Thursday, December 22, 2022

සිමිත කාලයකට ඡන්දෙ කල්දැමීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය හකුලාගැනීමක් නෙවෙයි

 



 










සිමිත කාලයකට ඡන්දෙ කල්දැමීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය හකුලාගැනීමක් නොවන බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව දිනමිණ පුවත්පත සමග සංවාදයකට එක්වෙමින්  ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා  මේබව පවසා ඇති අතර එම සංවාදය මෙසේය,

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසාන වෙමින් පවතින නිසා පළාත් පාලන මැතිවරණය සඳහා සූදානමක් පවතිනවා. මේ කාලය පළාත් පාලන මැතිවරණයක් සඳහා සුදුසු කාලයක්ද?

නිල වශයෙන් පළාත් පාලන මැතිවරණයක් සඳහා කාලය පැමිණ තිබෙනවා. මැතිවරණයක් කියන්නේ ප්‍රජාත්‍රන්ත්‍රනාදී ක්‍රියාදාමය තුළ අනිවාර්ය අංගයක්. නිසා ඡන්දයක් එපා කියලා කියන්න අපට බැහැ. ඒත් රට තුළ පැවති විවිධ අර්බුද සහ ගැටලු නිසා මීට පෙරත් පළාත් පාලන මැතිවරණ මාස හයක් අවුරුද්දක් වගේ කල් ගිය අවස්ථා තිබෙනවා.

මැතිවරණයක් පැවැත්වීම කොතෙක් දුරට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය ග්‍ර වීමට හේතුවක්ද කියන එක සලකා බැලිය යුතුයි. අපේ රටේ පළාත් පාලන ආයතන අවුරුදු තිහකට වැඩි කාලයක් ක්‍රියාත්මක වුණා. ඒත් ආයතනවලින් සිදු විය යුතු නිසි සේවය නිසි විදිහට ඉටු වුණාද කියන කරුණ සලකා බැලිය යුතුයි. පළාත් පාලන ආයතනයකට ලොකු වැඩ ප්‍රමාණයක් ග්‍රාමීය මට්ටමින් නාගරික මට්ටමින් කරන්න පුළුවන්. ඒත්, දේවල් හරියට ඉටු නොවුන බවයි මගේ පුද්ගලික මතය වගේම සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක මතය. ආයතනයක නිල කාලය දිගු කරනවා නම්, ගැනත් අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතනයකින් නිසි විදිහට වැඩ කරන්නේ නැති නම් එවැනි ආයතනයක් පවත්වා ගෙන යායුතු ආකාරය ගැන වෙනම අධ්යයනය කළ යුතුයි.

 

ඔබ කියන්නේ පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දමා ආයතන නිල කාලය දිගු කරනවා නම් එය නිසි ක්‍රමවේදයකට අනුව කළ යුතු බවද?

ඔව්, කොමසාරිස්වරයකු යටතට ආයතන පත් කරනවා නම් හෝ නිල කාලය දිගු කරනවා නම් එය හිතුමතේ කිරීම නොකළ යුතුයි. ඉදිරි වසරක හෝ මාස හයක කාලය තුළට නිශ්චිත වැඩසටහනක් මඟ පෙන්වීමක් තියෙන්න ඕනෑ. මම නම් යෝජනා කරන්නේ එවැනි නිසි වැඩපිළිවෙළක් තුළ වැඩකටයුතු කළ යුතු බවයි. එමඟින් පළාත් පාලන ආයතනවල අරමුණු නිසි ආකාරයට ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ස්ථිරයි.

 

එහෙත් අද ඇති තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු වුවහොත් එහි පසුබිම ගැන ඔබේ විග්‍රහය පැහැදිලි කළ හැකිද?

