Saturday, January 14, 2023

ඔබ ඔබම විය -සිරිසේන සහ බෝම්බ


300 කට ආසන්න පුරවැසියන් සංඛ්‍යාවට ජීවිත අහිමි කළ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත්තේ ය, යන පදනම මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත රුපියල් මිලියන 100 වන්දියක් වින්දිත පාර්ශවයන් වෙත ගෙවීමට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දොළොස්වනදා නියෝග කළේය. ඉන් දින කිහිපයකට ඉහත දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ලිපියක් නිකුත් කරමින් සිරිසේන ජනාධිපතිවරයාට පෙර සිටි සියළුම ජනාධිපතිවරුන් ද ඇතැම් විට බෝම්බ පිපිරීම් වළක්වාලීමට පියවර ගෙන නැතැයි යන ආකාරයේ ප්‍රකාශයක් කළේය.දයාසිරි ජයසේකර වුවමනාවෙන් අමතක කර දැමීමට උත්සාහ කරන සත්‍යය කුමක්ද?


ජයසේකර මහතා මෙම ප්‍රකාශය කරන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් සිදුකරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි. ජනාධිපති කුමාරතුංග පවසා සිටියේ රාජ්‍යයේ ආරක්ෂාව ජනාධිපතිවරයෙකු සතු ප්‍රමුඛතම වගකීම බවත් කිසිලෙසකින් එය පැහැර හැරීම නොකළ යුතු බවයි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති සිරිසේනගෙන් විමසන සියලු අවස්ථාවන්හිදී ඔහු ද පවසන්නේ, මෙරට බෝම්බ ප්‍රහාරයක්‌ සිදුවූයේ තමාගේ පාලන සමයේ පමණක් නොවන බවත්, තමාට පෙර සිටි සියළුම ජනාධිපතිවරුන් යටතේ ද " මෙවැනිම " බෝම්බ පිපිරීම් සිදුවී ඇති බවත් ය.


මෙරට සිවිල් යුද්ධය ආරම්භ වන්නේ ජනාධිපති ජේ. ආර්.ජයවර්ධනගේ සමයේ ය.එතැන් පටන් සිවිල් යුද්ධය 2009 වර්ෂයේ අවසන් වන තෙක් මෙරට ජනාධිපතිවරුන් පස් දෙනෙක් යටතේ පාලනය වී තිබුණි. ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක්‌ සමඟ සිවිල් යුද්ධයක් පවතින රටක කුමන හෝ පරිමාණයේ බෝම්බ පිපිරීම්, වෙඩි තැබීම් ආදිය සිදු නොවේ යැයි යන බලාපොරොත්තුව තැබිය නොහැකිය.එසේම සිවිල් යුද්ධයක්‌ යනු සුවිශේෂී තත්ත්වයක් බැවින් සිදුවන සියලුම බෝම්බ පිපිරීම් වළක්වා ගැනීමද කුමන හෝ පාර්ශවයක් වෙතින් අපේක්ෂා කිරීමට නොහැකිය.සිරිසේනට පෙර සිටි ජනාධිපතිවරුන් යටතේ පැවතියේ එම තත්ත්වයයි. 2009 සිට ආරක්ෂක අංශ විසින් පශ්චාත් යුධ සාමය තහවුරු කොට තිබූ අතර එවකට සිරිසේන ජනාධිපතිවරයා යටතේ පැවතියේ සමකාමී වාතාවරණයකි. එහෙයින් ඔහු සෑම තැනකම සඳහන් කරන " මෙවැනිම"  ආකාරය කුමක්ද යන්න ගැටලුවකි.


බෝම්බ පිපිරීම මදකට පසෙකින් තබමු. බෝම්බය පිපිරී යාමෙන් අනතුරුව සිරිසේන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලමු.1998 දී ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බෝම්බ ලොරියක් කඩා වැදී සිදුකරන ලද විනාශකාරී අවස්ථාවේ දී වුවත් එවකට ජනාධිපතිවරිය විසින් ඉතාම කෙටි කාලයක් තුළ රටේ තත්ත්වය යථා තත්ත්වයට ගැනීමට කටයුතු කළාය. දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී ඇය විසින්ම සිදුවීමට ගිය ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පාලනය කළාය. අලිමංකඩ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඇය තම ඇසට ප්‍රතිකාර ගැනීමට විදේශගත වී සිටියත් ඇය එය අතරමග නවතා පැමිණීමෙන් යාපනය නගරය අල්ලා ගැනීම වැලැක්වූවාය.කැබිතිගොල්ලෑව බස් බෝම්බය සිදු වූ අවස්ථාවේ එවකට ජනාධිපතිවරයා සුළු මොහොතකින් වින්දිතයන් හමුවීමට ගියේය.නමුත් සිරිසේන ජනාධිපතිවරයා ගුවන් ගමන්වාර කිහිපයක් තිබියදීත් ලංකාවට පැමිණියේ පසුවය. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් වහාම ආරක්ෂක කවුන්සිලය කැඳවීමට පියවර ගත්තත් ජනාධිපතිවරයා විසින් ඒ සඳහා සහභාගී නොවන ලෙස වගකිවයුත්තන්ට දැනුම් දී තිබුණි. මෙවැනි හදිසි අවස්ථාවක රාජ්‍ය නායකයෙකු වෙතින් අපේක්ෂිත   කාර්යක්‌ෂමතාවය සිරිසේන ජනාධිපතිවරයා විසින් දැකීමට නොහැකි විය.


2018 ඔක්තෝම්බර් මාසයේ සිට සිරිසේන ජනාධිපතිවරයා හැසිරුණේ, ජනරජයේ ජනාධිපතිවරයා තබා නූගත් ග්‍රාම්‍ය වැසියෙකුවත් හැසිරිය යුතු අන්දමට නොවේ. නීත්‍යානුකූල නොවන අන්දමින් අගමැතිවරයෙකු පත්කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආදී ඔහුගේ ක්‍රියාවන් ජනාධිපති ධූරය මහජනතාව තුළ අගෞරවයට ලක්‌ කළේය. පාස්කු ප්‍රහාරයට පෙර අවස්ථා හතරකදී ඔහුට වගකිවයුතු පාර්ශව විසින් මේ පිළිබඳව දැනුම් දී තිබුනත් ඔහු ඒ වෙනුවෙන් කිසිඳු පියවරක් ගැනීමට කටයුතු නොකර ඇත. ඔහුට පෙර සිටි ජනාධිපතිවරුන් මෙවැනි අවස්ථාවන්හි දී ඒ පිළිබඳව ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කිරීම නිසා සිදුවීමට ගිය ඇතැම් විනාශකාරී සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කිරීමට හැකිවිය.


සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පෙනෙන්නේ ජනාධිපති ධූරය සතු කාර්යය සහ කර්තව්‍ය පිළිබඳව ඔහු තුළ අවබෝධයක්‌ තිබී නැති බවත්, එසේ අවබෝධයක් තිබුණා නම් එයත් ඔහු වුවමනාවෙන්ම පැහැරහැර ඇති බවත්ය. එසේම විදේශගත වන අවස්ථාවේ දී අවශ්‍ය බලතල එකී අමාත්‍යංශයන් හි රාජ්‍ය අමාත්‍යවරයාට හෝ අගමැතිවරයාට පවරා නොයාමට තරම් ආත්මාර්ථකාමීත්වයකින් ඔහු පෙළුණු බවත්ය. එබැවින් සිරිසේන ජනාධිපතිවරයාගේ " හැමෝම මම වගේ " තර්කය තවත් වලංගු නොවේ.


 -සහන් තෙන්නකෝන්

ශ්‍රිලනිපය ප්‍රසිද්ධියේ සියදිවි නසාගත් හැටි?


පලාත් පාලන මැතිවරණය සම්බන්ධ සාකච්චාව දවසින් දවස උණුසුම් වෙන එකක්.තවමත් ඡන්දය තියයිද,නැද්ද කියන නොවිසදුණ ප්‍රශ්නය ජනතාව ඉස්සරහා තියනවා.කොහොම උනත් දැන් ඒ ප්‍රශ්නය බේරගන්න වෙන්නේ අධිකරණය ඉස්සරහදී. රටේ රාල නං තවමත් විශ්වාස කරන්නේ ඡන්දය කල්දාන්න අවශ්‍ය සාධාරණ නීතිමය තර්කයක් හොයාගන්න බැරි තැනක ආණ්ඩුව ඉන්නවා කියලයි.ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන සමාජීය කාරණා නීතියත් එක්ක කොයිතරම් දුරට සමපාත වෙයිද කියන ප්‍රශ්නය රටේ රාළට තියනවා.ඒක නිසා පලාත් පාලන මැතිවරණ කල්දානවා කියන ඒක දැන් දේශපාලන වශයෙන් ලේසි වැඩක් නෙවෙයි. මැතිවරණය කල්දාන්න කියලා රීට් ආඥාවක් ඉල්ලන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලත් තියනවා.ඒ ගැන සාධාරණ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තෙන් අපට බලාපොරොත්තු වෙන් පුළුවන්. 


දැන් මේ මොහොත වෙනකොට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තමන්ගේ අපේක්ෂක ලයිස්තු හදනමින් ඉන්නේ.පිටට නොපෙනුනාට පක්ෂ ඇතුලේ, සන්ධාන ඇතුලේ ඒ වගේම ස්වාධීන කණ්ඩායම් ඇතුලේ තියෙන්නේ මාර යුද්ධයක්.ඒ අර්බුදය වහගෙන ගොඩක් පක්ෂ සහ කණ්ඩායම් රටට පෙන්නන්න හදන්නේ තමන් මාර වාසිදායක තැනක ඉන්නවා කියලයි.රටේ රාළ නං කියන්නේ මේ කිසිම කණ්ඩායමකට අනෙකා පරයා යන්න තරම් තීරණාත්මකව බලයක් මහ පොලොවේ හැදිලා නෑ කියලයි.හැබැයි මෙතනදී සජබය සහ ජාතික ජන බලවේගයේ ප්‍රචාරක යාන්ත්‍රණය යම් ශක්තිමත් තැනක තියෙන බව පිලිගන්න ඕනි. එයාලගේ ඡන්ද පදනම්වල විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්.ඒත් තමන්ට මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය එයාලගේ පාක්ෂික බලවේග ඇතුලේ යම් ප්‍රමාණයකට හරි හදන්න එයාලා සමත්වෙලා තියනවා.පලාත් පාලන මැතිවරණ ඉතිහාසයේ දරුණුම කඩා වැටීමකට ලක්වෙන්න නියමිත පොහොට්ටුවත් විවිධ උපක්‍රම පාවිච්චි කරමින් තමන්ට නැති ජන පදනමක් පෙන්නන්න හදන බව පේනවා. 


හැබැයි රාජපක්ෂලා සහ බාලගෝලයෝ පෙන්නන්න හදන වාසිය එයාලට මහ පොලොවේ නෑ. පලාත් පාලන මැතිවරණයේදී බලවේගවල හැසිරීම ගැන හෙට ලිපියෙන් කතා කරමු.ඊට ඉස්සෙල්ලා කතා කරන්න ඕනි විශේෂ මාතෘකාවක් අද තියනවා.ඒ ශ්‍රිලනිපයේ ප්‍රධානත්වයෙන් හදපු නිදහස් ජනතා සන්ධානය ගැන. ඇත්තටම ඒක ශ්‍රිලනිපයෙයි,නිදහස ජනතා සභාවෙයි,උත්තර ලංකා සභාගයෙයි එකතුවක්.ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරිට අනුව නම් ඒක ලංකාවේ බිහිවුන පළල්ම සන්ධානය.සන්ධානයේ පළල්කම කෙසේ වෙතත් දයාසිරිගේ දේශපාලනය කොච්චර පටුද කියලා ඒ කතාවෙන් තේරෙනවා.ඇත්තටම මොන පැත්තෙන් හිතුවත් මේක ශ්‍රිලනිපය පාවාදීමක්.එහෙමත් නැත්තං සියතින් ගෙල සිඳගැනීමක්. දේශපාලන වශයෙන් කරගත්ත සියදිවි නසා ගැනීමක්.අද මේ මොහොතේ ඒක නොතේරුනත් ශ්‍රිලනිප සාමාජිකයාට ඉදිරි පැය 72 ක් යන්න කලින් ඒක තේරෙන්න ඕනි.හරි නම් ඒකට විරුද්ධ එයාලා එලියට බහින්න ඕනි.ශ්‍රිලනිපය මෙහෙම අන්ත අසරණ තැනකට ඇඳ දැමීමේ වගකීම ශ්‍රිලනිප නායක මෛත්‍රි,මහ ලේකම් දයාසිරි ජයසේකර සහ ශ්‍රිලනිපය මාධ්‍ය කාරක සභාවත් බාරගන්න ඕනි. 


