday, August 4, 2022

හැඳි නොගා හොදි හදමු...!




සිවිල් අධ්‍යාපනයත් මිලිටරි අධ්‍යාපනයත් මිශ්‍ර කිරීම උත්සාහ කිරීම තුළින් වත්මන් රජය බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නොදනිමු. නමුත් දන්නා කාරණයක් නම් අන් කාටත් වඩා මිලිටරි උන්මාදයක් පසුපස මේ ආණ්ඩුව ගමන් කරන බවයි.ශ්‍රී ලංකාවට ආරක්ෂක විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බවත්, අධ්‍යාපනය ලැබීම මානව අයිතියක් වූ ලෝකයක හමුදා සොල්දාදුවෙකුට වුවද ගුණාත්මක, ඔවුන්ට විශේෂ වූ ක්ෂේත්‍ර පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සලසා දිය යුතු බවත් අපි දනිමු. නමුත් එයට මිලිටරි නොවන වෙනත් ඕනෑම අයෙකු සම්බන්ධ කරගත හැකිය යන්නෙන් අදහස් වන්නේ සිවිල් සමාජයේ පුද්ගලයන්ටද එවැනි මිලිටරි නීතීන් මත ක්‍රියාකෙරෙන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබිය හැකි බවයි.


පාසල්වල නීතී රීතින් තිබේ. ගුරුවරු විදුහල්පතිවරු දරුවන්ට දඬුවම් දෙයි. එය සාමාන්‍ය විය හැකිය. නමුත් කිසිදු රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක එලෙස ශිෂ්‍යන් මත අනවශ්‍ය අයුරින් නිදහස සීමාකරන නීතී පනවා නැත. ඔවුන්ට අවශ්‍ය පරිදි කොණ්ඩය, ඇඳුම ආදිය තබාගැනීමේ හැකියාව පවතී. අවශ්‍ය වෙලාවක ගමනක් බිමනක් යාමට නිදහස ඇත.රැවුල කොණ්ඩය වැවීමට තරම්වත් නිදහසක්‌ නොමැති මිලිටරි ගුහාවක ( නමින් විශ්ව විද්‍යාලයක් වූ ) සිරවී, අදහස් සිරගත කොට නිර්මාණශීලීත්වය සහ මානුෂියත්වය මරාදමා මොටකළ විද්‍යාර්ථයන් බිහිවීමත් පසුකාලීනව ඔවුන් සිවිල් සමාජයට පැමිණ විස්කම් පාන ආකාරය කෙසේ වේදැයි සිතීමත් අපහසුය.


කොහොමත් ලංකාවේ පවතින්නේ ගොපලු-ගව අධ්‍යාපන ක්‍රමයක් බැවින් යම් දෙයක් නිවැරදිව සිදුකරන තෙක් කෙවිටෙන් පහරදෙනු ලැබේ. "හැඳි නොගා හදන හොද්දත්, නොගහ හදන දරුවාත් එකයි "යැයි යම් අවලම් දාර්ශනිකයෙක් පවසා ඇති අතර  තවත් යමෙක් "අපි අද මේ වගේ තැන්වල ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහපු නිසා"යැයි පවසයි. ලංකාවේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මෙවැනි ශ්‍රේෂ්ට වදන්වලින් පණලබා ඇත. ලංකාවේ දියුණුවේ රහස එම අධ්‍යාපනය බව අපි විශ්වාස කරමු.


කාලයක් ලංකාවේ පාසල්වල විදුහල්පතිවරුන්ට මිලිටරි පට්ටම් ප්‍රදානය කෙරිණි. දරුවන් ගුරුවරුන්ට බිය වූයේ ගෞරවය නිසා නොව කර්නල් පට්ටමට වූ බිය නිසාය. එවැනි ගෝත්‍රික අධ්‍යාපන වැඩපිළිවෙලවල්ද මෙරට ක්‍රියාත්මක විය. ඒවායෙන් පණ ලැබූ ඇතැම් අය ශිෂ්‍යයන්ගේ කන පැලූ අවස්ථාද ඕනෑ තරම් ඇත.


