Tuesday, November 22, 2022

පාර්ලිමේන්තුව විසුරවන්නේ නැහැ - එන්න එකට වැඩකරමු

 


ආර්ථික අර්බුදයක් පවතින මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරවීමට කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ . රටේ බොහොදෙනෙක්ට ඡන්දත් එපාවෙලා පක්ෂත් එපා වෙලා. තරුණයො බලාගෙන ඉන්නේ වෙනසක් කරනකම්. ඒ වෙනස කරලා සහනයක් දීලා

මනාප ක්‍රමය තිබෙනකම් දුෂණය තියෙනවා මේ රටේ. කොච්චර වියදම් කරනවද මේරටේ ඡන්ද වෙනුවෙන්. ඒ නිසා මම ආයෙත් විපක්ෂයට කියනවා එන්න අපි එකතුවෙලා ඒ කටයුත්ත කරමු. මට මේ හැමෝම එකක වැඩ කරන්න පුළුවන්. අයවැයෙන් පසුව අපි හැමෝම එකතුවෙලා මේගැන කතා කරමු මම රුස්වීමක් කැදවන්නම්”යැයි ජනාධිතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පළාත් පාලනයේ වෙනසක්


පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(23දා) දැනුම්දුන්නේය.

ඒ අනුව පළාත් පාලන ආයතනවල  මන්ත්‍රීවරුන්  ගණන අඩු කිරීමට මෙන්ම  වියදම් පාලනයට කිරීමට ද කටයුතු සකස් කරමින් සිටින බවද අග්‍රමාත්‍යවරයා දැනුම්දුන්නේය.

එම කටයුතු එසේ සිදු උවද මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඇති බලය බලපෑමක් කිරීමට රජය බලාපොරොත්තු නොවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරණ සිදුකරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තමා කණගාටුවන බවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේය.

මැණික් වලින් ඩොලර් 500 ක ඉලක්කයක්



මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ අපනයනයන් සිදුව තිබුණද එම සියලු මුදල් රටට නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද(23දා) පාර්ලිමේන්තුවට පැවසීය.

එම මුදල් ප්‍රමාණයෙන් රටට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 170 ක පමණ සුළු මුදලක් පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

 අපනයන හරහා ලැබෙන මුදල් දින 180 ක් තුළ රටට ගෙන ආ යුතු බවට නීතියක් තිබුණද එම මුදල් රටට නොලැබෙන බවද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර අපනයනය සඳහා ආණ්ඩුව අයකරන බදු ප්‍රමාණය 0.025% ක්  බවද මෙවර අයවැයෙන් එය 2.5% දක්වා ඉහළ දමා ඇති බවද අමාත්‍යවරයා කීවේය.

කෙසේවෙතත් ලබන වසර තුළදී මෙම ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 500 වඩා රටට ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.


Monday, November 21, 2022

තවදුරටත් වැරදි තීන්දු ගන්න බැහැ

 

 

රටේ ආර්ථිකය ස්ථායී නොකළහොත් ලබන වසරේ මාර්තු පමණ වනවිට තත්වය ඉතා දරුණු විය හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද(22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය දෙවැනිවර කියවීමේ  විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මෙසේද පැවසීය,

“රටේ ආර්ථිකය ස්ථායි උනොත් පමණයි රටේ අනාගතය ස්ථායි වෙන්නේ. ඒ නිසා අපිට තවදුරටත් අඩුපාඩු වැරදී තීන්දු ගැනීමට හැකියාවක් නැහැ. අපි ක්‍රමාණූකූලව හිස ඔසවන අවස්ථාවක් මේක. මේ යන තත්වය වෙනස් කරන්න හැදුවොත් ජනප්‍රිය තීරණ ගන්න ගියොත් මාර්තු අප්‍රේල් මැයි ජුනි වල රට තිබුණු තත්වයට වඩා දරුණු තත්වයකට පත්වෙනවා. ඒ නිසා සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.  ඒ නිසා වර්තමානයේ රටේ මිනිසුන් දෙස බලා තීන්දු තීරණ ගැනීම වැදගත් වෙනවා. වත්මන් රජය තීන්දු ගන්නේ නැවත රට අනතුරේ දාන්නේ නැති වෙන්න. ඒගමනේදී හොද යෝජනා තිබෙනවා නම් ආණ්ඩුව ඒවා පිළිගන්න සූදානම්. ඒ යෝජනා ලබාදෙන්න.

අසීරු අඩියක ඉන්න රට ගොඩනැගීමට රජය සහ නිලධාරීන් ගන්න තීන්දු වලදී ඒවාට ශක්තිය ලබාදීම වැදගත්වෙනවා. ඒවගේම වර්තමාන රජය ගෙනියන වැඩපිළිවෙල තුළ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක උවහොත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නොවේවි.

මේ අයවැය ලේඛණය තුළ ඉදිරිපත් කරන අලුත් ආර්ථික ක්‍රමවේදය තුළ 2024 දක්වා යාමට අවශ්‍ය පදනම සකස්වෙනවා. ඒවෙනුවෙන් කටයුතු කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.” යැයි පැවසිය.



 

ශ්‍රිලනිපය දෙකඩ වේ?

 

ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩවීමේ අර්බුදයක් මතුව තිබේ. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු 08 කුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කිරීමත් සමගය.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයට තිලංග සුමතිපාල මහතා පත්කිරීමත් සමග ඒසඳහා බොහොදෙනෙකු විරෝධය පළකර ඇති බවද වාර්තාවේ. එමෙන්ම ශ්‍රීලනිපයේ වර්තමාන සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව පිරිසක් අධිකරණයට යාමට සූදානම්වන බවද වාර්තාවේ.



අයවැය ඡන්ද විමසීම අද


අයවැය ඡන්ද විමසීම අද(22දා) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 15 දා සිට අද(22දා) දක්වා පැවැත්විණ. අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය හෙට(23දා) සිට ආරම්භවීමට නියමිතය.