සන්ධානය හදලා පැය හැත්තෑ දෙකක් යන්න ඉස්සෙල්ලා ශ්‍රිලනිප මධ්‍යම කාරක සභික රෙජිනෝල්ඩ් කුරේ නිදහස් ජනතා සන්ධානයේ අනිත් පාර්ශවයේ කණ්ඩායමක් එක්ක පලාත් පාලන අපේක්ෂකයන් ගැන කරපු සාකච්චාවකදී දැඩි සිත්තැවුලකින් මරණයට පත්වෙලා තියනවා.ඒ මරණයට හේතුව මේ වැරදි දේශපාලන තීරණය විසින් හදපු සිත්තැවුල වෙන්න ගොඩක් දුරට ඉඩ තියනවා.මොකද රෙජිනෝල්ඩ් කුරේ කියන්නේ දේශපාලනය කියවා ගන්න බැරි කෙනෙක් නෙවෙයි.නිදහස් ජනතා සන්ධානය වැඩ පටන් ගන්න වෙලා තියෙන්නේ අසුභ නිමිති ගොඩක් එක්ක.නිදහස් ජනතා සන්ධානය ප්‍රකාශයට පත් කරලා,ඒකේ උණුසුම යන්නත් ඉස්සෙල්ලා පාස්කු ප්‍රහාරය දැන දැනම වලක්වා නොගැනීමේ චොදනාවට ශ්‍රිලනිප සභාපති මෛත්‍රි වැරදිකාරයෙක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණ මෛත්‍රිට නියෝග කළා.ඒ තීරණය දීලා තියෙන්නේ සත් පුද්ගල විනිසුරු මඩුල්ලකින්.ඒ කියන්නේ Full Banch එකකින්.ඒ නියෝගය අභියෝගයට ලක් කරන්න මෛත්‍රිට බෑ. මැතිවරණයක් කට උඩ තියාගෙන, සන්ධානයක් හදපු අලුතම එහෙම තීන්දුවක් එන ඒකේ හානිය අමුතුවෙන් රටේ රාළ ඔයාලට කියන්න ඕනි නෑ. 


කොහොම උනත් මෙතන තවත් ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියනවා. පාස්කු ප්‍රහාරය දැන දැනම වළක්වා නොගත්ත අයට එරෙහිව තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා තියන බව ඇත්ත.හැබැයි තවමත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නිදැල්ලේ ඉන්නවා.එයාලත් හදුනාගෙන නීතිය මගින් දඩුවම කළාට පස්සේ තමයි පාස්කු වින්දිතයන්ට ඇත්ත සාධාරණය ඉෂ්ඨ වෙන්නේ.දැන් ඔයාලා හිතයි ඇයි රටේ රාළ මෛත්‍රිට එරෙහිව දිලා තියන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙතෙන්ට පටලවා ගන්නේ කියලා. ඇත්තටම රටේ රාළට මෙතනදී බරපතල සැකයක් තියනවා.මෛත්‍රි ශ්‍රිලනිපය සම්බන්ධව මේ වගේ වැරදි දේශපාලන තීරණයක් ගන්න ඒ නඩු තීන්දුවත් බලපෑවද කියලා. ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ මෛත්‍රි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කලින් දැනගෙන හිටියා කියලා. හැබැයි මේ වගේ අවාසිදායක තීන්දුවක් එයි කියන අදහස මෛත්‍රිට තිබුණා වෙන්න පුළුවන්. ඒක නිසා මොකක් හරි බෆර් එකක් දාගෙන ඒක ඇතුළට රිංගලා තමන්ට එල්ල වෙන සමාජ පීඩනයට මුහුණ දෙන්න හිතුවා වෙන්නත් පුළුවන්.නැත්තම් මෙච්චර අවාසිදායක කොන්දේසි මත සන්ධානයකට එකඟ වෙන්නේ මොන නායකයාද? 


මෛත්‍රිට ඕනි සමාජ ආරක්ෂණය දෙන්න හැකියාව ඔය සන්ධානයේ ඉන්න කාටවත් බෑ.පුළුවන් උනත් එයාලා එහෙම කරන්නේ නෑ.රටේ රාළ මෙතනදී මතුවෙන අනිත් සැකය වෙන්නේ මෛත්‍රිව මේ උගුලට තල්ලු කලාද කියලයි.රටේ තියන තත්වයත් එක්ක හිතද්දී පළල් ජනතා සන්ධානයක ලොකු උවමනාවක් තියනවා.එතනදී ශ්‍රිලනිපයටත් ලොකු වගකීමක් තියනවා.ඒ ආණ්ඩුවට එරෙහිව ජාතික එකඟතා සහිත සන්ධානයක් හදන්න.ඇත්තටම ඒ හැකියාව සහ අද්දැකීම තියෙන්නේ ශ්‍රිලනිපයට.ඒ වෙනුවෙන් බලවේගය කලමණාකරණය කරන්න මෛත්‍රි දක්ෂ වෙන්න ඕනි. මෙතෙන්දී වැදගත් වෙන්නේ විපක්ෂය එක්ක පොදු සන්ධානයක් ගොඩනැගීමයි.ඒ අර්ථයෙන් හිතුවොත් ශ්‍රිලනිපයට සජබය, ජාජබය,දෙමල සන්ධානය,43  වගේ කණ්ඩායම් එකතු කරගන්න වෙනවා.ඒත් එයාලාගේ තියන පටු දේශපාලන උවමනාවන් එක්ක ඒක කරන්න බැරි බව ඕනි පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. එහෙම තත්වයක් ඇතුළේ ශ්‍රිලනිපයට Plan B එකක් තියෙන්න ඕනි.විපක්ෂය එක්ක සන්ධානගත වෙන්න බැරි උනත් එයාලා ජාතික වශයෙන් එකඟ කරගත්ත ජාතික එකඟතා වැඩපිලිවෙලක් ඇතුළට ගන්න ශ්‍රිලනිපය දක්ෂ වෙන්න ඕනි. ඒත් එහෙම කරන්න එයාලට බැරිවුනා. 


එහෙම වැඩපිලිවෙලක් තියාගෙන වෙනවෙනම තරඟ කළත් මීට වඩා යහපත් දේශපාලන සංස්කෘතිකයක් හදා ගන්න ඉඩ තිබුණා.මේ දෙකෙන් එකක්වත් කරගන්න බැරිවුන ශ්‍රිලනිපය අන්තිමට තේරුවේ රට වෙනුවෙන් සන්ධානයක් හදනවා වෙනුවට තමන් වෙනුවෙන් සන්ධානයක් හදාගන්න.දැන් බැලුවම ඒක මෛත්‍රි වෙනුවෙන් හදපු සන්ධානයකුත් නෙවෙයි.ඒක ශ්‍රිලනිපය වෙනුවෙන් හදපු සන්ධානයකුත් නෙවෙයි. ඇත්තටම ඒක විමල්ලා,ඩලස්ලා සහ දයාසිරි වෙනුවෙන් හදපු සන්ධානයක්.දේශපාලන වශයෙන් හිතුවොත් ඩලස්ලා,විමල්, ගම්මන්පිල,වාසුලා කියන්නේ රාජපක්ෂලාගේ දේශපාලන කුළී හේවායෝ හැර වෙන කවුද?එයාලා කළේ රාජපක්ෂලා එක්ක එකතු වෙලා ශ්‍රිලනිපය දෙකඩ කරන්න හදපු එකයි,එදා දයාසිරිත් හිටියේ එයාලගේ කදවුරේ.මෛත්‍රි ජනාධිපති උනාට පස්සේ මේ පැත්තට බල්ටියක් ගහපු කෙනෙක් දයාසිරි.එදා ඩලස්ලා,විමල්ලා, ගම්මන්පිලලා ශ්‍රිලනිපය දෙකඩ කරන්න හදද්දී ඒකට එරෙහිව මෛත්‍රි එක්ක සටන් කරපු කිසි කෙනෙක් අද මෛත්‍රි එක්ක නෑ. විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරතුංග අද මෛත්‍රි එක්ක නෑ.එදා මෛත්‍රිගේ හයිට හිටපු දුමින්ද දිසානායකලා අද නෑ. 