කාලයක් උතුරේ අධ්‍යාපනය මිලිටරි නියාමනයකට ලක්විය යුතුයි පැවසු ලේකම්වරයෙක් දැන් එය මුළු රටටම කරන්නට යන බව පෙනේ. ඔවුන් එය සාධාරණීකරණය කිරීමට මිලිටරිවාදය තුළ නොමැති විනයක් මවා පෑමට උත්සාහ කරයි . මැතකදී සිවිල් ආරක්ෂක බලකායේ පුද්ගලයෙක් යකැදුරෙක් සේ පෙනී සිට මවත් දියණියත් දූෂණය කළ බව මාධ්‍යවල පලවිය.හමුදාවේ එම විනයගරුක පුහුණුව ලැබූ විනයධර සොල්දාදුවන් අපරාදවලට හසුවූ අවස්ථා සෑම දිනකම පාහේ අසන්නට ලැබෙයි. එවැනි තත්ත්වයක මෙවැනි පුහු මතවාද දැන් දිරාපත් වී තිබෙන බව කිව යුතුය.


දඬුවමෙන් හෝ හමුදා බලයෙන් අපරාද නැවැත්වීමටත්, විනයගරුක සමාජයක් බිහිකිරීමටත් දත කනාවට වඩා දැන්වත් අනාගතයට ගැලපෙන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්‌ තුළින් වඩාත් මානුෂීය, නීතිගරුක පුද්ගලයෙකු බිහිකළ හැකි සුන්දර අධ්‍යාපන පරිසරයක්‌ බිහිකිරීමට අවශ්‍ය සංකල්ප සිතා ඒවා ක්‍රියාත්මක කිරීම වටිනා බව සිතේ. මිලිටරියට එරෙහිව නොව මිලිටරීකරණයට එරෙහිව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නිර්මාණය විය යුතුය.


 එබැවින් දඬුවමෙන් නොව ආකල්ප තුළින් වඩාත් මානුෂිය සමාජයක් බිහිකිරීමට, ලංකාව ගොඩගැනීමට නම් හමුදා පාලනයක් අවශ්‍යයැයි සිතන -කාන්තාර ඔටුවන් -සියලු දෙනාට ආරාධනා කරමු.නමුත් ප්‍රශ්නය නම් කෙවිටට හුරුවූ ඔවුන් මෙය කෙසේ පිළිගනීවිදැයි යන්නයි.


#sahantwrites 

05.08.2021

Monday, August 1, 2022

පුරවැසියන් දායකවන පාලනයකට පළාත් පාලන ආයතන අකමැතිද?

 

 


පාර්ලි්මේන්තු, පළාත් සභා, පළාත් පාලන අයතන ආදී ලෙස පවතින පරිපාලන ව්‍යුහයන් අතරින් ජනතාවට වඩාත් සමීපතම පරිපාලන ව්‍යුහය වන්නේ පළාත් පාලන ආයතනයි. වර්තමාන ආණ්ඩුකරණය තුළ පළාත් පාලන ආයතන හෙවත් ප්‍රාදේශිය ආණ්ඩුකරණය සඳහා ජනතාවගේ සහයෝගයද ලබාගැනීම හෙවත් ප්‍රජා සහභාගීත්ව සංකල්ප ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ දුෂණ වංචා අවම කරගත් ජනතාවට සමීප පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීම උදෙසායි.  ප්‍රජා සහභාගීත්ව සංකල්පය මේවනවිට ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන අතර ලංකාවේ පළාත් පාලන ආයතන තුළද එය ක්‍රියාත්මක කළ යුතු බවට පළාත් පාලන පනත මගින්ම දක්වා ඇත. එසේ උවද එය එසේ ක්‍රියාත්මක වනවාදැයි යන්න ගැටලු සහගතය. පළාත් පාලන ආයතනවල ප්‍රජා සහභාගීත්ව සංකල්පය ක්‍රියාත්මක වන ආකාරය තොරතුරු දැනගැනීමේ පනත ආශයෙන් සොයාබැලීමේදී ඒබව අනාවරණය විය.