නීතිය අනුව බැලූ බැල්මට මැතිවරණය පැවැත්විය යුතුයි.ඒක නීතියට අනුව හරි දෙයක්. ඒත් අපි රටේ තියෙන ප්‍රායෝගික තත්ත්වය ගැන සලකා බලන්න ඕනෑ අද රට තියෙන්නෙ ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයක නොවෙයි. නිසා මැතිවරණයක් පවත්වද්දි මූලිකව බලන්න ඕනෑ දෙයක් තියෙනවා. කරුණ තමයි අද රටේ ආර්ථික තත්ත්වය අනුව මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වටපිටාවක් ආර්ථික තත්ත්වයක් තියෙනවාද කියලා සොයා බැලිය යුතුයි. සාමාන්‍ය මැතිවරණයකට විශාල මුදලක් වියදම් වෙනවා. එහෙත් මේ මොහොතේ ඒවගේ මැතිවරණයකට වියදම් කරන්න මුදල් තියෙනවාද? මුදල් ප්‍රමාණය සොයා ගන්නේ කොහොමද? කියන එක ගැටලුවක්. දැන් තියෙන තත්ත්වය අනුව සල්ලි අච්චු ගහන්නත් බැහැ. මැතිවරණය නිසා දෛනිකව සිදු කරන රටේ වැඩ නවත්වන්නත් බැහැ. එනිසා මම පෙර සඳහන් කළා වගේ සීමිත කාලයක පළාත් පාලන මැතිවරණය කල් දමනවා නම් ආයතන විසුරුවා හැර කොමසාරිස්වරයකු යටතට පත් කරන්න පුළුවන්. මීට පෙරත් පළාත් පාලන මැතිවරණය කල් දැමූ අවස්ථාවල කොමසාරිස්වරු පත් කරනු ලැබ තියෙනවා. වගේම මැතිවරණය කල් දමනවා නම් පළාත් පාලන ආයතනවලට නිශ්චිත ඉලක්කයක් දෙන්න ඕනෑ ඉතිරි කාලය තුළ ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳව. එහෙම වුණොත් අඳුර මැද රිදී රේඛාවක් දැක ගැනීමට හැකියාව ලැබේවි.

 

ඔබ අදහස් කරන මැතිවරණය පැවැත්විය යුතු කාලය ලෙස ඔබ දකින්නේ කොයි කාලයද.?

මම කියන්නේ නැහැ අවුරුදු ගණන් මැතිවරණ කල් දමන්න කියලා. මගේ මූලික අදහස තමයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇත්තේම නැතිනම්, අයි.එම්.එෆ් ණය මුදල ලැබෙන තෙක්වත් මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතුය යන්න.

 

ඒත් සමහරුන්ට පෙනෙන්න පුළුවන් මෙය ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමක් කියලා.

සාධාරණ හේතුවකට සීමිත කාලයකට මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමක් විදිහට හඳුන්වනවා නම් ඒක සුදුසු දෙයක් නොවෙයි. අප සෑම දෙයක් ගැනම මැදහත්ව කල්පනා කර අදහස් ප්‍රකාශ කිරීම තමයි වඩාත් හොඳ දේ වන්නේ.

  

රජය යෝජනා කර තිබෙනවා මැතිවරණයකට අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සීමා කළ යුතු යෝජනාවක්, ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද.?

මෙය ඉතාමත් හොඳ යෝජනාවක්, ඇත්තෙන්ම මේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුව තිබුණෙ කලකට පෙරයි. ඒත් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වී හෝ උනන්දු වීම ගැන සතුට පළ කළ යුතුයි.

 

සිරිසේනගේ සැළසුම දසනායක හෙළිකරයි

 