ඇත්තටම මෛත්‍රි කොච්චර දුරට වල්මත් වෙලාද කියලා ඔයාලට තේරෙනවා ඇති.ශ්‍රිලනිපයේ හිටපු ගොඩක් දෙනෙක් පහුගිය කාලේ එලෙව්වා.එයාලට විනය ක්‍රියාමාර්ග ගන්න ශ්‍රිලනිප ව්‍යවස්ථාව පවා වෙනස් කළා.රටේ රාල ඒ ගිය කිසි කෙනෙක් හොඳයි කියලා කියන්නේ නෑ.ඒත් ඒ මිනිස්සු පක්ෂයෙන් එලියට ඇදලා දාලා දැන් එකතු කරගෙන තියෙන්නේ කවුද?එදා මහින්දත් එක්ක එකතුවෙලා ශ්‍රිලනිපය දෙකඩ කරපු අය නෙවෙයිද?පක්ෂ තීරණයට පිටුපාලා ගිහින් රනිල්ගෙන් ඇමතිකම් ගත්ත අය අයින් කරන්න ගත්ත තීරණය හරි කියමුකෝ.ඒත් ශ්‍රිලනිපය දෙකඩ කරපු අය එක්ක කරට අත දාගැනීම සාධාරණ වෙන්නේ කොහොමද?මේවා කිසිම තේරුමක් නැතිව ඕනෑවට එපාවට ගත්ත තීරණය.නැත්තං මේවා දයාසිරිගේ දාර ලණු.ඇත්තටම විමල්ලා ලග දනින් වැටෙන එක නවත්තලා ශ්‍රිලනිපයට තිබුණේ චන්ද්‍රිකා හම්බ වෙලා ආයෙත් ශ්‍රිලනිපය සමගි කරගන්න.ඒක දයාසිරිට කරන්න බැරි උනාට මෛත්‍රිට කරන්න ඕනි තරම් ඉඩ තිබ්බා.ශ්‍රිලනිපය සන්ධානයක් ගැන හිතන්න ඉස්සෙල්ලා ශ්‍රිලනිපය සමගි කර ගැනීම අනිවාර්ය කාරණයක්. ඇත්තටම එහෙම චෝදනාවක් මෛත්‍රිට කරන්න රටේ රාළට අයිතියක් තියනවා. 


මොකද එදා විමල්ලා රාජපක්ෂලා එක්ක එකතු වෙලා ශ්‍රිලනිපය දෙකට කඩන්න හදනකොට රටේ රාළ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්.එදා රාජපක්ෂ පවුලට පක්ෂයක් හදලා දෙන්න ශ්‍රිලනිපය දෙකඩ කරන තීරණයට ජානීපේ ඇතුලේ ඉදන් විමල්ට අභියෝග කළේ රටේ රාළ.ඒ ගැන ජානිපෙ දේශපාලන මණ්‌ඩලය වගේම ශ්‍රිලනිපය වෙනුවෙන් මෛත්‍රිත් සාක්ෂි දරනවා ඇති. අන්තිමට බැසිල් - විමල් සැලැස්මට අනුව ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ තිරණයට එරෙහිව ජානීපය ඇතුලේ ලොකු දේශපාලන අරගලයක් නිර්මාණය වුනා.ඒකේ පලවෙනි වෙඩිල්ල තිබ්බෙත් රටේ රාළ.එදා විමල් චන්ඩි ගෙනත් තියාගෙන රටේ රාළ බය කරන්න හැදුවා. හැබැයි ඒ කිසි දේකට බය නොවී විමල්ගේ පාදඩ දේශපාලනට අභියෝග කරලා රටේ රාළ ජානීපයෙන් එලියට බැස්සා.ඒ 2017/11/21 වෙනිදා.ඒ තමයි රටේ රාළගේ දේශපාලන ජීවිතයේ අවසන් දවස.රටේ රාල ඇතුළු කණ්ඩායම එදා ජානිපෙ ඇතුලේ සටන් කළේ ශ්‍රිලනිප පාක්ෂිකයා වෙනුවෙන්.ඒ සටනින් පස්සේ රටේ රාළ සමස්ථ දේශපාලනයෙන්ම සමුගත්තා.ඊට පස්සේ ශ්‍රිලනිපයේ වගකීමක් බාර ගන්න කියලා මෛත්‍රි රටේ රාළට ආරාධනා කළා. පළවෙනි ආරධනාව ආවේ ශ්‍රිලනිප මධ්‍ය කාරක සභාවට එන්න කියලා. 


රටේ රාළ ඒ ආරාධනාව ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළා.තවත් විවිධ ආරාධන ආවත් ඒ සියල්ල රටේ රාළ ප්‍රතික්ෂේප කරලා ඇති. මෛත්‍රි සහ රටේ රාළ කියන්නේ දේශපාලනය නිසා හම්බවුන මිත්‍රයෝ දෙන්නෙක් විතරයි.ඒ යාලුකම දේශපාලනිකයි.ඒත් කවදාවත් මෛත්‍රිගෙන් ශත පහක උදව්වක් රටේ රාළ ඉල්ලලා නෑ. එහෙම තියනවා නම් දැන් කියන්න. මොකද අද මෛත්‍රි ලගට කිට්ටුවෙලා ශ්‍රිලනිපයේ ඉතිරි කොටසත් විනාශ කරන්න හදන දේශපාලන තක්කඩින්ට මෛත්‍රි ඇත්ත කියන්න ඕනි.එහෙම පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක්වත් අඩුම ගානේ ඉල්ලලා තියනවා නම් දැන් විමල්ට කියන්න.මොකද විමල් ඒ දවස්වල දිගටම කිව්වේ රටේ රාළ ජීවත් වෙන්නේ මෛත්‍රිගෙන් කියලයි.රටේ රාළ ලිපිය ලියන්නේ ශ්‍රිලනිප මූලස්ථානයේ කෙනෙක් කියලයි.ඒක නිසා රටේ රටේ රාළ මොනවා හරි නිය පොත්තක් තරමේ උදව්වක් ඉල්ලලා තියනවා නම් අර දේශපාලන තක්කඩියට ඒකත් කියන්න කියලා රටේ රාළ මෛත්‍රීගෙන් ඉල්ලනවා.නිදහස් ජනතා සන්ධානය හදලා පළවෙනි විධායක සභා රැස්වීමේදී විමල් කියලා තිබුණේ ශ්‍රිලනිප ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකත්වය ජයන්ත විජේසේකරට දෙන්න එපා කියලා.ඒ එදා රටේ රාළ ජානිපෙ දේශපාලන මණ්‌ඩලය ඇතුලේ කරපු සටනට ඡයන්ත සභය දුන්න හින්දයි. 


