මංගල සමරවීර වියෝ වී අදට තෙවසරකි. තෙවසරක් ඇවෑමෙන් වුවද ඔහුව මතක් කරන අය බොහෝය. අන් කවරදාටත් වඩා, රට දේශපාලන වශයෙන් බංකොලොත් වී ඇති පසුබිමක, මංගල විසින් ඉතිරි කර ගිය රික්තකය පිරවීමට දේශපාලන පිටියේ කිසිවෙකු සොයාගැනීමට නොහැකි ව ඇත. මංගල විසින් විශ්වාස කළ, ක්‍රියාවට නැංවූ දේශපාලන-ආර්ථික දර්ශනයෙහි තිබු ප්‍රයෝගිකත්වය සහ සාර්ථකත්වය මෙන්ම එහි අවශ්‍යතාවය පසුගිය අවුරුදු දෙකේදී තව තවත් අපිට පසක් විය. දේශපාලනය දේශපාලනය ලෙසම දැකීමට ඔහු තුළ තිබු අසහාය ශක්තිය බොහෝ අවස්ථාවල මෙරට දේශපාලන ගමන් මාර්ගයේ කක්ෂය තීරණය කිරීමට බලපෑ බව නොරහසක්. එවැනි වටපිටාවක ඔහු අප අතර නොමැති වුවත් 2024 ජනාධිපතිවරණය එළිපැත්තේ සිට මංගලගේ දෘෂ්ටිවාදය කියවීම සැබෑවටම අවශ්‍ය කරුණක්.
සමගි ජන බලවේගය නිර්මාණය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් මංගල විසින් ඉටුකළත්, කල්යත්ම රටට අවශ්‍ය නායකත්වය සැපයීමට සජබ අසමත් වනු ඇතැයි ඔහු පුරෝකථනය කළා විය හැකිය. එයින් පසු මංගල තමන්ගේම ගමනක් ඇරඹීම මතවාදී ලෙස අතරමන් වී සිටි මෙරට බොහෝ දෙනෙක්ට අස්වැසුමක් විය. ලාංකීය දේශපාලනයේ දක්ෂිණංශය සහ වාමාංශය බිඳවැටී තිබූ අවධියක මංගල ශ්‍රී ලංකාව කෙරෙහි නවමු මාර්ගයක් විවෘත කිරීමට උත්සාහ කළ බව අපි දුටුවෙමු. ඇතැම් විට මංගල තුළින් අපි දුටුවේ ලංකාව තුළ අප ද
දකින අවසන් සැබෑ ලිබරල් මිනිසා විය හැකිය. ඇතැම් වකවානු තුළ ඔහු සම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියේ ජීවමාන ලක්ෂණයක් වුවත්, බොහෝ අවස්ථාවල ඔහු අන් අය මෙන් එම සංස්කෘතියේ සදාකාලික ගොදුරක් බවට පත්වුයේ නැත.
මංගලට ඔහු කෙරෙහි හොඳ ස්වයං කියවීමක් /විවේචනයක් විය. අද බොහෝ දේශපාලන වේදිකාවල සිටින පුද්ගලයන් තුළ නැත්තේ ද මෙයයි.එසේම මංගලට දිගුකාලීන දේශපාලන විශ්වාසයන් විය. ඔහු දේශපාලනයට පිවිසි 80 දශකයේ අගභාගයේ සිටම ඔහු තුළ රට වෙනුවෙන් සිහිනයන් විය. එහිදී ඔහු අත්හදා බැලූ, භාවිතයට ගත් දේශපාලන මෙවලම් ඇතැම් තැනක වෙනස් වුවද ඔහුට එක එල්ලයක් විය. බල දේශපාලනයේ කප්පිත්තෙකු වුවද තම අගයන් සිල්ලරට උකස් කිරීමට මංගල කටයුතු නොකළ බව මගේ අදහසයි. නමුත් වර්තමානය දෙස බලන විට ඩලස් අලහප්පෙරුම වැනි මංගල විසින්ම දේශපාලනයට ගෙන ආ උදවියගේ හැසිරීම මංගල ඔවුන්ගෙන් වෙනස් වන්නේ ඇයිදැයි තේරුම් කිරීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. වර්තමානයේ දී මාතරින් මංගලගේ උරුමය කරපින්නාගෙන දේශපාලනයට එන්නේ චංචලා ගුණවර්ධනයි. නමුත් ඇය අද තෝරාගෙන ඇත්තේ ද මංගල විසින් හැරගිය පාර්ශවයයි. මංගල අවිශ්වාස කළ දර්ශනයයි.