මෛත්‍රීපාල සිරිසේන සමගි ජනබල වේගයේ සජිත් සමග එකතුවීමට ආසාවෙන් සිටියද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තවම එවැනි තීරණයක් ගෙන නොමැති බව රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ වැඩි බරක් තියෙන්නේ සජිත් ප්‍රේමදාසට තමයි.ගිය සැරේ ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලපු වෙලාවේ ඉඳන්ම එතුමාගේ බර තිබුණේ, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තට, ඒ පැත්තට තමයි ඇදුනේ, ඒ ඇදිල්ල තාමත් ඇදිලා යනවා ඒ පැත්තට.අපි 09 දෙනෙක් ඉන්නවා තාම පැත්තකට බරක් නෑ, අපි කණ්ඩායමක් ඉන්නවා, ඉස්සරහට හොඳ තීන්දුවක් ගන්නවා.දැනට අපි බලන්නේ මේ උන්නු තැනින් ටිකක් උඩට එන්න, මොනවා හරි කරලා මේ ප්‍රශ්න ගැටලු නිරාකරණය කරලා චුට්ටක් රට උඩට ආවොත් අපිට සතුටුයි. ඒ වගේම හැම ආණ්ඩුවම ඡන්ද කල් දැම්ම නේ,  මේ ආණ්ඩුව විතරක් නෙවෙයි,  මං හිටපු මහ ඇමති මං අයින් වුණේ 2019, මං තමා අන්තිමටම අයින් වුණ පළාත් සභාව ඌව පළාත් සභාව,  අද 2022 යි, අද වෙනකල් පළාත් සභාවක් තියෙනවාද? මේ හැම ආණ්ඩුවක්ම ඡන්ද කල් දැම්මා, මේ ආණ්ඩුව ඡන්ද කල්දානවාද?  නැද්ද? කියලා තවම කියලා නෑ, ඡන්ද තියලා තමයි පහුගිය කාළයේ ආණ්ඩු වලට කෙළ වුණේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයායි හවුල් ආණ්ඩුවක් කරගෙන ගියා, 2017 ඡන්දේ තිබ්බා, දෙන්නා දෙපැත්තෙන් ඉල්ලුවා, එක්කෙනක් බුලත් කොළයෙන් ඉල්ලුවා, එක්කෙනෙක් අලියාගෙන් ඉල්ලුවා,  පොහොට්ටුව උඩ ගියා. ඊට පස්සේ මොකද වුණේ ? ආණ්ඩුව දෙදරුවා,  ආණ්ඩුව වැටුණා.මොකද වුණේ? ඊට පස්සේ 2019 අලුත් ආණ්ඩුවක් පත් වුණා, ප්‍රාදේශීය සභාවක් තියලා රටක් හදන්න පුලුවන්ද?  ප්‍රාදේශීය සභා වලින් හැදෙන්නේ ග්‍රාමීය ජනතාවගේ එදිනෙදා ජීවිතයේ තියෙන ඒවා, ඉස්සරලා රට හදනවා නම් මගේ මතය රටේ තියෙන ප්‍රශ්න ටික, ගැටලු ටික විසඳන්න ඕන, ඡන්ද තියලා බලන්න කියන්න, අපි ඕන පක්ෂයකින් අපේ කණ්ඩායම ඉදිරිපත් කරනවා.”

Wednesday, December 21, 2022

මේ මැතිවරණයක් පැවැත්විය හැකි කාලයක්ද

 












මැතිවරණයක් පැවැත්විය යුතු බව විපක්ෂය නියෝජනය කරන බොහෝ පිරිස් ප්‍රකාශ කළද රටතුළ තිබෙන ආර්ථික තත්වය අනුව මැතිවරණයක් පැවැත්වීමට දුෂ්කර කාර්යක් වී තිබේ. ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා දිනමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසන්නේ මේ අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන්නේ රට අරාජික කිරීමට උත්සහ කරන කණ්ඩායම් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටි මුල්‍ය අරමුදලේ ණය ලබාගැනීම් ජනවාරි මාසය දක්වා කල්යාමේ තත්වයක් ඇතිව තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා පවසන්නේ මෙවැන්නක්ය,  

 මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට යෝජනා කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක් ?

 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් රටේ වෙනසක් ඇති වන්නේ නැහැ. එය ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය වගේ නොවෙයි. එය මේ මොහොතේ පැවැත්වීම සුදුසු නැහැ. අනෙක දැන් තිබෙන මැතිවරණ ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් එය කිසිදු ප්‍රයෝජනයක් නැහැ. පළාත් පාලන ක්‍රමය තුළ කෙරෙන දේවල් අපට දකින්නට ලැබෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් පත් වන මන්ත්‍රීවරුන් තමන්ට අවැසි දේ කර ගන්නවා විනා ප්‍රදේශයේ දියුණුවට කිසිදු ආකාරයේ දෙයක් කරන්නේ නැහැ. කරන්නත් බැහැ. තමන්ගේ පක්ෂයට විරුද්ධ පක්ෂයේ අය බලයේ සිටිනවා නම් මන්ත්‍රීන්ට තමන්ට අවැසි දේ මේක්‍රියාවලිය තුළ කොහොමත් කරන්න බැහැ. එය තමයි මෙහි ඇත්ත තත්ත්වය.