ඒ වෛරය විමල්ට තවමත් තියනවා.ශ්‍රිලනිපය දෙකඩ කරනවාට විරුද්ධව ජයන්ත ජානිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළේ ලොකු සටනක් කළා. ශ්‍රිලනිප ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකයා වෙන්න ජයන්තට තියන නුසුදුසුකම මොකද්ද?එදා ත්‍රිකුණාමල නගරයේදී කොටි ඉස්සරහා ඊළාම් කොඩිය බිමදාලා ජාතික කොඩිය උස්සපු එකද?නැත්තං ගෙදරට වෙඩිතියන්න ආපු කොටි සාමාජිකයා අල්ලලා පොලිසියට බාරදුන්නට පස්සේ පොලීසිය එයාට හිරිහැර කරන්න හදනකොට ඒකට විරුද්ධ වෙච්චි එකද?එහෙමත් නැත්තං ජයන්ත විමල් වගේ හොරෙක් නොවෙන  හින්දද?ජයන්ත විමල් වගේ ජාතිවාදියෙක් නොවෙන හින්දද?මේ මැතිවරණයේදීත් ශ්‍රිලනිපය උතුරු හා නැගෙනහිර පලාත්වලට තරඟ කරන්නේ අත ලකුණ යටතේ. එහෙම තත්වයක් යටතේ ශ්‍රිලනිප ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකත්වය ජයන්තට දෙන්න එපා කියන්න විමල් කවුද?මෙතනදී ශ්‍රිලනිපය දැන ගන්න ඕනි බලවේග නියෝජනය කරන අයත් එක්කයි සන්ධාන හදන්න ඕනි කියලා.ඇත්තටම ඔතන බලවේගයක් තියෙන්නේ ශ්‍රිලනිපයට විතරයි.අනිත් සියලු දෙනාම රාජපක්ෂලාට දේශපාලන සැට්ටිබිකම් කරලා පොහොට්ටුවෙන් මනාපයක් පිට් පොකට් ගහපු අය.ගිය පාර පලාත් පාලන මැතිවරණයට ශ්‍රිලනිපය තනියෙන් තරග කළා. 


සමස්ථ ඡන්ද ප්‍රතිඵල බැලුවොත් ශ්‍රිලනිපයට ඡන්ද ලක්ෂ දහයකට වැඩිය තිබුණා.ඒ වගේම ශ්‍රිලනිපය සමස්ථ රටටම වගේ තරඟ කලා. ඒක නිසා ශ්‍රිලනිපයට හැම කොට්ඨාශයකටම අපේෂකයෙක් ඉන්නවා.පලාත් පාලන මන්ත්‍රීලා දාහකට වැඩිය ඉන්නවා.හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ.මේ සන්ධානය හැදෙන්නේ මේ ඡන්දය වෙනුවෙන් හා ඊළගට එන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන්.ශ්‍රිලනිපය ඡන්ද පදනම පාව්ච්ව් කරගෙන අර කට්ටියට පාර්ලිමේන්තු යන්න.ඒකට නියම ගැටයක් ගහලා තියනවා.දයාසිරි ලවා ශ්‍රිලනිප ජේෂ්ඨයෝ ටික එලවා ගැනීම තමයි පලවෙනි පියවර.ඒකේ ප්‍රතිපලයක් විදිහට අද ශ්‍රිලනිපයට ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා හතරයි.දැන් මේ සන්ධානයේ දිස්ත්‍රික් නායකත්වය හම්බ වෙන්නේ ඒ දිස්ත්‍රික්කයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීට.දිස්ත්‍රික්ක හතරකට හැර අනෙක් හැම දිස්ත්‍රික්කයකම නායකත්වය හම්බ වෙන්නේ ශ්‍රිලනිප නොවන අයට. ඇත්තටම ඉතාමත් සූක්ෂම විදිහට ශ්‍රිලනිප බලවේග එයාලා යටතට අරගෙන තියනවා.ගිය පාර වේදිකා උඩදී රාජපක්ෂලා එක්ක ශ්‍රිලනිපයට හූ කියන්න ප්ලෑන් කරපු,එහෙම හූ කියනකොට ඒකෙන් සතුටු වුන අය යටතට ශ්‍රිලනිපය ගෙනත්. 


මෙතන ලස්සනම වැඩේ ඒක නෙවෙයි.අපේක්ෂක කෝටාව වෙන් කිරීමේදී ගහලා තියන ගේමයි. ගොඩක් තැන්වලදී ශ්‍රිලනිපයට හම්බ වෙන්නේ 30% - 40% අතර අපේක්ෂක ප්‍රමානයක්.එතනදී දැනට ඉන්න ශ්‍රිලනිප කොට්ඨාශ නියෝජිතයෝ 60% - 70% අතර ප්‍රමාණයක් අයින් වෙනවා. ඇත්තටම අනිත් කණ්ඩායම් දෙකටම දාන්න අපේක්ෂකයෝ නෑ. එයාලා කරන්නේ දැනට ඉන්න ශ්‍රිලනිප කොට්ඨාශ නියෝජිතයාට එයලගේ පක්ෂයේ අපේක්ෂකත්වය දීමයි.එතකොට වෙන්නේ ශ්‍රිලනිපයෙන් අයින් කරපු කෙනාට නිදහස ජනාතා සභාවෙන් හරි උත්තර ලංකා එකෙන් හරි අපේක්ෂකත්වය දෙනවා.එතකොට එයාලා බැදෙන්නේ අපේක්ෂක දුන්න කෙනා එක්ක.ඇත්තටම ඉතාමත් සියුම් විදිහට මේක ඇතුලේ ශ්‍රිලනිප බලවේගය කොල්ල කනවා. අවසානයේදී ශ්‍රිලනිප බලවේගයේ කරපිටින් එයාලා පාර්ලිමේන්තුව යනවා.ඕක තමයි මේ යන ගමන. මෙතනදී නිදහස ජනතා සභාවටවත්,උත්තර ලංකා සභාගයටවත් මොකුත් කියන්න බෑ. දේශපාලනය කියන්නේ උපක්‍රම තේරීමක්.ඇත්තටම ඉතින් එයාලා සතුටු වෙනවා ඇති අතපය විතරක් අරගෙන මේ සන්ධානයට ඇවිත් දැන් අනුන්ගේ බලවේගයක් මතින් පාර්ලිමේන්තු යන්න පාර කැපෙන එක ගැන. 


