සොයුරු සොයුරියනේ
සකල දේශවාසී
දෙදරා ගිය රට යළි ඉදි කරනුව
පිල් පවුරු වළලු බිඳ දා
පටු හටන් ගැටුම් නවතා
විය යුතුය ඒකරාශී
බිලිපූජා ගන්නට වියරු වැටී
ආවත් ජල දළ රළ රකුසන්
ගිනිබිය රෝබිය දිය කඳුරු විදා
අළු දූලි කළත් අප සොයුරන්
ඒ දූලි මතින් නැගිටිමු අලුතින්
ගොඩනගමු අපේ රට සොයුරු සොයුරියනේ
පුදදුන් පණනල දස දහස් ගණන්
මිහිදන් වී ඇති මේ පොළොවේ
හෙට වෙනුවෙන් මල් ඵල හිසින් දරා
සුහුඹුල් තුරුවැල් යලි මතුවේ
නොවැටෙමු දෙදණින් අපි දිවිහිමියෙන්
රැකගනිමු අපේ රට සොයුරු සොයුරියනේ
සොයුරු සොයුරියනේ....
මෙම ගීතය කණ නොවැකුණ ශ්‍රී ලාංකිකයෙක් නැති තරම්.අදින් වසර 18 කට පෙර සමස්ථ ශ්‍රී ලංකාවම උඩු යටිකුරු කළ ඒ ඛේදජනක සිදුවීම වෙනුවෙනුයි මෙම ගීතය ලියවුනේ.වටිනා වූ මනුෂ්‍ය ජීවිත දහස් ගණනක් අහිමි කරමින් ගොඩබිමට ඇදුණු ඒ ප්‍රචණ්ඩකාරී රළ විසින් අපට සිදුකරනු ලද තුවාලයන්හි වේදනාවන් අමතක කිරීමට ජාතියක් ලෙස අපිට හැකියාවක් කිසිදා නොවනු ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත මෙම ගීතය පළමුවෙන්ම ගායනය කෙරෙන්නේ සුනාමි ඛේදවාචකයෙන් මියගිය සහෝදර සහෝදරියන් සිහිකිරීම වෙනුවෙන් 2004 වසරේ දෙසැම්බර් 31 දින පැවැත්වුණු අධිෂ්ඨාන පූජාවක් අවසානයේදී ය. එම අධිෂ්ඨාන පූජාව සඳහා සර්වාගමික පූජක උතුමන්ලා වගේම එවක ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිස් කිසිඳු දේශපාලන භේදයකින් තොරව සහභාගී වීම මෙහි සුවිශේෂීත්වය තවත් තීව්‍ර කළේය."ජාතිය ගොඩනැගීමේ ගීතය" ලෙස නම් වුණු මෙම ගීතය සැබෑ ලෙසම බලාපොරොත්තු සුන්වී බිඳ වැටී ගිය දේශයෙහි බලාපොරොත්තු අවදි කරවන ගීතයක් විය.
මෙම ගීතය තුළින් ලබාදෙන පණිවිඩය මනාව තේරුම් ගත හැකිවේනම් එය අන් කවරදාටත් වඩා වර්තමානයට උපකාරී වේ යැයි හැඟේ.එදා ජාතියක් ලෙස දරුණු ස්වභාවික ව්‍යවසනයකට මුහුණ දුන් අපි වර්තමානයේ අපේම පිරිස් විසින් නිර්මාණය කළ දරුණු "ආර්ථික සුනාමියකට" හසුව සිටිමු. එදා 2004 දී අපි මුහුණ දුන් සුනාමිය එක්වරම පැමිණ සැණෙකින් මහා විනාශයක් කොට පහව ගියත්, මෙම ආර්ථික සුනාමිය එසේ එක්වරම පහව යාමට සූදානමක් නැත.ඇතැම් විට එය අපිට සිදුකරන බලපෑම දශක ගණනක් තරම් විය හැකිය.
මෙම ආර්ථික සුනාමියෙන් ගොඩ ඒමට හැකිවන්නේ පාට පක්ෂ භේද අත්හළ සාමූහික ප්‍රයත්නයකින් පමණක් බව සියලු දෙනා තේරුම් ගත යුතුය. වගකීම එකිනෙකා වෙත පවරමින් වගකීමෙන් වියුක්ත වෙමින් චෝදනා කිරීම වෙනුවට රට වැටී ඇති අගාධයෙන් ගොඩට ගැනීමට සියලු දෙනාගේ සහයෝගය ලබාදීම එකී පාර්ශවවල යුතුකම වන්නේය. දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ආත්මාර්ථයන් පසෙකලා බහුතරය වෙත සුබදායී ප්‍රතිපල ලැබෙන අයුරින් කටයුතු කිරීමට දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතුය. දේශපාලන කුහකත්වය තුළින් පාලනය කරනු ලබන දේශපාලන ධාරාවන් වටහා ගතයුතු සත්‍යය මෙයයි. රටක් ලෙස මෙම සාමූහික වගකීම තේරුම් ගැනීමට අපොහොසත් වීම නිසා ඉතිහාසය පුරාම අප වෙත පැමිණි ස්වර්ණමය අවස්ථාවන් රාශියක් අපි විසින්ම විනාශ කර දැමීමේ දරුණු ප්‍රතිපල අපි අත්විඳිමින් සිටින්නෙමු.නැවතත් එම වැරැද්ද අපි ඉටු කිරීමට සැරසෙමින් සිටින්නේ නම් ඊටත් වඩා අවාසනාවක් ඉදිරි පරම්පරාව ලෙස අපි වෙත උරුම නොවෙනු ඇත.
දේශපාලනය යනු ක්‍රීඩාවකි. මිනිස්සු එහි පිල් බෙදී ක්‍රීඩා කරති. ක්‍රීඩාවට තරඟය අත්‍යවශ්‍ය. නමුත් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා වන්නේ තරඟය මතම නොවේ. කාට ක්‍රීඩා කිරීමට වුවද පිටිය අවශ්‍යයය. පිටිය විනාශ වෙන අවස්ථාවේදී පිටිය බේරා නොගතහොත් ක්‍රීඩා කිරීමට තැනක් නොමැති බවද මෙම ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෝ මැනවින් අවබෝධ කරගත යුතුය.
එහෙයින් පළමුව එක්ව පිටිය රැකගනිමු. පිටිය සකසා ගෙන ක්‍රීඩා කිරීම පසුව කළ හැකිය.
- සහන් තෙන්නකෝන්
No comments:
Post a Comment