 

පළාත් පාලන ආයතන වර්ග

 ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 341 ක් ඇති අතර ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතන වර්ග 03 ට බෙදා දක්වයි. ඒ අනුව මහ නගර සභා 24 ක් , නගර සභා 41 ක් සහ ප්‍රාදේශිය සභා 276 ක් ශ්‍රීලංකාව තුළ ස්ථාපිත කර තිබේ. මෙම එක් එක් පළාත් පාලන ආයතන තුළ  ප්‍රජා සහභාගීත්ව තහවුරු කරගැනීම පිණිස විවිධ කමිටු පිහිටවිය යුතු බව 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ දක්වා ඇත.  ඒ අනුව මුදල් හා ප්‍රතිප්ති සම්පාදන කමිටුව , නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව , කාර්මික සේවා කමිටුව , පරිසරය හා පහසු කමිටුව යන  කමිටු නිත්‍ය වශයෙන්ම පත්කළ යුතුව ඇති අතර අවශ්‍යතාවය අනුව තවත් කමිටු පත්කළ හැකිය. ලංකාවේ පළාත් පාලන ආයතන 341 තුළ මෙම කමිටු පිහිටුවා ඇති ආකාරය සහ ඒවායේ ක්‍රියාකාරීත්ව පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කරගනිමින් සොයාබැලු අතර කුලියාපිටිය නගර සභාවේ මෙම කමිටු ක්‍රියාත්මක වන ආකාරය මේ තුළින් සාකච්ඡා කෙරේ.


 ප්‍රජා සහභාගීත්ව සංකල්පය

 ප්‍රජා සහභාගීත්ව සංකල්පය මුලික වශයෙන් මට්ටම් 03 ක් යටතේ දක්වා ඇත. ප්‍රජාවගේ පැමිණීම , ප්‍රජාව සහභාගීවීම , ප්‍රජාව මැදිහත්වීම ලෙස එය හදුන්වයි. වඩාත් ඵලදායි පාලන ක්‍රමයක් සඳහා ප්‍රජාවගේ මැදිහත්වීම පමණක් වැදගත් නොවන අතර සභාව කරන කටයුතු වලට සහභාගී වීමද වැදගත්ය .

ප්‍රජා සහභාගීත්වය නිසා මුල්‍යමය වියදම් අවම කරගැනීමට හැකිවීම , කාර්ය හා දේපොල තමන්ගේය යන පොදු හැගීම ප්‍රජාව තුළ ඇතිවීම , ආරක්ෂාව නඩත්තුව පොදු සමාජය සතුවීම , සාමුහිකත්වය එකමුතුබව හා පුරවැසි යුතුකම් ජන සමාජය තුළ වර්ධනය වීම මෙන්ම ඵලදායීතාවය සහ යහපාලනය උදාකරගැනීමට ද හැකියාව ඇති බව එය ක්‍රියාත්මක කිරීමෙන් හදුනාගෙන ඇත.

 

කුලියාපිටිය නගර සභාවේ ක්‍රියාත්මක වන කමිටු

 ප්‍රාදේශිය සභා පනත මගින් දක්වා ඇති පරිදි නියත වශයෙන්ම ක්‍රියාත්මක විය යුතු කමිටු 04 ට අමතරව තවත් කමිටු 03 ක් කුලියාපිටිය නගර සභාව ක්‍රියාත්මත කරයි. ඒඅනුව  කුලියාපිටිය නගර සභාව ක්‍රියාත්මක කරන කමිටු වන්නේ මුදල් හා ප්‍රතිපත්ති කමිටුව , නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව , කර්මාන්ත කමිටුව , ඝණ අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව , පුස්තකාල උපදේශන කමිටුව ,  සෞඛ්‍ය පරිසර පොදු පහසුකම් කමිටුව ,  සහ ප්‍රසම්පාදන කමිටුවයි. ප්‍රජා සහභාගීත්වයෙන් යුතුව මෙම කමිටු ක්‍රියාත්මත විය යුතු උවද නගර සභාවේ සභිකයින්ට අමතරව අනිකුත්  සමාජිකයින් හෙවත් ප්‍රජාව නියෝජනය කරන්නේ කමිටු දෙකක පමණ. එයත් මුලික කමිටු වලින් බාහිරව ඇති ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව  සහ පුස්තකාල උපදේශන කමිටුව සඳහා පමණි.