ඊළගට හැදෙන මොකක් හරි ආණ්ඩුවක පුටුවක් වෙන්කර ගන්න අවස්ථාව ආයෙත් හම්බ වෙච්චි එක ගැන.ඇත්තටම දේශපාලනයේදී එහෙම හිස දන් දෙන මෝඩයෝ දැනට ඉතිරිවෙලා ඉන්නේ ශ්‍රිලනිපයේ විතරයි.ඊළගට මේ සන්ධානය හරහා ශ්‍රිලනිපය වටේට තියන දෙමළ සහ මුස්ලිම් ඡන්ද පදනම සම්පුණයෙන්ම බිඳ වැටෙනවා.වඳ කොත්තු,වඳ පෙති, වඳ සැත්කම් ගැන පට්ටපල් බොරු කියමින් රාජපක්ෂගේ දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය වපුරවපු විමල්ලා,රතනලා,ගම්මන්පිලලා, චන්න ජයසුමනලා ආයෙත් මේ සන්ධානය ඇතුළේ ක්‍රියාත්මකයි. ශ්‍රිලනිපයට ඉතිරිවෙලා තියන දෙමළ හා මුස්ලිම් ඡන්ද පදනම බිඳදාන්න ඒක චරිත ටික ඕනිවටත් වැඩියි.හැබැයි මේ විනාශයට ශ්‍රිලනිපයට ඇරගෙන යන වගකීම දයාසිරිට පටවලා සමහරු අත හෝදගන්න බලයි.ඇත්තටම දයාසිරි මෙතනදී කරන්නේ පැහැදිලිවම දේශපාලන කොන්ත්‍රාත්තුවක්.තමන් වෙනුවෙන්ම කරන දේශපාලන කොන්ත්‍රාත්තුවක්.රටේ රාළ කියන්නේ මේ වගකීම බාර ගන්න ඕනි ශ්‍රිලනිප නායක මෛත්‍රි සහ ශ්‍රිලනිප මධ්‍ය කාරක සභාව. කොහොම හරි රටේ රාළගේ අවසන් නිගමනය ශ්‍රිලනිපය දේශපාලන වශයෙන් දැන් සියදිවි නසාගෙන ඉවරයි කියලයි. 


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා. 


මීට

රටේ රාළ.

Thursday, January 12, 2023

ගෝටාගේ ඔටුන්න වෙනුවෙන් අහක බලා සිටීමේ අපරාධය වන්දි ගෙවීම පමණක්

 ගෝඨාභයගේ ජනාධිපති "ඔටුන්න" වෙනුවෙන් අහක බලාගෙන සිටි......!

=================================

ඒ සහාසික අපරාධයේ "දඩුවම" වන්දි ගෙවීමෙන් පමණක් අවසන් ද ...........?

=================================

පාස්කු ඉරුදින සිදුවූ මිලේච්ඡ ප්‍රහාරයෙන් දෙසීය හැත්තෑ නව දෙනකු මරුමුවට පත්විය.  තවත් පන්සිය දෙනකු පමණ සදාකාලික ආබාධිතයන් බවට පත්විය. ඒ මහා අපරාධය සිදුවන බව කල්තියා දැන දැනත් "නොවැළැක්වූ" වගකිව යුත්තෝ ඊයේ  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කළේ ය. එකී වරද


වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට මිලියන ගණනින් වන්දි ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. එකී සහාසික අපරාධයට දඩුවම වන්දි ගෙවීමෙන් පමණක් අවසන් ද ?


2019 අප්‍රේල් 21 සිදුවූ මිලේච්ඡ ප්‍රහාරය සිදුවන බවට අප්‍රේල් 04 දින සිට 21 දින උදේ 06.30 දක්වා වතාවන් ගණනාවකින් පුර්ණ දැනුවත් භාවයට පත්කර තිබිය දී එය එලෙසම සිදු වන්නට ඉඩ හැරියේ ඇයි ද යන්න රටට රහසක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දුන් නඩු තීන්දුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ එකක් බැවින් , "වින්දිතයන්ට" වන්දි ගෙවීම පමණක් නියම කිරීම එම නඩුකරය සමග ගත්විට ගැටලුවක් නොවේ. 


සහාසික අපරාධයක් කිරීමට ආධාර අනුබල ලබා දුන් අපරාධ කරුවන්ට සිර දඬුවම් නැද්ද.............?

===================================

මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් විනාශවන තුරු , එය කිසිදු බාධාවකින් තොරව සිදු වන්නට ඉඩදීම එකී අපරාධයට ආධාර අනුබල සැපයීමකි. එහෙයින් අපරාධයට ගොදුරු වූවන්ගේ වින්දිතයන්ට වන්දි ගෙවීමෙන් පමණක් , බේරී සිටීමට මේ අපරාධ කරුවන්ට හැකියාව තිබේ ද ?


 මොවුන් අපරාධයේ හවුල් කරුවන් බවට රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් තීරණය කර ඇති පසුබිමක් තුළ අපරාධ නඩුකරයකින් මොවුන් දීර්ඝ කාලීන සිර දඬුවම් විදිය යුතු නොවේ ද ? මේ අපරාධය නොවැළැක් වූවන් ලෙස මොවුන්ට ලැබෙන එකම දඩුවම වන්දි ගෙවීම පමණක් වුවහොත් , ඕනෑම වන්දියක් ගෙවීමට හැකියාව ඇති කාට හෝ මහා අපරාධයකට අනුබල දී පසුව "වන්දියක්" පමණක් ගෙවා අතපිස දා ගත හැකි ය. එවැනි "පූර්වාදර්ශයක්" රට තුළ තිබිය යුතු ද ?


නිලන්ත ජයවර්ධන තවදුරටත් පොලීසියේ   දෙවෙනියා ලෙස රාජකාරී කරනවාද ...?

===================================

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිසියේ පරිපාලනය භාර පොලිස්පතිට පමණක් දෙවැනි වූ ඉහළම නිලධාරියා ය. එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස දැන දැනම මහා අපරාධයක් සිදු වන්නට ඉඩ දුන් අපරාධ කරුවෙකි. ඒ බව තහවුරු කර ඇත්තේ එසේ මෙසේ තැනකින් නොව රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. අපරාධයට ගොදුරු වූවන්ට රුපියල් මිලියන හැත්තෑ පහක වන්දි ගෙවීමට යටත් කෙනෙකි. නිලන්ත ජයවර්ධන තවදුරටත් පොලීසියේ දෙවෙනියා ද ?


මෛත්‍රීපාල සිරිසේන , හේමසිරි ප්‍රනාන්දු , පූජිත ජයසුන්දර , සිසිර මෙන්ඩිස් යන "අපරාධ" කරුවන්ට විශ්‍රාම වරප්‍රසාද හිමිකම් තිබේ ද .........?

===================================

හිටපු ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හිමිකම් පනත යටතේ මහජන බදු මුදලින් සියලු වරප්‍රසාද  ලබමින් පසුවෙයි. ඔහු රටේ ජනාධිපති ලෙස සිය නිල වගකීම ඉටු නොකළ කෙනෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඔහුගේ නොකර හැරීම නිසා වින්දිත භාවයට පත්වූවන්ට මිලියන සියයක වන්දි ගෙවීමට පවා නියම කර තිබේ. එසේ නම් "අපරාධ කරුවකු" වූ ඔහු රටේ මහජන බදු මුදලින් ඔහු තවදුරටත් නඩත්තු කළ හැකි ද ? 


ඉහත නම් සඳහන් අනෙක් පිරිස සිය රාජකාරිය පැහැර හැර දැන දැනම මහා අපරාධයක් සිදු වන්නට ඉඩ දුන් අපරාධ කරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී තවදුරටත් මහජන බදු මුදලින් නඩත්තු කළ හැකි ද ?