 අනෙක රටේ තිබෙන තත්ත්වය අනුව මහ මැතිවරණයකට යෑම ඉතා ආසන්න කාලයකදී කළ නොහැකියි. වසර දෙකකින් කියන්නේ ලබන වසරේ පෙබරවාරි මාසය වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීය යුතු වුවත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කළා එතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව. එම නිසා එවැනි තත්ත්වයක් තුළදී පළාත් සභා මැතිවරණයකට විශාල මුදලක් වැය කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණ ක්‍රියාවලියක්.

පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ පාලන තන්ත්‍ර වෙනස් වෙනවා නම් රටට යහපතක් සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම එය කළ යුතුයි. නමුත් මෙතැනදී සිදු වන්නේ හුදෙක් තව කණ්ඩායමක් පළාත් පාලන ආයතනවලට පත් වී ඔවුනට හිතුමතේ වියදම් කිරීමට ඉඩකඩ සලසා ගන්නවා පමණයි. මෙයින් රටට යහපතක් සිදු වනවාට වඩා සිදු වන්නේ අයහපතක්.

 

අදාළ කාලසීමාවේ රටේ මැතිවරණ පැවැත්විය යුතුයි නේද?

 මැතිවරණ පැවැත්විය යුතුයි. එහෙත් සඳහා සුදුසු පරිසරයක් රටේ තිබිය යුතුයි. මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට කන්න නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගන්නවත් විදියක් නැහැ. ආණ්ඩුව ගෑස් සහ පෙට්රල්, ඩීසල් ගැටලු විසඳමින් යන මොහොතක රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙන වෙලාවක වගේම අපි යැපුම් ආර්ථිකයෙන් මිදිලා නිෂ්පාදිත ආර්ථිකයක් සම්බන්ධව කටයුතු කරන වෙලාවක මැතිවරණයකට ගිය හොත් එය හුදෙක්ම පොරොන්දු මැතිවරණයක් පමණක්ම වෙනවා. මැතිවරණ කියන්නේ කලබලේ තියන්න පුළුවන් දෙයක් නොවෙයි. මැතිවරණ පිළිබඳ කතා කරන අයට කියන්න තියෙන හොඳම දේ තමයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කමිටුවක් මඟින් යෝජනා කර තිබෙන මැතිවරණ ක්රමය ගැන සලකා බලා පිළිබඳව විවාද කොට එහි අඩුපාඩු හදා ගෙන එම පනත සම්මත කර ගෙන මැතිවරණයකට යාම.

කුමන තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත් වුවත් එයට වියදම් කළ යුතුයි. එම වියදම් අවම කිරීමට කිසිදු හැකියාවක් නැහැ. එහි අවසන් ප්රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණය වගේ වෙනසක් රටේ ඇති වෙනවා නම් එසේ මුදල් වියදම් කර පැවැත්වීම සම්බන්ධව සලකා බලන්න තිබුණා. මේ වෙලාවෙ ඡන්දයක් ඉල්ලන්නේ රට අරාජික කරන්න උත්සාහ කරන අය.

  

මහ මැතිවරණයට කලින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි නේද?

එහෙම නීතියක් තිබෙනවා තමයි. නමුත් හැම නීතියක් සඳහාම ව්යතිරේකයක් තිබෙනවා. එහිදී රටේ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ එය කල් දමා ගත හැකියි. දැන් තිබෙන්නේ අපේ රටේ මැතිවරණයක් පැවැත්විය හැකි කාලයක් නොවේ. රටේ ජනතාවට කන්න බොන්න දිය යුතුයි. ජනතාවගේ ආර්ථික සහ සමාජයීය ගැටලු පළමුව විසඳිය යුතුයි.


