Saturday, July 16, 2022

මේක අත්හදාබැලීම් කරන වෙලාවක් නෙවෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

 

- උද්ධමනය අපට විතරක් පාලනය කරන්න බෑ

- බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම අනිවාර්යයයි

- කෙටිකාලීන ක්‍රියාමාර්ග දිගු කාලීනව රටට යහපතක්

 



ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. එසේම විවිධ පාර්ශ්ව ඉන් මිදීමට යෝජනා ඉදිරිපත් කරයි. ඒ අනුව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ කළ විශේෂ කතාබහ.

  අපේ රටේ ඉදිරි මාස දෙක තුන නිමා වන විට 70% ක උද්ධමන වේගයක් ඇති වනු ඇතැයි ඔබ ඉකුත්දා ප්‍රකාශ කළා. මෙය ඉතා භයානක උද්ධමන මට්ටමක්. පළමුව ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

 ජූලි මාසයේ මූල්‍ය ප්‍රතිපත්ති විවරණය නැතිනම් අපේ රටේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තමයි මම මේ ගැන මුලින්ම කීවේ. එදා මම කිවුවේ දැනට වාර්තා වන උද්ධමන වේගය 50% ඉක්මවා තිබෙනවා. එය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තමන් සතු මූල්‍ය උපකරණ භාවිත කර ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. නමුත් උද්ධමනය අපට පමණක් තනිව පාලනය කිරීමට නොහැකි බවත් කිව යුතුයි.

 

උද්ධමනය පාලනය කිරීම හා විදේශ විනිමය අනුපාතිකය රටට හිතකර ලෙස පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙනවා නේද?

 ඔව්! ඒ බව අනිවාර්යයෙන්ම අප පිළිගන්නවා. නමුත් උද්ධමනය පාලනය කිරීමට හෝ විදේශ විනිමය අනුපාතිකය රටට ගැළපෙන මට්ටමකට පවත්වාගෙන යෑම කියන කරුණු දෙක තනිවම මහ බැංකුවට පමණක් සිදු කළ හැකි දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයවමින් මේ කරුණු ජය ගන්නට ක්‍රියා කරන අතර, අපි වාගේම තවත් විශාල කාර්යභාරයක් පැවරී තිබෙන කොටසකුත් සිටිනවා.

 

කවුද ඒ වගකීම පැවරී සිටින අය?

 

එම වගකීම පැවරී තිබෙන්නේ රජයටයි. විශේෂයෙන් රජය වෙනුවෙන් මුදල් ඇමැතිතුමා, මුළු කැබිනට් මණ්ඩලයට, මුදල් අමාත්‍යාංශයට ඒ වගකීම පැවරී තිබෙනවා. ඔවුන් විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නිසි ආකාරයට ගළපා ගනිමින් මේ අර්බුදයෙන් ගොඩඒමට පිළියම්, විසඳුම්, ක්‍රියාත්මක කළ යුතුයි. අපට පමණක් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැඩි කිරීමෙන් පමණක් රටේ උද්ධමනය, විදේශ විනිමය අනුපාතිකය පාලනය කිරීමට බැහැ. අප ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග නිසා මේවායේ යම් පාලනයක් දැනට සිදු වෙමින් තිබෙනවා. නමුත් එය ඉතා තිරසර, අතිසාර්ථක ප්‍රතිඵල රටට, ජනතාවට දීමට නම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල විශාල වෙනස්කම් ගණනාවක් සිදු විය යුතුයි. ඒවා සිදු කළ යුතුයි.

 

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් මොනවාද?
 

අපි මෙහිදී අවංකව අපේ රට, රටේ ආර්ථිකය මුහුණ දී සිටින අර්බුදය පළමුව තේරුම් ගත යුතුයි. අපේ අර්බුදය රජයේ ආදායම් ඉතා විශාල ලෙස අඩු වීම, රජයේ වියදම් පැත්ත විශාල ලෙස ඉහළ යෑම ලෙස දැක්විය හැකියි. ඒ නිසා රජයේ ආදායම්, වියදම් අතර විශාල පරතරයක්, හිඟයක් ඇති වී තිබෙනවා. දෙවැනි කරුණ අපගේ ආනයන වියදම් වැඩියි. අපනයන ආදායම් අඩුයි. මේ නිසා විශාල ලෙස වෙළෙඳ හිඟයක් මතු වී තිබෙනවා. එය වැළැක්වීමට ගත් යම් යම් උපාය මාර්ගික වැඩපිළිවෙළ නිසා එය දැනට තරමක් දුරට අඩු වී තිබෙනවා. නමුත් එය තවදුරටත් අඩු කර ගැනීමට අපි කටයුතු කළ යුතුමයි.

