රාජ්‍ය ආයතන හෝ පෞද්ගලික ආයතන හෝ තනි පුද්ගල ව්‍යාපාර හෝ මේ කිසිවක් වේවා එහි සාර්ථකත්වය රදා පවතින ප්‍රධාන සාධකයක් ලෙස මුල්‍ය විනයක් පවත්වාගෙන යාම පෙන්වා දිය හැකියි. මුල්‍ය විනයක් පවත්වාගෙන යාමට නොහැකි නම් මේ කුමන ආකාරයේ ආයතනයක් උවද සාර්ථකත්වය කරා යාමට දැඩි අපහසුතාවයක් දැරීමට සිදුවේ. පෞද්ගලික ආයතන හා සැසදීමේදී රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු තවත් කරුණක් වන්නේ මහජන මුදල් භාවිතයෙන් ඔවුන් සිය කටයුතු සිදුකරන බැවිනි. මේ හේතුවෙන් දැඩි මුල්‍ය විනයක් පවත්වාගෙන යාමට එම ආයතන බැදී සිටියි.
මෙම තත්වය සාර්ථක කරගැනීමට පසුවිපරම් කර බැලීමේ ක්‍රමයක් ලෙස විගණනය හදුන්වාදී ඇති අතර බොහෝ රාජ්‍ය ආයතන විගණනය දකින්නේ තම හතුරකු ලෙසයි. රාජ්‍ය ආයතනයන් වසරක් තුළ සිදුකර ඇති මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් මුල්‍ය විගණනයක් කළ යුතු අතර ඇතැම් ආයතන එම මුල්‍ය විගණනය සඳහාද කැමැත්තක් නොදක්වයි. කෙසේවෙතත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු , පළාත් ආයතන මෙන්ම පළාත් පාලන ආයතන ද විගණනය සඳහා බැදී සිටියි.
විගණනය වු කලී සංවිධානයක් තුල කෙරෙන ස්වාධීන තක්සේරුවකි. කළමණාකරන ඒකකයේ සියළු මට්ටම් වෙතින් ඉටුකෙරෙන සේවාවන් හා කාර්යයන් සමාලෝචනය කිරීම, මැන බැලීම, ඇගයීම හා අභ්‍යන්තර පාලන ක්රමයේ සිද්ධි දායකත්වය සම්බන්ධයෙන් වාර්තා කිරීමද එයට අයත් වේ. වැරදි හා වංචා වැලැක්වීම සඳහා ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය, සැකසීම සාර්ථක දැයි සොයා බැලීම ද එමඟින් සිදුකරයි. එමෙන්ම ගිණුම් හා වෙනත් වාර්තා වල විශ්වසනීයභාවය නිශ්චය කිරීම හා යොදාගෙන ඇති පිළිගත් ගිණුම්කරණ පිළිවෙත් මගින් නිවැරදි මූල්‍ය ප්රකාශනයක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේදැයි සොයා බැලීම මෙන්ම කාර්ය මණ්ඩලයට පවරා ඇති වගකීම්, ඉටුකිරීමෙහි ලා ඔවුන්ගේ කාර්ය සාධනයේ ගුණාත්මකභාවය ඇගයීම. ආයතනයේ වත්කම් සියළුම ආකාරයේ අලාභහානිවලින් කොතරම්දුරට ආරක්ෂා වේදැයි සොයා බැලීම මේ යටතේ සිදුකරේ.
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතරින් ඉතා ඉහල මට්ටමේ මුල්‍ය විනයක් පවත්වාගෙන යන ආයතන කිහිපයක් ඇති අතර කුලියාපිටිය නගර සභාව ද ඒ අතරින් එකකි.