මේ පිළිබඳව අදහස් දැක්වු සේමසිංහ අමාත්‍යවරයා,

ණය සාකච්ඡා මට්ටමේ පවතිනවා. අවසාන එකඟතාවය ලබාගත් පසුව පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒවගේම අපේ ණය හිමියන්ගෙන් රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහල ලැබෙනවා කියන විශ්වාසය ණය අරමුදලට අවශ්‍යයි. එය ලබන වසරේ මුල් කාර්තුව තුළ සිදුවේවි. යැයි පැවසීය.

 මැතිවරණ කොමිසමේ මතය

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාව පවසන්නේ මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇති බවයි. එමෙන්ම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් ඊයේ මෙසේ  අදහස් දක්වා තිබුණා.



Tuesday, December 20, 2022

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ආණ්ඩුව කරන්න යන දේ

 

 



විදෙස්රටවල වෙසෙන මිලියන 03 ක පමණ ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිවන පරිදි “ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු සඳහා කාර්යාලය” ජනාධිපති කාර්යාලයේ පිහිටුවීමටත්  එම කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් නියමිත අතර විදේශ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා විදේස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා කාර්යාලයක් පිහිටුවීමට නියමිත අතර මෙවැනි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාව 2022 අතුරු අයවැය යෝජනා මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවට විදේශ විනිමට පරිත්‍යාග අවශ්‍ය බවට මහබැංකුව මීට පෙර නිවේදනය කළ අතර අතවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා මෙලෙස විදේශ විනිමය පරිත්‍යාග කරන ලෙස මහ බැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව මහ බැංකුව මගින් පවත්වාගෙන යන ඔනෑම ගිණුමකට පරිත්‍යාග කිරීම් සිදුකළ හැක.

 

මුදල් වලින් කරන දේ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලබන සියලුම විදේශ විනිමය පරිත්‍යාග, ඖෂධ , ඉන්ධන සහ ආහාර වැනි බෙහෙවින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිතකිරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වී තිබේ.

 

මුදල් වල විනිවිදභාවය

 මෙලෙස ලැබෙන විදේශ විනිමය ලැබීම් සහ ඒවායේ භාවිතය පිළිබඳ විනිවිදභාවය පවත්වාගෙන යාම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ නිලධාරීන් තිදෙනෙක්ගෙන් සමන්විත ජේෂ්ඨ කමිටුවක් පත්කර ඇත. ලැබෙන සියලුම විදේශ විනිමය පිළිබඳ මුල්‍ය ප්‍රකාශය මෙම කමිටුව විසින් සෑම මසකම ශ්‍රී ලංකා මහබැංකුවේ නිල වෙබ් අඩවිය වන   https://www.cbsl.gov.lk හි පළකරනු ලබයි. එමෙන්ම මෙම මුදල් ගණුදෙනු ස්වාධීන විගණනයකට යටත් කරනු අතර සති දෙකකට වරක් යාවත්කාලීන කළ ගිණුම් පරිත්‍යාග පිළිබඳ විස්තර ප්‍රසිද්ධ කිරීමට ද මහබැංකුව බැදී සිටියි.

 





අයවැය යෝජනා පුස්සක් නොවන්නට

 


 











වර්ෂ අවසානය ලඟාවන නොවැම්බර් දෙසැම්බර් සමය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමුවන ප්‍රධාන කාරණයක් වන්නේ අයවැය යි. ජාතික මට්ටමෙන් රටතුළ ඉදිරි වර්ෂයේ ක්‍රියාත්මකවීම පිළිබඳව අයවැය ලේඛණය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා අතර පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළ ද මෙලෙස ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගැනීම සිදුවේ.

මෙවනවිට පළාත් සභා ක්‍රියාත්මක තත්වයේ නොමැති බැවින් ඒවායේ අයවැය ඉදිරිපත් කිරීමක් නොවුනද දිවයිනේ පළාත් පාලන ආයතන 341 හි ම ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගැනීම මේදිනවල සිදුවේ. එසේ උවද ඒ සඳහා ජනතාව තුළ ඇත්තේ අඩු අවධානයකි.