 මෙන්න  කරුණු දෙක ජය ගන්න නම් මුලින්ම අපට රජයේ ආදායම් වැඩිකර ගන්න වෙනවා. දෙවනුව රජයේ වියදම් අඩුකර ගන්න වෙනවා. මෙතැනදී රජයේ ආදායම් වැඩි කරගන්න නම් මුදල් අමාත්‍යාංශය විසින් කළ යුතු විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ සඳහා ප්‍රබල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් රටට හඳුන්වා දී ක්‍රියාවට නැංවිය යුතුයි.

 

රජයේ ආදායම් වැඩි කර ගැනීමට බදු ප්‍රතිපත්ති, දැනට අයකරන ඇතැම් බදු ඉහළ දැමිය යුතු බවද ඔබ පවසන්නේ?

 බදු ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි. බදු අනුපාත ඉහළ දැමිය යුතුයි. මා රජයට යෝජනා කර සිටිනවා එය යම් තරමකට මේ අර්බුදය වැඩි වූ අවස්ථාවේ පසුගියදා රජය සිදු කළා. නමුත් ඒවා මතු වී ඇති ආර්ථික ගැටලුවෙන් මිදීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි ඊට වඩා ගැඹුරින් මේ ප්‍රශ්න ගැන සිතා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.

 

ඒ කුමනාකාරයේ වෙනස්කම්ද?

 පැහැදිලිවම කිවහොත් අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් රාශියක් දැනට පවත්වා ගෙන යන්නේ මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට අතිවිශාල බරක් පැටවෙන ආකාරයටයි. ඒ අනුව රටට, මහාභාණ්ඩාගාරයට බරක් වන රාජ්‍ය ව්‍යවසායන් අඩුම තරමේ තමන්ගේ ආදායම්,තමන්ගේ වියදම් පියවා ගන්නා තැනටවත් පත් කර ගැනීමේ ප්‍රතිසංස්කරණවලට යා යුතුම වෙනවා.

 එවැනි ව්‍යවසායන් කිහිපයක් ඔබට උදාහරණ ලෙස දැක්විය හැකිද?

 පිළිතුර:- මම ඒ ඒ ආයතන ගැන නම් වශයෙන් සඳහන් කිරීම එතරම් සදාචාරාත්මක වන්නේ නැහැ. නමුත් ඒවා ගැන සඳහන් නොකරත් බැහැ. අපි කියමු ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන කියා ඒවායේ පාඩුව මේ වන විට මහා භාණ්ඩාගාරයට දැරිය හැකි මට්ටමක නැහැ. ඒවා පවත්වාගෙන යෑමට ඔවුන්ට මහා භාණ්ඩාගාරයෙන් මුදල් පොම්ප කළ යුතුයි. එය තවදුරටත් රටේ ජනතාවගේ බදු මුදලින් සිදු කිරීම අසීරුයි. ඒ නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අපි රජයට, මහාභාණ්ඩාගාරයට නිර්දේශ කරන්නේ මෙවැනි ආයතනවල අඩුම තරමේ මෙහෙයුම් අලාභයවත් අඩු කර ගැනීමට සමත්වන ප්‍රතිසංස්කරණ රාමුවක් යටතේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා.

 ඔබ සඳහන් කරන රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු අවම කිරීමට නම්, ඔවුන්ගේ සේවා සඳහා අය කරන මිල ඉහළ දැමිය යුතුයි. එය මේ අවස්ථාවේ ජීවන වියදම් බරින් දැඩිව පීඩාවට පත් වී සිටින ජනතාව මත තවත් විශාල බරක් පැටවීමක් නේද?