එසේ උවද කුලියාපිටිය නගර සභාවේ 2021 වර්ෂයේ මුල්‍ය විගණනයේදී රුපියල් ලක්ෂ 20 ආසන්න මුදලක් වියදම් කිරීම පිළිබඳ ගැටලු සහ මුදල් ගණුදෙනු කිහිපයක් පිළිබඳ අපැහැදිලිතාවන් හදුනාගෙන තිබේ. ඒහැරුණු විට ඔවුන් ඉතිරි කටයුතු සාර්ථකව ඉටුකර තිබිම විශේෂත්වයකි. කුලියාපිටිය නගර සභාවේ හදුනාගත් අඩුපාඩු මෙසේය,
ගෙවීම් වචුවර් වල අඩුපාඩු
රජයේ මුල්‍ය කටයුතු සිදුකිරීමේදී යම් පිළිවෙලක් ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ දක්වා ඇත. ඒ අනුව වවුචර් ගෙවීම් සිදුකිරීමේදී ගෙවන ලදී යන මුද්‍රාව වවුචරය මත තැබීම මෙන්ම ගෙවන නිලධාරීයා විසින් කෙටි අත්සන යෙදීම සිදුකළ යුතුය.
එමෙන්ම චෙක් පත් අංක සටහන් කරගැනීම , මුදල් හෝ ගෙවීම් භාරගත් බවට අත්සනක් යෙදීම් ආදී කරුණු අනිවාර්ය කරුණු ය. එසේ උවද 2021 වසරට අදාළව කුලියාපිටිය නගර සභාව විසින් සිදුකළ ගෙවීම් බොහොමයක ඉහත ගැටලු ඇති බව හදුනාගෙන තිබේ.
එමෙන්ම නගර සභාවේ දෛනික ගෙවීම් වලට අදාළව 2021 ජුලි මස රුපියල් 116,316 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් අත්සන් හෝ කුවිතාන්සි ලබාගෙන නොමැති බව අනාවරණය වී ඇත.
ත්‍රීරෝද රථ ගාස්තු
නගර සභා සීමාවේ ත්‍රීරෝද රථ සඳහා මසකට රුපිල් 350 ක් අයකරගත යුතු බවට 2020 නොවැම්බර් මස 20 දින රජය මගින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරතිබේ. ඒ අනුව උවද කුලියාපිටිය නගර සභාවේ ත්‍රීරෝද රථ 164 ක් ලියාපදිංචි වී ඇති අතර ඒ වෙනුවෙන් 2021 වර්ෂයට අදාළව රුපියල් 688,800 ක් අයවිය යුතුව තිබිණ. එසේ උවද අදාළ වර්ෂය සඳහා අයවී ඇත්තේ රුපියල් 15,750 ක මුදලක් පමණි. අය විය යුතු මුදල් අයකරගැනීමට නගර සභාව කටයුතු කර නොමැති අතර ත්‍රීරෝද රථ සංගම්වල භාණ්ඩාගාරික විසින් අදාළ මුදල් මාසිකව අයකර ඇති බවද මේ සම්බන්ධයෙන් කර ඇති විගණනයේදී අනාවරණය වී ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නගර සභාවේ මතය විමසීමේදී නාගරික ලේකම් එච්.එම්.පී.කේ හේරත් මහතා පැවසුයේ පසුගිය වසරේ කොවිඩ් උවදුර පැවති බැවින් ත්‍රීරෝද රථ යථාපරිදි ධාවනය වීමක් සිදුනොවු බවයි. එබැවින් ගාස්තු ගෙවීමද යථාපරිදි ඔවුන් සිදු නොකළ බවද ඇතැමුන් ධාවනයෙන් ඉවත් වු බවද හෙතෙම සදහන් කළේය. ධාවනයෙන් ඉවත්වු ඇතැම් රථ ගෙවීම ප්‍රතික්ශේප කර ඇති බවද ලේකම්වරයා පැවසීය. කෙසේඋවද ජනතාව සහ නගර සභාව අතර ගැටුමක් ඇති නොවන ආකාරයට එවැනි ගැටලු විසඳාගැනීමට කටයුතු කරන බවද හෙතෙම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කළේය.
