Thursday, December 15, 2022

පාසල් අවට හදිසි සෝදිසි මෙහෙයුම්

 



පාසල් ප්‍රජාව අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළගොස් ඇති බැවින් පාසල් සහ ඒ අවට හදිසි සෝදිසි මෙහෙයුම් නිරන්තරයෙන් සිදුකිරීමට සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල හදිසි මෙහෙයුම් සිදුකිරීමට මෙන්න පාසල් ළමුන් පරීක්ෂාකිරීමේ කටයුතු මේ දිනවල පොලිසිය විසින් සිදුකරමින් සිටියි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේස් රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන විවිධ ක්‍රමපිළිබඳව සොයාබලා අවශ්‍ය පියවරගැනීමට මේවනවිට රේගුව ඇතුළු විශේෂ කණ්ඩායම් යෙදවීමටද රජය තීරණය කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ ක්‍රියාවලිය විශේෂ කාර්ය බලකායට ලබාදිමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබු අතර විශේෂ කාර්ය බලකාය ද එම මෙහෙයුම් ආරම්භකිරීමට සුදානමින් සිටින  බව වාර්තා වේ.



Wednesday, December 14, 2022

පොලිය ටික ටික අඩුවෙයි


 ඊයේ (14) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ.

අනුව දින 91  බිල්පත් පොලිය 32.91% සිට 32.80% ක් දක්වා කැපී පනෙන පහළ යාමක් වාර්තා කර ඇත.

මීට අමතරව දින 182 බිල්පත් පොලිය 32.27% සිට 32.26% ක් දක්වාත්, දින 364 බිල්පත් පොලිය 29.33% සිට 29.32% දක්වාත් සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 98,000 භාණ්ඩාගාර බිල්පත් ප්රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර සඳහා රු. මිලියන 220,708 ලංසු ප්රමාණයක් ලැබී තිබුණි. එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්රමාණයටම සමපාත වන අයුරින් රු. මිලියන 98,000 ලංසු පිළිගැනීමට කටයුතු කර තිබුණි.

මීට මාසයකට පෙර එනම් 2022 නොවැම්බර් 09 වැනිදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොලිය 33.14% ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර ඉන් පසු එම කාණ්ඩය සඳහා වාර්තා වූ අඩුම පොලී අනුපාතිකය මෙම වෙන්දේසියේ දී තීරණය වී තිබේ



Tuesday, December 13, 2022

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම වැඩිවෙයි

 


 


මේ මස මුල් දින 07 තුළ පමණක් විදෙස් සංචාරකයින් 16,168 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 644,186 දෙනෙකු  මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 106,500 කි.

ප්‍රධාන වශයෙන් රටවල් 20ක සංචාරකයින් මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති අතර ඉන් වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව වාර්තා වේ.

එම සංඛ්‍යාව 108,510 දෙනෙකු වන බව සඳහන්ය. එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතියින් 78,827 දෙනෙකු, රුසියානු ජාතිකයින් 74,713 දෙනෙකු ද  මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

රටේ ඉදිරි ගමන පිළිබඳ කරුණු කියන්න ජාතික තරුණ වේදිකාවක්

 

   


“ජාතික තරුණ වේදිකාවරටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව (National youth Platform) සඳහා විශ්වවිද්‍යාල  සිසුන් දායක කර ගැනීම පිළිබඳ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේ දී ය.

 

රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ අදට නොව තවත් වසර 25කට සරිලන අන්දමින් බවත් එහිදී තාරුණ්යයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම අපේක්ෂාව බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා  තවත් වසර 25කින් නිදහසේ සියවන සංවත්සරය සමරන විට මේ රටේ නායකත්වයට පත්ව සිටින්නේ රටේ තරුණ තරුණියන් බව පැවසීය.

 එබැවින් තරුණ තරුණියන් අපේක්ෂා කරන සංවර්ධිත රට ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දැක්මල සැලසුම් සහ නිර්මාණශීලි කුසලතා ජාතික තරුණ වේදිකාව හරහා රජයට ඉදිරිපත් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 එමෙන්ම  ලංකාව කලාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණු අතර ඉන්දියාවල බංග්ලාදේශය සහ පකිස්තානය ඇතුලු කලාපීය රටවල සිසුන්ට මෙරට විශ්වවිද්යාලවල අධ්‍යාපනය  ලැබීමට එමගින් අවස්ථාව ලබාදිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්

 

  


 

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්       ගෙන එන බවත් සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණයේ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවපැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශිය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්ල ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද සහය අවශ්‍ය බව මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

Monday, December 12, 2022

චෙන්නායි - යාපනය අතර යළිත් ගුවන් ගමන්

 


පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්සේවා කටයුතු අද(12දා) යළිත් ආරම්භ විය.

 ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය පලාලි ගුවන්තොටුපොළ දක්වා ගුවන් ගමන් සිදුවන අතර එහි සිට අද උදෑසන මගී ගුවන් යානයන් පැමිණියේය.

යුද සමයේ වසා දමා තිබු පලාලි ගුවන්තොටුපොළ යහපාලන ආණ්ඩුව විසින් යලි විවෘත කළ අතර පසුව පත්වු ආණ්ඩුව විසින් එය යළිත් වසා දැමීමට කටයුතු කළේය.

  රුපියල් මිලියන 2,250 වියදමකින් පලාලි  ගුවන්තොටුපොළ යළි  සංවර්ධනය කර මෙලෙස විවෘත කර ඇත.

මේ අනුව නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමඟ ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සඳුදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයකම ගුවන් ගමන්  සුදානම් කොට ඇති බව ගුවන්තොටුපොළ භාර නිලධාරීහු පැවසූහ.