 

ඒ කරුණ අපි එසේ විග්‍රහ නොකළ යුතුයි. අපට, ඔබට මට සියලු දෙනාටම මේ අවස්ථාවේ දැරීමට සිදු වී තිබෙන්නේ විශාල අපහසුතා, අසීරුතා, අභියෝග තමයි. ඉන් මිදීමට කෙටි කාලීනව ගන්නා ක්‍රියාමාර්ගවලින් දිගු කාලීනව යහපතක් වන්නේ නම් අපි ඒ දේ කළ යුතුයි. අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපට මේ අන්දමේ අසීරුතා ඇති වී තිබෙනුයේත්, පසුගිය කාලයේ කළ යුතුව තිබූ ක්‍රියාමාර්ග ඒ කාලයේදී නොගැනීමයි. මම එක උදාහරණයක් කියන්නම්, අපි වැඩි මිලට ඉන්ධන මිලදී ගෙන අඩු මිලට ජනතාවට දීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේමයි විදුලි බිල සම්බන්ධයෙන් තත්ත්වයත්. එහෙත් අපි එදිනෙදා වෙළෙඳපොළ මිල මට්ටම්වලට අපේ මිල මට්ටම් ගැළපුවානම් මෙවැනි අර්බුද මතු වන්නේ අඩු බලපෑමක් එල්ල වන ආකාරයටයි.

 

අප සිතා බැලිය යුත්තේ ඒ ආකාරයටයි.

 

දැනට මිල සූත්‍ර හඳුන්වා දෙමින් විවිධ සේවා සඳහා මිල අඩු වැඩි කිරීම් ගැළපුවත් ඒවායේත් ප්‍රශ්න පැන නැඟී තිබෙනවා නේද?
 

ඔව්. ඒ අපි එවැනි වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුව තිබූ කාලයේ සිදු නොකිරීම නිසා. එදා කළ යුතුව තිබූ දේ දවසින්, සති, මාස නොව අවුරුදු ගණනින් ප්‍රමාද කොට සිදු කිරීම මේ අර්බුද සියල්ල වැඩි වීමට හේතුවයි. ඒ නිසා මේ අවස්ථාවේවත් අතීතයෙන් නිසි පාඩම් ඉගෙන වර්තමාන අර්බුදයෙන් ගොඩඒමට අපි සියලු දෙනා එක්වී වැඩ කළයුතුයි.

 

මේ අර්බුදයෙන් ගොඩඒමට අපේ රටේ ආනයන වියදම් සීමා කර ගනිමින් අපනයන ආදායම් වැඩි කර ගැනීමට කියා කළ යුතුයි නේද?
 

එය තමයි අපට මේ අභියෝගය ජය ගැනීමට තිබෙන තිරසරම විසඳුම. මේ අවස්ථාවේ හැකි තරම් ආනයන සීමා කර ගනිමින් රටේ ජනතාවත් ආනයන මත රැඳී සිටීම නවතා අපනයන ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි. රටේ ප්‍රශ්නය ඩොලර් හිඟය නම්, ඩොලර් හිඟය උග්‍ර කරන දේ වෙනුවට අප කළ යුත්තේ ඩොලර් සුලභ කරන දේ කිරීමයි. අපේ විදේශගත ශ්‍රමිකයෝ, රටෙන් පිටවී සිටින ජනතාව, අපනයනකරුවෝ මේ සියලු දෙනා මේ මොහොතේ රටට ඩොලර් නීත්‍යනුකූල මාර්ග ඔස්සේ වැඩි වශයෙන් එවීමට ක්‍රියා කළ යුතුයි. සංචාරක කර්මාන්තයේ වර්ධනයට දායක වන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි.