බලපත්‍ර සහ තැන්පත් ගාස්තු
2021 වර්ෂය සඳහා නගර සභා බල ප්‍රදේශයේ හදුනාගත් ව්‍යාපාර 1034 ක් පවතී තිබුණද එයින් ව්‍යාපාර 247 ක් සඳහා බලපත්‍ර ගාස්තු ලබාගැනීමට නගර සභාව කටයුතු කර නොතිබුණි.
එමෙන්ම 2021 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට තැන්පත් ශේෂ වන ලංසු ඇප, ගිවිසුම් ආරක්ෂිත ඇප, මිශ්‍ර තැන්පත්, නගර ශාලා තැම්පත්, රැදවුම් මුදල් තැම්පත්, ටෙන්ඩර් තැන්පත්, කඩ කාමර, කොන්ත්‍රාත් ගිවිසුම් ආදියෙන් රුපියල් 8,584,537 ක තැන්පත් ශේෂ මුදල් සම්බන්ධයෙන්ද නගර සභාව නිසිපරිදි කටයුතු කර නොමැති බව අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන්ද නගර සභාවේ මතය විමසීමේදී නාගරික ලේකම් එච්.එම්.පී.කේ හේරත් මහතා සඳහන් කළේ කොඩිව් උවදුර පැවති පසුගිය වසරේ සියලු නීතිරීතී අකුරට අනුගමනය කිරීමේ හැකියාවක් නොතිබු බවය. අලුතින් ව්‍යාපාර ආරම්භකළ ඇතැමුන්ට කෝවිඩ් උවදුර හේතුවෙන් සිය ව්‍යාපාර කරගෙන යාමට නොහැකි වූ අතර ඔවුන් ව්‍යාපාර නවතා දමා ඇති බවද එවැනි පුද්ගලයින් බලපත්‍ර ගාස්තුව ගෙවා නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය. කෙසේවෙතත් සාධාරණ හේතු නොමැතිව බලපත්‍ර ගාස්තු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින්ගෙන් එම මුදල් අයකරගැනීමට මෙන්ම උසාවියේ නඩු පැවරීමටද නගර සභාව කටයුතු කළ බවද ලේකම්වරයා කීවේය.
එමෙන්ම කුලියාපිටිය නගර සභාව තුළ අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර ඇති බවද ඒ අනුව නගර සභාවේ සෑම කටයුත්තකදීම මුල්‍ය විනය පවත්වාගෙන උත්සහ කරන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය. නගර සභාව සැමවිටම ජනතාව වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් බැවින් ජනතාවගේ පැත්තේ සිට තීරණ ගැනීමට කටයුතු කරන බවත් කෙසේ වෙතත් ජනතා මුදල් නිසි පරිදි පරිහරණය කිරීමට කැපවී සිටින බව කුලියාපිටිය නගර සභාවේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වාර්ෂික මුල්‍ය විගණනයට අනුව නගර සභාව විසින් සිදුව ඇතැයි ප්‍රකාශ කරන අඩුපාඩු දුර්වලතා එලෙස හදුනාගැනීමට සහ පිළිගැනීමට නගර සභාව කටයුතු කිරීමත් ඒවාට විසඳුම් සෙවීම කඩිනම් කිරීමත් රාජ්‍ය ආයතනයක් ලෙස පැසසීමට ලක් කළ යුතු තත්වයකි. විගණනය සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවාට බොහෝ රාජ්‍ය ආයතන අකමැති අතර එසේ උවද කුලියාපිටිය නගර සභාව විගණනය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය සතුටුදායකය. එසේ උවද නගර සභාවේ මුල්‍ය විනය තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට නගර සභාවේ සභාපතිවරයා ඇතුලු දේශපාලන නායකත්වයද ලේකම්වරයා ප්රමුඛ පරිපාලන නායකත්වයේ කැපවීමද දැඩි අවශ්‍යතාවයකි.
සටහන - චාමර සම්පත්
No comments:
Post a Comment