Saturday, July 16, 2022

රට ගොඩනගන්න පුළුවන් කාට ද?

 පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීම ශ්‍රී ලංකාවට නෑඹුල් අත්දැකීමක්‌ නොවේ.1993 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩී.බී. විජේතුංග පත්කරගැනීමේ ඓතිහාසික පූර්වාදර්ශයක්‌ ඒ වෙනුවෙන් ඇත.


1993 දී මෙන් නොව, අද අප ඉදිරියේ ඇත්තේ දේශයක් ලෙස අප මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයයි. එකී ආර්ථික අර්බුදය විසින් ඊට සමාන්තර සමාජීය -දේශපාලන වියවුලක් නිර්මාණය කර ඇති නිසාත් එකී අර්බුදකාරී තත්වයෙන් සමස්ථ රාජ්‍යය මුදාගැනීමේ වගකීම පත්වන ජනාධිපතිවරයා මත මුදාහැර ඇති නිසාත් මෙවර පිටිය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා තරඟකාරී සහ සුවිශේෂී ස්වභාවයක්‌ ගනී. විජේතුංග ජනාධිපතිවරයා ඉදිරියේ තිබූ වටපිටාවට හාත්පසින්ම වෙනස් වටපිටාවක නව ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කිරීමට සිදුවෙයි.


පත්වන නව ජනාධිපතිවරයා දැක පුරුද්දෙන් මෙන්ම කළ පුරුද්දෙන්ද සන්නද්ධ වූ කෙනෙක් වේ නම් එය මේ අවස්ථාවේ වඩාත් ධනාත්මක පිටුබලයක් ඔහුට හෝ ඇයට සපයාවි යැයි යන මතය සමාජයේ තරමක් දුර‍ට මුල් බැස ගෙන තිබේ. එතුළින් ගෝලීය ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කළ හැකි රාජ්‍ය යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වීමේ හැකියාව ඔහුට පවතී. අත්හදා බැලීම් කරන්නට ගතවන සෑම තත්පරයක් පාසාම රෝගියා මිය යාමේ සම්භාවිතාවය වැඩි වෙයි. තවදුරටත් මෙම අවස්ථාව අනාගත රාජ්‍ය නායකයන් පුහුණු කරන පාඨමාලාවක් සේ සුළුවෙන් තැකිය නොහැකිය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන සමඟ කඩිනම් සහ විනිවිද පෙනෙන අයුරින් ගණුදෙනු කිරීමට හැකි විවෘත මනසක් පත්වන නව ජනාධිපතිවරයාට තිබිය යුතුය.


අමෙරිකාව, ජපානය ප්‍රමුඛ බටහිර, ආසියානු ධනවාදී කඳවුරත්, චීනය, රුසියාව ප්‍රමුඛ සමාජවාදී බල කඳවුරත්  අනිත් පසින් කලාපීය බලවතා ලෙස ඉන්දියාව ප්‍රමුඛ නැගීඑන ආර්ථික බල කඳවුරත් ආදී වූ බහු ධ්‍රැවීය ලෝකය ආමන්ත්‍රණය කිරීමට නව ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතුය.සියල්ලන්ගේම උපරිම උදව් ලබාගත හැකි පුද්ගලයෙකු විය යුතුය.


කෙසේවෙතත් මෙම අවස්ථාවට වඩාත් හොඳින් අනුවර්තනය වෙමින් කඩිනම් විසඳුම් සෙවීමට හැකි විභවයක් සහිත සුදුසුම පුද්ගලයා ජනාධිපති ධුරයට පත්කර ගැනීම පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති අභියෝගයයි. එය අභියෝගයක්‌ මෙන්ම වගකීමකි.20 වෙනිදා පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීරණය තවත් දශක ගණනාවකට ශ්‍රී ලංකාවේ ගමන් මග තීරණය කරනු ඇත.


No comments:

Post a Comment