ඔනෑම රාජ්‍ය ආයතනයක් මගින් අයවැය ඉදිරිපත් කිරීමේදී  එය ප්‍රධාන ක්‍රියාවලීන් තුනක් ලෙස විකාශය වේ. එනම් අයවැය සැකසීම ක්‍රියාත්මක කිරීම සහ පසුවිපරම් කිරීමයි. මුල් ක්‍රියාවලි දෙක සිදුඋවද අයවැය පසුවිපරම් කිරීම සිදුවන්නේ ඉතාමත් අල්ප වශයෙනි. පාර්ලිමේන්තුව මගින් ඉදිරිපත් කරන ජාතික අයවැය පිළිබඳව ඳ පසුවිපරම් සිදුවන්නේ අල්ප වශයෙනි.

පළාත් පාලන ආයතනයක් වන කුලියාපිටිය නගර සභාවේ 2022 වර්ෂ සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා ඉටුකිරීම කෙසේ සිදුවී ඇත්ද යන්න විමරශනය කළ අතර අයවැය මගින් ඉදිරිපත් කරන සියලු අයවැය යෝජනා එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට එම පළාත් පාලන ආයතනය අපොහොසත් වී ඇති බව එමඟින් පෙනී යයි.

 

2022 අයවැය යෝජනා

 කුලියාපිටිය නගර සභාව 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය තුළ ප්‍රදේශයේ සමාජ හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේ. ඒ අනුව සංවර්ධන ක්ෂේත්‍ර තුනක් ඔවුන් හදුනාගෙන ඇති අතර මාර්ග නඩත්තුව හා සංවර්ධනය , නව ඉදිකිරීම් හා අලුත්වැඩියාව , ප්‍රජා සංවර්ධන හා සමාජ ආරක්ෂණ වැඩසටහන් ලෙස සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 76 ක් වෙන්කර තිබේ. ඒ යටතේ සංවර්ධන යෝජනා 77 ක් නගර සභාව මගින් 2022 වර්ෂයට යෝජනා කර තිබේ.

 

ක්‍රියාත්මක කර ඇති යෝජනා

 

මාර්ග නඩත්තුව හා සංවර්ධනය යටතේ ඉදිරිපත් කර ඇති යෝජනා වලින් නගර සභාවට ඉටුකරගැනීමට හැකිව ඇත්තේ යෝජනා 07 ක් පමණි. ඒ සඳහා රුපියල් ලක්ෂ 36 ක් වැය කර තිබේ. එමෙන්ම නගර සභාව මගින් මේ වසරේදී සිදුකළ විශාලතම ව්‍යාපෘතිය ලෙස “කුලියාපිටිය නගර සභා නව පොදු වෙළඳපල හා බහු කාර්ය ගොඩනැගිල්ල ඉදි කිරීම” සිදුකර ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 69 ක් වැය කර ඇත. එසේ උවද එම ඉදිකිරීම් අවසානකරගැනීමට මේවනතුරු නොහැකි වී තිබේ. එම ගොඩනැගිල්ල මේවසරේ විවෘත කිරීමට නගර සභාව බලාපොරොත්තුවී සිටියද ඉදිකිරීම් අවසන්කරගැනීමට නොහැකිවීම තුළ එය ලබන වසරට කල්දමා ඇත.

තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා නගර සභාව මගින් ප්‍රතිපාද වෙන්කර තිබීම වැදගත් කාරණයකි. එසේ උවද ඒ සඳහා ඉදිරිපත් කර තිබු සියලු යෝජනා ක්‍රියාත්මක කරගැනීමට නගර සභාව සමත්වී නැත.

 

යෝජනා ක්‍රියාත්මක නොකිරීමට හේතු

 

අයවැයක් මගින් ඉදිරිපත් කළ යෝජනා සියල්ල ඉටුකිරීමට නගර සභාව බැදී සිටින අතර එසේ යෝජනා ඉටුකර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් නගර සභාව විසින් විවිධ කාරණා ඉදිරිපත් කරයි. ඒ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සභා අරමුදල් මගින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතීන් තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දී ඇති බවත් ඒ අනුව   ව්‍යාපෘති සිදු කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවු බවත් නගර සභාව සඳහන් කරයි. එමෙන්ම වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින්  රාජ්‍ය වියදම් පාලනය කිරීමනමින් සියළු නගර සභා හා ප්‍රාදේශීය සභා වෙත ලිපියක් ඉදිරිපත් කළ බවත් එමගින් අයවැය ප්‍රතිපාදන වෙන් කර ගත් වැය විෂයන් වලට අදාල ඉදි කිරීම් හා අළුත්වැඩියා කටයුතු සඳහා පළාත් පාලන කොමසාරිස්වරයාගේ හා  ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව දන්වා ඇති බවද නගර සභාව සඳහන් කරයි.  එබැවින් යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි බව නගර සභාව සඳහන් කරයි.