(පෝද්දල ජයන්ත)

Wednesday, January 11, 2023

කන්න නැති රටේ ඡන්දයකට මිලියන 72000 ක් පුලුස්සා දැමීම










රටේ ආර්ථික ප්‍රශ්නය මේවනවිට දරුණු මට්ටමකට පැමිණ තිබේ. එය විසඳාගැනීමට ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෝ පවා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනන අතර එසේ උවද රටතුළ ඒසඳහා සහයෝගයක් නොමැතිවීම කණගාටුවට කරුණකි.

ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින්  එදාවේල සපයා ගැනීමේ අපහසුතාවයකට ජනතාව මුහුණ දෙමින් සිටියද බොහෝ දේශපාලන පක්ෂවලට (ජනතාවට නොව) මේ මොහෙතේ අවශ්‍යව ඇත්තේ ඡන්දයකි. නැව ගිලෙන්න ගියද බලය වෙනුවෙන් සටන් වදින ලංකාවේ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය මේවනවිට පැහැදිලිව පෙනෙන්ට තිබේ.

 

ආර්ථික අර්බුදය දරුණුයි

 මේවනවිට දරුණු මුල්‍යමය ප්‍රශ්නයකට රට මුහුණ දී සිටින අතර දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවා ඇත්තේ  යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

පසුගිය යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල්  බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා ඇති අතර එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිතා කිරීමට රජයට සිදු වූ බව ද හෙතෙම කීවේය.

එමෙන්ම මේවනවිට වී මිලදී ගැනීම ඇතුළු රටේ ජනතාවගේ ආහාර ප්‍රශ්නය විසඳීමට රජයට මුදල් සොයාගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටියි.

  

අයවැයෙන් 5% ක් කපා ගැනීම

 මෙවැනි අර්බුද හේතුවෙන් 2023  වර්ෂය සඳහා වෙන්කළ මුදල් වලින් සියලුම රාජ්‍ය ආයනවල මුදල් වලින් 5% බැගින් කපාගැනීමට රජය තීරණය කර තිබේ. එසේ නොකළ හොත් රජය පවත්වාගෙන යා නොහැකි බවද ඒ් වෙනුවෙන් මෙසේ කරන බවද රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පැවසීය.

 

විදෙස් ණය

 ලංකාව ලබා ඇති විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කර ලංකාවට නැගිටීමට සහය ලබාදෙන ලෙස ලෝකය පුරා සිටින ආර්ථක විශේෂඥයෝ එක හඩින් කියමින් සිටියි. ඒමෙන්ම ලෝකයේ ණය ලබාඇති රටවල් බොහොමයක් ඒ සඳහා එකග වී ඇති අතර චීනය පමණක් මෙතෙක් එ සඳහා එකඟතාවය පළකර නොමැත.

රටේ මන්දපෝෂණ තත්වය ඉහළ යා හැකි බවත් , ලෝකයේ ආහාර මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවත් ලෝක බැංකුව ඇතුළු ප්‍රධාන ආයතන කිහිපයක් අනාවැකි පළකර  තිබේ. එබැවින් සියල්ලට පෙර රටේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකරන ලෙසය.

 

හොරට නිදාගෙන සිටින දේශපාලන පක්ෂ

 ලංකාව තුළ පවතින මෙම අර්බුදකාරී තත්වය පිළිබඳ කිසිදු දේශපාලන පක්ෂයක් අවබෝධයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නොතිබේ. කොතරම් තේරුම් කිරීමට උත්සහ කළද ඔවුන් තේරුම්ගන්නේද නැත. ඔවුන් සියලුදෙනා හැසිරෙන්නේ හොරට නිදාගෙන සිටින වුන් විසලසයට. රටේ ආර්ථික තත්වය යහපත් කිරීමට , රට ස්ථාවර කිරීමට එක්වන ලෙස ඔවුන්ට අවස්ථා කිහිපයකදී පැවසුවද එය ඔවුන්ට නෑසුනි. එසේ උවද ඡන්දය ගැනීමට එක පොදියට සන්ධාන සඳාගැනීමට ඔවුන් පුදුම වෙහෙසක් ගනි . ඒවෙනුවෙන් පුදුම උනන්දුවකින් වැඩකරති. කන්නනැතිව මිනිසුන් මිය ගියද ඔවුන් ඉල්ලන්නේ ඡන්දයකි.

මේවනවිට රටතුළ ඖෂධ හිගයක්, ආහාර , ඉන්ධන ඇතුළු සියලුදේ හිගවෙමින් පවතී. ඡන්දය පැවැත්වීමට ද විශාල මුදල්ක් වැය වන බව මේවනවිට සියලුදෙනා දන්නා යථාරතයකි.

 

මැතිවරණ අවශ්‍යයි

 ප්‍රජාත්‍රන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ මැතිවරණ පැවැත්වීම අතශ්‍යවශ්‍ය කරුණකි. එසේඋවද රට ගිලෙන්න යන මොහොතේ මුලින්ම කළ යුතතේ ගිලීමෙන් බේරා ගැනීම මිස ඡන්ද පැවැත්වීම නොවේ. ඉන් පසු ඡන්ද පැවැත්වීමට ඔනෙම කෙනෙකුට කළ හැකිය.  නමුත් ඡන්දය පැවැත්වීමට ද රටක් අවශ්‍යය.  මේ මොහොතේ පවතින උවදර හදුනා‌ගෙන එයට පිළියම් යෙදීමට සියල්ලෝම එක්වන්නේනම් ඉතා ඉක්මණික් ඡන්දයක් පැවැත්විය හැකි රටත් බවට මෙරට පත්කරගැනීමට හැකියාව ලැබේ.

  

ප්‍රධාන පක්ෂ තුනේ වියදම මිලියන 72000 ක්

 මේ මොහොතේ පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වුවහොත් එහිදී රජයට දැරීමට සිදුවන වියදමට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේ නියෝජිතයන්ට පමණක් අවම වශයෙන් රුපියල් බිලියන 72 ක වියදමක් දරන්නට සිදුවන බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය සඳහන් කරයි.

එය සමෘද්ධිය ලබාදිමට රජය වැයකරන මුදලින් 50% ක් බවද මෙවැනි අවස්ථාවක එවැනි මුදලක් විනාශ කිරීම අපරාධයක් බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි

 

 

 

 

  

පොහොට්ටුව සමග රට හදන්න ජවිපෙට ආරාධනා



 

පොදුජන පෙරමුණ සමග එක්ව ඉදිරියේදී දේශපාලනය කිරීමට සන්ධානයක් ඇතිකරගැනීමට එක්වෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

පොදුජන පෙරමුණ මේ දිනවල සන්ධානයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එම සන්ධානයෙන් තරඟ කිරමටද සාකච්ඡා පවත්වමින් සිටියි.

