Thursday, January 5, 2023

කසකරුවන් එළි බැසීම - සහන් තෙන්නකෝන්

කසකරුවන් එලිබැසීම.

දකුණු ආසියානු රටවල දේශපාලනය සහ ආගම අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවයකි. විශේෂයෙන්ම එම රටවල දේශපාලනඥයන් ද බලයට පැමිණීමට, සහ බලයේ රැඳී සිටීමට මහෝපකාරී වන උපකරණයක් ලෙස ආගම භාවිතා කරයි. 

මේ දිනවල ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් යැයි කියාගන්නා පුද්ගලයෙක් දළදාවට "ලබ්බ" යැයි පැවසීම සමස්ථ සමාජයේම ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ.හන්දියේ කඩ පිළෙහි සිට පාර්ලිමේන්තුව දක්වාම මේ සම්බන්ධව විවිධාකාර වූ මතවාද ගොඩනැගෙමින් පවතී. ඇතැම් විටෙක එම පුද්ගලයාගේ ප්‍රකාශය ඔහුගේ අතිශය පෞද්ගලික අදහසක් ලෙස ගත හැකි නමුත් එවැනි ප්‍රකාශයකින් යම් මහජන කැළඹීමක් ඇතිකිරීමට සෘජුව හෝ වක්‍රාකාරව අනුබල දෙන්නේ නම් එතැන ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියෙන් ඔබ්බට ගොස් ඔහුට ඇති සමාජ වගකීම පැහැර හැරීමක් ලෙස දැකිය යුතුය.

 ඕනෑම පුද්ගලයෙකුට තමන් දරණ අදහසක් ප්‍රකාශ කිරීමට ව්‍යවස්ථාපිත අයිතියක් ඇත.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (අ ) ඡේදයේ පැහැදිලිව ඇතුළත්ව ඇති නමුත් එම අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ව්‍යවස්ථාවේ සඳහන් "මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා" යන තේමාව යටතේ, එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාවට අනුව පමණකි.

"...14 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (අ ) ඡේදයේ ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හෝ ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසයට හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට නියමවය."

එබැවින් මූලික අයිතිවාසිකම් මුවාවෙන් තමන්ට සිතෙන හෝ කටට එන ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාවක්‌ නොමැති අතර යමෙක් තම අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ තවත් පාර්ශවයක අයිතිවාසිකම් අවහිර නොවන ආකාරයට පමණක් බවත් තේරුම්ගත යුතුය.එසේම කිසිම ආගමකට හෝ ලබ්දියකට අපහාස කිරීමට කිසිම තැනැත්තෙක් වෙත අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී නොමැත.

ඔහු සිදුකොට ඇති ප්‍රකාශයෙන් දේශපාලන පාර්ශවයන් කිහිපයක් උද්දාමයට පත්ව තිබේ.මෙම ප්‍රකාශය විසින් රාජපක්ෂවරුන්ට ක්‍රීඩාවෙහි යෙදිය හැකි පහසුම තණතීරුව නිර්මාණය වෙමින් පවතින බව පෙනෙන්නට ඇත. තාවකාලිකව පසමිතුරු කඳවුරුවලට බෙදී සිටින රාජපක්ෂවාදයේ න්‍යායාචාරවරුන් කිහිපදෙනෙක්ම තලුමරමින් රසවිඳිනවා දැකගත හැකි විය. විශේෂයෙන්ම මෙම තත්ත්වය 2019 ජනාධිපතිවරණයට පෙර පැවති වටපිටාව නිර්මාණය කිරීමට අඩිතාලම දමන බවට සැක නැත.මෙම ප්‍රකාශය සිදුකර තිබෙන තැනැත්තා ද 2019 ට පෙර එම කඳවුරේ ආධාරකරුවෙකි.මේ සමඟ සැමදා මෙන් ජාතිවාදී භික්ෂු කල්ලි කිහිපයක් මෙම ප්‍රකාශය ඉතා හොඳ ආයුධයක් කරගෙන ඇත. කිහිපදවසකට තුඹස ඇතුලට රිංගාගෙන සිටි විසකුරු සර්පයන් නැවත කලඑළි බැසීම ආරම්භ කර ඇත.

රට ඉතා අසීරු ආර්ථික අර්බුදයකින් ගොඩඑමින් පවතින අවස්ථාවක නැවත වතාවක් ඉතිහාසය පුරා සිදුකරමින් සිටින වැරදි නැවත සිදුවීමට ඉඩ හැරීම නොකළ යුත්තකි.පවතින ආර්ථික අර්බුදය පිළිබඳව පුළුල් විශ්ලේෂණයක්‌ නොමැති,තමන්ගේ නොහැකියාව පිළිබඳව අවබෝධයක් නැති  අධිමානසික පක්ෂ විපක්ෂ කණ්ඩායම් තම ආත්මාර්ථයන් සපුරා ගැනීම වෙනුවෙන් දියත් කරන ඇතැම් අඥාන ක්‍රියාවන්හි ඇති හිඩැස් බොහෝ විට අනෙක්‌ පාර්ශ්වයට වාසිගෙන දෙන බව හොඳින් දැනගෙන කටයුතු කිරීම වටී.තවද එම ප්‍රකාශය සිදුකළ තැනැත්තා පෙනී සිටින සහ පෙනීසිටි මතවාදයන් දෙස බලන විට මෙම ප්‍රකාශය ඕනෑවට වඩා උත්කර්ෂයට නැංවීම නොකළ යුතුබව මගේ පෞද්ගලික මතයයි.මන්ද අනෙක් පාර්ශවය මෙම ක්‍රීඩාවේ ඔස්තාර්ලා නිසාය.

#sahantwrites
06.01.2023

No comments:

Post a Comment