මෙහිදී මංගල ජීවත් වී සිටියා නම් එක්ව සිටගනු ඇති බවට විශ්වාස කළ හැකි පාර්ශවයක් තිබේද යන්නත් ප්‍රශ්න කළ යුතුය.මංගල අගය කරන ඇතැම් පිරිස් වලට ඔහු හා එකඟ නොවන කාරණා අතුරින් ප්‍රබලතම ගැටලුව වී තිබුනේ ඔහුගේ ආර්ථික දර්ශනයයි. ඔහු සෑම විටම ලංකාව ඇතුළු ආර්ථික වශයෙන් ඌණ සංවර්ධිත රටවලට වඩාත් උචිත ආර්ථික මාදිලිය වශයෙන් නව ලිබරල් ආර්ථික මොඩලය පිළිගත්තේය. පැහැදිලිවම වර්තමානයේ අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයට පසුබිම සකස් කළේ ද ඇතැම් ආණ්ඩු විසින් ආර්ථිකය තුළ බලවත් රාජ්‍ය මැදිහත්වීමක් සිදුකිරීමට යාමයි. මංගල විශ්වාස කළ නිදහස් ජීවිතය අත්කර ගන්න අපි අසමත් වන්නේ නිදහස් ආර්ථිකයක් තනි පුද්ගයන්ට උරුම කරගැනීමට අවකාශය නොමැති නිසාවෙන්. වර්තමානයේ බලයේ සිටින, බලය ඉල්ලන බොහෝ දෙනෙක් සිදුකරන්නට උත්සාහ කරන්නේ ද පුද්ගලයන් රාජ්‍යයේ වහලුන් බවට පත්කරන වැඩපිළිවෙලයි. ලිංගිකත්වයේ සිට පාසල, රැකියාව, ඇඳුම පැළඳුම පවා රාජ්‍යය විසින් තෝරාදෙන ආර්ථික මොඩලයක වින්දිතයන් බවට පත්වීමට අපිට දැනටමත් සිදුවී ඇත. පෙනෙන සමාජවාදීන් මෙන්ම ලිබරල්වාදී වේෂයෙන් සිටින සමාජවාදීන් ද බොහෝ අවස්ථාවල ස්වයංපෝෂිත සුඛිත මුදිත යුතෝපියාවක් මවා ශ්‍රී ලංකාව නැවත වතාවක් ආර්ථික මඩගොහොරුවක ගිල්වා විනාශ කිරීමට අවශ්‍ය මතවාදී වේදිකාව සකසමින් සිටියි. මගේ පෞද්ගලික අදහස නම් වික්‍රමසිංහ, ප්‍රේමදාස හෝ දිසානායක තෝරාගැනීමට මත්තෙන් අපි තෝරාගත යුත්තේ තම පුද්ගලික නිදහසයි. එය ප්‍රයෝගික වීමට නම් ඔබ ආර්ථික නිදහස තෝරාගත යුතුව ඇත. ඔබ රාජ්‍යය මත යැපෙන්නෙක් වන තෙක් ඔබ පෙළෙන දේශපාලනික අඝාතයෙන් ඔබ සුව නොවනු ඇත. මංගල වැන්නවුන් අපිට කියන්නට උත්සාහ කළේ එයයි.
සහන් තෙන්නකෝන්
#sahantwrites
24.08.2024
No comments:
Post a Comment