 

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඩොලර් හෝ විදේශ විනිමය වැඩි වශයෙන් එවීමට විවිධ සහන, වරප්‍රසාද, ප්‍රතිලාභ ඉල්ලා සිටිනවා. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

 

විදේශගත වූවන් අපේ රටට එවන සල්ලිවලට බදු අය කරන්නේ නෑ. අපේ රටේ ජීවත්වෙන අයගෙන් අය කරන බදු මුදලින් තමයි එලෙස බදු අය නොකරන පිරිසට සහන දෙන්නට මුදල් සපයා දෙන්න වෙන්නේ. එය එතරම් සදාචාරාත්මක කාර්යයක් නොවෙයි. පිටරට ගිය අය සල්ලි එවන්නේ තමන්ගේ පවුලේ සාමාජිකයින්ට, ඥාතීන්ට. ඒ අය අද මහ පාරේ තෙල් පෝලිමේ, ගෑස් පෝලීමේ දුක් විඳිනවා. ඒ අයට සහනයක් වෙන්න විදේශ මුදල් රටට නිසි ආකාරයෙන් එවන්නේ නැතිව රජයෙන් වරප්‍රසාද, සහන ලැබෙනවා නම් ඒ මුදල් එවනවා කීම මම නම් හොඳ දෙයක් ලෙස දකින්නේ නැහැ.

 
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම පිළිබඳව වත්මන් තත්ත්වය කුමක්ද?

 

අපි මහ බැංකුවත්, රජයත් ඉතා ඉහළ සතුටුදායක ප්‍රතිඵල ලැබෙන ආකාරයට සාර්ථක සාකච්ඡා වට කිහිපයක් ඔවුන් සමඟ පැවැත්තුවා. දැන් එහි විධායක නිලධාරි මට්ටමේ සාකච්ඡා ඇරඹීමට නියමිතයි. ඒවා සාර්ථක වීමට රටේ දේශපාලන ස්ථාවරභාවය, සමාජ ස්ථාවරභාවය ඇති වීම ඉතා වැදගත් බව කිව යුතුයි.

 
මේ වන විට රටේ සමාජ, දේශපාලන ස්ථාවරභාවය පිළිබඳ දෙගිඩියාවක් මතු වී තිබෙන්නේ එවැනි පසුබිමක අපට අයි.එම්.එෆ්. ණය පහසුකම ලබා ගැනීමට හැකි වෙයිද?
 

අද වන විට ඔබ කියන ආකාරයේ තත්ත්වයක් රටේ මතු වී තිබෙනවා. ඒ කුමන තත්ත්වයක් මතු වූවත් අපට ඉදිරි මාස තුන, හතර, කිසිදු බාධාවකින් තොරව අඩුම තරමේ ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් වැනි දේ ලබා ගැනීමට නම් අප දැනට සැලසුම් කර තිබෙන මූල්‍ය සම්පාදන පහසුකම් ලබා ගැනීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. එසේ නොමැතිව එක් පුද්ගලයකුට, කණ්ඩායමකට, එක් දේශපාලන පක්ෂයකට තනිව මේ අර්බුදය ජය ගන්න බැහැ. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ නායකයෝ, ආගමික සාමාජික පිරිස් පොදු මහත් ජනතාව එකට එක්වී ජය ගත යුතු අර්බුදයක් ඉදිරියේයි අපි ඉන්නේ. මෙය ජය ගැනීමට අත්හදා බැලීම් කරන්න සුදුසු වේලාවක් නොවෙයි දැන් තියෙන්නේ. අප කරන වැඩපිළිවෙළ කවුරු හෝ කළයුතුයි. එය සියලු දෙනා එක්වී සිදු කළ හොත් රටේ ජනතාවට පීඩා විඳීමට සිදු වන කාල සීමාව අඩු කර ගත හැකියි. එසේ නොවන්න, නොවන්න අපේ රටේ ජනතාවට පීඩාවෙන් ඉන්න තිබෙන කාලය වැඩි වෙනවා මිසක් අඩු වන්නේ නැහැ.

 

මේ මොහොතේ රටේ පුරවැසියෝ, නායකයෝ සියලු දෙනා කළ යුත්තේ කුමක්ද?

 

පිළිතුර : සියලු වාදභේද මඳකට දුරුකොට රට ගැන සිතා රටේ බිඳවැටීම වැළැක්වීමට එකට එක්ව අවංකව, කැපවීමෙන් සමඟියෙන් ක්‍රියා කිරීම තමයි කළ යුත්තේ. ඉන් එහා අපට, රටට, ජනතාවට ජයග්‍රහණයක් අත්කර ගත නොහැකියි.

No comments:

Post a Comment