Thursday, November 17, 2022

මන්ද පෝෂණය මැඩලීමට - චන්ද්‍රිකා නායකත්වය ගනියි

ජනාධිපති ලේකම් කාර්‍යාලය සහ සිවිල් සමාජ සංවිධාන හා ඒකාබද්ධ කරගෙන  දරුවන්ගේ මන්ද පෝෂණය මැඩලීමට යාන්ත්‍රණයක් නිරමාණය කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අරඹා තිබේ. එහි දෙවන රැස්වීම පෙරේදා (16) පැවති ඒ පිළිබඳ ඇයගේ කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එය මෙසේය. -:

"






ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ දෙවන රැස්වීම 2022 නොවැම්බර් 16 වන දින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා අංශයේ ජනාධිපති අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා ද හිටපු අධ්‍යාපන ලේකම් වෛද්‍ය ටාරා ද මෙල් මහත්මිය ද දැනට පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ නියුතු අවායා සංවිධානයේ විජිත නානායක්කාර සහ මේ වන විට පාසල් සිසුන්ට ආහාර ලබා දෙන සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ.

වර්තමානයේ දරුවන් අතර පවතින මන්දපෝෂණය පිළිබඳ ගැටලුවට පිළියම් යෙදීමේ අවශ්‍යතාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අවධාරණය කළාය. රටවල් 200ක් අතරින් දරුණුම මන්දපෝෂණය පවතින රටවල් දහය අතරට ශ්‍රී ලංකාව මේ වන විට ඇතුළත්ව ඇති බවත් අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 20%කට අධික ප්‍රමාණයක් දැඩි මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

-         කිරි, බිත්තර සහ එළවළු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරී සැලසුම් කඩිනම් කිරීම.

-         විදේශ ආධාර මත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන විධිමත් කිරීම.

-         ආහාර සැපයීමේදී සිවිල් සංවිධානවල දායකත්වය පුළුල් ලෙස ලබා ගත හැකි ආකාරය.

යන කරුණු පිළිබද සාකච්ඡා වූ අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට   තීරණය විය.

රජයේ පාර්ශ්වකරුවකු ලෙස නොව සිවිල් සමාජ නායකයින් සමග නිස්සරණාධ්‍යාශයෙන් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා කැප වන බව ඇය අවධාරණය කළා ය.


No comments:

Post a Comment