විපක්ෂයේ සිට චෝදනා කරමින් සිටිනවාට වඩා රට ගොඩනැගීම පිළිබඳව තම පක්ෂයේ ප්‍රතිපත්ත වලට එකඟ වන්නේනම් ජනතා විමුක්ති පෙරමුණට පොදුජන පෙරමුණ සමග සන්ධානගත විය හැකි බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Sunday, January 8, 2023

ශ්‍රී ලංකාව සඳහා ණය සහන අත්‍යවශ්‍යයි - ලොව පුරා ආර්ථික විශේෂඥයින් 180කගේ කණ්ඩායමක් සඳහන් කරයි

 


ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නැගිටවීමේ බලාපොරොත්තුව ඇති කිරීම සඳහා ලංකාවේ ණය කපා හරිමින් ණය සහන ලබාදිය යුතු බව ලෝකයේ ආර්ථික සහ සංවර්ධනය පිළිබඳ  විශේෂඥයෝ 180 ක කණ්ඩායමක් සඳහන් කර තිබේ.

“ද ගාඩියන්” ( the Guardian)   වෙත අදහස් දක්වමින් මෙම කණ්ඩායම සඳහන් කර ඇත්තේ , මේ අවස්ථාවේ දී එම ණය සහන ලබාදීමේ හැකියාව ඇත්තේ ලෝකයේ බලවත් අරමුදල් සහ ආයෝජනකරුවන්  සතුව බවද,  ඩොලර් බිලියන 51 ක ණය සමග පසුගිය වසරේදී පැවති ණය සහන පිළිබඳ සාකච්ඡා වලදී එබව පෙනී යන බවද මෙම විශේෂඥයෝ කණ්ඩායම සඳහන් කර  ඇත.

ගෝලීය ණය අර්බුදය විසදීමට ගෝලීය ප්‍රජාවේ ඉදිරිපත්වීම සොයා බැලීමට ශ්‍රී ලංකාව හොද සිද්ධි අධ්‍යයනයක් බවද කෙසේ වෙතත් ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත්කිරීමට  විශාල ප්‍රමාණයේ ණය කපා හැරීමක්  අවශ්‍ය බව ද ඔවුන් තවදුරටත් අවධාරණය කර තිබේ.

ඉන්දියානු ආර්ථික විද්‍යාඥ ජයති ගෝෂ්, ඉහළ අලෙවියක් ඇති කැපිටල් පොතේ කතුවරයා වන තෝමස් පිකෙටි සහ ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානිස් වරූෆකිස් ඇතුළු පිරිසක් මෙම කණ්ඩායම නියෝජනය කර තිබේ.

පෞද්ගලික අංශයේ ණයහිමියන් සහ ආයෝජන ආයතන සහ ආරක්ෂක අරමුදල් මෙලෙස ක්‍රියාත්මකවීම නතර කරගෙන සිටින බවද මේවනවිට ණය පිළිබඳ සාකච්ඡා ඉතාම දරුණු තත්වයකට පැමිණ ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ලංකාවට ණය ලබාදුන් ද්වී පාර්ශවික, බහු පාර්ශවික සහ පෞද්ගලික අංශයේ සියලුම ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තත්වයට අනිවාර්යෙන්ම  මුහුණ දිය යුතු බවත් ඔවුන් ඉදිරියටද ලංකාවේ ආයෝජනය කරන බවට පොරොන්දු විය යුතු බවද මෙම විශේෂඥ කණ්ඩායම අවධාරණය කරයි.

ලංකාවේ විදෙස් ණය වලින්  40%ක් ම පෞද්ගලික ණය වන අතර එවා ජාත්‍යන්තර ස්වෞරී බැදුම්කර ලෙස   පොලී අනුපාතයක් යටතේ ලබාගෙන ඇත . මේ නිසා එලෙස ණය ලබාදීම් මගින් 50% වැඩි ලාබයක් එම ණය හිමියන්ට ලැබෙන බවද පෙන්වා දී ඇත.

එමෙන්ම  ලංකාවට ණය ලබාදෙන්නන්  ලංකාවෙන් ණය අවධානම් වාරිකයක් ලබාගෙන ඇති බවද එමගින් ඔවුන් විශාල ලාබයක් ලබා ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

ලංකවේ ණය පැහැර හැරීමට හේතුව වී ඇත්තේ ද මෙය වන අතර එලෙස ආදායම් ලැබු ණය හිමියෝ එවායේ ප්‍රතිවිපාක විදිමටද දැන් සූදානම් විය යුතු බවද සුදානම්න් විය යුතු බවද මෙම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ.

ලංකා ඉතිහාසයේ ඇතුවු වඩාත් දරුණුම පළමු ආර්ථික අර්බුදය මෙය වන අතර ඒ හේතුවෙන් ණය පැහැරීමට සිදුව ඇති බවද,  පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වමින් තිබුණද මෙතෙක් නිසි ප්‍රගතියක් අත්වී නොමැති බවද ඔවුන්ගේ අවධානයට යොමුව ඇත.

ශ්‍රී ලංකාව යනු කොවිඩ් වසංගතය හා ආර්ථික අවපාතය හේතුවෙන්  ණය ප්‍රතිව්‍යුහ ගතකරන්න යැයි ඉල්ලා සිටින රටවල්  එක් රටක් පමණක් වන අතර  ලෙබනනය යුක්ක්‍රේනය සැම්බියාව වැනි  රටවල් ද විදෙස් ණය ගෙවීම අත්හිටුවා  ඇති බව එම පිරිස සඳහන් කරයි. එහි නවතම රාජ්‍යය බවට පත්ව ඇත්තේ  ගානා රාජ්‍යයි.

මේවනවිට මතුව ඇති ගෝලීය ණය පොලිය ඉහල යාම සමග මෙවැනි අර්බුද මේ වසරේදී ලෝකය පුරාම ඇතිවිය හැකි බවද එමෙන්ම අඩු ආදායම් ලබන රටවලින් තුනෙන් දෙකක් මෙලෙස ණය අර්බුදයට ලක්විය හැකි බවද ඒම විශේෂඥ කණ්ඩායම සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය පද්ධතිය ස්වෛරී ණය සහන සහ තිරසර භාවය පිළිබඳව වැනි වඩා ඉක්මණින් පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පිළිබඳව තේරුම්ගැනීම සඳහා ශ්‍රී ලංකාව දර්ශකයක් ලෙස භාවිතකිරීමටද හැකියාව ඇති අතර එමෙන්ම ජාත්‍යන්තර ණය සාකච්ඡාවලදී ණය හිමියන්ගේ යුක්තිසහගත භාවය පිළිබඳවත් මෙහිදී දැනගැනීමට හැකි බවද ඔවුන් සඳහන් කර තිබේ. එබැවින් මෙය ශ්‍රී ලංකාවේ ජනතාවට පමණක් නොව ණය අර්බුදයට පත්වෙලා සිටින ඔනෑම සංවිධානයක් හෝ රටක් යථාතත්වයට පත්කිරීම පිළිබඳ විශ්වාසය ඇති කිරීමට  මෙම සංසිද්ධිය ඉතා වැදගත් බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.