 

විවිධ අදහස්

 

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ නොකිරීම සම්බන්ධයෙන් කුලියාපිටිය නගර සභාවේ සභාපති ඒ. එම්. එල්. අදිකාරි මහතාගෙන් විමසු අවස්ථාවේදී හෙතෙම පැවසුයේ අයවැය යෝජනා හැකි උපරිමය ක්‍රියාත්මක කිරීමට නගර සභාව කටයුතු කළ බවයි. එමෙන්ම ක්‍රියාත්මක කළ එම ව්‍යාපෘති සියල්ලම ඉතා විනිවිධභාවයෙන් යුතුව සිදුකළ බවත් මහජන මුදල් ඉතා ප්‍රවේශමෙන් පරිහරණ කළ බවද හෙතෙම පැවසීය. එසේ උවද පැවති ආර්ථික අර්බුද හා දේශපාලන අස්ථාවරභාවය මෙන්ම වසංගත තත්වය හේතුවෙන් බොහෝ කටයුතු නිසි පිරිදි ඉටුකරගැනීමට නොහැකි වු බවත් ඒ වෙනුවෙන් කණගාටු වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස විමසීමේදී ඔවුන් සඳහන් කළේ නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මත කළ බවත් ව්‍යාපෘතිය සියල්ල සිදුකරගැනීමට නොහැකි වුයේ පැවති ආර්ථික අර්බුදය නිසා බවත්ය. එසේ උවද ඊට පෙර වර්ෂයේ ඉටුකිරීමට නොහැකි වු යෝජනා ද මේ වසරේ අවසන් කළ බවද ඔවුහු පෙන්වා දුන්හ.

නගර සභාවේ අයවැය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නගර සභා සීමාවේ ජනතාවගෙන් විමසීම් කළද ඔවුන් ඒ සම්බන්යෙන් නිසි දැනුවත්වීම් සිදුනොවී තිබිණි. නගර සභාව මගින් වාර්ෂිකව අයවැයක් ඉදිරිපත් කරන බව පවා ඇතැමුන් දැනුවත්වී නොතිබීණි. එය කණගාටුවට කරුණකි.

 

ඉටු නොවන යෝජනා ඉටුකර ගැනීම

 

අයවැය යෝජනා සම්මත කරගැනීමෙන් පසුව බදු ගෙවන ජනතාව වෙනුවෙන් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට එම ආයතන බැදී සිටියි. නමුත් අයවැය ට අදාළ කාලසීමාව අවසන් වු පසුව ඒ සම්බන්ධයෙන් කිසිවෙකු පසුවිපරම් නොකරන බැවින් එම සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමට එම මහජන නියෝජිත ආයතනද උත්සුක නොවේ. අයවැය සැලසුම්කිරීම් සම්තකිරීම ක්‍රියාත්මක කිරීම මෙන්ම අයවැය පසුවිපරම් කිරීමද වැදගත් වන්නේ මේ නිසාය. පාර්ලිමේන්තුව තුළ මෙන්ම පළාත් පාලන ආයතනවලද මුදල් පරිහරණ ක්‍රියාවලිය විධිමත් කරගැනීම සඳහා ජනතා සහභාගීත්ව ක්‍රමයක් අවශ්‍ය වන අතර ජනතාව මේ සම්බන්ධයෙන් පසුවිමරම් කිරීම මගින් කටයුතු වඩා කාර්යක්ෂමව විනිවිධභාවයෙන් යුතුව කරගැනීමට වඩාත් අවස්ථාව සැලසෙනු ඇත.

 

 

-         චාමර සම්පත්