මෙම කමිටුව රැස්වීම සහ ක්‍රියාත්මකවීම මෙන්ම සමාජිකයින් පිළිබඳව ද විස්තර මේසේය

 

ක්‍රියාත්මක කමිටු

සභික සමාජිකයින්

රැස්වී ඇති දින ගණන

සභිකයින්ට අමතරව සිටින සමාජිකයින් ගණන

01

මුදල් හා ප්‍රතිපත්ති කමිටුව

11

06

-

02

නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව

08

05

-

03

ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව

04

05

11

04

පුස්තකාල උපදේශන කමිටුව

16

01

10

05

සෞඛ්‍ය පරිසර පොදු පහසුකම්කමිටුව

07

02

-

06

ප්‍රසම්පාදන කමිටුව

11

06

-

07

කර්මාන්ත කමිටුව

07

05

-

 

කුලියාපිටිය නගර සභාවේ මුදල් හා ප්‍රතිපත්ති කමිටුව මගින් විවිධ ප්‍රසම්පාදනයන්ය අදාල කාරණා සාකච්ඡාවී ඇති අතර ඒ සම්බන්ධ යෝජනාවලීන් සභාවට ඉදිරිපත්කර අනුමැතියද ලබාගෙන තිබේ. එසේ උවද එම කමිටුවේ මහජන නියෝජනයක් හෙවත් ප්‍රජා දායකත්වයක් නොමැත.

නිවාස සහ ප්‍රජා සංවර්ධන කමිටුව මගින් විවිධ සමාජීය කටයුතු රැසක් පිළිබඳව තීන්දු තීරණ ගෙන තිබේ. ඒවා සියල්ල මහජනතාව වෙත බලපාන යහපත් තීන්දු බව සැබැය. එමෙන්ම ප්‍රජාවගේ අදහස් ද ලබාගනිමින් එය ක්‍රියාත්මක කළේනම් තවදුරටත් අතිසාර්ථ තීන්දු තීරණ ලබාගැනීමට හැකිවනු ඇත.

කුලියාපිටින නගර සභාවේ ප්‍රජා දායකත්ව ලබාගෙන ක්‍රියාත්මක වන සාර්ථකම කමිටුව ලෙස ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව සඳහන් කළ හැකියි. ප්‍රදේශවාසීන් , පරිසර නිලධාරීන් , ඝණ අපද්‍රව්‍ය නිලධරීන් , ගොවිජන සේවා නිලධාරීන් සභික මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශව මෙම කමිටුවට සහභාගීකරවාගෙන තිබේ.

 ඝන අපද්‍රව්‍ය මධ්‍යධස්ථාන තුළ පොහොර නිෂ්පාදනය , ඒවායේ ගුණාත්මකභාවය , අතුරුමාර්ග වල අනිසි ලෙස කසල බැහැර කිරීම ,  කසල එකතුකිරීම විධිමත් කිරීම , දියර පොහොර නිෂ්පාදනය සම්බන්ධව මෙන්ම ප්‍රදේශවාසීන්ගේද අදහස් ලබාගැනීමට එම කමිටුව කටයුතු කර තිබේ. ඒ සම්බන්ධ යෝජනා සභාවට ඉදිරිපත්කර සම්මත කරගත් යෝජනා මේවනවිට ක්‍රියාත්මකවෙමින්ද පවතී. එය ඉතා සාධනිය තත්වයකි.

