Saturday, January 14, 2023

ඔබ ඔබම විය -සිරිසේන සහ බෝම්බ


300 කට ආසන්න පුරවැසියන් සංඛ්‍යාවට ජීවිත අහිමි කළ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත්තේ ය, යන පදනම මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත රුපියල් මිලියන 100 වන්දියක් වින්දිත පාර්ශවයන් වෙත ගෙවීමට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දොළොස්වනදා නියෝග කළේය. ඉන් දින කිහිපයකට ඉහත දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ලිපියක් නිකුත් කරමින් සිරිසේන ජනාධිපතිවරයාට පෙර සිටි සියළුම ජනාධිපතිවරුන් ද ඇතැම් විට බෝම්බ පිපිරීම් වළක්වාලීමට පියවර ගෙන නැතැයි යන ආකාරයේ ප්‍රකාශයක් කළේය.දයාසිරි ජයසේකර වුවමනාවෙන් අමතක කර දැමීමට උත්සාහ කරන සත්‍යය කුමක්ද?


ජයසේකර මහතා මෙම ප්‍රකාශය කරන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් සිදුකරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි. ජනාධිපති කුමාරතුංග පවසා සිටියේ රාජ්‍යයේ ආරක්ෂාව ජනාධිපතිවරයෙකු සතු ප්‍රමුඛතම වගකීම බවත් කිසිලෙසකින් එය පැහැර හැරීම නොකළ යුතු බවයි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති සිරිසේනගෙන් විමසන සියලු අවස්ථාවන්හිදී ඔහු ද පවසන්නේ, මෙරට බෝම්බ ප්‍රහාරයක්‌ සිදුවූයේ තමාගේ පාලන සමයේ පමණක් නොවන බවත්, තමාට පෙර සිටි සියළුම ජනාධිපතිවරුන් යටතේ ද " මෙවැනිම " බෝම්බ පිපිරීම් සිදුවී ඇති බවත් ය.


මෙරට සිවිල් යුද්ධය ආරම්භ වන්නේ ජනාධිපති ජේ. ආර්.ජයවර්ධනගේ සමයේ ය.එතැන් පටන් සිවිල් යුද්ධය 2009 වර්ෂයේ අවසන් වන තෙක් මෙරට ජනාධිපතිවරුන් පස් දෙනෙක් යටතේ පාලනය වී තිබුණි. ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක්‌ සමඟ සිවිල් යුද්ධයක් පවතින රටක කුමන හෝ පරිමාණයේ බෝම්බ පිපිරීම්, වෙඩි තැබීම් ආදිය සිදු නොවේ යැයි යන බලාපොරොත්තුව තැබිය නොහැකිය.එසේම සිවිල් යුද්ධයක්‌ යනු සුවිශේෂී තත්ත්වයක් බැවින් සිදුවන සියලුම බෝම්බ පිපිරීම් වළක්වා ගැනීමද කුමන හෝ පාර්ශවයක් වෙතින් අපේක්ෂා කිරීමට නොහැකිය.සිරිසේනට පෙර සිටි ජනාධිපතිවරුන් යටතේ පැවතියේ එම තත්ත්වයයි. 2009 සිට ආරක්ෂක අංශ විසින් පශ්චාත් යුධ සාමය තහවුරු කොට තිබූ අතර එවකට සිරිසේන ජනාධිපතිවරයා යටතේ පැවතියේ සමකාමී වාතාවරණයකි. එහෙයින් ඔහු සෑම තැනකම සඳහන් කරන " මෙවැනිම"  ආකාරය කුමක්ද යන්න ගැටලුවකි.


බෝම්බ පිපිරීම මදකට පසෙකින් තබමු. බෝම්බය පිපිරී යාමෙන් අනතුරුව සිරිසේන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලමු.1998 දී ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බෝම්බ ලොරියක් කඩා වැදී සිදුකරන ලද විනාශකාරී අවස්ථාවේ දී වුවත් එවකට ජනාධිපතිවරිය විසින් ඉතාම කෙටි කාලයක් තුළ රටේ තත්ත්වය යථා තත්ත්වයට ගැනීමට කටයුතු කළාය. දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී ඇය විසින්ම සිදුවීමට ගිය ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පාලනය කළාය. අලිමංකඩ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඇය තම ඇසට ප්‍රතිකාර ගැනීමට විදේශගත වී සිටියත් ඇය එය අතරමග නවතා පැමිණීමෙන් යාපනය නගරය අල්ලා ගැනීම වැලැක්වූවාය.කැබිතිගොල්ලෑව බස් බෝම්බය සිදු වූ අවස්ථාවේ එවකට ජනාධිපතිවරයා සුළු මොහොතකින් වින්දිතයන් හමුවීමට ගියේය.නමුත් සිරිසේන ජනාධිපතිවරයා ගුවන් ගමන්වාර කිහිපයක් තිබියදීත් ලංකාවට පැමිණියේ පසුවය. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් වහාම ආරක්ෂක කවුන්සිලය කැඳවීමට පියවර ගත්තත් ජනාධිපතිවරයා විසින් ඒ සඳහා සහභාගී නොවන ලෙස වගකිවයුත්තන්ට දැනුම් දී තිබුණි. මෙවැනි හදිසි අවස්ථාවක රාජ්‍ය නායකයෙකු වෙතින් අපේක්ෂිත   කාර්යක්‌ෂමතාවය සිරිසේන ජනාධිපතිවරයා විසින් දැකීමට නොහැකි විය.


2018 ඔක්තෝම්බර් මාසයේ සිට සිරිසේන ජනාධිපතිවරයා හැසිරුණේ, ජනරජයේ ජනාධිපතිවරයා තබා නූගත් ග්‍රාම්‍ය වැසියෙකුවත් හැසිරිය යුතු අන්දමට නොවේ. නීත්‍යානුකූල නොවන අන්දමින් අගමැතිවරයෙකු පත්කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආදී ඔහුගේ ක්‍රියාවන් ජනාධිපති ධූරය මහජනතාව තුළ අගෞරවයට ලක්‌ කළේය. පාස්කු ප්‍රහාරයට පෙර අවස්ථා හතරකදී ඔහුට වගකිවයුතු පාර්ශව විසින් මේ පිළිබඳව දැනුම් දී තිබුනත් ඔහු ඒ වෙනුවෙන් කිසිඳු පියවරක් ගැනීමට කටයුතු නොකර ඇත. ඔහුට පෙර සිටි ජනාධිපතිවරුන් මෙවැනි අවස්ථාවන්හි දී ඒ පිළිබඳව ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කිරීම නිසා සිදුවීමට ගිය ඇතැම් විනාශකාරී සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කිරීමට හැකිවිය.


සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පෙනෙන්නේ ජනාධිපති ධූරය සතු කාර්යය සහ කර්තව්‍ය පිළිබඳව ඔහු තුළ අවබෝධයක්‌ තිබී නැති බවත්, එසේ අවබෝධයක් තිබුණා නම් එයත් ඔහු වුවමනාවෙන්ම පැහැරහැර ඇති බවත්ය. එසේම විදේශගත වන අවස්ථාවේ දී අවශ්‍ය බලතල එකී අමාත්‍යංශයන් හි රාජ්‍ය අමාත්‍යවරයාට හෝ අගමැතිවරයාට පවරා නොයාමට තරම් ආත්මාර්ථකාමීත්වයකින් ඔහු පෙළුණු බවත්ය. එබැවින් සිරිසේන ජනාධිපතිවරයාගේ " හැමෝම මම වගේ " තර්කය තවත් වලංගු නොවේ.


 -සහන් තෙන්නකෝන්

No comments:

Post a Comment