කෙසේ වෙතත් නගර සභාව තුළ පිහිටවන කමිටු සම්බන්ධයෙන් සහ එම කමිටුවලට ප්‍රජා දායකත්වය ලබා නොගැනීම සම්බන්ධයෙන් නගර සභාවේ ලේකම් එච් එම් කේ පී හේරත් මහතාගෙන් මේසම්බන්ධයෙන් විමසීමේදී සඳහන් කරන ලද්දේ  ප්‍රජාව සහභාගී කරගැනීමේ අඩුවත් තිබෙන බව තමා පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවත්ය. එමෙන්ම නගර සභාවේ ඇතැම් කාරනා සම්බන්ධයෙන් මෙන්ම කමිටුවල ඇතැම් කාරණා සම්බන්ධයෙන්ද මහජනතාව සම්බන්ධ කරගැනීමට මහජනතාව වෙත දැනුවත්කිරීම් කළද ඒ සම්බන්යෙන් මහජතාව ද දක්වන උනන්දුව අල්ප බව හෙතෙම සඳහන් කළේය.

ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුවට සහභාගීවු ප්‍රදේශවාසියෙක් වන අනුරුද්ධ නිරෝෂන මහතා ඒ සම්බන්ධයෙන් පැවසුයේ මෙවැනි අදහසකි.

කුලියාපිටිය ඝන අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය වගේම අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අපිට තිබෙන ගැටලු කමිටුවේදී සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් විවිධ තීන්දු තීරණ ගත්තා. අපේ අදහස් ලබාගත්තා. ඒවගේම දෛනිකව කසල එකතුකිරීම සම්බන්ධවත් කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය පිළිබඳවත් කමිටුවේදී සාකච්ඡා කළා. ඒ කමිටුවේදී ගත්තු ඇතැම් යෝජනා දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ අපිට සතුටුයි. යැයි පැවසීය. නගර සභාවේ ක්‍රියාත්මක වන අනිකුත් කමිටු සම්බන්ධයෙන් දැනුවත්ව ඇද්දැයි අනුරුද්ධ මහතාගෙන් විමසු අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බව හෙතෙම පැවසීය.

හිටපු පළාත් පාලන කොමසාරිස් එන්.ඒ.ධර්මසිරි මහතාගෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුයේ පළාත් පාලන පනත් අනුව සියලුම පළාත් පාලන ආයතන කමිටු ස්ථාපිත කළ යුතු බවත් ඒ වෙත ප්‍රජාව සහභාගී කරවාගැනීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් ය. සුපිලිපන් සේවයක් පවත්වාගෙන යාමට මහජනතාව සහභාගීකරවා ගැනීම වැදගත් බවත් ඒ හරහා පළාත් පාලන ආයතනයන් හි පාලන කටයුතු කරගෙන යාම ඉතා පහසුවන බවත්ය. එමෙන්ම දුෂණය වංචාව පිටුදැකීමට සාර්ථකම ක්‍රමවේදය ප්‍රජා සහභාගීත්ව සංකල්පය බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පළාත් පාලන ආයතන තුළ කාර්යන් සිදුකරගෙන යාම සහ අනුමැතියන් ලබාගැනීම රෙගුලාසි සම්මතකරගැනීම ආදිය සිදුකරනු ලබන්නේ සභාපති ප්‍රමුඛ සභාව රැස්වී හරහාය. ඒ තුළ අදහස් දැක්වීමට හෝ මැදිහත්වීමට වෙනත් පාර්ශවයන්ට නොහැකියි. මේ හේතුවෙන් සභාවට උපදෙස් ලබාදීම සඳහා කමිටු සංකල්පය ක්‍රියාත්මක වේ.  කමිටුවල සාකච්ඡා කරන දෑ යෝජනා ආදිය වාර්තා මගින් සභාවට යොමුකිරීම සිදුකරයි. තත්වය එසේ උවද අදාළ කමිටුවලද ප්‍රජා සහභාගීත්වයක් නොමැතිව සභිකවරුන් පමණක් සමාජිකයින් වේ නම් බලාපොරොත්තු වන කාර්ය ඉටුවනවාද යන්න ප්‍රශ්නාර්තයකි.

 

-        චාමර සම්පත්